දිනක් ප්‍රේමදාස මහතාගේ පළාත් පාලන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් අර්ඩ්ලි ගුණවර්ධන මහතාගෙන් මට දුරකථන පණිවුඩයක් ලැබුණි. එහිදී ඔහු මගෙන් විමසා සිටියේ පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ සේවය කිරීමට කැමතිදැයි අමාත්‍යවරයා විමසන බවයි. ඊට පිළිතුරු වශයෙන් මා පැවසුවේ මගේ අකැමැත්තක් නොමැති බවය. මට අවශ්‍ය වැඩ කිරීම පමණක් බවද මම පැවසීමි.
මා කැමැත්ත ප්‍රකාශ කර සති දෙකක් ඉක්ම යන්නට පෙර එනම් 1977 ඔක්තෝබර් මුල් සතියේදී මා පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයට අනුයුක්ත කරණු ලැබිණි. මා එහි යනවිට එතුමා වටා සිටි පෞද්ගලික කාර්යය මණ්ඩලයට එෆ්.ඩී. බාලසූරිය, එවන්ස් කුරේ, ඩී.ජී. ආරියදාස, ජයසිරි පෙරේරා සහ පී. දයාරත්න ආදී දක්ෂ පක්ෂ නිලධාරීන් අයත් වූහ.
1977 අගදී එනම් මාස කීපයක් ඇතුළත එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වශයෙන්ද, 1978 මැයි මාසයේ එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වශයෙන් ද පත්වීමි. එවකට අප අමාත්‍යාංශය පිහිටා තිබුණේ කොළඹ කොටුවේ “ට්‍රාන්ස්වර්ක්ස්” මන්දිරයේය. එය බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පය අනුකරණය කරමින් ගොඩනැගූ අලංකාර ගොඩනැගිල්ලකි. ප්‍රේමදාස මහතා මට පැවරූ ප්‍රථම රාජකාරිය වූයේ මරදානේ ටවර් හෝල් රඟහල ප්‍රතිසංස්කරණය කිරීම සහ ටවර් හෝල් රඟහල පදනම නීතිගත කිරීම සඳහා නීති කෙටුම්පත් කිරීමයි. එය සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම ද මා වෙත පැවරිණ. “ටවර් රඟහල” සිහිනය සැබෑවීමෙන් අනතුරැව වල්බිහිවී තිබුණු සුගතදාස ක්‍රීඩාංගනය ජාත්‍යන්තර මට්ටමට උසස් කිරීමේ ව්‍යාපෘතිය මෙහෙයවීම ද මට පවරන ලදී.
මා ආර්. ප්‍රේමදාස මහතා සමඟ සමීපව කටයුතු කිරීම ඇරඹුණේ ඒ ලෙසින්ය. ප්‍රේමදාස මහතා අපූරු පුද්ගලයෙකි. ඔහු කිසියම් නිලධාරියෙකු තම සමීප සේවක මණ්ඩලයට බඳවා ගැනීමේදී විශේෂ ක්‍රියා පටිපාටියක් අනුගමනය කරයි. එනම් රහස් පොලීසියෙන්, ජාතික බුද්ධිමය තොරතුරැ කාර්යාලයෙන් සහ ආරක්ෂක උපදේශක ඒ.සී. ලෝරන්ස් මහතාගෙන් රහස්‍ය වාර්තා ලබාගැනීමයි.
එම රහස්‍ය වාර්තා හොඳින් අධ්‍යයනය කර යන්තම් හෝ සැක සහිත නම් ඔවුන් හොඳින් හෝ නරකින් ඉවත් කරයි. මා පිළිබඳව ද රහස්‍ය වාර්තා ලබා ගත් අතර ඒවා ඉතාමත් සතුටුදායක විය. තවද අග්‍රාමාත්‍ය ලේකම් ධුරය දරද්දී මා පිළිබඳ රහසිගතව තොරතුරු ලබා ගන්නට අවස්ථා තුනකදී රහස් පොලීසිය යොදවා තිබිණි. මා සමසමාජකාරයකු බවටත්, තවත් වරක මා කොමියුනිස්ට්කාරයකු බවටත්, පොදුවේ රාජ්‍ය විරෝධී අයෙකු බවටත් චෝදනා එල්ලවී තිබිණි.
ඇතැමුන් අග්‍රාමාත්‍යවරයාට කියා තිබුණේ මා තැන් තැන්වල ඔහුට දොස් පවරණ බවයි. උසුළු විසුළු කරන බවයි. ප්‍රේමදාස මහතා මේ සියල්ල පිළිබඳව සොයා බලන්නට යොදවා සිටි රහස් පොලිස් නිලධාරීහු ඒ බව මට පැවසූහ. තවද එම චෝදනා අසත්‍ය යයි වාර්තා කළ බවද ඔවුන් විසින් කියන ලදී.
