
පසුගිය 5දා කොළඹ නෙළුම් පොකුණ රඟහලට රටේ විවිධ ප්‍රදේශවලින් විශාල දරු දැරියන් පිරිසක් එක්ව සිටියහ. නෙළුම් පොකුණ මෙලෙස සජීවී ආකාරයෙන් විචිත්‍රත්වයට පත්ව තිබුණේ ලෝක වාර්තාවක් පිහිටුවීම සඳහාය. එයට මුල් වූයේ ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදිනියක්, ළමා කතා ලේඛිකාවක් වන සිබිල් වෙත්තසිංහය. ඇය ලෝක වාර්තාව තැබුවේ තනිවම නොව රට පුරා විවිධ ප්‍රදේශවල දරුවන් 20,000 ක් සමඟ එක්වය. නෙළුම් පොකුණට පැමිණ සිටි දරුවන් ද කතා ලියන්නට සමත්කම් දක්වන පිරිසකි.
එකම ළමා කතා පොතක් අවසානයන් 20,000 ක් සහිතව රචනා කිරීම මෙම සිද්ධියයි. පසුගිය 2019 ලෝක ළමා දිනය යෙදුණු ඔක්තෝබර් 1දා මෙම කටයුත්ත ආරම්භ කෙරිණි. සිබිල් නැන්දා පුදුම පළිඟුව (Wonder Crystal) ළමා කතාව රචනා කළේ අවසානයක් නැතිවය. එයට තමන් කැමති අන්දමේ අවසානයක් රචනා කිරීම බාරවූයේ කුඩා දරුවන්ටය.
පෞද්ගලික සමාගමක් මගින් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිසුන්ට පුදුම පළිඟුව පොත ලබා දුන්නේය. සිසු සිසුවියෝ 20,000 ක් තමන් කැමති ආකාරයට අවසානයක් රචනා කර ආපසු ලබා දුන්හ. ඒ අනුව ලොව වැඩිම අවසානයන් සහිත මහ පොතක් බවට පුදුම පළිඟුව පත් විය. දරුවන්ගේ පරිකල්පන ශක්තිය හා නිර්මාණශීලීත්වය වර්ධනය කිරීම සඳහා සිබිල් වෙත්තසිංහ මහත්මිය සමඟ එක්ව මෙම වැඩසටහන ආරම්භ කළ අතර අවසානයන් 20,000 ක් ලැබීමෙන් පසු එම කෘතිය ලෝක වාර්තාවක් විය හැකි බව සිතා ගිනස් ලෝක වාර්තා ආයතනයට ඉදිරිපත් කිරීමෙන් පසු ලෝක වාර්තාවට සුදුසුකම් ලැබුණු බව එම සමාගමේ මහජන සම්බන්ධතා අංශය සඳහන් කර සිටී.
පසුගිය 5දා නෙළුම් පොකුණේ උත්සවය පැවැත්වුණේ ගිනස් වාර්තාවට අදාළ සහතිකය සිබිල් නැන්දාටත් දරු දැරියන් වෙතත් ප්රදානය කිරීම සඳහාය. ඒ සඳහා ගිනස් ආයතනයේ නිල විනිශ්චයකරුවකු වන ස්වප්නිල් දන්ග්රිකාර් ද සහභාගි විය.
පාසල් දරුවන් විසින් ලියා එවූ අවසානයන් පිළිබඳ විශ්ලේෂණය කර ඒ ආශ්රයෙන් මෙරට දරුවන්ගේ නිර්මාණශීලී පරිකල්පන හැකියාව පිළිබඳ වාර්තාවක් සකස් කිරීමට ද නියමිතය. ඒ සඳහා දායකත්වය දක්වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සුභානි හේරත්ය.
සිබිල් වෙත්තසිංහ පැවසුවේ තමන්ට ලැබුණු සියලු සම්මානවලට වඩා දරුවන් සමඟ ලැබූ මෙම ජයග්‍රහණය නිසා තමන් විශාල සතුටක් ලැබූ බවයි.
