2020 මාර්තු 07 වන සෙනසුරාදා

පොළොන්නරුවේ ඇවිලෙන මෛත්‍රී-රොෂාන් ගින්න

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 481

පුලතිසිපුර දේශපාලන අර්බුදය ජාතික දේශපාලනයේ ජරමරයකටද හේතුභූත වන ලකුණු පහළ වෙමින් තිබේ. රොෂාන් රණසිංහ, මෛත්‍රීපාල සිරිසේන ආරෝව පුවත් මවන්නට පටන්ගෙන ඇත. මෛත්‍රීපාල රොෂාන් මනාප පොරය තවමත් ඇත්තේ ආරම්භ අවදියේය. නුදුරේදීම එය ඉතා බරපතළ වනු ඇතැයි බැලූ බැල්මට අපට අවබෝධ වෙයි. අපි පොළොන්නරු ජයමරය ගැන සොයා බැලුවෙමු.

2010 මහ මැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරැවේ වැඩිම මනාප ලාභියා ලෙස මනාප ජන්ද 90,118 ලබා ගත්තේය. එම මැතිවරණයේදී රොෂාන් රණසිංහ ලබා ගත්තේ මනාප 56,223ක් පමණි. 2015 ජනාධිපතිවරණය වෙනුවෙන් මෛත්‍රී පිල්මාරු කළ පසු තත්ත්වය වෙනස් විය. පොළොන්නරැවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු මන්ත්‍රීවරැ පාහේ මෛත්‍රී අනුගමනය කරන්නට පටන් ගත්හ. එහෙත් රොෂාන් රණසිංහ මහින්ද කඳවුරේ නතර විය. පොළොන්නරුවේ සිටම රොෂාන් ජනපති මෛත්‍රීව නිර්දය ලෙස විවේචනය කළේය. ඒ නිසාවෙන්ම ඔහු ඉතා ඉක්මනින් මහින්ද කඳවුරේ නමක් උපයා ගත්තේය. 2015 මහ මැතිවරණයේදී රොෂාන් රණසිංහ පොළොන්නරැවේ පළමුවෙනියා ලෙස මනාප 76,825ක් ලබා ගත්තේය. අනතුරැව පොදුජන පෙරමුණ බිහිවන විට බැසිල් රාජපක්ෂ සෙවණට ගිය රොෂාන් ජාතික දේශපාලනයේ සිය භූමිකාව ස්ථාවර කර ගත්තේය.

මේ අතර මෛත්‍රී ජනපති පොළොන්නරැව සිය අධිරාජ්‍යය කොටගෙන දේශපාලන කටයුතු සිදුකළේය. රොෂාන්ගේ විවේචනවලට ඔහු පෙරළා පිළිතුරැ දෙන්නට ගියේ නැත. මේ එහෙත් මෛත්‍රීපාල විරෝධය 2018 ඔක්තෝබර් බල පෙරළිය සමග හකුලා ගැනීමට පොදුජන පෙරමුණේ බොහෝදෙනා කටයුතු කළහ. මෙය රොෂාන් රණසිංහට එතරම් සුවපහසුවක් ඇති කළේ නැත. ඔහු මෛත්‍රී විරෝධය හකුලා ගන්නට අකැමැති විය. 2019 ජනාධිපතිවරණය එළඹෙන විට ශ්‍රීලනිප පොහොට්ටු සාකච්ඡා අතරේද රොෂාන් බොහෝ කතා කීවේය. ඔහු මෛත්‍රීපාල සිරිසේන විවේචනය කළේය. ලොකු තැන් වලින් රොෂාන් රණසිංහට අවවාද ලැබුණි. ජනාධිපතිවරණයෙන් පසු ඇමතිකම් බෙදන විටද රොෂාන් අරගල කළේය. මෛත්‍රී ප්‍රියකළ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමැතිකම කෙසේ හෝ රොෂාන් රණසිංහ ලබා ගත්තේය. ඒ වනවිට පොහොට්ටුවේ බලවතුන්ට කිසිසේත් රොෂාන් රණසිංහ බැහැර කළ හැකි චරිතයක් නොවුණි.

දැන් මෙහි වර්තමාන කතාව ගලපා ගතයුතුය. මහ මැතිවරණ සමයක් නැවතත් එළඹ ඇත. රොෂාන් සහ සටනට නැවතත් මෛත්‍රී පැමිණ සිටියි. පොළොන්නරැවේ මෛත්‍රීගේ මැතිවරණ ව්‍යාපාර ආරම්භ වූයේ ජනාධිපතිවරණය නිමාවනවාත් සමඟය. එපමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපති ධූරයත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ලැබී ඇත. නැවතත් එකම කඳවුරක රොෂාන් - මෛත්‍රී ගැටෙති. මෙතෙක් රොෂාන්ගේ විවේචන හමුවේ නිහඬව සිටි මෛත්‍රීපාල සිරිසේන දැන් යම් හඬක්ද නගන්නට පටන් ගෙන ඇත.

