හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජනාධිපතිවරණ සමයේදී සුදු වෑන් නාඩගමක් නටන්නට ගොස් අවසානයේ විලි ලැජ්ජාවට පත්විය. එයට හේතුවූයේ මිනිසුන් පැහැරගෙන ගොස් කිඹුලන්ට කන්න දැමූ බව කියූ ඒ සුදුවෑන් නළුවන් දෙදෙනා අවසානයේ මේ සියල්ල කළේ රාජිත ඇමතිවරයාගේ ඉල්ලීම සහ මුදල් මත බව ප්‍රකාශ කිරීම නිසාය. අවසානයේ මේ කුලී නළුවන් දෙදෙනා පාතාලයන් බවත් ඔවුන් රට වටේ අපරාධ කළ උන් දෙදෙනකු බවත් හෙළිවිය. අවසානයේ මේ නළුවන් දෙදෙනා රටේම පිරිස් 'කිඹුලන්' යන සුරතල් නාමයෙන් ආමන්ත්‍රණය කරන්නට විය.
අවසානයේ මේ නළු කිඹුලන් දෙදෙනා පසුගිය මාසයේ එක්තරා දිනක නැවතත් රහස් පොලීසියට පැමිණියෝය. ඒ පැමිණිල්ලක් දැමීමට බව කියමිනි. එනම් පාඩුවේ සිටින තමන්ට රාජිත අමාත්‍යවරයා මරණ තර්ජන කරන බවට දන්වාය. ඒ නිසා රටේම මිනිස්සු කිඹුලන් ගැන කිඹුල් කඳුළු හෙළමින් රාජිතට බැණ වැදුණාහ.
කෙසේ වෙතත් මේ අහිංසකයන් සේ පෙනී සිටි නළු කිඹුලන් ගැන පසුගිය සතියේ මුල නැවතත් අමුතු කතාවක් කරළියට ආවේය. එසේ මෙසේ කතාවක් නොව ලක්ෂ හතළිස් හයක කතාවක්ය. ඒ කතාව දිගහැරෙන්නේ මෙසේය.
පෙබරවාරි 5 වැනිදා ගම්පහ කෙහෙල්බද්දර සාරංග වෙදමහතා තමාට අයත් කළුබෝවිල ආයුර්වේද මධ්‍යාස්ථානයේ සුපුරුදු පරිදි රාජකාරි කරමින් සිටියේය. වෙනදාට දෙදෙනකු එම ස්ථානයේ සේවය කළත් එහි මේ සිද්ධිය වෙන වෙලාවේ එහි සිටියේ එක් අයකු පමණි. ඒ අලුයම 12.30 පමණය. සාමාන්‍යයෙන් මේ වෙදගෙදර හවස පහේ සිට ඊට පසුදා උදෑසන පහ තෙක් පවත්වාගෙන යන ආයතනයකි. එදින 12.30 වනවිට අවසන් රෝගියා වෙද මහතා හමුවීමට පැමිණ සිටියේය. එම රෝගියා ඇතුළු වූවා පමණි. එකවර මුහුණු ආවරණය කර අවිගත් කණ්ඩායමක් වෙදමහතාගේ ස්ථානයට ඇතුළු වූහ. එක් අයකු සන්තකයේ ටී 56 ගිනි අවියක් තිබුණේය.
පැමිණි පිරිසට අවසානයේ බෙහෙත් ගැනීමට පැමිණි පුද්ගලයාද එකතු විය. වෙද මහතා බැඳ දැමූ පිරිස වෙද මහතාගේ සහයකයාද රැගෙන නිවසට ඇතුළු වූහ. ඔහුගේ බිරිඳ සිටි කාමරයට ගොස් සියල්ල කොල්ල කෑවේය. මුදලින් ලක්ෂ 32කි. ඉතිරිය රත්තරන් භාණ්ඩ විය. පිරිස වහා අතුරුදන් වූහ. වහාම මෙහි පොලිස් පරික්ෂණ ආරම්භ වූ අතර ගම්පහ පොලීසිය පරීක්ෂණ කළේය.
