2020 මාර්තු 14 වන සෙනසුරාදා

කොරෝනා වෛරසය ගැන කතා පොතක ලියවුණු අහම්බකාරක අනාවැකිය

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 359

චීනය ගැන ලෝකයම දැන සිටියත් එරට වූහාන් නගරය ගැන ලෝකය දැන ගත්තේ නව කොරෝනා වෛරසය නිසාය. දැන් කොවිඩ් 19 රෝගයේ නමත් වූහාන් නගරයේ නමත් මුළු ලෝකයේම ප්‍රසිද්ධය. එසේ වුවද වුහාන් නගරයත් එය කේන්ද්‍රකරගන පැතිරෙන වෛරස වසංගතයත් ගැන මෙයට වසර 40කට පමණ පෙර  විස්තර ලෝකයට ඉදිරිපත්ව තිබේ.වූහාන් නගරයෙ නම පැහැදිලිවම එලෙස සඳහන්ව ඇත්තේ  ප්‍රබන්ධ කතාවකය.ඊට පසුකලෙක තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පළව තිබුණේ අනාවැකි කාරියකගේ පොතකය. මේ ග්‍රන්ථ දෙකෙහිම ඉතා විස්මිත සහ අහම්බකාරක ලෙස කොරොනා වෛරස  නස්පැත්තියක්  2019 සහ 2020 අතර පැතිර යන බව කලින් කියා තිබේ.

අමෙරිකාවේ මිසූරි ප්‍රාන්තයේ ජිවත්වූ ලේඛිකාවක මෙන්ම අනාවැකිකාරියක හැටියටද ප්‍රසිද්ධව සිටි සිල්වියා බ්‍රවුන් ඇය ජිවත්ව සිටි කාලයේදි ලෝකයාගෙන් කිසි හොඳක් නෑසූ තැනැත්තියකි. ජීවත් වූ සමයේ ඇය එදාවේල සොයාගන්නට මළවුන් ගෙන්නා කතා කිරිම, නැතිවූ අය සොයා දීම වැනි සාස්තර- සූත්තර වැඩවල යෙදී සිටි තැනැත්තියකි. මළවුන් ගෙන්වන්නියක ලෙස ඇය රූපවාහිනි වැඩ සටහන්වල නිරතුරුවම පෙනී සිටියාය.ඒ වැඩ වලින්ද ඇයට ගතකරන්නට වී තිබූණේ වැඩි ලකයක් නැති ජීවිතයකි.ඇගේ අනාවැකි වැරදී ගියේය. ඒ නිසාමදෝ ඇගේ සමාජ ජීවිතයද අවුල් සහගත වී තිබුණි.අපරාධ චෝදනා ඇතුළු විවේචන මදිවාට 1992දී සොරකම් චෝදනාවක්ද එල්ල විය. එහෙව් සිල්වියා 2008දි අමුතු පොතක් ලිව්වේය. End of Days: Predictions and Prophecies about the End of the World- ලෙසටය. ලෝක විනාසය සිදුවන ආකාරය ගැන අනාවැකි රැසක් එහිවිය.කොවිඩ් 19 වසංගතය බඳු වෛරසයක පැතිර යාම ගැන කලින් බලා සිටියාක් මෙන් ඇය එහිදි නිවැරදි ව කියා තිබේ.

“වසර 2020 සමයේ දි නියුමෝනියා ආකාර දරුණු රෝගයක් ලෝකය පුරා පැතිර යයි.එය පෙනහළු සහ ස්වසනනාල ආක්‍රමණය කරනු ඇති අතර දන්නා සියලු ප්‍රතිකාරවලට ප්‍රතිරෝධි වනු ඇත.“ එලෙස ඇය අනතුරු අඟවා ඇත්තෙ මෙයට වසර 12කට පමණ පෙරදීය. චීන කොරෝනා වෛරසයේ හදිසි ආගමනයත් එය නොසිතූ විරෑ ලෙස ලොව පුරා පැතිර යාමත් සමඟ ජිවත්ව සිටියදී ඇය නොලද මට්ටමේ ප්‍රසිද්ධියක් දැන් ඇයට ලැබී තිබේ.

