ලංකාවේ නිතර නිතර ලයිට් කපන්නේ හෙවත් විදුලිය විසන්ධි වීම් සිදුවන්නේ මන්ද? යාන්තම් අව්රැල්ලක් වැටුණු හැටියේම විදුලිය කප්පාදුවද අරඹන බවට ජනතාව දැන් විදුලිය පිළිබඳ වගකිවයුත්තන්ට දොස්නගති. සමහරු කියන්නේ ජලාශ හොඳට පිරී ගොස් තිබුණත් ඒවා ආශ්‍රිත බලාගාර මගින් උපරිම ලෙස විදුලිය නොනිපදවන බවයි. ඒ වෙනුවට තමන්ගේ සාක්කුවට ගාණක් එන ගල්අඟුරු වැනි වියදම් වැඩි මාර්ග නිර්දේශ කරමින් ඒවා වැඩියෙන් විදුලි නිෂ්පාදනයට උපයෝගී කරගන්නා බවයි. ලංකාවේ ජලාශ පද්ධතිය හා ජලවිදුලි නිෂ්පාදනයේ මේ වනවිට ඇති ඇත්ත තත්ත්වය කුමක්ද? ඇත්තටම ජලය තිබියදී විදුලිය නිපදවීමක් සිදුවන්නේ නැතිද? මේ ගැන තතු දත් විද්වතුන් දක්වන මතය එක අතකින් ඉතා සරලය. එසේම එය තාර්කිකය.
ලංකාවේ විදුලි නිෂ්පාදනය සහ පරිභෝජනය ඇරැඹුණු 1969 වැනි කාලයේ මෙරට විදුලි ඉල්ලුම තිබුණේ පහත් අඩියකය. ඒ සමගම නව විදුලි බලාගාර ගැන අදහස් එළියට එන්නේ අනාගත විදුලි ඉල්ලුම පිළිබඳ සලකා බලමිනි. සාමාන්‍යයෙන් විදුලි මණ්ඩලයේ විශේෂඥයන් එකතුව දැනට ඇති දත්ත උපයෝගී කරගනිමින් ඉදිරි වර්ෂ 10-15ක කාලයට ඇතිවිය හැකි විදුලි අවශ්‍යතා සහ ඒවා පිරිමැස්මට අවශ්‍ය විකල්ප පිළිබඳ පෙරැයීම් හෙවත් කලින් ගණනය කිරීම් සිදුකරයි. අලුත් ජලවිදුලි බලාගාර නිපදවීම, ජලාශ තැනීම හෝ වෙනත් විකල්ප බලශක්ති ප්‍රභව කරා යොමුවීම සිදුවන්නේ මේ අනුවය. දිනෙන් දින විදුලි ඉල්ලුම වැඩිවේ. නමුත් එය සැපයිය යුතුව ඇත්තේ සීමිත බලශක්තිජනක ප්‍රමාණයකිනි.
1969 වර්ෂය ගතහොත් ඒකපුද්ගල විදුලි පරිභෝජනය ඒකක 48ක් පමණය. නමුත් 2015 පමණ වනවිට එය 562ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වනවිට ලංකාවේ කර්මාන්ත නිෂ්පාදන ආදියට ඇති විදුලිය ඉල්ලුම ඉහළ ගොසිනි. අලුතෙන් තැනෙන සෑම ගොඩනැගිල්ලක්මත්, මහල් නිවාස, විශාල වෙළඳ සංකීර්ණ සහ නව මුහුණුවරකට ලක්වන නගර, ගම් ආදිය සඳහා විදුලිය සැපැයිය යුතුව ඇත්තේද මෙම ජාතික ජලවිදුලි පද්ධතියෙනි. මේ වනවිට ජලාශ සහ ඒ ආශ්‍රිත විදුලිය නිෂ්පාදනය දැන් උපරිම මට්ටමට ළඟා වී ඇති බව මේ පිළිබඳ පරිනත දැනුමක් ඇති අය පෙන්වා දෙති. ජලාශද හැමතැනම සෑදිය නොහැකි අතර එසේ හැදිය හැකි සෑමතැනකම පාහේ මේ වනවිට ජලාශ තනා අහවරය. එයින් උපරිම ධාරිතාවයෙන් දැන් විදුලිය ලබාදීම සිදුවේ. සරල සත්‍යය නම් ජල බලාගාර විදුලිය දැන් තවදුරටත් අපේ සමස්ත ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් නැති බවය. ඒ සඳහා අතිරේක විදුලි ජනන ක්‍රම යොදාගත යුතුවම ඇත. ගල්අඟුරු ඩීසල් වැනි අමතර නිපැයුම් මාර්ග උපයෝගී කරගත යුතුවම ඇත.
