2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

රටම කතාකරන කාටත් හොයාගන්න බැරි වීඩියෝ ළමා අපචාර කතාව

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:03 673

ස්ත්‍රී දූෂණ, ළමා අපචාර රට වටේ එමටය. ඒවා එළියට එන ප්‍රමාණද ඉතා සීමිතය. අති බහුතරයක් සිද්ධීන් තිබෙන්නේ සැඟවී ගොස්ය. එම සිද්ධීන් බොහොමයක් සැඟවී යාමටත් වඩා එකී අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන් විසින් බලහත්කාරයෙන් ඒවා සඟවා ඇත. ඒ නිසා එම සිද්ධීන් කාලයේ වැලිතලාවෙන් වැළලී ගොස්ය.

මේ කියන්නට යන්නේ එලෙස කාලයේ වැලි තලාවෙන් වසා දමා සැඟවීමට උත්සහ ගත් තවත් බරපතල ගණයේ ළමා අපරාධයක් ගැනය. එහෙත් පුදුමය නම් එය හෙළිකරන්නට යන එය හොයන්නට උත්සහ දරන පිරිසටද අද වනවිට සිතාගත නොහැකි බලපෑම් ප්‍රශ්න රුසකට මුහුණ පෑමට සිදු වී තිබීමය. කෙසේ වෙතත් මේ ගැන අනාවරණය කිරීම, හෙළිකිරීම යුතුකමක් නිසා ඕනෑම කෙනෙකුගේ ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ අරමුණින් මේ කතාව මෙලෙස දිග හරින්නෙමි.

ජනවාරි මාසයේ මුල බොහොමයක් සමාජ මාධ්‍ය ජාලාවල ඉතාම රහසිගතව එක්තරා අප්‍රසන්න වීඩියෝ පටයක් එහා මෙහා විය. එම වීඩියෝ පටයේ අවුරැදු 5ත් 6ත් අතර වයසේ පමණ විය හැකි දැරියක් හැඩි දැඩි පිරිමියකු විසින් බලහත්කාරයෙන් ලිංගික ක්‍රියාවේ යොදවනු ලබන ආකාරය ප්‍රදර්ශනය වෙයි. එහෙත් ඒ වීඩියෝපටය දකින ඕනෑම කෙනෙකුට ඒ දරැවා පළමු වතාව නොව දීර්ඝ කාලයක සිට එම ලිංගික අපචාරයට ගොදුරු වෙමින් සිටි දරැවකු බවට දැකගැනීමට හැක. ඒ ඇගේ හැසිරීම් රටාව අනුවය. කිසිදු වචනයක් කතා නොකළත් පසුබිමින් ඇසෙන රෑපවාහිනී නාළිකාවක ශබ්දයත් සමඟ එය මෙරට සිදුවූ අපචාරයක් බව සහතික ලෙසම කිව හැකිය. මේ වීඩියෝ පටය සංසරණය වුණත් ඊට කිසිවකු මැදිහත්ව ගත් ක්‍රියාමාර්ගයක් නැත. හැමදෙනාම එය දැක අනේ අපෝ යැයි කීවත් කිසිවකු ඒ වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ගයක් නැත. අවසානයේ මෙම වීඩියෝ පටයට එරෙහිව සිට ගත්තේ සමාජ ක්‍රියාකරැවකු වන අසේල සම්පත්ය. ඔහු එම පැමිණිල්ල රැගෙන රහස් පොලීසියට බාර දුන්නේ අදාළ වීඩියෝ පටය ද සමඟය. පළමු පැමිණිල්ල එය විය. ඒ ජනවාරි 23 වැනිදාය.

ඉන් අනතුරැව මේ ගැන කතාබහ සමාජය පුරා පැතිරී ගියේය. බොහෝ දෙනකුගේ ඇස් ඇරුණේ ඉන් පසුවය. එහෙත් පුදුමය නම් එම පුවත ඇතැම් මාධ්‍යවලට පුවතක් නොවීමය. විද්‍යුත් මාධ්‍ය හිතාමතාම එය මග හරින බවක් පෙනිණි. එහෙත් සමාජ ක්‍රියාකාරීන් එකා දෙන්නා මේ අපරාධයට එරෙහිව එක්රුස් වෙන්නට පටන් ගත්තේය.

