2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

අච්චාරුවක් වෙච්ච ලූනු මිල

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 183

මේ වනවිට දිවයිනේ විශාල ලෙස ලොකු ලූනු හිඟයක් නිර්මාණය වී ඇති අතර එනිසාම මිලද අසාධාරණ ලෙස ඉහළ නැග තිබීමෙන් පාරිභෝගිකයෝ හිරිහැරයට පත්ව සිටිති. ලූනු ආනයනය කරන සමහර තොග වෙළෙඳුන් ලූනු මිල අත්තතෝනෝමතික ලෙස වැඩි කර තිබීම නිසා රටේ සැම තැනම පාහේ එකම වැඩි මිලක් ක්‍රියාත්මක වන බවක් දක්නට ඇත. එයට හේතුව “තොග වෙළෙඳුන්ගේ ආණ්ඩුව” තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල නියම කිරීමේ බලය ඔවුන්ට ලැබී ඇති බැවිනි. මෙම තත්ත්වය වෙනත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට ද අදාළ වේ.

මෙලෙස මිල ඉහළයාම පාලනය කිරීම සඳහා රජය මේ වනවිට ලොකු ලූනු මිල පාලනය කර තිබේ. පසුගිය 23 දා ලොකු ලූනු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 190ක් ලෙස නියම කර ඒ පිළිබඳ වූ ගැසට් නිවේදනය ද නිකුත් කර ඇත. කෙසේ වුවද රජය මෙම තීරණයට එළඹෙන්නට ප්‍රමාද වීම හේතුවෙන් දුප්පත් පාරිභෝගිකයන් කබලෙන් ලිපට වැටී තිබුණේ මේ දිනවල එළවළු මිලද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පරිසරයකය. වෙළෙඳ පොළේ ලොකු ලූනු මිල විශාල ලෙස ඉහළයාම පාලනය කිරීමට වෙළෙඳ පොළ මිල ගණන් පිළිබඳ විමර්ශනයක් සිදු කර ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම උපරිම මිල නියම කළ බව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක කියයි. මේ දිනවල වැඩි මිලට විකිණීම පිළිබඳ දිවයින පුරා වැටලීම් ක්‍රියාත්මක වන බවද පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා පවසයි.

කෙසේ වුවද ජනාධිපතිවරයා පෙන්වා දීමට පෙර ඉහළගොස් ඇති ලූනු මිල පාලනය කිරීම අදාළ ඇමැතිවරැන්ගේ සහ නිලධාරින්ගේ වගකීම වුවද මෙම තත්ත්වය ඇති වූයේ එලෙස කටයුතු නොකළ නිසා බව පෙන්වා දිය යුතුය.

ඉන්දියාව සමඟ සාකච්ඡා කර ඉක්මනින් එරටින් බී ලූනු ගෙන්වීමට කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ පසුගියදා පැවසීය. ඇතැම් කූට වෙළෙඳුන් ලූනු සඟවා තබාගෙන වැඩි මිලට විකුණන අතර ඒ අයට එරෙහිව නීති මගින් ක්‍රියාකරන බවද අගමැතිවරයා අවධාරණය කළේය. අවුරුදු උත්සව සමයේ බී ලූනු මිල පහළ දැමීමට ඉන්දියාව සමඟ සාකච්ඡා කරන බවද අගමැති කියා සිටී.

වැඩිවන ලූනු මිල පාලනය කිරීම සඳහා ස.තො.ස වෙළෙඳසල් මගින් ලොකු ලූනු කිලෝව රුපියල් 175/- බැගින් අලෙවි කිරීම අරඹා ඇති බව ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරි දුෂ්මන්ත් කොටවත්ත කියයි. දිවයින පුරා සතොස වෙළෙඳ සල් 423ක් ඇති අතර ඒවායින් කිලෝ දෙකක උපරිමයට යටත්ව ලූනු අලෙවි කෙරේ. එසේ වුවද එම බී ලූනු වැඩි කොටස අංකුර ඇද පැළවූ ඒවා බවද එම පැළවීම් කපා ඉවත් කර ඇති වුවද ලියුම්කරු අත්දැකීමෙන් සඳහන් කරයි. සතොස මගින් අලෙවි කරනුයේ පකිස්ථානයෙන් ගෙන්වූ ලූනු වන අතර ඒවා ඉන්දියානු ලූනුවලට වඩා ප්‍රමිතියෙන් පහළය. කෙසේ වුවද සතොස ලූනු පිලිබඳ විශාල දැන්වීම් පුවත්පත් වල පළකිරීමට පටන් ගෙන ඇත.
ලොකු ලූනු හිඟවීම නිසා රතු ලූනු මිලද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර රතු ලූනු කිලෝව රුපියල් 600 දක්වා වැඩිවී ඇති අතර ඒ හේතුවෙන් ඉල්ලුවද පහළ වැටී තිබේ. 

