2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

​මාස තුනකින් නවකතාවක් ලියන්න පුළුවන්!

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 237

- ප්‍රවීණ ලේඛිකා කරුණා පෙරේරා

කරුණා පෙරේරා දශක හතරකට වැඩි කලක් පුවත්පත් කලාවේදිනියක ලෙස සේවය කළ ප්‍රවීණ ලේඛිකාවකි. ඇය මුලින්ම ග්‍රන්ථකරණයට පිවිසෙන්නේ අඳුරට එළියක් කෙටිකතා පොතෙනි. එම කෘතියට 1971 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද හිමිවිය. කෙටිකතා පොත් 9 ක්ද, නවකතා පොත් 10 ක්ද, පළකර ඇති කරුණාගේ අලුත්ම නවකතා පොත් දෙකක් පසුගියදා නිකුත් කෙරිණි. ඒ සරසවි ප්‍රකාශනයක් වන ඒ කිසිත් නිමා නැත සහ ගොඩගේ ප්‍රකාශනයක් වන මට මා හමුවේ නම් ය. ඒ කිසිත් නිමා නැත පොත පාදක කර ගනිමින් ඇය සාකච්ඡාවට එක්වූයේ මෙලෙසිනි.

ඔබේ අලුත්ම නවකතාවක් වන ඒ කිසිත් නිමා නැත ප්‍රේමය ල්කරගත් කෘතියක් බව පේනවා?

මට සමහරු චෝදනාත් කළානෙ ප්‍රේමය ගැන ලියන්නෙ නෑ කියලා. මේ පොත ප්‍රේම කතාවක් විදිහට තමයි ගොඩනගලා තිබෙන්නේ. නමුත් පොතේ යටිපෙළ වෙනත් අර්ථයකින් ගලා යන ලෙස රචනා කළා. මෙහි ප්‍රධාන චරිතය වන තරැණ සංගීතඥයා හදිසියේ මියයනවා. ඒ අතර ඔහු ප්‍රේමයෙන් ප්‍රතික්ෂේප වෙනවා. නමුත් මේ රවීන්ද්‍ර කියන සංගීතඥයා මියයන්නේ ප්‍රේමය නිසා උපන් සිත් තැවුලෙන් නොවේ.

ඔබ කියන්නේ සැබෑ කලාකරුවන්ට ජීවිතයේ හැලහැප්පීම් විඳදරා ගැනීමට පුළුවන් බවයි?

ඔව්. කලාවට සාහිත්‍යයට ඇල්මක් දක්වන අයගේ සිත සියුම්. ඔවුන්ට හැමදෙයක්ම දැනෙනවා. ඒවා ඉවසීමෙන් බාරගන්නවා. කලබල වන්නේ නෑ. කලාව මගින් කළ යුත්තේ මිනිසාගේ සිත තැන්පත් කිරීමයි. ආවේග මැඩපැවැත්වීමයි. අද සිදුනොවන්නෙත් ඒකමනේ. අන්න ඒ පණිවුඩය දීමටයි මට අවශ්‍ය වුණේ.

අද සමාජයේ වැඩි දෙනෙක් හැල්මේ දුවනවා. ලියැවෙන බොහෝ නවකතාවල චරිතත් ඒ වගේ?

ඒක හරි. මට අවශ්‍ය වුණේ ඉන් මිදිලා සන්සුන් මිනිසුන් ගැන කියන්නයි. ඔවුන්ට සමාජය දිහා බලමින් යථාර්ථය හරියට තේරැම් ගැනීමට පුළුවන්. අද අපේ රටේ සංවරකම නෑ. කේන්ති ගන්නේ කලබල කරන්නේ මේ සංවරකම නැති නිසයි. කවිය, නවකතාව, සංගීතය මගින් සිත සන්සුන් කරගත හැකියි.

අද බොහෝ තරුණ නවකතාකරුවන් නිර්මාණය කරන්නේ හිස් කාඩ්බෝඩ් චරිත බව ඒවා කියවන විට පේනවා. ඔබ එය දකින්නේ කෙසේද?

ඔව්. ඒ සඳහා ප්‍රධාන හේතුව විදිහට මම දකින්නේ අපට හරි විචාරයක් නැතිවීමයි. මේ තරැණ පෙළගේ නිර්මාණ කියවා ඒවා සාධනීය විචාරයකට ලක්කළ යුතුයි. හරි වැරදි පෙන්වා ඔවුන් නිවැරදි මාවතට යොමුකළ යුතුයි. තරුණ ලේඛක බොහෝ දෙනාට හොඳ භාෂාවක්, අත්දැකීම් තිබෙන බව පේනවා. අපි ගොඩනැගුණේ අපේ පොත් ගැන පළවූ විචාර නිසයි. ඒ වගේම පොත්පත් කියවා අපි විචාරය ගැන තේරුම් ගත්තා. පාසලේ දී ගුරැවරැන් විචාර කලාව ගැන අප තුළ උනන්දුවක් මතු කළා. දැන් මා ලියන පොත් ගැන වුණත් නිවැරදි තක්සේරැවක් ලබාගැනීමට ඒවා විචාරයට ලක්වන්නේ නෑ. ඇඳුනුම්කමට මොනවහරි ලියලා දාන එක තමයි කරන්නේ. 1970 දශකයේ වගේ අපි පත්තරවලට පොත් යැව්වේ නෑ. ඒ කාලේ හොඳ පොත් හොයාගෙන ඔවුන් විචාරය කළා.

