2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

සූරියවැව ක්‍රිකට් ගේට්ටුවේ පොලු මුගුරු හටන!

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 56

පසුගිය 26 වැනි දිනය සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රිඩාංගණයට ඉතා සුවිශේෂී දිනයක් විය. ඒ එහි වසර 05කට පමණ පසුව ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වීමයි. සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රිඩාංගණයේ තරග පැවති බොහෝ අවස්ථාවලදී එම තරගවලට පෙර හෝ පසු  මහත් ආන්දෝලනාත්ම පුවත් මැවුණේ ක්‍රිකට් බලධාරීන්ගේ ඇතැම් නොසැලකිලිමත් ක්‍රියා කලාපයන් හේතුවෙන් බවනම් ඉතා පැහැදිලිය. වෙනදා මෙන් පසුගිය 26 දිනද ක්‍රිකට් ඉතිහාසයට තවත් කළු පැල්ලමක් එක්වූයේ බලධාරීන්ගේ තිබු නොසැලකිලිමත් ක්‍රියාකලාපය හේතුවෙනි.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉකුත් 26 දින පැවැත්වුණේ දිවා රාත්‍රි තරගයක් ලෙසිනි. කලකට පසුව මෙම ක්‍රිකට් ක්‍රිඩාංගණයේ මෙලෙස ජාත්‍යන්තර තරගයක් පැවැත්විම හේතුවෙන් 10, 000කට වැඩි ක්‍රිකට් ලෝලීන් පිරිසක් සූරියවැවට ඇදී ආවේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ආදරය නිසාවෙනි. ක්‍රිකට් තරගය නැරඹීම සඳහා ඇතමෙක් කල් වේලා තියාම ප්‍රවේශ පත්‍ර මිලදීගෙන සිටි අතර ඇතැමෙක් එම අවස්ථාවේදීම ප්‍රවේශපත්‍ර ලබාගෙන ක්‍රීඩා තරගය නැරඹීමට එක්ව සිටියහ. කෙසේ නමුත් තරගය නැරඹීමට පැමිණී ක්‍රීඩා ලෝලීන් හා ආරක්ෂක අංශ අතර එහිදී ඇතිවූයේ දැඩි නොසන්සුන් තත්ත්වයකි. ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී ඇතිවූ ප්‍රමාද දෝෂයක් හේතුවෙනි. තරගය නැරඹීමට පැමිණි ක්‍රීඩා ලෝලීන් දහස් ගණනකට ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට ඉතා දිගු පෝලිම්වල විශාල වේලාවක් රැඳී සිටීමට සිදුවිය. ඒ හේතුව නිසා කෝපයට පත් ක්‍රීඩාලෝලීන් ප්‍රවේශපත් කවුලු අසල පිහිටවා තිබූ අට්ටාලයක්ද පෙරළාගෙන ක්‍රීඩාංගණයට ඇතුළු විමට උත්සාහ කළේය. එහිදී ආරක්ෂක අංශ හා ක්‍රීඩා ලෝලීන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති විය. හදිසියේ ඇති වූ එම තත්ත්වය පාලනය කිරීමට පොලීසියට හා හමුදාවට මෙන්ම විශේෂ කාර්ය බළකායටද පොලු මුගුරැ අතට ගන්නටද සිදුව තිබුණි. මෙහිදී ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් ප්‍රවේශ පත්‍රයක් අරගෙන ක්‍රීඩාංගණයට ඇතුළු වූ ක්‍රීඩා ලෝලීන්ට පවා ආරක්ෂ අංශ නිලධාරීන් විසින් පහර පිට පහර දුන්නේ හිත්පිත් නැති පිරිසක් ලෙසය.

