2020 මාර්තු 07 වන සෙනසුරාදා

වෙස් මුහුණක් පැළඳි වඩා මාරාන්තික අලුත් වෛරසයක්!

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 167

නව කොරෝනා වෛරසයට අලුත් එන්නතක් සොයාගත් බව අමෙරිකාව ප්‍රකාශ කර දින කිහිපයක් ගතවන්නටත් පෙර ආවේ දරුණු ආරංචියකි. නව කොරොනා වෛරස මාදිලි 2ක් රෝගය සෑදීමට ක්‍රියාත්මකව ඇති බවටය. පළමු මාදිලියේම විකෘතියක් වූ දෙවැනි මාදිලිය ඉක්මන් ක්‍රියාකාරි වඩාත් හානිදායක මාදිලියක් බව දැන් සනාථ වී තිබේ. එය හරියටම අතින් පයින් පහර දෙන චණ්ඩියෙකු වූ මුලින් සොයාගත් වෛරසයම  වෙස් මුහුණක් පැළඳ පිස්තෝලයක් රැගෙන කරළියට බැසීමක් බඳුය. ඒ අතර චීන විද්වතුන් පෙන්වා දුන්නේ මෙතෙක් වෛරස පැතිරීම ආරම්භ වූ ස්ථානය ගැන පැතිර තිබූ අනුමානය ද වැරදි බවය. ඒ අනුව වෛරසය වූහාන් සත්ත්ව අහාර වෙළෙඳපොළට පිටතින් ගෙනැවිත් දැමූවක් බව දැන් අනුමාන කෙරෙයි.

කොවිඩ් - 19 දැන් ලෝක වසංගතයක් බවට පත් වෙන සියලු ලකුණු පෙන්වා හමාරය. ඉතා කෙටි කලකින්ම ලෝකයේ සෑම මහාද්වීපයකින්ම මේ වනවිට රෝගීන් වාර්තා වී තිබේ. ප්‍රාදේශීකව මෙන්ම රටවල් අතරද එය මෙයට පෙර ලෙඩ රැගෙන පැමිණි එහි සහෝදර වෛරස වන (SARS-CoV) සහ (MERS-CoV)ට වඩා ඉක්මන් පැතිරීමක් දක්වයි. නිදසුනක් ලෙස කලකට පෙර චීනය සහ හොංකොංවලින්ම පැතිර යාම ආරම්භ වූ සාර්ස් වෛරසය හේතූවෙන් 2002-2003 වසර දෙකක මුළු කාලය පුරා මියගොස් තිබුණේ  774කි. එයින් ආසාදනයට ලක්වූයේ 8100කි. එහෙත් නව වෛරසය මාස 3ක් ඉක්මවන්නටත් පෙර එම වාර්තා බිඳහෙළමින් මේ වනවිටත් දහස් ගණනක් බිලි ගනිමින් ලක්ෂයකට ආසන්න පිරිසකට ආසාදනය වෙමින් මාරාන්තික පැතිරීමක් දක්වයි. මෙහි මාරක හැසිරීම් අතින් එය සර්වසම වන්නේ මෙයට වසර 100කට පමණ පෙර 1918-1921කාලයේ ලොව පුරා පැතිර ගිය ස්පාඤ්ඤ උණ නමැති ඉන්ෆ්ලූවෙන්සා වසංගතයටය. එකල මෙම වසංගතය නිසා ලොව පුරා මිලියන 50කට වැඩි පිරිසක් මියගියහ. ලංකාවේ ද මෙම රෝගයට එකල 51000-91000ත් අතර සංඛ්‍යාවක් බිලි වී තිබේ. මෑත කාලයේ 2009 සමයේ ඌරු උණ ලෙස පැතිර ගියේ මේ වෛරස මාදිලියකි. ස්පාඤ්ඤ උණ සෑදුණ කාලයේ මෙන්ම ඇතැම් විට එයටත් වඩා මේ තාක්ෂණය දියුණු කාලයේ මිනිසා අසරණව ඇති බවක් දැන්  දක්නට හැකිය. නව වෛරසයේ අලුත් හැඩගැසීම් සහිත තවත් මාදිලියක් ඉතා කෙටි කලකින්ම වාර්තා වීමත් සමගිනි. මේ රෝගය සඳහා  නිසි නිශ්චිත ප්‍රථිකාරයක් සොයා ගන්නට එය බාධකයක්ව ඇති හෙයිනි.

