2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

පැය 3කට අධිවේගය වැසූ කඩොලාන ගින්න

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 71

කුණු කඳු කඩාවැටීම් මෙන්ම කුණු කඳු ගිනිගැනීම් ද ශ්‍රී ලංකාවට අලුත් දේවල් නොවේ. පසුගිය පෙබරවාරි 19දා මුතුරාජවෙල කුණු කන්දක් ගිනිගැනීම ද එවැනි දෙයකි. ඒත් වැඩි දෙනාගේ අවධානය ඒ වෙතට යොමු වූයේ කාරණා දෙකක් නිසාය. එකක් නම් එම ගිනිගැනීම සිදුවූයේ කඩොලාන ගැන කතාබහක් පවතින කාලයක වීමය. දෙවැන්න නම් ඒ නිසා නැඟුණු දුමාරයෙන් කොළඹ කටුනායක අධිවේගය පැය තුනක් වසා දැමීමට සිදුවීමයි.

මුතුරාජවෙල අභයභූමියට යාබද සීදුව පිලපිටිය කුඹුර නම් ස්ථානයේ කසළ බැහැර කරන තැන ගින්න හටගෙන තිබෙන්නේ පසුගිය 19දා රාත්‍රියේය. බලධාරීන් ඒ ගැන දැනගත්තේ 20දා උදෑසන වන විටය. ක්‍රමයෙන් විශාල දුමාරයකින් ප්‍රදේශයම ගිලගනිමින් පැවතුණි. සුදු පැහැති මීදුමක් වැනි දුමාරය නිසා කසළ අංගණය අසලින් දිවෙන අධිවේගී මාර්ගයට ද බාධා එල්ල වන්නට විය. අධිවේගී මාර්ගයේ යන්ත්‍ර සූත්‍ර සහ මීගමුව නගර සභාවේ ගිනි නිවන යන්ත්‍රවලින් ගින්න නිවීමට උත්සාහ කළත් එය අසාර්ථක විය. ඒ අතර මාර්ගය අපැහැදිලි වීම නිසා අධිවේගී මාර්ගය වසා දැමීමට සිදුවිය. ඊටපසු හෙලිකොප්ටර් යන්ත්‍ර යොදාගෙන ගින්න නිවීම ඇරඹුණි. කොළඹ නගර සභාවේ සහ ගම්පහ ගිනි නිවන යන්ත්‍ර ද කැඳවා ගිනි නිවීමට කටයුතු කෙරිණි.
ගූගල් චන්ද්‍රිකා සිතියම පිරික්සන විට එහි හරිත කලාපය මැද විශාල පැල්ලමක් ලෙස කසළ බැහැර කරන ස්ථානය දිස්වේ. මුතුරාජවෙල අභයභූමියට අයත් මෙම අධි සංවේදී කඩොලාන කලාපයට කසළ බැහැර කිරීම ආරම්භ වී ඇත්තේ අවුරුදු 20කට පෙර සිටය. ඒ කටුනායක - සීදුව නගර සභාව විසිනි. දිනකට එම නගර සභාව විසින් කසළ ටොන් 35 – 40 අතර ප්‍රමාණයක් මෙම ස්ථානයට බැහැර කෙරේ. මෙයට පෙර ද මෙහි ගිනි හටගැනීම් සිදුව තිබේ. නැවත එහි ගිනි නොගන්නා ආකාරයෙන් කසළ කළමනාකරණය කිරීමට නිලධාරීන් උපදෙස් ලබා දී තිබුණද, ඒවා දේශපාලන අධිකාරිය ක්‍රියාත්මක කර නැති බව පෙනේ.

කසළ අංගණයේ ගින්න ගැන පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුවේ. එහෙත් නගරාධිපති සරත් පීරිස් පවසන්නේ එවැනි පරීක්ෂණ කරන්න දෙයක් නැති බවයි. මේක පෞද්ගලික ඉඩමක් විදිහට තිබුණු එකක්. අක්කර 50ට වැඩි ඉඩම් රජයට පවරා ගැනීමේ දී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් වුණු ඉඩමක්. වයර්වල කම්බි කපාගන්න සමහරු කුණු කන්දට ගිනි තියනවා. මේ පාරත් කවුරැහරි ගිනි තියලා. ඔහු සඳහන් කර සිටී.

පරිසරවේදීන් පවසන්නේ මෙවැනි ගිනි තැබීම් හරහා මුතුරාජවෙල ඉඩම් කොල්ලයට ඇවැසි ඉඩකඩ සකසාගෙන ඇති බවය. සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්:-

මුතුරාජවෙල කොළඹ නගරයට උතුරින් පිහිටි අත්‍යවශ්‍ය පරිසර පද්ධතියක්. ඒක අභයභූමියක් වශයෙන් නම් කළේ 1996.10.31 දා. ඒක ආරක්ෂා කර ගැනීමට නිසි ක්‍රියාමාර්ගයක් ගත්තෙ නෑ. වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝනය කරන ක්‍රියා රාශියක් මෙහි සිදුවෙනවා. බලධාරීන් ඇස් වහගෙන ඉන්නවා.