අප්‍රියෙල් මාසේ 25 ඡන්දය තියෙනව. ඒ නිසා අපි චෝදනා කරගන්න දොස් කියාගන්න ඕනේ නෑ. චරිත ඝාතනය ඕනේ නෑ. බැණගන්න ඕනේ නෑ. මහත්තරැ විදිහට මහත්මා දේශපාලනයක් අපි කරන්න ඕනෑ. චීන ජනාධිපතිතුමා මට දුන්න තෑග්ග වකුගඩු රෝහල. ඒකේ රස්සා ගැනත් ඇප්ලිකේෂන් ගත්තා කියලා මට ආරංචිවුණා. වකුගඩු රෝහල මම ගෙනාපු එක. මම හදපු එක. මට ලැබුණු තෑග්ග. ඒකේ කාටවත් බිත්තර දාන්න මම දෙන්නේ නෑ. මම තමයි ඒකෙ ඒ වැඩ ටික කරන්නේ. වෙන අය හදපු කූඩුවල වෙන අය බිත්තර දාන්න දඟලනවා. බිත්තර දාගන්න බැරිවෙනවා.

පොළොන්නරැවේ පැවති ජනහමුවකදී මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ප්‍රකාශ කළේය. අනතුරැව රොෂාන් රණසිංහ මහතා ඊට මෙවන් පිළිතුරක් ලබාදී තිබුණි.

එහෙනම් ඉතින් මම හදපු අධිවේගී මාර්ගයේ එකෙක්ටවත් යන්න දෙන්න එපා කියලා මහින්ද මහත්තයා කියන්න ඕනෑ. මම දන්නේ නෑ මේවා කොච්චර බොළඳයිද පටුයිද කියලා. හම්බන්තොට දැවැන්ත වරාය චීනයට අඩු මුදලකට විකුණුවාම තමා ඔය වකුගඩු රෝහල ලැබුණේ. ඒක ලැබුණේ එක පුද්ගලයකුට නෙවෙයි මේ රටේ සමස්ත ජනතාවට. ඒ නිසා මේකේ රුකියා දෙන එක තීන්දු කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමාගේ නායකත්වය යටතේ දිස්ත්‍රික්කයේ නායකයා විදිහට තීන්දු ගත යුත්තේ මමනේ. අනික අපි හදපු කූඩුවක් තිබ්බා 2015 වේදී. ඒ කූඩුව එතුමා උදුරාගත්තු වෙලේ අපි අලුත් කූඩුවක් හැදුවා. ඒ අලුත් කූඩුවේ වැඩ ටික අද හොඳින් ක්‍රියාත්මක වෙලා යනවා. ඒ නිසා අපි හදපු කූඩුවට රිංගන්නේ නැතුව එතුමාගේ කූඩුවේ වැඩ ටික බලාගත්තා නම් හොඳයි කියලා තමා කියන්න තියෙන්නේ.

මෙම සිදුවීමට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා එළඹෙන මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා සිය ප්‍රතිපත්ති ඉදිරියටත් ගෙන යන බවට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පොළොන්නරැව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය විවෘත කරන විට කියා තිබුණි. එහිදී තමන්ට ඇති චෝදනා ගැන මෛත්‍රීපාල සිරිසේන මහතා කතා කළේය. පොළොන්නරැවේ අන් කවරදාකටත් වඩා රාජ්‍ය භීෂණය මේ මාස කිහිපයට පැතිර ගොස් ඇති බව ඔහු කීවේය. එම රාජ්‍ය භීෂණය ඉතා ඉක්මනින් අවසන් වන බවත් අයුක්තියට අසාධාරණයට ලක්වූ සියලු රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම තමා භාරගන්නා බවත් ඒ මහතාගෙන් ප්‍රකාශ විය.

මේ අනුව මෛත්‍රී හිතවාදී නිලධාරීන්ට පොළොන්නරැවේදී ඇතිවී ඇති ගැටලු පිළිබඳ අදහසක් ගත හැකිය. ජනාධිපති ප්‍රධානත්වයෙන් පොළොන්නරැවේ පසුගිය සමයේ සංවර්ධන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක විය. ඒවා හැසිරවූයේ නිලධාරීන් විසිනි. මෙහිදී පසුගියදා රොෂාන් රණසිංහ කළ කතාවක් අපට සිහිවේ. ඔහුට අනුව පිබිදෙන පොළොන්නරුව නමින් කළේ මූල්‍ය වංචාවකි. කෝටි හයදහස් තුන්සීයක් පොළොන්නරුවට වියදම් කළ බව සඳහන් කළද කෝටි හාරදහසකට වඩා ගසා කෑ ඇති බවත් ඔහු කියා තිබුණි. එය සම්බන්ධයෙන් විගණනයක් අවශ්‍ය බවද මෙහිදී කියැවුණි. මේ අතර රොෂාන් රණසිංහ මහවැලි කලාපවල දේශපාලන පළිගැනීම් මත සිදුකළ ස්ථාන මාරැවීම් වහාම අවලංගු කරන ලෙස හිටපු ජනපති මෛත්‍රී වත්මන් ජනපති ගෝඨාභයගෙන් ඉල්ලීමක් කළ බවට තොරතුරැද හෙළිවෙයි.