කොවිඩ් 19 රෝගය තනන වෛරස මාදිලි 2ක S සහ L ලෙස චීන පර්යේෂක පිරිසක්ම හඳුනාගන තිබේ. මෙයින් S මාදිලිය වූහාන් සිට ලොවපුරා පැතිර ගිය මේ වනවිට වඩාත් දන්නා කියන මාදිලියයි. එය ක්‍රියාකාරීත්වය අතින් සාපේක්ෂව මන්දගාමී, මරණීය හානිය අවම මාදිලියයි. එහි නැවත සැකසුණ විකෘතියක් ලෙස හෝ සහෝදර මාදිලියක් හෝ වන L - ඉක්මන් ක්‍රියාකාරී බවක් දක්වන, සීඝ්‍රව පැතිර යන, ඉක්මන් වෙනස් වීම්වලට ලක්වන, වඩාත් මාරාන්තික එහෙයින් භයානක මාදිලියයි. මුල් වෛරස ආසාදනයෙන් ජීවිත ගලවා ගත් පිරිස ද මේ මාරකයට බිලි වන්නට හැකිය.

නව වෙනස් මාදිලියක පැමිණීම නිසා දැන් ඖෂධ සහ එන්නත් සෙවීමේ රාජකාරිය ද අසීරු වී තිබේ. නව ප්‍රභේදයේ ජාන සැකසුම සහ ව්‍යූහාත්මක වෙනස්කම් මුල සිට සොයාගත යුතුය. ප්‍රවේණික සිතියම් සැකසිය යුතුය. එතැන් සිට අලුතෙන්ම ඖෂධ සඳහා පර්යේෂණ ඇරඹිය යුතුය. මෙතැනදී අපේ රටේ විද්වතුන් පිරිසක් ඉදිරිපත් කළ පර්යේෂණ ක්‍රමවේදය වඩාත් ඉක්මන් ඵලදායී පර්යේෂණ සැලසුමක් ලෙස ඉදිරිපත් කළ හැකිව තිබේ. ඔවුන් දැනට භාවිතයේ ඇති ඖෂධ 3000ක් අතරින් නව කොරෝනා වෛරසයට ප්‍රතිකාර කිරීමට හැකිවන ලෙස ප්‍රති-අරමුණුගත (repurposing) කළ හැකි හෙවත් නැවත සැකසිය හැකි ඖෂධ කිහිපයක්ම ඉතා කෙටි කලකින් තෝරාබේරා වෙන්කර පෙන්වන්නට සමත් වූහ. කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීව වේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයන් වන ආචාර්ය සමීර ආර් සමරකෝන්, ආචාර්ය කනිෂ්ක සේනතිලක සහ මහාචාර්ය කමනී තෙන්නකෝන් මේ නව සංකල්පය පර්ෙය්ෂණාත්මකව සනාථ කළ පිරිසයි. වෛරස වෙනස් වීමේ වේගයට සරිලන වේගයකින් කටයුතු කළ හැකි පරිඝනක තොරතුරු තාක්ෂණය ද භාවිතා කළ මේ ලාබදායී කාර්යක්ෂම සාර්ථක ක්‍රමවේදය ගැන මේ ව විටත් මෙරට බලධාරීන්ගේ ඇස්  වැසී තිබීම කණගාටුදායකය. එහෙත් ඔවුන්ගේ මේ පර්ෙය්ෂණ වාර්තාව පසුගිය සතිය වනවිට අන්තර්ජාතික විද්‍යා ජර්නලයක සමාලෝචනය සඳහා තෝරා පළකර තිබුණි. හැමදාම මෙන් මෙරට අපේ අයගේ අගය මෙවරද වටහා ගත්තේ නොරටය.

