2020 මාර්තු 14 වන සෙනසුරාදා

කසළ ගැටලුවට වචනවලට වැඩි විසඳුමක්

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 370

දීර්ඝ කාලයක් අලස ලෙස දික්ඇදුණු කසළ ගැටලුවට ස්ථීරසාර ලෙස සමුදෙන්න දැන් සූදානම් වෙමු. ඵලදායී ලෙස කසළ කළමනාකරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ මේ මොහොත වනවිටත් ආරම්භ වී තිබේ. වසර තුනක් තුළ සමස්ත රටේම කසළ ගැටලු විසඳා වසර පහක් ගතවනවිට කසළ කඳුද මෙරටින් ඉවත් කිරීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණයි. ඒ අනුව සරැ පොළොවක් ඇති ස්වයංපෝෂිත දේශයක් ගොඩනැගීමට නොදුරේදීම මෙරට කසළ නොවලස්ව සිය දායකත්වය සපයනු ඇත. මෙම වැඩ පිළිබඳ තතු අප සමඟ බෙදාගත්තේ... නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතාය.

ඕනෑම ගැටලුවක් විවිධ මානයන් ඔස්සේ දැකිය හැකිය. එහෙත් නිවැරදි මානය ඔස්සේ ගැටලුව දකින තුරැ ඊට ලබාදෙන විසඳුම් සාර්ථක වන්නේ නැත. කසළ කළමනාකරණය ගැටලුවට විසඳුම් සෙවීමේදී නව වැඩපිළිවෙළ යටතේ හඳුනාගෙන ඇති ප්‍රධාන අභියෝග හතරකි. දැනට පවතින කසළ කඳු ඉවත්කිරීම, එදිනෙදා එකතුවන කසළ කළමනාකරණය කිරීම, එම කසළ අවම වශයෙන් දිරන නොදිරන ලෙස වර්ග කිරීම, ජනතා නිවැරදි ලෙස කසළ කළමනාකරණය පිළිබඳ දැනුම්වත් කිරීම එම අභියෝග හතරයි. ඒ අනුව අනාගතය වෙනුවෙන් කසළ කළමනාකරණය සැලසුම් දියත් වන්නේ මෙම සිව් වැදෑරැම් අභියෝගයන්ට විසඳුම් ලබාදෙමිනි. ඊට ජනපති අගමැති පූර්ණ ආශීර්වාදයද හිමි වී තිබේ.

ජනතාව තුළ කසළ කළමනාකරණය පිළිබඳ ආකල්පමය වෙනසක් ඇති කිරීමට පහසු නැත. සිංගප්පූරැව වැනි රටවල එම වෙනස සිදුකිරීමට සම්පූර්ණයෙන්ම එක් පරම්පරාවකගේ සිතුම් පැතුම් වෙනස් කළේය. බාලාංශයේ සිට දරැවන්ට කසළ කළමනාකරණයේ වැදත්කම අවබෝධ කරදෙමින් ඔවුන් සිදුකළ පරිවර්තනය දීර්ඝකාලීන කටයුත්තකි. අපටද එවන් වැඩපිළිවෙළක් අවශ්‍යය. ඒ වෙනුවෙන් මේ වනවිට සැලසුම් සකස් වී තිබේ. තාක්ෂණය සහ නූතන පහසුකම් භාවිත කරමින් සාමාජීය වශයෙන් කසළ කළමනාකරණය පිළිබඳ කඩිනම් ආකල්පමය වෙනසක් සිදුකිරීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණයි.

එම කටයුත්ත සිදුකරන අතරේ භෞතිකව කසළ ගැටලුව විසඳීමට ක්‍රියාත්මක වැඩපිළිවෙළ ඉතා විශේෂිතය. මෙය දේශීය වශයෙන් පරීක්ෂණ කළ අත්හදා බැලුණු වැඩ සටහනකි. ගොවියාට කාබනික පොහොර ලබාදීමේ නව රජයේ ප්‍රතිපත්තියද මෙම වැඩපිළිවෙළට අන්තර්ග්‍රහණ කර තිබේ. මෙම විසඳුම ක්‍රියාත්මක වූ පසු තවදුරටත් රටේ කසළ ගොඩ ගැසෙන්නේ නැත. මෙහිදී මුළු රටේම එකතුවන දිරායන කසළ පොහොර බවට පත්වෙයි. නොදිරන ප්ලාස්ටික් වැනි ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සිදුවන අතර අවසානයේ ඉතුරැවන කිසිදු ලෙසකින් භාවිතයට ගත නොහැකි අපද්‍රව්‍ය කොටස් නිවැරදි ලෙස බැහැර කිරීම සිදුවෙයි.