ක්‍රීඩාංගණයේ ප්‍රවේශපත් කවුලු 04ක්ම විවෘත කිරීමට හැකියාව තිබියදීත් 26 වැනි දින තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සිදුකෙරැණේ ප්‍රවේශපත්‍ර කවුළු දෙකකින් පමණකි. එයද ඉතා මන්දගාමී අයුරින් සිදුවීම කනගාටුවට කරැණකි. මේ හේතුව නිසා ප්‍රවේශපත්‍ර කවුළුවල ක්‍රීඩාලෝලීන්ට විශාල කාලයක් දැඩි තදබදයක්ද සහිතව පෝලිම්වල රැඳී සිටීමට සිදුවිය. මෙම පෝලිම්වල වේලාසන ටිකට් මිලදීගෙන සිටි පිරිස වගේම ටිකට් මිලදී ගැනීමට පැමිණි පිරිසද වූහ.

ක්‍රිකට් ලෝලීන් විශාල පිරිසක් මේ තරගය නැරඹීමට එක්ව සිටියහ. රටේ නන්දෙසින් ක්‍රීඩා ලෝලීන් සූරියවැවට ඇදී ආවේ තරගය පැවති දිනට පෙරදින සිටමය. මේ හේතුව සූරියවැව අවට තිබූ හෝටල්වලට මෙන්ම අවට නිවෙස්වලටද ආර්ථික වශයෙන් විශාල ලාභයක්ද ලබාදීමටද සමත් විය. කලකට පසු මෙලෙස ජාත්‍යන්තර තරගයක් සූරියවැව පැවැත්වීම හේතුවෙන් සූරියවැවට පැමිණි ක්‍රීඩාලෝලීන්ට පැවතියේ නම් ඉතා අඩුම පහසුකමකි. ක්‍රීඩාලෝලීන්ට යන්න එන්න තරම්වත් ප්‍රමාණවත් බස්රථ ප්‍රමාණයක් නොතිබුණි. තරගය අවසානයේද ක්‍රීඩාලෝලීන්ට ත්‍රීරෝද රථ හෝ කාගේ හරි කෙනෙකුගේ යතුරැපැදියක හෝ වාහනයක එල්ලී නිවෙස්වලට යාමට සිදුවූයේද ප්‍රමාණවත් වාහන පහසුකම් සලසා නොතිබීම හේතුවෙනි. කෙසේ වෙතත් ක්‍රීඩා තරගය නැරඹීමේ ආශාව ඇතිව පැමිණී ක්‍රීඩාලෝලීන්ට ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුවේදී ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් බඩකට පුරා ගුටි බැට සංග්‍රහයක් ලබන්නටද සිදුවිය.

ක්‍රිකට් ලෝලීන් මෙහිදී චෝදනා කළේ තරගයක් සූරියවැවදී පැවැත්වීම ඉතා හොඳ කටයුත්තක් වුවත් ඊට අවශ්‍ය මූලික සංවිධාන කටයුතු සිදුකිරීමට ක්‍රීඩා බලධාරීන් ඉතා අපොහොසත් වී ඇති බවයි. ඒ හේතුව නිසාම සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති 26 වැනි එක්දින තරගයද ක්‍රිකට් ඉතිහාසයට තවත් කළු පැල්ලමක් එක් කිරීමට සමත්වූ බවයි.