මේ වනවිට 92 හැවිරිදි වියේ පසුවන සිබිල් වෙත්තසිංහ ළමා කතා පොත් සිය ගණනක් ලිව්වාය. ඇය අප රටේ ළමා ලෝකයේ වීරවරියකි. ශ්‍රී ලංකාවේ ළමුන් අතර පමණක් නොව ඇයගේ ළමා කතා ජාත්‍යන්තර සම්මානයට ද පත්ව ඇත. ඇය ලියූ ‘කුඩ හොරා’ ළමා කතාවට 1986 දී ජපානයේ පළවූ හොඳම ළමා කෘතියට හිමි සම්මානය හිමි විය. ටෝකියෝ නුවර ළමා පුස්තකාලය 1987 වර්ෂයේ ජනප්‍රියම ළමා කතාව ලෙස ද එය තෝරා ගත්තේය. 1965 දී ලියූ ‘වෙසක් පහන’ කෘතියට මහා බ්‍රිතාන්‍යයේ ඉසෙබෙල් හන්ටිං සම්මානය හිමි විය. වර්ෂ 2003 දී හොඳම සැලසුම සහිත ළමා කෘතියට හිමි සාක් සම්මානය ලැබුණේ ද සිබිල් නැන්දාගේ ‘දුවන රැවුල’ කෘතියටය.
කුඩ හොරා ළමා කතාව ජපානය, චීනය, කොරියාව, පිලිපීනය, නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය, අමෙරිකා එක්සත් ජනපදය, ඇතුළු රටවල් 12ක පළකර තිබේ. ඇයට රාජ්‍ය සාහිත්‍ය සම්මාන විශාල ප්‍රමාණයක් ද හිමිව ඇත.
වර්ෂ 1928 ඔක්තෝබර් 31දා ගාල්ලේ, ගිංතොට දී උපත ලැබූ සිබිල් වෙත්තසිංහ මුලින්ම ඉගෙන ගත්තේ ගිංතොට බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේය. පසුව ඇය බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ඇතුළත් කෙරිණි. ඇගේ චිත්‍ර කලාවට වගේම ළමා කතා රචනයටත් මඟපෙන්වා ඇත්තේ බාල කාලයේ හැදුණු වැඩුණු ගිංතොට රමණීය ගැමි පරිසරයයි. අපේම අනන්‍යතාවයයි. වටපිටාවේ සතා සිවුපාවාගේ විවිධත්වයයි. ස්වෝත්සාහයෙන් සිය කලා ජීවිතය ගොඩනගාගත් සිබිල් වෙත්තසිංහ ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදිනියක් බවට පත්වන්නේ වයස අවුරුදු 19 දීය. ඒ වන විටත් ඇය නවමඟ පාඩම් පොත් පෙළට චිත්‍ර ඇඳීමෙන් දක්ෂතාවය ප්‍රකට කර සිටියාය. ඇය ඊටපසු අවුරුදු 28 ක් ලේක්හවුස් ආයතනයේ සේවය කළාය.
සිබිල්ගේ ළමා කතා දරුවන්ගේ පරිකල්පන ශක්තිය පුබුදු කළහ බටහිර ළමා කතාවල එන සුරංගනාවියන්, නපුරු මකරුන්, රාක්ෂයන් ඒවායේ නැත. ඒ වෙනුවට සිටින්නේ සීයලා ආච්චිලා, වඳුරන්, ළමා ළපටින් වැනි වටපිටාවේ චරිතය.
ඇය පුදුම පළිඟුව කතාව ආරම්භ කරන්නේ මේ අයුරිනි.
“එදා නිවාඩු දවසක්. අක්කයි මල්ලියි ගේ අසල කැලෑවට ගියේ ඇවිදින්න. ජම්බු ගහ යට කුඩා ඔය ළඟ කවුදෝ අඬනවා ඇහුණා. කිට්ටුවෙලා බැලුවා. අක්කා තරම් ළමයෙක් වතුරෙ බැහැලා අඬනවා.”
“මොකද ඔයා අඬන්නේ?” ළමයි ඇහුවා.
“ලස්සන මාලුන් දැකලයි මම ඔයට බැස්සේ. මං මේ වතුරට බැස්සේ උන් එක්ක පීනන්නයි. ඒත් මගේ පළිඟුව වතුරට වැටුණා. මම ඒක හෙව්වට හොයාගන්න බෑ.”
අවසානයේ නැතිවුණු මැජික් පළිඟුව අක්කා විසින් සොයා දෙන්නීය. ළමුන් කළ යුත්තේ කතාව සම්පූර්ණ කර ඒ මැජික් පළිඟුව තමන්ට ලැබුණේ නම් කරන දේවල් ලියා එවීමයි.
කුඩා ළමුන් පවා කියවීමෙන් ඈත්වී සයිබර් ලෝකයේ අතරමං වී සිටින යුගයක සිබිල් නැන්දාගෙන් ළමා ලෝකයට පිදුණේ විශාල ආදර්ශමත් වැඩසටහනක් බව කිව යුතුය.
► කුසුම්සිරි විජයවර්ධන