මේ සියල්ල මැද එක් දිනක් කොළඹ උතුරු අපරාධ දිසාව බාර ඒකකයේ පොලිස් පරීක්ෂක පියසිරිට තොරතුරක් ආවේය. ඒ මේ අපරාධය ගැනය. පසුව ඊට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කෙරිණි. එහිදී හෙළිවුණේ මෙය පාතාල කල්ලියක් විසින් සිදුකර ඇති බවය. පසුව මේ පාතාල කල්ලිය කවුදැයි සොයා බලනු ලැබීය. අවසානයේදී හෙළිවුණේ මේ කොල්ලයට රාජිත සේනාරත්න මහතාගේ සුදු වෑන් නාඩගමේ කිඹුල් නළුවන් දෙදෙනා ප්‍රධාන නළුවන් ලෙස සහභාගි වී ඇති බවය. වහාම ක්‍රියාත්මක වූ පොලීසිය එම කිඹුල් නළුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේය. ඒ අනුව සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන ''කිඹුලන්'' දෙදෙනා අත්අඩංගුවට පත්වූහ. දෙදෙනා රැගෙනවිත් පොලීසියෙන් ප්‍රශ්න කරන්නට විය.
ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කරනවිට සියලු කතාව හෙළිදරව් විය. එනම් කාලයක් වෙදමහතා ළඟ සේවය කළ සේවකයන් දෙදෙනාට වෙදමහතා සන්තකයේ ඇති මුදල් ගැන දැනුමක් තිබී ඇත. මේ නිසා දෙදෙනා පිඹුරුපත් සකසන්නේ එම මුදල් කොල්ල කෑමටය. ඒ අනුව මොවුන් දෙදෙනා මේ සම්බන්ධයෙන් තවත් කෙනෙකුට පවසන අතර ඔහු බෙම්මුල්ල ප්‍රදේශයේ අයෙකි. පසුව ඔහු මෙම කොන්ත්‍රාත්තුව තවත් අයකුට පවරනු ලබයි. ඒ ගම්පහ උඩුගම්පල ප්‍රදේශයේ පුද්ගලයකුටය. ඔහු වැඩේ කරට ගෙන පවසන්නේ මේ සඳහා වැඩකරුවන් දෙදෙනකු සිටින බවය. ඒ කියා ඇත්තේ මේ කිඹුල් නළුවන් දෙදෙනා සම්බන්ධයෙනි. ඒ අනුව අවසානයේ කොන්ත්‍රාත්තුව පවරනු ලබන්නේ ඒ දෙදෙනාටය. ඒ වෙනකොටත් මේ කොල්ලය කෝටි හතරක පමණ දේපල කොල්ලයක් ලෙස ගණන් හදා සිටි නිසා මේ කිඹුල් නළුවන් දෙදෙනා එක් අයකුට කෝටිය බැගින් කෝටි දෙකක් ඉල්ලා තිබිණි. ඒ පොරොන්දුව මත වැඩේට අත ගසා තිබේ.
පසුව මේ කොල්ලය සඳහා ගිනි අවියක් අවශ්‍ය නිසා කිඹුල් නළුවන් දෙදෙනාගේ මිත්‍රයකු වන මීට වසර තුනකට පෙර ගිනි අවි සිද්ධියකට අත්අඩංගුවට ගත් යුද හමුදාවේ සිටි අයකුට ඇණවුම ලබාදී ඇත. මිනුවන්ගොඩ පාතාලයේ ප්‍රබලයකු වූ පසුකලක පොලීසියේ වෙඩි පහරින් මියගිය මිනුවන්ගොඩ ජීවන්ට අයත් ගිනි අවියක් ඔහු සතු නිසා එය රැගෙන එන බවත් ඒ සඳහා ලක්ෂ දහයක් අවශ්‍ය බවත් ඔහු කියා තිබිණි. උන්නාරුව ප්‍රදේශයේ පදිංචි ඔහු ඒ අනුව ගිනිඅවිය රැගෙන ආවේය. ඒ සඳහා තව කොච්චිකඩේ දෙදෙනෙක්ද එකතු වූහ. ඔවුන් දෙදෙනා මෝටර් රථයකුත්, වෑන් රථයකුත් රැගෙන ආහ. පිරිස දහයකි.