දඹුල්ලේ ලොකු ලූනු ව්‍යාපාරිකයන් පවසන්නේ ලොකු ලූනු මිල අසාධාරණ ලෙස ඉහළ නැංවූයේ කොළඹ සිටින පකිස්තානු ව්‍යාපාරිකයන් කිහිප දෙනකු විසින් බවය. ඔවුන් පවසන්නේ ලූනු මිල පාලනය කිරීම තමන් අගය කරන බවය. රජය මිල පාලනය කර පැය කිහිපයක් ඇතුළත දඹුල්ල තොග වෙළෙඳ මධ්‍යස්ථානය ආශ්‍රිතව ලූනු මිල සීඝ්‍රයෙන් පහළ වැටී ඇත. එයට පෙර ලොකු ලූනු කිලෝව වික්කේ රුපියල් 290-350 අතර මිලකටයි. මේ වනවිට සිල්ලර මිල කිලෝව රුපියල් 150-160 පමණ වී තිබේ. තොග මිල ද රුපියල් 130-140ට පහළ ගොස් තිබෙන අතර මුලදී වසා තිබූ තොග ගබඩා මේ වනවිට විවෘත කර තිබේ. ලූනු කිලෝව රුපියල් 150ට අලෙවි කළත් විශාල ලාභයක් ඇති බවත් දැන් සීමාවකින් තොරව බී ලූනු වෙළෙඳ පොළට පැමිණෙන අතර මේ සියල්ල වැඩි මිලට විකිණීමට සඟවා තිබූ තොග බවත් කියති.

“මෙරටට ලූනු ගෙන්වන්නේ පාකිස්තානයෙන් සිංහල ආනයනකරුවන් කියන්නේ මෙම පකිස්තාන් ව්‍යාපාරිකයන් මිල නියම කිරීමට මැදිහත් වන බවයි. මෙම තත්ත්වය නැති නොකළහොත් මතුවට යළිත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන් හත් දෙනෙක් ඍජුවම ලොකු ලූනු ආනයනය කරන අතර කොමිස් පිට ලූනු අලෙවි කරන වෙළෙඳුන් සංඛ්‍යාව 6 දෙනෙක්. ව්‍යාජ හිඟයක් ඇති කිරීමට මේ අය බොහෝදුරට සම්බන්ධයි. උත්සව කාලයට තවදුරටත් මිල වැඩි කිරීමටයි ඔවුන් බලාපොරොත්තු වුණේ. මිල පාලනය කිරීම නිසා එම උත්සහය ව්‍යාර්ථ වුණා. මෙය මෙයට පෙර කරන්න තිබුණු දෙයක්. එහෙම කල් ඇතුව පාලන මිලක් දැම්මානම් මේ අවුල නැහැ.” ව්‍යාපාරිකයෝ පැවසූහ.

මිල නග්ගන්නේ පිටකොටුවෙන්
සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ලර ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති බන්දුල ජයමාන්න

“බී ලූනු අසාධාරණ ලෙස මිල නංවලා තියෙනවා. බී ලූනු ලංකාවට එනවිට කිලෝවක උපරිම මිල වන්නේ රුපියල් 105-110 පමණයි. එහෙම ගෙනෙන ලූනු විශාල ලාභයක් තබාගෙන කිලෝව රුපියල් 300ක් දක්වා වැඩි කිරීම වැරදියි. මේ මිල නැංවීම කරන්නේ පිටකොටුවේ තොග වෙළෙඳුන් තමා. අපි මෙයට සම්බන්ධයක් නැහැ. ඉන්දියාව ලූනු ආනයනය තහනම් කරලා තිබුණට එය තාවකාලිකයි. තව සති 1 ½ - 2 යනවිට මේ තහනම් ඉවත්වෙලා ලූනු ලංකාවට එයි. එවිට මිල සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා.