ඇගේ මේ අනාවැකිය අවසන්වන්නේ සුබවාදී ආකාරයට මෙන්න මේ ආකාරයටය. “ මේ රෝගයටත් වඩා ආන්දෝලනාත්මක කාරණාව වන්නේ එය ඇරැඹුණු ආකාරයටම හදිසියේම එය සහමුලින්ම අතුරුදන්ව යාමය.” ඉතින් ඇගේ ලියැවිල්ල පැහැදිලි කරන්නේ වත්මන් කොරෝනා ආසාදනය ගැන නම් ඒ අනුව අපට සතුටුදායක අවසානයක් බලාපොරොත්තු විය හැකිය. තව දුරටත් පැහැදිලි කරන ආකාරයට  “රෝගය නැවත වසර 10කට පසු නැවත ප්‍රහාරය අරඹනු ඇත. ඉන්පසු සහමුලින්ම තුරන්ව යන්නේය.”

ඇගේ මේ අනාවැකිය ලෙසටම දැන් පැතිර ඇති කොරෝනා වෛරසය නියුමෝනියා ආකාර රෝග ලක්ෂණ දරයි. එය ස්වසන පද්ධතියටම ප්‍රහාර එල්ල කරයි. ඒ අනුව නම් ඇය මේ කලින් කියා ඇත්තේ චීන නව කොරොනා රෝගය ගැනමයැයි කෙනෙකුට අනුමාන කළ හැකිය. කෙසේ හෝ ඇගේ මේ ලියැවිල්ල අන්තිමේ ජිවත්ව සිටියදී ඇයට අහිමි වූ ප්‍රසිද්ධිය ලබා දී හමාරය.

සිල්වියාගේ ලියැවිල්ලටත් වඩා අපූරුවට වත්මන් වසංගතය විස්තර කෙරෙන්නෙ ඉංග්‍රීසි පාඨකයන් අතර ප්‍රසිද්ධ Dean Koontz නමැති ලේඛකයා ලියූ ත්‍රාසජනක නවකතාවෙනි. The Eyes of Darkness නමැති එහි චීනයේ Wuhan නගරයේ පිහිටා ඇති මිලිටරි පර්යේෂණායතනයක් ගැන කියයි. එහි ජෛව ආයුධයක් ලෙස නිපදවන වෛරසයක් හදිසියේම ආසාදනයට ලක්වීමෙන් සිවිල් ජනයා රෝගාතුර වීම ඇරඹේ.

1981දි ඔහු ලියු මේ කතාවේ හැටියට ජෛව ආයුධ ෆැක්ටරිය හැටියට ක්‍රියාකරන පර්යේෂණාගාරය පිහිටා ඇත්තේ වූහාන්වල නිසාම එහි නිෂ්පාදනයක් වන මේ වෛරසයට නම ලබා දෙන්නේ Wuhan-400 හැටියටය. කතාවේ සිද්ධිය පැහැදිලි කරනුයේ ‘ලී චෙන්’ නමැති විද්‍යාඥයෙක් චීන  වූහාන් යුද අවි පර් යේෂණාගාරයේ නිපදවූ පසුගිය දශකයට අයත් භයානකම ජෛව ආයුධය ලෙස පිළිගත හැකි වෛරසයක්  පිලිබඳව දත්ත ඇතුළත් දෘඩ තැටියක්ද රැගෙන අමෙරිකාවට පැමිණිමත් සමගිනි.

කතාවේ හැටියටම මෙවර ලොව කැළඹූ වෛරසය වාර්තාවූයේ චීනයේ වූහාන්වලිනි. එම නගරය ආශ්‍රීතව චීනයේ ප්‍රබලතම වෛරස පර්යේෂණාගාරයද පවති. 2017 දි ඇරැඹී 4 වැනි මට්ටමේ ජෛව ආරක්ෂීත හැකියාවක් සහිත එහි ලොව භයානකම වෛරස පිළිබඳ පර් යේෂණ සිදුකරයි. නව වෛරසයේ පැතිරීම ඇරඹුන මුල් අවධියේම පැතිර ගිය කැළඹිලිකාර ආන්දෝලනයක් වූයේ දැන් SARScov2 ලෙස නම් ලබා ඇති  මෙම ආගන්තුක වෛරසය එකී පර් යේෂණාගාරයෙන් පිටතට කාන්දූ වූ එකක් බවටය.

දැනට 74 වැනි වියේ පසුවන ලේඛක Dean Koontz’s නව කතා 80ක් සහ කෙටි නවකතා 74ක් පමණ ලියා ඇති ප්‍රසිද්ධ ප්‍රබන්ධ කතාකාරයෙකි. මේ අහම්බකාරකය ඔහුගේ පරිණත බව නිසා ලද අපූරු වාසනාවකි.

► සුගත් පී.කුලතුංග ආරච්චි