නැවත මේ සිද්ධිය අසේල සහ තවත් සමාජ ක්‍රියාකාරිනියක් වන ශමිලා ලියනාරච්චි යන අය විසින් ළමා ආරක්ෂක අධිකාරිය වෙත රුගෙන යනු ලැබීය. ඒ ජනවාරි 30 වැනිදාය. ඒ වනවිටත් අධිකාරිය ඒ පිළිබඳව කිසිවක් දැන සිටියේ නැත. අවසානයේ එම වීඩියෝ පටය එම නිලධාරීන්ට පෙන්වීමට සිදු වී තිබිණ. ඔවුන්ද එම වීඩියෝව පරීක්ෂණ සඳහා ලබාගෙන තිබිණි.

මේ සියල්ල සිදුවෙමින් පවතින අතරතුර මේ සිද්ධියට මැණික් ව්‍යාපාරිකයකු වන ප්‍රියාන් මැණික් නම් පුද්ගලයා සම්බන්ධ බවට සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන්නට විය. ඇතැම් වෙබ් අඩවි ඒ පිළිබඳව කුමක් හෝ පදනමක් මත ප්‍රචාරයක් ලබා දුන් බවද පෙනී ගියේය. එය ඇත්තද නැත්තද යන්න පිළිබඳව සොයාබැලීමකින් තොරව සිදුකළ ප්‍රචාර බව බැලූ බැල්මට දැකගත හැකිවිය. එහෙත් ඒ සියලු පුවත් එක්තරා සිද්ධියක් කේන්ද්‍ර කරගනිමින් ප්‍රචාරය කර තිබිණි.

එනම් මීට මාස දෙකකට පෙර සමාජයේ කතාබහට ලක්වූ හඬ පට සිද්ධියේ එක්තරා දෙබසක් මේ මැණික් ව්‍යාපාරිකයා කේන්ද්‍ර කරගනිමින් එල්ල වන චෝදනාවලට පදනම වී තිබීමයි. එනම් රන්ජන් රාමනායක මහතාත් පියුමි හංසමාලි නැමැති කාන්තාවත් එම දෙබසේදී ප්‍රියාන් මැණික් නම් පුද්ගලයා විසින් සිදුකළ සිදුවීමක් ගැන කර තිබූ සඳහනයි. බාලවස්කාර දැරියකට සිදුකරනු ලැබූ ලිංගික අඩන්තේට්ටමක් ගැන පවසමින් එම ව්‍යාපාරිකයා බිය වැද්දීමත් පියුමි ලබාගත් ලක්ෂ හයක ණයක් ෂේප් කර ගැනීමට එය යොදා ගැනීමත් මෙම කතාවේ සඳහන් විය. ඒ සම්බන්ධයෙන් ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දිය හැකි බවත් රන්ජන් රාමනායක ද සඳහන් කරයි. මෙකී මේ හඬපටය කේන්ද්‍ර කරගනිමින් මේ ප්‍රහාරය දියත් වෙමින් තිබිණි.

එහෙත් මේ කියන සිද්ධිය ඒ කතාවෙන සිද්ධියම ද යන්න කිසිවකුටත් පැවසිය නොහැකිය. එහෙත් එක දෙයක් දැනගත හැක. එනම් රන්ජන්, පියුමි සහ ප්‍රියාන් මැණික් ව්‍යාපාරිකයත් දන්නා කතාවක් මෙහි ඇති බවය. එහෙත් ඒ සිද්ධියත් මේ සිද්ධියත් එකමද යන්න කිව නොහැක. එසේම රන්ජන් සහ පියුමි සඳහන් කරන සිද්ධිය අසත්‍යක් ද විය හැක.

කෙසේ වෙතත් මේ සියල්ල සිදුවනවිට අසේල සම්පත් විසින් පැවැත්වීමට සූදානම් වූ මාධ්‍ය සාකච්ඡාවකට ප්‍රියාන් මැණික් පැමිණ වාඩි වන්නේ මේ අපචාරය තමන් විසින් නොකළ බව දැන්වීමටය. ඒ සඳහා ඔහු තමන්ගේ රහස් ප්‍රදේශ පවා පෙන්වීමට එකඟ වන්නේය. ඒ සමඟ ඔහු ඔහුගේ තත්ත්වය පෙන්වීම සඳහා මුග්ධ ප්‍රකාශයක් කරනු ලබයි. එනම් තමන්ට ඇති මුදල් ප්‍රමාණය අනුව ගැහැනු ඇඳ වටේම තබා ගැනීමට හැකියාවක් තමන්ට ඇති බව පැවසීමෙනි. ඔහු එවැනි ප්‍රකාශයක් සිදුකරනු ලබන්නේ කුමක් අරමුණින්ද යන්න සිතාගත නොහැක. තමන්ගේ ධනය මිලදී ගත හැකි කාන්තාවන් ප්‍රමාණයෙන් මැන බලන්නේ ධනවතුන් නොව මානසික ලෙඩුන් බව සමහරැන්ගේ අදහස වී තිබේ.