තව මාසයකින් අපේ රටේ ලූනු ගැලවෙනවා. අපේ ලූනු වෙළෙඳ පොළට එනවිට ආනයනික ඒවාට බදු වැඩි කළ යුතුයි. එහෙම නොකළොත් ඉන්දියානු ලූනු කිලෝව රුපියල් 50-60 වෙලා දේශීය ගොවියා අමාරුවේ වැටේවී. තව සති තුනක් ඇතුළත ආනයන බදු රුපියල් 50ක් කළොත් ආනයන ලූනු රුපියල් 100 පනිවී. එවිට ලංකාවේ ලූනු රුපියල් 80-90 වෙයි. ආණ්ඩුව වෙළෙඳ පොළ පිළිබඳ ප්‍රායෝගික දැනුමක් නැතිව තීරණ ගැනීම නිසයි මෙහෙම මිල වැඩි වුණේ.

ලොකු ලූනු අානයනය ඉන්දියාව හා මෙරට අතර විජාතික වෙළෙඳ ජාලයක් බවට පත්වෙලා තියෙනවා. ඉන්දියාවේ ඉන්න තොග වෙළෙඳුන්ගේ ඥාතීන් තමා ඒ අයට ලූනු එවන්නේ. එය අපේ සිංහල ව්‍යාපාරිකයන්ට කරන්න පුළුවන් දෙයක් නම් නොවෙයි. වෙළෙඳ පොළ පාලනය කරන්නේ ඒ විජාතික වෙළෙඳුන්. ඉන්දියාවෙන් ආනයන කිරීම නතර කළා නම් මෙහෙ ලූනු මිල වැඩිවෙනවා. එහෙත් එය කළ යුත්තේ. පාරිභෝගිකයාට අසාධාරණයක් නොවන පරිදියි.

ඉන්දියාවෙන් ලූනු ආවාම මිල බහිනවා
ඩබ්ලිව්.ඒ. දුමින්ද ප්‍රියදර්ශන - ජ්‍යෙෂ්ඨ පර් ‍යේෂණ නිලධාරි සහ ප්‍රවීණ කෘෂි ආර්ථික විශ්ලේෂක, හෙක්ටර් කොබ්බැකඩුව කෘෂි පර්යේෂණ ආයතනය

අද ඇතිව ඇති තත්ත්වය අසාමාන්‍ය සිදුවීමක්. ඉන්දියාව බී ලූනු අපනයනය මේ විදිහට තහනම් කළේ අවුරුදු දහයකට විතර පස්සෙයි. ඉන්දියාව විතරක් නොවෙයි පසුගිය 21දා පකිස්තානයත් ලොකු ලූනු අපනයනය තහනම් කළා. මේ නිසා අර්බුදය උග්‍ර වුණා. ඉන්දියාව ලූනු නිෂ්පාදන රටවල් අතර අංක 2ට වගේ තමා ඉන්නේ. බී ලූනු ඒකපුද්ගල පාරිභෝජනය වසරකට කිලෝ 10 පමණයි. වසරකට රටේ පාරිභෝජනය කරන ප්‍රමාණය කිලෝ දෙලක්ෂ අසූ දහසක්.

ආනයනික ලූනුවලට අතිරේකව මාස 2-3 පමණ දේශීය ලූනු පාරිභෝජනය කරනවා. අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවල තමා වගා කරන්නේ. වර්ෂාවෙන් සෑම වසරකම පාහේ පැළ සිටුවන කාලේ හානි ඇතිවෙනවා. ගිය වසරේ පැළ සිටුවන කාලයේ අපේ ලූනු වගාව වර්ෂාව නිසා විනාශ වුණා. එහෙම විනාශ වුණාම යළි සිටුවන්නේ නැහැ. එයට හේතුව ජූලි සිට ඔක්තෝබර් වැනි කාලවල තමා අස්වැන්න ලැබෙන්නේ. ප්‍රමාද වෙලා හිටෙව්වොත් අස්වැන්න ගන්න විට වැස්සට හසුවෙලා විනාශ වෙනවා. මාතලේ සහ අනුරාධපුරයේ කුඹුරුවල තමා වගා කරන්නේ. පසුගිය වසර දෙක තුළ අස්වැන්න විශාල වශයෙන් නාස්ති වුණා. ඒ නිසා ගොවීන් ලූනු අතහැරලා වී සහ බඩඉරිඟු වගාවට යොමුවුණා. ඒ නිසාද අස්වැන්න අඩු වුණා.

ඉන්දියාවෙන් ආනයිනික ලූනු සියලු වියදම් සමඟ මෙහෙට එනවිට කිලෝව රුපියල් 30-35 පමණ මිල වෙනවා. සාමාන්‍යයෙන් වසරේ මාස දහයක් තමා ආනයනය කරන්නේ. ඉතිරි මාසවල දේශීව ඒවා පාරිභෝජනය වෙනවා. ඒ කාලයට දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීමට ලූනු කිලෝවකට රුපියල් 25-30ක බද්දක් පනවනවා. ඊජිප්තුවේ, ඕලන්දයේ ලූනු තත්ත්වයෙන් බාලයි. අපට ඔබින්නේ නැහැ.