කොල්ලය කිඹුල් නළුවන් දෙදෙනා විසින් ප්ලෑන් කෙරිණි. එනම් කොල්ලය සිදුවනදා එතැනට එන රෝගීන්ගේ අවසන් අංකය කොල්ල කණ්ඩායමේ අයකුට නිකුත් කළ යුතු වන අතර එතැනින් පසුව කිසිවකු ඇතුළත් නොකර ගැනීමටය. අවසන් පුද්ගලයා ඇතුළු වනවිට කොල්ලය සිදුකිරීමත්, පසුව වෙදමහතා බැඳදමා කොල්ලය සිදුකර පලායාමත් මේ කතාවේ අවසානය විය. පිරිස එදින සවස ගම්පහ ප්‍රදේශයේ එක්තරා ස්ථානයකට එකතු වී මධ්‍යම රාත්‍රිය වන තෙක් බලා සිට කොල්ලය සිදු කළහ. එහෙත් සේවකයන් කියා තිබූ පරිදි එහි කෝටි ගණනක් තිබුණේ නැත. ඒ නිසා වැඩේ වැරදුණේය.
අවසානයේ මේ කොන්ත්‍රාත්තුව රැගෙන ආ පළමු සහ දෙවැනි දෙදෙනාට ලක්ෂ දෙකහමාර බැගින් බෙදා ඇත. ලක්ෂ දහයක් ගිනිඅවිය ගෙනා පුද්ගලයාට ලබාදී තිබේ. කිඹුල් නළුවන් දෙදෙනා ලක්ෂ හතහමාර බැගින් ලබාගත් අතර තව රත්තරන් භාණ්ඩ කිහිපයක්ද ගෙන තිබිණි. අනික් සියල්ල කොන්ත්‍රාත්තුව ගෙනා සේවකයන් දෙදෙනාට ලැබිණි. රත්තරන් භාණ්ඩ උකස් කර මුදල් ලබාදෙන බවට කීවත් කිඹුල් නළුවෙකු වූ සරත් පසුව සඳහන් කළේ එම රත්තරන් රෝස් ගෝල්ඩ්වලට අයත් නිසා ඒවා උකස් කළ නොහැකි බවය. එහෙත් එය අමූලික බොරුවක් වූ අතර ඔහු ඒ වනවිටත් එම රත්තරන් මුදල්වලට පෙරළා තිබිණි. කොල්ලයෙන් පසුව එම අවස්ථාවේදීම සියල්ල බෙදාගෙන ඇති ඔවුන් අලුයම නිවෙස් කරා ගොස් ඇත.
කෙසේ වෙතත් බොරුවෙන් රඟන්නට ගොස් වැඩ වරද්දාගත් කිඹුල් නළුවන් දෙදෙනා මේ ආකාරයේ තවත් දෙයකට බෙල්ල තියයිද යන්න ඕනෑම අයකුට ඇතිවන ප්‍රශ්නයකි. එහෙත් ඊට පිළිතුරු දෙමින් ඔවුන් දෙදෙනා පවසා ඇත්තේ කෝටි ගණනක් මේ හරහා ලබාගත හැකි බවට පැවසූ නිසා එයට එකඟ වූ බව කියාය. එහෙත් ඒ සිහින කොල්ලයෙන් පසුව වතුරේ ගියේය. එපමණක් නොව පොලිසියට හසුවී ඉතිරියක් ගසාගෙන ගොස් ඇඳිවතත් අහිමි වන තැනට පත්ව සිටිති.
මෙම අත්අඩංගුවට ගැනීම කොළඹ උතුරු දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති වරැණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත, කොළඹ උතුරැ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පියසිරි ප්‍රනාන්දු, වැඩබලන අධ්‍යක්ෂ නානයක්කාර එහි ස්ථානාධිපති ජයන්ත දහනායක, පොලිස් පරීක්ෂක පියසිරි, 41291 මංජුල, 66641 කවිෂ, 7470 චමිල, 670133 චමින්ද, 81534 අබේකෝන් සහ 82086 බද්දේගම යන අය විසින් සිදුකර තිබේ.
ගයාන් ගාල්ලගේ