මේ වනවිට අපට ඇති ජලාශ සියල්ල හොඳින් පිරීගොස් ඒ සියලුම ජලාශ ආශ්‍රිතව උපරිම ලෙස විදුලිය නිපදවූවත්, එයින් නිෂ්පාදනය කළ හැකි ප්‍රමාණය විදුලි ඒකක මිලියන 1200කි. නමුත් අපට ඇති විදුලි අවශ්‍යතාව වසරකට ඒකක 16000ක් පමණ විශාල අගයකි. ඒ අනුව උපරිම ජල විදුලිය ලබාගත්ත ද අපට ඇති විදුලි අවශ්‍යතාව සපුරාලිය නොහැකි ඉහළ මට්ටමේ ඉල්ලුමක් බවට මේ වනවිට පත්ව තිබේ. එසේම විදුලි බලාගාර ආශ්‍රිත ජලය මුළුමනින්ම විදුලිය නිපදවීම සඳහාම පමණක් භාවිතා වන්නේ නැත. බොහෝදෙනා සිතා සිටින ආකාරයට මේ සමස්ත ජල පරිමාව රැස්කර ගෙන ඇත්තේ විදුලිය නිපදවීමට පමණක් නොවේ. ජලය තිබුණත් විදුලිය නැතැයි කියන තර්කයේදී පෙන්වා දිය යුතුව ඇති තිත්ත ඇත්ත වන්නේ මේ රැස්කර ඇති ජලය මිනිස් පරිභෝජනය සඳහා යොදාගැනීමට ප්‍රමුඛතාව දිය යුතු බවය. එදිනෙදා කෘෂිකාර්මික වැඩකටයුතු, මානව පරිභෝජනය සහ ඉදිරියේ ඇතිවිය හැකි ජල අවශ්‍යතා සඳහා අවශ්‍ය තරම් ජල ධාරිතාවක් රඳවා ගත් පසු ඉතිරිවන ජලයෙන් සීමිත ප්‍රමාණයක් පමණක් විදුලිය නිපදවීමට භාවිතා කරයි.
සාමාන්‍යයෙන් මේ දිනවල දෛනික විදුලිය ඉල්ලුම මෙගාවොට් 4200ට ආසන්නය. දහවල් වරුවේ උපරිම විදුලි භාවිතය ඇති කාලසීමාවේ මෙගාවොට් 2500ක පමණ ප්‍රමාණයක් අවශ්‍යය. රාත්‍රියේදී මෙය ඉහළ යයි. එය පසුගිය බදාදා රාත්‍රියේ මෙගාවොට් 2650ක් පමණ විය. මෙගාවොට් පැය ඒකක 47ක් පමණ ඒ අනුව දිනකට අවශ්‍යය. එය ඉහළම ඉල්ලුමකි. ගිය වසරේ එය 49ක් පමණ ඉහළ අගයක් ගත්තේය. සාමාන්‍ය දෛනික ඉල්ලුම මෙගාවොට් 4200 ලෙස ගත්තද ප්‍රධාන ජල බලාගාරවලින් ලැබෙන්නේ මෙගාවොට් 1400ක් පමණ ප්‍රමාණයකි. කුඩා බලාගාර තවත් මෙගාවොට් 400ක් පමණ ලබාදෙයි. ඒ අනුව අවශ්‍ය වන ඉතිරි විශාල ඉල්ලුම සපුරා ගන්නට වෙනත් විකල්ප බලාගාර යොදා ගත යුතුය.
මේ දිනවල අපේ ජලාශවල මට්ටම උපරිමයට නැත. එයද සීමා වී තිබේ. වියළි කාලගුණය නිසාය. කාසල්රීවල මේ වනවිට ඇත්තේ 47.6%කි. මාඋස්සාකැලේ 55.4%කි. මේ ජලාශ දෙකේම ජලය කැලණි ගඟේ අඹතලේ ජලාශයට දිය සැපයීමටද යොදාගත යුතුය. කොත්මලේ මේ දිනවල ජල පරිමාව 46.2%කි. වික්ටෝරියා 76.7%කි. රන්දෙණිගල 80.4%කි. නමුත් මේ ජලාශ මහවැලි කලාපවල කෘෂිකාර්මික කටයුතු සඳහා ඉදිරියේදී අවශ්‍ය ජලය රඳවා තබාගත යුතුය. සමනලවැව මේ දිනවල සියයට 55ක් පිරී තිබේ. එහි ජලයද වලවේ ගංදෑලේ ඉදිරි කන්නයේ කෘෂි වගා කටයුතු සඳහා රැකගත යුතුය.