හාවඩ් සරසවියේ වසංගත රෝග විද්‍යා විශේෂඥයකු වන මාර්ක් ලිප්සිච් ප්‍රකාශ කර ඇත්තේ නිසි පාලනයකට ලක් නොකළහොත් කොවිඩ් 19 ලෝකයේ සියයට 40-70 අතර පිරිසකට ආසාදනය විය හැකි බවය. එය දැනටමත් රෝග ලක්ෂණ පිටතට නොපෙන්වා පැතිර යාමේ අනතුරුදායක ව්‍යාප්තියකින් යුතු හෙයින් ලොකයෙන් තුනෙන් එකක් තුළට වෛරසය ඉක්මණින්ම ඇතුළු වීමේ සම්භාවිතාව ඉතා ඉහළ බව ඔහු කියයි. එය ඉදිරියේදී සමාජයේ සාමාන්‍ය උණ හෙම්බිරිස්සාව තරමටම සුලබ නමුත්, මාරාන්තික රෝගයක් වනු ඇතැයි ඔහු පෙන්වා දේ. වසරේ ඉන්ෆ්ලූවෙන්සා උණ පැතිර යන කාලය මෙන් ඉදිරියේදි වාර්ෂික “කොවිඩ් 19 උණ සමයක්” ද හටගන්නට හැකියැයි ඔහු අනතුරු අඟවයි. 

මේ වනවිට වෛරසය චීනයෙන් පිටත ප්‍රධාන රටවල් 3ක ඉහළ ව්‍යාප්තියක් අරඹා හමාරය. ඒ ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය තුළය. ලොව පුරා මේ වනවිට නව කොරෝනා වෛරසය ආසාදිතයන් හමුවී ඇති රටවල් ගණන 81 කට අධිකය. ඉකුත් බදාදා වනවිට 97359ක් ලොව පුරා අසාදිත වූහ. මරණ ගණන 3354කි. 

ලංකාවේ සෞඛ්‍ය බලධාරීහු දැන් මේ රෝගය රටට ඇතුළු වීම වැළැක්වීම සඳහා විශේෂ ආරක්ෂණ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. මේ අනුව පිටරට සිට එන උදවිය දින 14ක නිරෝධායනයකට යොමු කෙරෙනු ඇත.

ලොව රටවල් ගණනාවක්ම මේ වනවිට සිය පාසල් වසා දමලාය. ඉතාලිය දින 10කටය. ජපානය ද මාර්තු අග වනතුරැ පාසල් වැසීය. එංගලන්ත, අමෙරිකා, ප්‍රංශ, කොරියා, ඉරාන, චීන ඇතුළු ලොව රටවල් ගණනාවක සිසුන් මිලියන 300කට ආසන්න පිරිසක් දැන් සිය නිවෙස් තුළය. මේ හේතුවෙන් සමහරු ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය අරඹා ඇත. නමුත් එය තවදුරටත් මානසිකව අසමතුලිත පෞර්ෂයක් සහිත පිරිසක් බිහිකිරීමට හේතුවනු ඇතැයි විශේෂඥයෝ බිය පළකරති.

වෛරසයෙන් බලපෑම් එල්ල වූ රටවල් සඳහා ආධාර ලබාදීමට සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 12ක මුදලක් ලෝක බැංකුව වෙන් කළේය. ආධාර ලබා දීමේදී දුර්වල සෞඛ්‍ය පද්ධති සහිත සහ දිළිඳු රටවලට ප්‍රමුඛත්වය ලබාදෙන බවත් වෛරසය ව්‍යාප්තියෙන් බලපෑම් එල්ල වී ඇති රටවල නායකයන් විසින් සිදුකරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බවත් ලෝක බැංකුව සදහන් කරයි. නව කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා අමෙරිකාව ද ඩොලර් බිලියන 8.5ක් වෙන් කළේය. එරට නීති සම්පාදකයන්ගේ අනුමැතිය එයට හිමි විය. අදාළ මුදලින් කොටසක් අමෙරිකාවෙන් පිටත වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ද යොමුකෙරෙනු ඇති. නව කොරෝනා වෛරසය මේ වනවිට සැලකිය යුතු වේගයකින් අමෙරිකාවේ ප්‍රාන්ත 14ක් පුරා ව්‍යාප්ත වෙමින් පවතියි. මෙම තත්ත්වය සලකා කැලිෆෝනියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් නම් කිරීමටත් බලධාරීන්ට සිදුවුණි.