ඇගැයීමට ලක්වන නිර්මාණ කෘතිවලින් නවකයන්ට ආදර්ශ ලබාගත හැකියි නේද?

අද සම්මාන ලැබෙන පොත් වැඩිපුර විකිණෙනවා. ඒවා ලේඛනයට කැමති විශාල පිරිසක් මිලදී ගෙන කියවනවා. ඔවුන්ට ඒවායින් මඟපෙන්වීමක් ලබාගත හැකියි නේද? නමුත් එහෙම මඟපෙන්වීමක් ලැබිලා නෑ. ඒකට හේතුව ඒ පොත් අතරින් බහුතරයක් සර්වකාලීන විශිෂ්ට කෘති නොවීම නේද? අපි පාසල් යන කාලේ ගුණදාස අමරසේකර, ජී.බී. සේනානායක, සිරි ගුණසිංහ වගේ ලේඛකයන්ගේ කෙටිකතා, නවකතා කියවලා කොපමණ ඉගෙන ගත්තාද? අමරසේකරගේ ජීවන සුවඳ කෙටිකතා පොතට මම තවමත් හරිම කැමතියි. ඒ පොත මගේ නිර්මාණවලට හරියට බලපෑවා. අද ගැඹුරු විචාරයක් නෑ. 

ඔබ කියන්නේ අද ඉන්න විචාරකයන් සාහිත්‍ය කෘති මතුපිටින් අතගාන බවද?

මට නම් පේන්නේ එහෙමයි. සමහරවිට ලේඛකයා තරහ වේවි කියලා පුම්බලා ලියනවා. ඇඳුනුම්කම්වලට පොත්පත්වලට කරන විචාරය නම් සාහිත්‍යයට කරන අපරාධයක්. ඒ වගේම ඒ නිසා ලේඛකයාත් විනාශ වෙනවා. ඒක ඔහුට කරන හොඳක් නොවෙයි. මේ නිසා ලේඛකයා නොමඟ යනවා.

ඔබ වඩාත් විචාරක ප්‍රසාදයට පත්වුණේ කෙටිකතා රචිකාවියක් වශයෙන්. නමුත් මෑතකදී බහුලව නවකතා ලියන බවයි පේන්නේ?

පසුගිය කාලයේ එකදිගට නවකතා ලිව්වා තමයි. නමුත් කෙටිකතාව අමතක කරලා නෑ. කෙටිකතාවෙන්නෙ මම ලේඛිකාවක් විදිහට තහවුරැ වුණේ. ඒ නිසා මම කෙටිකතාවට ආදරෙයි. පසුගියදා කෙටිකතා පොතක් නිම කරලා ප්‍රකාශකයකුට බාර දුන්නා. මම මුලින්ම කෙටිකතාවට යොමුවුණේ රුකියාව කරන අතරතුර. ලිවීම කළ නිසා ලැබෙන විවේකය තුළ කෙටිකා ලිවීම පහසු වුණා. නවකතාව එකදිගට මාස ගණනක් ලිවිය යුතුයිනේ. දැන් නවකතා ලිවීමට අවශ්‍ය විශ්‍රාමය ලැබෙනවා.

නමුත් සමහර සම්මානනීය කෙටිකතාකරැවන් පවසන්නේ නවකතා ලිවීමට වඩා කෙටිකතා නිමකිරීම දුෂ්කර බවයි?

ඒකට මමත් එකඟයි. කෙටිකතාවේ සෑම වචනයක් ගැනම අවධානයෙන් ලිවිය යුතුයි. නමුත් මම ඒකට ආදරේ නිසා වෙහෙස දැනෙන්නෙ නෑ. කෙටිකතා ලියන්න මම ආසයි. විචාරකයන් බොහෝ දෙනෙක් මගේ කෙටිකතා අගය කළා.

ඔබ එක්වර නවකතා දෙකක් පළ කළා. සමහරු කියන්නේ ලේඛකයකුට ආප්ප බානවා වගේ එහෙම පොත් ලියන්න බැහැ කියලයි?

එහෙම කියනවා තමයි. ඒක හුඟ දෙනකුට තිබෙන ප්‍රශ්නයක්. නමුත් මම ඔය ලියලා පෙන්නුවේ. සම්මානවලදිත් ඕක බලපානවා කියලා සමහරැ කිව්වා. මට සම්මානයක් නම් ඕනෑ නෑ. නමුත් මට ලියන්න පුළුවන්. හරියට නවකතාවක් ලිවීමට එළඹුණොත් මාස තුනක් ඇතුළත කතාවක් නිමකළ හැකියි. මම දැන් ගෙදර විවේකයෙන්නෙ ඉන්නේ. කෑම බීමක් නැතත් ලියන්නම තමයි මට නම් හිතෙන්නේ. නොලියා සිටීම ඔළුවට බරක්. ලියලා ඉවර වුණාම ඒ බර බිමින් තැබීමක්. ලිවීම මට ඇබ්බැහියක් වෙලා. අත්දැකීම් එකතු කරගෙන කතාවක් ගොඩනැගිය හැකිය යන අදහස නිතරම එනවා. ලිවීම දුෂ්කර ව්‍යායාමයක් වුණත් නොලියා සිටීමට බැහැ. සිත තුළින්ම පෙළඹවීමක් එනවා.

 කුසුම්සිරි