මිට පෙර අවස්ථාවකද සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සිම්බාබ්වේ සමඟ පැවති තරගයකදී ක්‍රීඩාංගණයේ සේවයට යොදවා සිටි කම්කරැවන්ගේ ඇඳ සිටි රෙදි ගලවා ගැනීමක් නිසා දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය. එම සිදුවීමෙන් පසුව තරගයක් පැවති පසුගිය 26 දිනද ක්‍රිකට් ඉතිහාසයට තවත් කළු පැල්ලමක් එක් කිරීමට සිදුවූයේ වගකිවයුත්තන්ගේ අදූරදර්ශී ක්‍රියා කලාපයක් හේතුවෙනි. 35,000කට අධික ක්‍රීඩා ලෝලීන් පිරිසකට එකවර තරග නැරඹිය හැකි පරිදි ඉදිකර ඇති මෙම ක්‍රීඩාංගණයේ මෙවැනි තදබදයක් කිසිසේත් ඇතිවිය යුත්තක් නොවේ. එහෙත් මෙදින සූරියවැව ක්‍රීඩාංගණයේ පැවති ක්‍රිකට් තරගය සඳහා ප්‍රවේශපත්‍ර ලබාදීමට ක්‍රිකට් බලධාරීන් ප්‍රවේශපත්‍ර කවුළු දෙකක් පමණක් විවෘත කර තිබුණේ ඉතා අදූරදර්ශී අයුරිනි. එපමණක් නොව ක්‍රීඩාංගණයේ ආරක්ෂාවට ක්‍රිකට් ආයතනයෙන්ද වෙනම ආරක්ෂක නිලධාරීන් පිරිසක්ද යොදවා සිටි අතර එලෙස යොදවා සිටි ඇතැම් ආරක්ෂක නිලධාරීන්ටද සිය රාජකාරි පිළිබඳව පැවතියේ ඉතා අඩු දැනුමක් බවද දැකගත හැකිවිය.
එක් අවස්ථාවකදි සූරියවැව පොලිස් ස්ථානාධිපතිවරයා හා ක්‍රිකට් ආයතනයෙන් යොදවා සිටි ආරක්ෂක අංශ නිලධාරීන් අතර දැඩි උණුසුම් තත්වයක් ඇතිවූයේ සූරියවැව පොලිස් ස්ථානාධිපතිවරයා ක්‍රිඩාංගණයට ඇතුළුවීමට ගිය අවස්ථාවේදීය. සූරියවැව පොලිස් ස්ථානාධිපති සිය පොලිස් බල ප්‍රදේශයේ පැවති මෙම තරගයේ අවශ්‍ය ආරක්ෂක කටයුතු වෙනුවෙන් කටයුතු කරමින් සිටි අතර තරගය නැරඹීමට පැමිණි විශේෂ අමුත්තන්ගේ (VIP) ආරක්ෂාවද පොලිස් නිලධාරීන්ට පැවරි තිබු එක් වගකීමකි. එක් අවස්ථාවක සූරියවැව පොලිස් ස්ථානාධිපතිවරයා ක්‍රීඩාංගණය තුළට යන අවස්ථාවේ එහි සිටි එක් ආරක්ෂක නිලධාරියෙකු ස්ථානාධිපතිවරයාට ඇතුළුවීමට නොදී සිටිනු අපට දැකිය හැකිවිය. ඒ හේතුව නිසාම එහිද යම් උණුසුම් තත්ත්වයක් සිදුවෙනු අපට දැකිය හැකිවිය. සූරියවැව පැවති ක්‍රිකට් තරගයට ක්‍රිකට් ආයතනයෙන් එවා තිබූ ආරක්ෂක නිලධාරීන්ට ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා පවා අඳුරා ගැනීමට තරම්වත් නොහැකි වීම පුදුමයට කරුණක් බවයි එහි සිටි බොහෝ දෙනෙකු පැවසුවේ.
ක්‍රීඩාංගණයේ පැවති මෙම උණුසුම් තත්වය හේතුවෙන් තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයෝ රජයටද දොස් කීහ. එහිදී පොලිසියේ පහර කෑමට ලක් වූ ක්‍රීඩා ලෝලීන් පැවසුවේ මෙවන් කතා කිහිපයකි.