දිරායන කසළ කොම්පෝස්ට් බවට පත්කිරීම කාලාන්තරයක් තිස්සේ උත්සාහ කළ වැඩපිළිවෙළකි. එය පූර්ණ සාර්ථකත්වයක් බලා නොගැනීමට හේතු රුසක් වෙයි. මෙවර එම ගැටලු විද්‍යාත්මක විසඳෙනු ඇත. ඒ පිළිබඳ පුරවැසියන් ලෙස ඔබ දැනුම්වත් වී සිටීම වැදගත්ය. එසේම මෙහි සැලකියයුතු වගකීමක් ඔබ වෙත පැවරෙති. එම නිසාම තම වැඩපිළිවෙළ පිළිබඳ දළ අවබෝධයක් අප ඔබට ලබාදෙමු.

දැනට පවතින ඇස්තමේන්තු අනුව රටේම තිබෙන කසළ යොදාගෙන කොම්පෝස්ට් නිෂ්පාදනය කළද සමස්ත නිෂ්පාදනය ටොන් එක්ලක්ෂ විසිපන්දහසක්ට සීමාවේ. එහෙත් මෙරටට වසරකට රසායනික පොහොර ටොන් තුන්ලක්ෂ පනස් දහසක් පමණ ගෙන්වයි. ඒ එම නිසා ගොවියාට සියයට සියයක් කොම්පෝස්ට් ලබාදීමට උත්සාහ කිරීම සාර්ථක නොවේ. කොම්පෝස්ට් භාවිතයේදී ගොවියාට මතුවන ගැටලු කිහිපයකි. කොම්පෝස්ට් වියලුණහොත් සුළඟේ ගසාගෙන යන අතර තෙත වැඩි වුවහොත් කැටිගැසී භාවිතය අපහසුවේ. තවද කොම්පෝස්ට්වල සෑම වගාවකටම අවශ්‍ය රසායනික සංයුතිය නොමැත. එම නිසාම සියයට සියයක් කොම්පෝස්ට්වලින් වගා කිරීම සැබැවින්ම කළ නොහැක්කකි.

ඒ අනුව දේශීය වශයෙන් යෝජනා වන විසඳුම මංජු ගුණවර්ධන නම් නව නිපැයුම්කරුවාගේ නිර්මාණක් වටා ගොඩනැගී ඇත. එය දියුණු කිරීමට ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතාද විශේෂ සංකල්පීය දායකත්වයක් ලබාදී තිබේ. මෙහිදී නිෂ්පාදන කෙරෙන කොම්පෝස්ට් ටොන් එක්ලක්ෂ විසිපන්දහසක නයිට්‍රජන් පොහොර, මඩ පොහොර, බන්ඩි පොහොර, කෙසෙල් පොහොර, එළවළු පොහොර බවට පරිවර්තනය වෙයි. එය සංකීර්ණ ක්‍රියාවලියකි. මෙහිදී නිෂ්පාදන කෙරෙන කොම්පෝස්ට් පරීක්ෂා කොට එහි මදිපාඩුව රසායනික පොහොර යොදා සම්පූර්ණ කරගනු ලැබේ.

එවිට ඒ ඒ පොහොර වර්ගවල රසානික සංයුතියට ගැලපෙන පරිදි මෙරට දීම කාබනික පොහොර නිෂ්පාදනය වේ. මෙම පොහොර ගොවියා අතට පත්වන්නේ භාවිතයට පහසු කල්තබාගත හැකි කැට පොහොරක් බවට පරිවර්තනය කිරීමෙන් අනතුරැවයි. ඒ සඳහා අවශ්‍ය නව යන්ත්‍ර මේ වනවිටත් නිර්මාණය වී තිබේ. ටොන් තුන්ලක්ෂ පනස්දහසක රසායනික පොහොර අවශ්‍යතාවයද මේ පොහොර භාවිතයට පැමිණි පසු ක්‍රමිකව අවම වී යනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. පස සරුවීම පොහොර අපතේ නොයෑම ආදිය ඊට හේතුවයි. මෙම නව වැඩපිළිවෙළ සාර්ථකත්වයට පත්වුවහොත් මෙරට කසළ ප්‍රශ්නය පමණක් නොවේ පොහොර ප්‍රශ්නද විසඳෙනු ඇත.