ඉන්දියාවේ මේ වනවිට විශාල ලූනු අස්වැන්නක් ඇතිවෙමින් පවතිනවා. තොග මිල රුපියල් 5-10 බහිනවා. ඉතින් අපට තව කෙටි කාලයක් තුළ ඉන්දියාවෙන් ලූනු ගෙන්වන්න පුළුවන් නිසා මේ හිඟය මඟඇරෙනවා. මිල අඩුවෙනවා. දැන් අයකරන්නේ කිලෝවට රුපියලක තීරු බද්දක්. ඒ නිසා ලාභයකුත් තබාගෙන කිලෝව රුපියල් 50ට අඩුවෙන් මිල වේවි. තව සති දෙක තුනකින් ලූනු හිඟය නැතිවෙලා මිල පහළ යන බව කිව හැකියි. අද ඇතිව තිබෙන තත්ත්වය තාවකාලිකයි. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ආණ්ඩුන මැදිහත්වෙලා ඉන්දියාවෙන් අඩු මිලට ලූනු ගෙන්වීමට කටයුතු කරමින් පවතිනවා.

මෙවැනි තත්ත්වයක් ඇති නොවීම සඳහා දේශීය නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කළ යුතු වෙනවා. අඩු වශයෙන් හෙක්ටයාර 5000ක වත් වගාකිරීම අවශ්‍ය වෙනවා. ගොවියාට පහසුකම් සැලසිය යුතුවන අතර බීජ ලූනු ආනයනය කර පහසු මිලට ලබාදිය යුතු වෙනවා. එසේම ගොවියාට අඩු මිලට ණය දිය යුතුයි. කිලෝවකට රැපියල් 80කවත් සහතික මිලක් ලබාදිය යුතුයි. මෙම සහන ලබාදීමේ වැඩ පිළිවෙළක් හෙක්ටයාර් කොප්බෑකඩුව එවිට අනාගතයේ මෙවැනි හිඟයක් ඇති නොවේවී.

පාලන මිලක් දැමීම විසඳුමක් නොවේ
රංජිත් විතානගේ පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති

මිල පාලනය සාර්ථක ප්‍රතිපත්තියක් නොවෙයි. අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල පාලනය හැමදාමත් කරන්න බැහැ. ආණ්ඩුව යම් දෙයක මිල ඉහළ නැංගාම පහළ යයි කියලා බලාගෙන ඉඳලා එසේ නොවුණු විට මිල පාලනයක් දමනවා. එසේ නොවෙයි කළ යුත්තේ. භාණ්ඩ හිඟයක් ඇති නොවීමට කල් ඇතුව කටයුතු කිරීමයි. එක එක කාලවල ආහාර ද්‍රව්‍යවල පාරිභෝජනය පිළිබඳ සමීක්ෂණය කරලා ඉල්ලුම වැඩිවේ නම් විකල්ප ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ සඳහා රටේ ආයතන තියෙනවා.

දැන් ලූනුවලට මිල පාලනයක් දමලා ප්‍රශ්නය විසඳුණා යැයි ඇඟගලවා ගන්න බැහැ. මේ පාලනය දිගටම තියාගෙන ඉන්න බැහැ. උත්සව කාලවල ලූනු ඉල්ලුම වැඩිවී මිල ඉහළ යන්න පුළුවන්. කූඨ වෙළෙඳුන් භාණ්ඩ සඟවා තබාගෙන මිල ඉහළ නංවනවා. එය කවදත් සිදුවෙන දෙයක්.

මිල වැඩිවුණාම තමා වෙළෙඳ පොළට ප්‍රමිතියෙන් අඩු දේවල් එන්නේ. දැන් ලංකාවේ තියෙන්නේ පකිස්තානයෙන්, තුර්කියෙන් ගෙන ලූනු. ඒවා බාලයි. ප්‍රමිතියක් නැහැ. රසයේ වෙනසක් තිබෙනවා. ව්‍යාංජනවලට දැමීමෙන් බලාපොරොත්තු ඉටුවෙන්නේ නැහැ. කොහොම වුණත් භාණ්ඩ මිල වැඩි කර උපරිමයෙන් හම්බකරන්න ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලැබිලා තියෙනවා.
► යසවර්ධන රුද්රිගු    

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04