ඒ අනුව මේ සමස්ත ජලාශ තුළ ඇති ජලය සියයට 64.3ක් පමණි. එම සමස්තයම විදුලිය නිපදවීමට යෙදිය නොහැකිව තිබේ. නිදසුනක් ලෙස මේ පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් මිනිස් පරිභෝජනයට ජලය සපයන කැලණිය වැනි ප්‍රධාන ජලාධාරයක් සිඳී ගියහොත් අඹතලේ වෙත ජලය නිකුත් කළ යුතුව ඇත්තේ කැලණි ගඟ ආශ්‍රිතව තනා ඇති ඉහත කී ජලාශවල රඳවා ඇති ජලයෙනි. ඒ අවදානම සඳහා සූදානම් ශරීරයෙන් සිටින අතරම ඉදිරියේ අප්‍රේල් මාසයෙන් පසු එන නව කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය ප්‍රමාණයක්ද රඳවාගත යුතුව ඇත.
මෙසේ අරපරෙස්සම් කරගත් පසු ඉතිරිය මගින් යොදාගන්නා කිසියම් සීමිත ජල ප්‍රතිශතයක් මගින් පමණක් ජලවිදුලිය නිපදවීම සිදුවේ. මේ නිසා ජලාශ කට ළඟට පිරී තිබුණත් එයින් උපරිම ලෙස විදුලිය පමණක් නිෂ්පාදනය සිදුකළ නොහැකි අතර එසේ කළත් සැපිරිය නොහැකි ඉහළ මට්ටමකට දැන් අපේ විදුලි ඉල්ලුම පත්ව තිබේ. 2018 වනවිට සමස්ත විදුලිබල අවශ්‍යතාවයෙන් ජලවිදුලිය මගින් සපුරා දිය හැකිව ඇත්තේ සියයට 41ක පමණ ප්‍රමාණයකි. ඉතිරි විදුලි අවශ්‍යතා සපුරාලීමට විකල්පයන් වන තෙල් බලාගාර ගල්අඟුරු බලාගාර ආදිය භාවිත කිරීමට සිදුව තිබේ.
2018 වනවිට රටේ විදුලිය අවශ්‍යතාවයන් සියයට 41ක්ම සපුරා ඇත්තේ ජල විදුලිය මගිනි. ඒ කියන්නේ ඉහත කී කෘෂිකාර්මික සහ වෙනත් ජල පරිභෝජන අවශ්‍යතාවලට ජලය වෙන්කළ පසු ලැබෙන ජලයෙන් නිපදවූ විදුලිය ප්‍රමාණයයි. මේ විදුලිය ප්‍රමාණයෙන් කොටසක් බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහාද යොදා ගනියි. මේ නිසා ජල බලාගාරයකින් නිපදවෙන විදුලියද සියයට සියයක්ම මහජන පරිභෝජනයට ලැබෙන්නේ නැත. සාමාන්‍යයෙන් දිනක දහවල් කාලයේදී විදුලි පරිභෝජනය මෙගාවොට් 2200ක්, රාත්‍රියේ උපරිම කාලයේ පරිභෝජනය 2300ක් අතර අගයක් ගනියි. වියලි කාලගුණය නිසා විදුලි පංකාවන්, වායුසමීකරණය භාවිතය ඉහළ යාමත් සමග මේ දිනවල පරිභෝජනය තවත් ඉහළ යාම සිදුව තිබේ.
එසේ වුවද ඉහත කී සීමාවන්ට යටත්ව නිපදවෙන විදුලිය එකී කාලීන විදුලි උච්ඡාවචනයන්ට අනුකූලව ඉහළ යාමක් වන්නේ නැත. ඒ සඳහා අලුතෙන් විදුලි උත්පාදන මාර්ග තැනිය යුතුය. නව විකල්ප සොයාගත යුතුය. නැතිනම් විදුලි කප්පාදුව මගින් විදුලිය අරපරෙස්සමින් භාවිතයට කටයුතු කළ යුතුය. ඉතින්, දැන් සිදුවන්නේ එයයි.
► සුගත් පී. කුලතුංගආරච්චි