මෙම වැඩසටහන සඳහා මූලික එකඟතාවන් සියල්ල මේ වනවිට ගොඩනැගී තිබේ. නව නිර්මාණකරැ මංජු ගුණවර්ධන මහතාගේ ආයතනයත් ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවත් එකතුකර බිහිවෙන රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් හරහා මෙම වැඩපිළිවෙළ ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇත. කොළඹ නගර කේන්ද්‍රය කරගනිමින් මෙය ඉතා කඩිනමින් ආරම්භ වෙයි. එසේම ඉදිරියේදී පළාත් පාලන ආයතන සඳහා පහසුවෙන් හැසිරවිය හැකි මෙම යන්ත්‍ර ලබාදීමට බලාපොරොත්තුවේ. මෙම යන්ත්‍ර කන්ටේනරයක සවිකිරීමට සැලසුම් කර ඇත. එවිට පහසුවෙන් ඕනෑම තැනකට ළඟාවී පහසුවෙන් කසළ ගැටලුව නිමා කිරීමට හැකිවේ. මේ සමඟම පළාත් පාලන ආයතන මට්ටමින්ම කසළ පොහොර පැකට් බවට පත් වේ. එසේම අනාගතයේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත රටට විදේශ විනිමය ඩොලර් මිලියන තුන්සියයක් හාරසියයක් ඉතිරිකර ගැනීමට හැකියාවක් ලැබෙතැයි අපේක්ෂා කෙරෙයි.

කසළ කළමනාකරණය සම්බන්ධ මෙම විසඳුමේදී කොළඹ සහ නගරබද කසළ කඳු ඉවත් කිරීමටද යොදාගැනීමට බලාපොරොත්තු වෙයි. කසළ කඳු හලා කොම්පෝස්ට් වෙන්කොට ප්‍රතිචක්‍රීකරණය කළ හැකි දෑ ප්‍රතිචක්‍රීකරණය කර ඉතිරිය නිවැරැදිව බැහැර කර කසළ කඳු ඉවත්කිරීම මෙහිදී සිදුවේ. මේ සියල්ල වසර පහක් තුළ සිදුකිරීමේ බලාපොරොත්තුවක් තිබේ. එහෙත් පුරවැසියන් ලෙස මෙය සාර්ථක කරගැනීමට අප හැමගේ දායකත්වය අවශ්‍ය වේ. අප අවම වශයෙන් නිවසේ කසළ දිරන නොදිරන ලෙස වෙන්කිරීම අතිශය වැදගත්ය. එසේම බැටරි වැනි ද්‍රව්‍ය වෙනම ඉවත්කිරීම මහජන වගකීමකි. ඉතා විශිෂ්ට අධිතාක්ෂණික කාබනික පොහොරක් අප රට තුළ නිෂ්පාදනය මෙන්ම කසළ ගැටලුව සම්පූර්ණයෙන් නිමා කිරීමට එය ඉතා වැදගත් වනු ඇත.

මෙරට එකතුවන බහුතර කසළ දිරාපත්වන ද්‍රව්‍ය හේතුවෙන් මෙම වැඩපිළිවෙළ සාර්ථක වීමට ඇති ඉඩකඩ බොහෝය. එසේම නොදිරන ද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය සහ ඉන්ධන ලෙස භාවිතය මෙම වැඩපිළිවෙළට සමගාමීව ක්‍රියාත්මක වේ. තවද කසළ තුළින් බැහැර වන ද්‍රව්‍යයන් සම්බන්ධවද අනාගතයේ විශේෂ වැඩසටහනක් දියත් කිරීමට බලාපොරොත්තුවක්ද තිබේ. ඒවා දියර පොහොර හෝ කෘමි නාශකයන් බවට අනාගතයේ පරිවර්තනය වනු ඇත. ඒ අනුව මෙම සමස්ත ක්‍රියාවලිය සාර්ථක වුවහොත් ඉදිරි දශකයේ දී කසළ ගැටලු විසඳූ දියුණුවෙමින් පවතින එකම රට බවට පත්වීමට අපට බැරි නැත. අවශ්‍ය වන්නේ මහජන සහයෝගය සහ නිවැරැදි නායකත්වයක් පමණි.

 සංවාද සටහන - චමිඳු නිසල් ද සිල්වා