අපි ටිකට් එකක් අරන් ආවේ. නමුත් පොලිසියෙන් අපිට හොඳටම ගැහුවා. අපි හොරකමේ ආවේ නෑ. අපි ආවේ මැච් එක බලන්න. අනික අපි හොරාට ආවේ නෑ. අපි ටිකට් එකක් අරන් අවේ. අවුරුදු ගණනකින් මැච් එකක් තිබුණේ නෑ මේ ක්‍රීඩාංගණයේ. අපිත් ආසයි මැච් එකක් බලන්න. කොළඹ ගිහින් අපිට මැච් බලන්න වත්කමක් නෑ. ඒ නිසයි සූරියවැව මේ මැච් එක බලන්න අවේ. අපි දරු පැටව් එක්ක මේ ආවේ. පොලීසියයි හමුදාවේ අයයි පොලු අරන් අපිට පන්න පන්නා ගැහුවා. පුංචි දරුවන් වඩාගෙන හිටිය අය බිම වැටුණා. මහින්ද මහත්තයටයි ගෝඨාභය මහත්තයටයි අපි මේ කියන්නේ. අපි හොරාට නෙමෙයි මේ ආවේ. අපි ටිකට් අරගෙන මේ ආවේ. එහෙම ආව අපිට තමයි මේ කැත විදියට ගැහුවේ. අවුරැදු ගණනකට පස්සේ මේ ක්‍රීඩාංගණයේ මේ තරගයක් පැවැත් වුණේ. ඉතින් අපි හරි උද්‍යෝගයෙන් මේක බලන්න ආවේ. ඒ ආව අපිට තමයි මේ ගැහුවේ යනුවෙන් ක්‍රීඩාලෝලීන් අදහස් දැක්වූයේ ආණ්ඩුව මෙන්ම ක්‍රිකට් ආයතනයද දැඩි දෝෂ දර්ශනයට ලක් කරමිණි. 
මෙහිදී පොලිස් ප්‍රහාරයට ලක් වූ එක් ක්‍රීඩා ලෝලියෙකු මෙවන් අදහසක්ද අපත් සමග පැවසීය.

සූරියවැව ක්‍රීඩාංගණය පටන්ගත්ත දවසේ ඉඳන්ම මොකක් හරි බලවේගයක් ක්‍රියාත්මක වෙනවා මේකේ තියෙන මැච් අවුල් කරන්න. හැමදාම සූරියවැව මැච් එකක් තිබුණොත් මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙනවා. ජනාධිපතිතුමාට හා අගමැතිතුමාට අපි කියනවා මොකද්ද මේ අදිසි බලවේගය කියා සොයා බලන්න කියා යැයි පැවසීය.

එමෙන්ම සූරියවැවදී සිදුවූ මෙම අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයාද සිය දැඩි කණස්සල්ල පලකළ බවයි ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරැම මහතා පැවසුවේ. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් තමන් සියලු ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව අයදින බවත්, සිද්ධිය පිළිබඳ වහාම පරික්ෂණයක් පවත්වා වර්තාවක් ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙත ලබාදීමට කටයුතු කරන බවත් පැවසීය. එමෙන්ම ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාද පසුගිය දින මාධ්‍ය හමුවක් පවත්වමින් සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයැද සිටියේය. මේ තරම් සෙනඟක් සූරියවැවට ඒවි යැයි නොසිතූ බවත් ඉදිරියේදී මෙවන් තත්ත්වයක් ඇති නොවන බවත් ඔහු පැවසීය.

දැන් සියල්ල සිදුවි හමාරය. ක්‍රිකට් බලන්න ආ පිරිස මුදල් දී ටිකට් එකක්ද අරගෙන පොලීසියේ හා හමුදාවේ පොලු පහරද කා මැච් එක බලා ගෙදර ගියේය. හැමදාමත් සූරියවැව පැවති ක්‍රිකට් තරග අවස්ථාවලදී ආරක්ෂක අංශ හා ක්‍රීඩා ලෝලීන් අතර හෝ ක්‍රිකට් නිලධාරීන්  අතර ගැටුම් ඇති විය. එලෙස බලද්දී සූරියවැව ක්‍රිකට් තරග සංවිධානය කරද්දී යම් නිලධාරීන් අතින් යම් වරදක් සිදුවෙන බව පැහැදිලිය. මෙම වරද මින් ඉදිරියටත් සිදුවුවහොත් ක්‍රිකට් සඳහා ආදරය කරන ක්‍රිකට් ලෝලීන් ක්‍රිකට් තරග නැරඹීමට නොඑනු ඇත.

 සූරියවැව නුවන් ජයසේකර