ශ්‍රී ලංකාව තුළ මැතිවරණ නිරීක්ෂණය ආරම්භ වන්නේ 1987 වර්ෂයේදීය. එවකට පැවැති දේශපාලන වාතාවරණය අනුව මැතිවරණවල නිදහස් හා සාධාරණභාවය බරපතළ ලෙස අභියෝගයට ලක්වූ පරිසරයක් තුළ එම තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා සිවිල් සමාජ නායකයන් කිහිප දෙනකු විසින් ඇති කරගත් සංවාදයක ප්‍රතිඵලයක් ලෙස මෙරට ප්‍රථම නිරීක්ෂණ කණ්ඩායම බිහිවිය. මෙම කණ්ඩායමේ ප්‍රථම නිරීක්ෂණ ක්‍රියාවලිය 1988 ජනාධිපතිවරණයේ දී සිදුව ඇති අතර එය ජංගම නිරීක්ෂණයට පමණක් සීමා වී තිබිණි. කෙසේ වෙතත් මේ වන විට මෙරට නිරීක්ෂණ සංවිධාන 08 ක් පමණ ක්‍රියාත්මකය.
මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල අරමුණු
මෙරට සියලුම නිරීක්ෂණ සංවිධානවල අරමුණ වන්නේ ජනතාවට තමන්ගේ අභිමතය පරිදි බාධාවකින් තොරව තමන්ගේ පාලකයන් පත්කර ගැනීමට නිදහස් පරිසරයක් තිබේද යන්න නිරීක්ෂණය කිරීම හා වාර්තාකරණයයි. නමුත් සියලුම නිරීක්ෂණ සංවිධාන ඉදිරි පියවරක් තබමින් ඉතා කෙටි කලකින්ම නිරීක්ෂණය කිරීම හා වාර්තාකරණයෙන් ඔබ්බට යමින් එකී ක්‍රියාවලිය තුළ කොටස්කරැවෝ බවට පත්වූහ. ඒ අනුව මැතිවරණය නිදහස් හා සාධාරණව පැවැත්වීම සඳහා මැතිවරණ බලධාරීන්ට සහාය දක්වන්නෙක් බවට එකී සංවිධාන පත් විය. පසුකාලීනව ඉන් නොනැවතී නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ඇතිකර ගැනීම සඳහා නිරීක්ෂණ සංවිධාන ඍජු ලෙසම මැදිහත් විය.
රට තුළ වඩාත් කතාබහට ලක්වී ඇති මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී නිරීක්ෂණ සංවිධානවල සූදානම පිළිබඳ දේශයේ අපි විමසා බැලුවෙමු.
පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි
අපි මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ලෙස කාලයක සිට මෙරට පැවැත්වෙන මැතිවරණ කාලසීමාවන් තුළදී ස්වාධීන කාර්යභාරයක් ඉටු කරලා තියෙනවා. ඒ වගේම මෙවරත් මහමැතිවරණය වෙනුවෙන් පසුගිය මැතිවරණවලදී ඉටු කරපු කාර්යභාරය ඒ අයුරින්ම ඉටු කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් අපි පැෆරල් සංවිධානය විසින් නිරීක්ෂකයන් 6000 ක් පමණ යෙදවීමට සැලසුම් කරලා තියෙනවා. විශේෂයෙන්ම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ පූර්ව කාලයට තමයි අපි වැඩි අවධානයක් යොමු කරන්නේ. ඒ වගේම තැපැල් ඡන්දය සඳහා පැෆරල් සංවිධානය විසින් නිරීක්ෂකයන් 1000 ක් පමණ යොදවන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ජංගම නිරීක්ෂණය සඳහා ජංගම රථ 250 ක් මෙන්ම එහි සේවයට නිලධාරීන් 1000 ක් යොදවන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මෙවර මහමැතිවරණය වෙනුවෙන් ස්වාධීන විදේශීය නිරීක්ෂකයන් 40 ක් පමණ අපගේ ආරාධනයෙන් මෙරටට පැමිණීමට නියමිතයි. දිගුකාලීන මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහාත්, කෙටිකාලීන මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහාත් ඔවුන් පැමිණෙනවා. ඒ වගේම මේ වන විටත් පූර්ව මැතිවරණ කාලය තුළ නීති විරෝධී බඩු ලබාදීම් පිළිබඳවත්, එකම පක්ෂයේ අපේක්ෂකයන් අතර ගැටුම් පිළිබඳවත් අපිට වාර්තා වෙලා තියෙනවා. නීති විරෝධී ලෙස මැතිවරණ කටයුතුවල නිරතවන්නන් පිළිබඳව අපි මැතිවරණ කොමිසමේ නිලධාරීන් දැනුම්වත් කිරීමටත් කටයුතු කරනවා. මීට පෙර පැවැති මැතිවරණවල මෙන්ම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදීත් අපක්ෂපාතීව, මධ්‍යස්ථව හා ස්වාධීනව කටයුතු කිරීමට පැෆරල් සංවිධානය ලෙස අපි බලාපොරොත්තු වෙනවා.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථාන සම්බන්ධීකාරක මංජුල ගජනායක
මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනුවෙන් මැතිවරණ නිරීක්ෂණය සඳහා 3000ක පමණ මැතිවරණ නිරීක්ෂකයන් පිරිසක් යොදවන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත නිරීක්ෂකයන් 300 ක් පමණ අපි යොදවන්න සැලසුම් කරලා තියෙනවා. දවස් දහයක් වගේ කාලසීමාවකට විදෙස් නිරීක්ෂකයන් 5 දෙනෙක් පමණක් මේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණීමට නියමිතයි. ඒ වගේම මැතිවරණ කොට්ඨාස 160ට මැතිවරණ නිරීක්ෂකයක් 160 ක් පමණ යොදවනවා. මෙරට ආබාධිත පුද්ගලයන් ලක්ෂ 15 ක් පමණ සිටිනවා. එම පුද්ගලයන් වෙනුවෙන් මහමැතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළදී පුද්ගලයන් 100 ක් පමණ යොදවන්න අපි සැලසුම් කරලා තියෙනවා. එමෙන්ම සමාජ මාධ්‍ය හරහා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ සමාජ ජාලා ගිණුම් පිළිබඳවත් අපි විමසිලිමත් වෙනවා. ඒ වගේම මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම පිළිබඳව සොයා බැලීමට සමීක්ෂණයක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. එහිදී කටවුට්, බැනර්, සංග්‍රහ වියදම් ආදී තවත් කටයුතු පිළිබඳ අපි සොයා බැලීම් සිදු කරනවා. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය අපගේ නිරීක්ෂණ කණ්ඩායම් අදියර තුනක් යටතේ මෙහෙයවීම් සිදු කෙරෙනවා. එම අදියර තුන වන්නේ පූර්ව මැතිවරණ අවධිය, මැතිවරණ දිනය සහ පශ්චාත් මැතිවරණ අවධියයි. එහිදී ඡන්දය පිළිබඳ දැනුවත් කිරීම, මාධ්‍ය භාවිතය, ප්‍රචණ්ඩත්වය වැනි දෑ පිළිබඳව සමස්තයක් ලෙස නිදහස් හා සාධාරණ මැතිවරණයකට අවශ්‍ය සියලුම කරුණු මෙම නිරීක්ෂණ සංවිධානවල අවධානයට ලක්වේවි.
ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක රසාංග හරිස්චන්ද්‍ර
අප ජාතික මැතිවරණ මධ්‍යස්ථානය පිළිගත් සංවිධානයක්. පසුගිය වසර දොළහක පමණ කාලය තුළ මෙරට පැවැති සියලුම මැතිවරණවලදී අප අපගේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු ස්වාධීනව සිදු කරලා තියෙනවා. අපගේ සංවිධානය තුළ සිටින වෘත්තීයවේදීන් සියලුම ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් ස්වාධීන මැතිවරණ කටයුතු සඳහා අපත් සමඟ එක් වී සිටිනවා. මීට පෙර පැවැති මැතිවරණවලදීත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව අප මැතිවරණ කොමිසමට දැනුම් දීලා තියෙනවා. මෙවරත් එම සිදුවීම් වාර්තා වුවහොත් ඒ ආකාරයෙන්ම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 1000කට අධික නිරීක්ෂකයන් කණ්ඩායමක් අප මෙවර මහමැතිවරණය වෙනුවෙන් නිරීක්ෂකයන් ලෙස ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.
හසිත් අංජන