2017 මාර්තු 25 වන සෙනසුරාදා

කොළොම්පුරේ මී පුරේ

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 327

මීයන් ගැන කතා කිරීමේදී දේව සංකල්පයක් වෙත අප සිත යොමුවන්නේ හින්දු ආගමෙහි මහත් හරසරෙන් වැඳුම් පිඳුම් ලබන ගණ දෙවියන්ගේ වාහනය මීයා ලෙසින් සලකන නිසාය. මේ නිසාම තමන්ට කොතරම් හිංසාකාරී ලෙස ක්‍රියා කළද මීයන්ට යම් අනතුරක් කිරීමට එම ආගම් ලබ්ධිකයන් පසුබට වන්නේ මීයා කෙරෙහි යම් ගරුත්වයක් දක්වන නිසාද වන්නට පුළුවන. කෙසේ වෙතත් මිනිසාට කරදරකාරී ලෙස හැසිරෙන සතුන් අතරින් මීයාටද හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. ගෙදර දොර, ගොවිපොළ, ගබඩා පමණක් නොව අද වනවිට ඇතැම් කාර්යාල පවා ආක්‍රමණය කිරීමට මීයන්ට හැකියාව ලැබී ඇත.

මීයන්ගෙන් සිදුවන හිරිහැර නිසාම උන් විනාශ කිරීමට ඇතැම්විට සිදුවන අතර කොතරම් වඳකරන්නට උත්සාහ කළද මී ගහනයේ වැඩිවීමක් මිස අඩුවීමක් නම් දක්නට නොලැබේ.
පසුගියදා අපට වාර්තා වූ තොරතුරකින් දැක්වුණේ කොළඹ නගරයට මීයන්ගෙන් විශාල තර්ජනයක් එල්ලවිය හැකි බවය. කොළඹ නගර සීමාවේ ඉඩම් සංවර්ධන කටයුතු කිරීමේදී සහ පැරැණි ගොඩනැගිලි අලුත්වැඩියා කටයුතුවලදී විශාල ප්‍රමාණයේ මී ජනාවාස හමුවීම මෙවැනි තර්ජනයකට හේතුව ලෙසින්ද සඳහන්ව තිබුණි. මෙම දැවැන්ත මී ජනාවාස හමුවී ඇත්තේ මෑතකදී බේරේවැව සංවර්ධන ව්‍යාපෘතියට අදාළ බිම් සකස් කිරීම් කටයුතු සිදුකළ නිලධාරීන් හටය.
මිනිසා තම අයිතිවාසිකම් ප්‍රමුඛ ලෙසම භුක්ති විඳීම ආරම්භ කළ දා පටන්ම ස්වභාවික පරිසරය තුළ අනෙක් සතුන් හට නිරුපද්‍රිතව ජීවත් වීම සඳහා තිබූ ඉඩකඩ බොහෝදුරට ඇහිරිණි. අලි මිනිස් ගැටුම් ඇතිවීම එවැන්නක ප්‍රතිඵලයක් වන අතර මෙම මිනිසුන් හා සතුන් අතර පවතින තරගකාරීත්වය නිසාම මිනිසුන්ගෙන් සතුන්ට මෙන්ම සතුන්ගෙන් මිනිසුන්ටද හිරිහැර කරදර සිදුවන වාර අනන්තය.
ගෘහස්ථ පරිසරය ගත්විටද මිනිසුන් අද වනවිට ගොදුරු වී ඇති ප්‍රබලතම ගැටලුව වන්නේ මීයන් හා කැරපොතු උවදුරයි. මේ අතරින්ද විශාලම හානියක් සිදුකරන්නේ මීයන්ය. මීඋණ, සුදුකබර වැනි රෝග මීයන් නිසා පැතිරීමේ අවදානමක් ඇති අතර ආහාර ද්‍රව්‍ය, ඇඳන්, පුටු, මේස පමණක් නොව නිවෙස් හා කාර්යාලවල විදුලි රැහැන් පද්ධති පවා කා දමා විනාශ කිරීම මීයන්ගෙන් සිදුවන විශාලම හානියයි.
එපමණක්ද නොව, අගනුවර කෑම කඩ බොහොමයක්ම ඇතැම් අවස්ථාවල පවතින්නේ මී රජදහන් ලෙසය. ඇතැම් කඩවල්වල ආහාර පිසින භාජන, කොත්තු දමන ලෑලි ආදියෙහි මීයන් නිරතුරුවම සැරිසරන අතර බොහෝ දෙනෙක් මේවායෙහි පිළි‍යෙළ කරන කෑම වර්ග ආහාරයට ගන්නේ ඒ බවක් නොදැනය.

අපේ රටේ පමණක් නොව මීයන්ගෙන් හිරිහැර විඳින තවත් රටවල් බොහෝය. එංගලන්තයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසටද මීයන්ගෙන් විවිධ හිරිහැර පැමිණ ඇති බව අපට දැනගන්නට ලැබුණේ පසුගියදා එංගලන්තයේ හිටපු අගමැතිවරයා වන ඩේවිඩ් කැමරන් මහතා තම ධූරයෙන් ඉවත්ව අගමැති නිල නිවසෙන් නික්ම යාමේදී මන්දිරයේ මී කරදරය මැඩපැවැත්වීමට රුගෙන ආ ලැරී නම් පූසා එහි රඳවා යාමත් සමඟය.