කෙසේ වෙතත් පොළොන්නරු දිස්ත්‍රික්කයේ මනාප සටනේදී මෙය නියත වශයෙන්ම සංවාදයට තුඩුදෙන මාතෘකාවක් වනු ඇත. පොළොන්නරැවේ වර්තමාන අර්බුදය සම්බන්ධව වැදගත් සිදුවීමක් මාර්තු පළමුවැනිදා සිදුවිය.

අනාගත පොළොන්නරුව – පස් අවුරුදු සංවර්ධන සැලස්ම (2020-2025)” වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්විණි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඒ සඳහා ආරාධනා ‌කොට ‌නොතිබීම විශේෂ සිදුවීමක් විය. කෙසේ වෙතත් සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්තිය මත පිහිටා පොළොන්නරැව ගොඩනගන ආකාරය ගැන කියැවෙන මෙම වැඩපිළිවෙළ රොෂාන් රණසිංහ මහතාගේ ඉදිරිපත් කිරීමකි. මෙම අවස්ථාවට සහභාගී වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා පොළොන්නරු අර්බුදය ගැන කතා නොකිරීමට ප්‍රවේසම් විය.

අද සෞභාග්‍යයේ දැක්මෙන් ගොඩනැගෙන අනාගත පොළොන්නරුව – පස් අවුරුදු සංවර්ධන සැලැස්ම ඉදිරිපත් කරන අවස්ථාවේදී ඔබට සුබපතන්නට ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. තරුණ මන්ත්‍රීවරයෙක් වශයෙන් රොෂාන් පසුගිය අවුරැදු පහ තුළ දිස්ත්‍රික්කයට නායකත්වය දීම විතරක් නෙවෙයි, දේශපාලන විවාදවලට ගිහින් රට තුළ ජනතාව ගොඩනැගීම සඳහාත් විශාල මෙහෙයක් කළ බව මම අමුතුවෙන් කිවයුතු නැහැ. මම හිතනවා හැම දිස්ත්‍රික්කයක්, හැම පළාතක් තුළම තමන්ගේ දිස්ත්‍රික්කය හෝ පළාත සංවර්ධනය කරන ආකාරය පිළිබඳව සැලැස්මක් හැදුවොත් ඒ ඉලක්කය කරා ගමන් කරන්න වගේම එම සංවර්ධන කටයුතු පිළිවෙළකට ඉදිරියට කරගෙන යන්නත් පුළුවන්කම ලැබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳ සිහිපත් කළේ නැත. නමුත් කතාවේ එක අවස්ථාවකදී පහුගිය අවුරැදු පහ තුළ වැඩක් සිදුනොවුණේ ජනාධිපති සහ අගමැති අතර තිබුණ කඹ ඇදිල්ල නිසා බව ඔහු කීවේය. එසේම ඒ කඹ ඇදිල්ල නිසා රටේ සංවර්ධනය ආපස්සට ගිය බවත් ජනතාව මේ ගැන අවබෝධයෙන් සිටින බවත් කියැවිණි. ඒ අනුව පොළොන්නරැ මනාප සංග්‍රාමයේදී රාජපක්ෂ ආශීර්වාදය රොෂාන් රණසිංහට ලැබෙන බව පැහැදිලි වේ.

එම නිසා පොහොට්ටුවේ කණ්ඩායම් නායක රොෂාන් රණසිංහගෙන් මෙන්ම තමන්ගේම පක්ෂයේ පේශල ජයරත්නගෙන්ද පොහොට්ටුවේ සිරිපාල ගම්ලත් ආදී චරිතවලින් හිටපු ජනාධිපතිවරයාට මෙවර ප්‍රබල දේශපාලන අභියෝගයක් එල්ල වී ඇති බව පැහැදිලිය. කෙසේ වෙතත් මෙතෙක් තමන් මැතිවරණවලින් පරාජය වී නැති අතර එළඹෙන මහ මැතිවරණයෙන්ද තමන් නිසැක ලෙසම ජයගන්නා බවද හිටපු ජනාධිපතිවරයා කියා තිබේ. ඉදින් පොළොන්නරැවේ ජරමරය ඇරඹුණා පමණි හොඳ හොඳ සෙල්ලම් එළිවන ජාමයටය.

- චමිඳු නිසල් ද සිල්වා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04