කෙසේ වෙතත් ප්‍රියාන් දිවුර දිවුරා ඒ සිද්ධියට තමන් සම්බන්ධ නොවන බව කීවේය. ඇතැම් විට ප්‍රියාන් මෙයට සම්බන්ධ නොවිය හැක. මෙය හුදෙක් ඔහුට එරෙහි මඩ ප්‍රචාරයක් පමණක්ම විය හැක. ඒ නිසා ප්‍රියාන්ගේ මානසිකත්වය සම්බන්ධයෙන් අමුතුවෙන් කිව යුතු නැත. ඒ මේ සිද්ධිය ඔහුට අදාළ නොමැති නම් පමණි. එහෙත් ඇත්තටම ප්‍රියාන් පිළිතුරු ලබාදිය යුත්තේ මේ සිද්ධියටත් වඩා රන්ජන් සහ පියුමි අතර සිදුවන හඬ හුවමාරුවේ කතාව ගැනය. පිළිතුරකටත් වඩා නඩු හෝ පැමිණිල්ලකට වුවද ඔහුට යා හැක. එහෙත් ප්‍රියාන් පොලීසි ගියේ මේ ලිපිය ලියන මොහොත වනවිටත් පියුමි ලබාගත් බව කියන ලක්ෂ 6යේ ණය ගැන පමණි. ඒ නිසා රන්ජන්, පියුමි, ප්‍රියාන් දන්නා වෙනත් කතාවක් ඇත්නම් පොලීසිය කළ යුත්තේ හඬ පටවලට වඩා ඊට මූලිකත්වය දී ඒ සිදුවීම කුමක්ද යන්න සෙවීමය. එසේ නැතිනම් මේ එකම සිද්ධියක්ද යන්න සෙවීමය. එහෙත් ඒ දේවල් තවම සිදු වන බවක් පෙනෙන්නට නැත.

තවම පොලීසියත්, ළමා ආරක්ෂක අධිකාරියත් මේ දැරිය සම්බන්ධයෙන් තොරතුරු සොයමින් සිටී. එහි නිලධාරීන් සඳහන් කළේ එම දැරිය කවුද යන්න තවම නිශ්චිත ලෙස අනාවරණය වී නොමැති බවය. මේ මන්දගාමී ස්වභාවය හේතුවෙන් පසුගියදා අලුත් පරපුරේ නළු නිළියන් සහ සමජා ක්‍රියාකාරීන් රැසක් ළමා ආරක්ෂක අධිකාරිය ඉදිරිපිට උද්ගෝෂණයක පවා නිරත වූහ. එහෙත් ඔවුන් පවසන්නේ ඒ සම්බන්ධයෙන් තවම තොරතුරු සොයන බවය. රහස් පොලීසිය මේ වනවිට බොහෝ දෙනකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇත. ඒ රන්ජන් සහ පියුමිගේ හඬ පටවලටද අදාළවය.

කෙසේ වෙතත් පුදුමය නම් මේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කතා කරන්නන් පවා බ්ලොක් කිරීමය. එම දරැවා කවුරැන්ද යන්න සොයා ගැනීමට සමාජ මාධ්‍ය හරහා සිදුකරණ ක්‍රියාකාරකම් ඇතැම් කණ්ඩායම් විසින් අවහිර කරමින් සිටින බව ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ක්‍රියාකාරීහු සඳහන් කරති.

මේ දැරිය තවමත් කොහේ හෝ සිටින බව අවිශ්වාස කිරීමට හේතුවක් නැත. එසේම එය වීඩියෝ කරමින් අපචාරය සිදු කළ පාපතරයා ද කොතැනක හෝ සිටිය යුතුය. එහෙත් ඒ කවුරුන්ද යන්න තවම හෙළිවීමක් නැත. කිසිවකු ඒ ගැන හෙළිකරන්නේ ද නැත. පුදුමය නම් රන්ජන්ලා සහ පියුමිලා දැන සිටි බවට හඬපටවලින් හැඟවෙන සිදුවීම් පවා තවම හෙළි නොවීමය. එසේ නම් අනෙක් මිනිසුන් ගැන කවර කතාද?

 ගයාන් ගාල්ලගේ