මේ අතර විදෙස් මාධ්‍ය විසින් එක්තරා අවස්ථාවකදී වාර්තා කර තිබුණේ මීයන් බෝවීම හේතුවෙන් ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි රෝහලක් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුවූ බවයි. මෙම රෝහලේ මීගුල් අටදහසකට අධික සංඛ්‍යාවක් පැවති අතර මීයන් හැත්තෑදහසක් පමණ එහි සිටි බව කියැවේ. මීයන්ගෙන් විශාල සංඛ්‍යාවක් රෝහල් කාර්ය මණ්ඩලය අතින් මරණයට පත්වී ඇති අතර මීයන් මර්දනය කිරීම සඳහා ඉන්දීය වසංගත රෝග මර්දන කාර්යාංශයේ නිලධාරීන් විශේෂ මෙහෙයුමක්ද ක්‍රියාත්මක කළ අතර ඒ සඳහා වැය කරන ලද මුදල ඉන්දීය රුපියල් මිලියන 5කට අධිකය.

කොළඹ නගරයෙන් පසුගියදා හමුවූ මී ගහනයේද විශාල මීයන් සංඛ්‍යාවක් සිට ඇතැයි වාර්තා වන අතර සංවර්ධන ව්‍යාපෘතියේදී සිදුවූ කඩා බිඳ දැමීම් හමුවේ එම මීයන් ජනාවාසවලින් පලාගොස් අවට තිබෙන ආයතන හා නිවාසවලට රිංගා ගැනීමේ අවදානමක්ද මේ වනවිට උද්ගතව ඇත. සාමාන්‍යයෙන් තක්සේරු කර ඇති ප්‍රමාණයටත් වඩා මෙම  මීයන්ගේ සංඛ්‍යාව ඉතා වැඩි බැවින් ඉක්මන් පියවර නොගතහොත් එම පාසල්, ආයතන හා නිවාසවලටද මීයන්ගෙන් දැඩි තර්ජන එල්ලවිය හැකි බවට නාගරික සංවර්ධනය පිළිබඳ විශේෂඥයෝ පවසා ඇත.

ඇත්තටම කොළඹ නගරයේ මී ගහනය අධිකවෙලා කියා ප්‍රවෘත්තියක් වෙබ්වල තියෙනවා කියලා අපිට දැනගන්නට ලැබුණා. නමුත් මම මේක ප්‍රතික්ෂේප කරනවා. මොකද කොළඹ නගරයේ ඒ විදියේ ගැටලුවක් මතුවෙලා නෑ
කොළඹ නගරය තුළ මීයන් වැඩිවීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා අප සමඟ පැවසුවේ එවැනි අදහසකි. ඔහු වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළේ මෙලෙසයි.
ගිය අවුරුද්දේ නම් මීයන් වැඩිවීමක් ගැන අපිට දැනගන්නට ලැබුණා පෙබරවාරි මාසයේදී. ඒකට හේතුව තමයි වසරකින් පමණ මීයන් වඳකරන බෙහෙත් නොගෙන්වීම. මේ බෙහෙත් නොගෙන්නුවේ ළමයි දෙන්නෙක් මේවා කාලා මියයාම නිසා බෙහෙත් ගෙන්වීම තහනම් කරපු නිසයි. අපි දැන් මීයන් මර්දනය සඳහා වෙනත් බෙහෙත් ගෙනත් තියෙන්නේ. ඒ නිසා බෙහෙත්වලින් කිසිම අඩුපාඩුවක් නෑ. මී උණ රෝගීන්ගේ වැඩිවීමකුත් නෑ. අපෙන් අහන්නේ නැතිව තමයි ඔය ප්‍රවෘත්තිය පළකරලා තියෙන්නේ. දැනටමත් මී උවදුරක් තියෙනවා නම් 0112503550 නොම්මරයෙන් අපේ විශේෂ කෘමි මර්දන ඒකකයට කතා කරලා මීයන් මර්දනය කිරීම සඳහා අවශ්‍ය වන බෙහෙත් වර්ග ලබාගන්න පුළුවන්.
මීට අමතරව හැමදෙනාම මේ කාරණය ගැන මතක තියාගන්නත් ඕනෑ. මොකද මීයන් යැපෙන්නේ අපි ඉවතලන ආහාරවලින්. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් ගෙදර කුස්සියේ, ඔෆීස්වල යන මේ කිසිම තැනක කුණු බක්කිවල කන්න පුළුවන් කුණු තියන්න එපා. මෙහෙම කුණු තිබුණොතින් මීයන් රෑට ඒ කුණු ද්‍රව්‍ය කන්න එනවා. ඒවා කන්න පුරැදු වුණාට පස්සේ ඇවිල්ලා බලලා එතන නැත්නම් වයර් ඇතුළු තවත් දේවල් හපලා දාන්න මීයන් පුරුදු වෙනවා. ආහාර ද්‍රව්‍ය තිබිලා මී බෙහෙත් තිබ්බට වැඩක් වෙන්නේ නෑ. මොකද මී බෙහෙත්වලට වඩා එවිට මීයන්ගේ අවධානය යොමුවෙන්නේ අර ආහාර ද්‍රව්‍ය වෙතයි. කන්න කිසිම දෙයක් නැතිව බඩගින්නේ ඉන්න මීයා විතරයි මී බෙහෙත් කන්නේ. ඒ අනුව බොහෝදුරට ඉඳුල් ආදිය නිවැරදිව ඉවත දැමීම හරහා මීයන් බෝවීම අවම කරගැනීමේ හැකියාව තියෙනවා. 

 හේමමාලා කුමාරි රාජකරුණා