මෙම වෛරසය බිඳිති මගින් පැතිර යන්නකි. වෛරස සිරුරේ ඇති අයෙක් කහින කිවිසින විට පිටතට නිකුත් වන කෙළ, සෙම් සොටු, බිඳිති ඔස්සේ එය පැතිර යයි. අන්තර්ජාතික “සෙල්” සඟරාවේ පර්ෙය්ෂණ වාර්තාවකට අනුව විවිධ ද්‍රව්‍ය මත දින සති මාස ගණන් නිරුපද්‍රීතව සිටින්නට මේ වෛරස සමත්ය. එවන් තැනක් ස්පර්ෂ කළ අයෙක් සිය මුහුණ, කට, නාසය හෝ ඇස් අතපත ගෑමේදී මාරකය සිරුරට ඇතුළු විය හැකිය. මධ්‍යසාර සහිත දියර මගින් හෝ හොඳින් සබන් යොදා අත් සෝදා පිරිසිදු කරන්නට යැයි සෞඛ්‍ය අංශ නිරතුරුවම උපදෙස් දෙන්නේ එහෙයිනි.

ඉතාලියේදී අසනීප වූ ලංකාවේ කත සුවෙන්! 

ලංකාවේ හොරණ ප්‍රදේශයේ සිට මීට වසර 10කට පමණ පෙර ඉතාලි ගිය කාන්තාවක් රෝහල් ගත වූ ආරංචිය ඉකුත් සතියේ මාධ්‍ය කැළඹුවේය. ඇය සේවය කළ නිවසේ ස්වාමී දුවට රෝගය තිබූ අතර ඇයගෙන් මේ කාන්තාවට වැළඳී තිබුණි. කෙසේ වුවද සතිය අග වාර්තා වූයේ ඇය සුවය ලබා ඇති බවය.

අලුත් ඖෂධ රැසක්ම!

මේ අතර චීන සමාගම් 4ක් ප්‍රකට ඖෂධ සමාගමක් වන NuGenerex සමඟ එක්ව වෛරස ප්‍රෝටීනයට බලපෑම් කරන ප්‍රබල එන්නතක් නිපදවීමට අතගසා ඇත.

කොවිඩ් වෛරසයේ ජාන අනුපිළිවෙළ වාර්තා වී දින 42ක් ගත වනවිට නව එන්නතක් තැනීමට කේම්බ්‍රිජ්හි පිහිටා ඇති ජෛව තාක්ෂණික ඖෂධ සමාගමක් ද සමත්ව තිබේ. එය මේ වනවිටත් අාසාත්මිකතා සහ වසංගත රෝග සඳහා වූ ජාතික ආයතනයේ අනුමැතියට යොමු කර ඇති අතර අප්‍රේල් මාසයේදී මිනිසුන් සඳහා සායනිකව පරීක්ෂාව සිදුකිරීමට හැකි වෙතැයි බලාපොරොත්තු වේ. ඉබෝලා සඳහා භාවිත කළ ඖෂධයක්  ගැන ද තදබල විස්වාසය තැබිය හැකි යැයි මේ වනවිට අනාවරණ වී තිබේ.

කොවිඩ් 19 සඳහා ඊශ්‍රායලය අලුත්ම එන්නතක් තැනීමේ කාර්යයට අතගසා තිබේ. ඔවුන් උත්සාහ දරන්නේ දැනට තමන් සතු කුරුලු උණ වෛරස විරෝධී එන්නතක් වැඩිදියුණු කර භාවිතයට ගන්නටය. ඉදිරි සති 10ක කාලය තුළ මුඛයෙන් ගත හැකි එන්නත් ඖෂධයක් තැනීම ඔවුන්ගේ උත්සාහයයි.

මෙල්බර්න්හි පොදු රාජ්‍ය මණ්ඩල විද්‍යා පර්ෙය්ෂණායතනය ද තමන් නිපදවූ එන්නතක් මේ වනවිටත් සතුන් යොදා පරීක්ෂාව අරඹා තිබේ. මේ එන්නත ක්‍රියාත්මක වන්නේ ද අපේ විද්වතුන් අනුමාන කර සොයාගත් ආකාරයටම වෛරසයේ බාහිර ප්‍රෝටීන ආවරණයේ ඇති ඔටුණු වැනි නෙරැම් ආශ්‍රීතවය.

 
 සුගත් පී. කුලතුංගආරච්චි