මුතුරාජවෙල අභයභූමිය හෙක්ටයාර් 2569 ක් විශාල බව National Wetland Directory and Sri Lanka නම් 2006 දී මධ්‍යම පරිසර අධිකාරිය පළ කළ කෘතියේ සඳහන්ය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ ශ්‍රී ලංකාවේ තෙත්බිම් නම් අත්පත්‍රිකාවේ සඳහන් වන්නේ අභයභූමියේ පළමුවැනි කොටස හෙක්ටයාර් 1028.6 ක් සහ දෙවැනි කොටස හෙක්ටයාර් 256.8 ක් ලෙසය. මුතුරාජවෙල විශාලත්වය පිළිබඳව පවා රාජ්‍ය ආයතන අතර නිසි දත්ත එකඟතාවක් නැති බව ඉන් පෙනේ. මේ නිසා අභයභූමියේ සීමා මායිම් නිසි ලෙස සටහන් වී නොමැතිවීම මෙහි ඉඩම්වලට කෙළ හලන කෑදර ජාවාරම්කරැවන්ට යම් අරමුණු ඉටුකර ගැනීමට පහසු මාවතක් විවර කර දී තිබේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ මුතුරාජවෙල සුරුකීමේ සංවිධානයේ පරිසරවේදී දිනුෂ නානායක්කාර:-

මුතුරාජවෙල නැවත මැනලා නිසි මායිම් සලකුණු කරන්න කියලා අපි දැමූ නඩුවක් යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබා දී තිබෙනවා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් එම නියෝගය ක්‍රියාත්මක නොවීම අපට ගැටලුවක්. මුතුරාජවෙල සුරුකීම් සංවිධානය සහ ප්‍රදේශවාසීන් 35 දෙනෙක් කසළ දැමීම නිසා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දාලා තියෙන්නේ. ඒ රාජ්‍ය ආයතන 11කට එරෙහිව. ඒකෙදි තමයි මෙහි සීමා නැවත සලකුණු කර අභයභූමිය නිරවුල් කරන්න කියලා නියෝගයක් ලබා දුන්නේ.

මුතුරාජවෙල අභයභූමියේ මත්ස්‍ය විශේෂ 40 ක්, සර්ප විශේෂ 14 ක්, කුරුළු විශේෂ 122 ක් සහ ක්ෂීරපායී විශේෂ 22 ක් වාර්තා වී තිබේ. එය කොළඹ නගරයේ සහ අවට කර්මාන්ත කලාපවල කාබන්ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පිටකරන පෙණහැල්ලක් ලෙස ක්‍රියා කරයි. එහෙත් මේ පෙණහැල්ලට පිළිකාකාරක එක් කරනවා හැරෙන්නට එය සුවපත් කිරීමට බලධාරීන්ට අවශ්‍යතාවක් ඇති බවක් නොපෙනේ.

කටුනායක සීදුව නගරාධිපති පවසන්නේ මෙම භූමිය අභයභූමියට අයත් නැති රජයේ ඉඩමක් බවයි. නමුත් පරිසරවේදීන් පවසන්නේ මෙය අභයභූමියට අයත් බිම් ප්‍රදේශයක් බවයි. අභයභූමියට අයත් ඉඩමට කසළ බැහැර නොකළ යුතු බවට අධිකරණ නියෝගයක් ද ලැබී තිබේ. නමුත් වගකිව යුතු රාජ්‍ය ආයතනය වන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ මායිම් නිවැරදි කිරීමට කටයුතු කර නැත.

වර්ෂ 1960 වනතෙක් මෙහි කුඹුරැ ඉඩම් පැවතුණා. ලුණුවතුර ඒම නිසා කුඹරු වගාකිරීම අත්හැරියා. පසුව ඒ ඉඩම් කඩොලාන වනාන්තර බවට පත්වුණා. තෙත්බිම් සහිත ප්‍රදේශ වුණා. අභයභූමියක් තුළ පෞද්ගලික ඉඩම් ද පැවතිය හැකියි. කූට ව්‍යාපාරිකයන් මේ පෞද්ගලික ඉඩම් කුණුකොල්ලයට අරන් පරිසරයට වින කරන ව්‍යාපාර පටන් ගැනීමට කුමන්ත්‍රණය කරනවා. අපි කියන්නේ මේ පරිසර පද්ධතිය තිබෙන ආකාරයටම තියෙන්න ඉඩ දෙන්න කියලයි. දිනුෂ නානායක්කාර පැවසුවේය.

පසුගියදා ගින්න හටගත්තේ අභයභූමියේ උතුරැ මායිමේය. මීගමු කලපුවට අත්තනගලු ඔය, ජාඇළ සහ හැමිල්ටන් ඇළ ගලා බසින්නේ එම ප්‍රදේශයෙනි. රොන්මඩ සහිත පිටාර තැනිතලාවක් වීම නිසා සරැසාර කඩොලාන ගහණයක් මෙහි පවතී. කසළ බැහැර කිරීම නිසා විනාශ කර තිබෙන්නේ එවැනි සාරවත් කඩොලාන කලාපයකි.

කසළ දැමීමට අමතරව කර්මාන්තශාලා ද මේ පරිසරය වනසයි. අභයභූමිය තුළ පාම් තෙල් ශුද්ධගාර කිහිපයක් පවතින බව සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය චෝදනා කරයි. පරිසර තක්සේරු වාර්තා පවා නැති මෙම නීති විරෝධී ක්‍රියාවන් වැළැක්වීමට පරිසර අමාත්‍යංශය හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත් වී නැති බවට ද චෝදනා එල්ල වේ.

 කුසුම්සිරි විජයවර්ධන
සේයාරෑ I දිනූෂ නානායක්කාර