පළාත් පාලන නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් “සංවර්ධන” තනතුරට පත් වූ වහාම මා යටතේ ව්‍යාපෘති සංවර්ධන අංශයක්ද, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අංශයක්ද පිහිටුවන ලදී. එම අංශ බාර අධ්‍යක්ෂකවරැන් ලෙස ඉතා කාර්යක්ෂම නිලධාරීන් දෙදෙනෙකු වන ඩබ්ලව්.ඩී. අයිලප්පෙරුම සහ දිසා වීරපාන යන මහත්වරුන් පත්කර ගන්නා ලදි. වැඩිකල් නොගොස් අතිරේක ලේකම් පදවියට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරියේ රාජ්‍ය ඉංජිනේරැ සංස්ථාවේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති තනතුරු, මහා මාර්ග ලේකම් තනතුරුද මා පිට පැටවිණි.
ප්‍රේමදාස මහතා සහ මා අතර විශ්වාසය තහවුරුවත්ම මා වෙත එල්ල කර තිබූ චෝදනා හුදෙක් ඊර්ෂ්‍යාව මත පදනම්ව තිබූ ඒවා බව ප්‍රේමදාස මහතා මට පැවසූ බව මෙහිලා සිහිපත් කළ යුතුමය. එමෙන්ම මම කිසිදිනක මැර බලයට, ධන බලයට හෝ නිල බලයට යටත් නොවීමි. මා ලවා නීති විරෝධී, සදාචාර විරෝධී කිසිවක් කර ගැනීමට නොහැකි බව ප්‍රේමදාස මහතාද හොඳින් දැන සිටියේය. මේ සියල්ලෙන්ම සිදුවූයේ මා පිළිබඳව ප්‍රේමදාස මහතා තුළ වඩ වඩාත් විශ්වාසය තහවුරු වීමය. ඒ නිසාම සිය භාරදූර කාර්යයන් හැම එකකදීම මා සමීප කර ගැනීම ඔහු සිරිතක් කර ගත්තේය.
1988 දෙසැම්බර් ජනාධිපතිවරණය සඳහා තමන්ව එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීම පිළිබඳව මුල්ම ඉඟිය ලැබුණේ අප චීනයේ විදේශ සංචාරයක නිරත වන අතරතුරදීය. ප්‍රේමදාස මහතා මෙය දැනගත් මොහොතේ සිටම අප සමඟ සාකච්ඡා කළේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සැලසුම් කරන්නට ඔහු ගන්නා පියවර පිළිබඳවය. කොටින්ම කිවහොත් එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය ලියන්නට මට ඔහුගෙන් උපදෙස් ලැබුණේ චීනයේ දීමය. දින ගණනාවක් අපි ඒ සඳහා ගත කළෙමු. දිනපතා උදේ වරුවේ ලියන ප්‍රතිපත්ති ප්‍රකාශයේ පරිච්ඡේද සවස් වරැවේ ඔහුම කියවිය යුතුවිය. මෙම ප්‍රතිපත්ති ප්රකාශනයට “ජනසවිය” සංකල්පය ඇතුළත් කිරීමට ඔහුගෙන් උපදෙස් ලැබුණේ ද චීනයේදීමය.
ජනසවිය සංකල්පයට අදාළ කේෂ්ත්‍රයන් ගැන සුසිල් සිරිවර්ධනට අවබෝධයක් තිබෙන බවත්, ඔහුව හොංකොංවලට ගෙන්වා ගන්නා ලෙසත් ප්‍රේමදාස මහතා පැවසූ අයුරැ මට මතකය. ඒ අනුව චීන චාරිකාව නිමාවී හොංකොංවලට එන දිනයේම සුසිල් සිරිවර්ධන මහතා අපි හොංකොංවලට ගෙන්වා ගතිමු.
ජනසවිය තුළින් ප්‍රේමදාස මහතා අපේක්ෂා කළේ දුප්පත්කම නිසා තම දෙපා මත නැගී සිටින්නට නොහැකි ජනගහණයෙන් 1/3ක් පමණ වූ ජනතාවට වසර දෙකක කාලයක් සහනාධාර පැකේජයක් ලබාදී ඔවුන් නඟා සිටුවීමයි. මෙම පැකේජය එක් පවුලකට මසකට රුපියල් දෙදහස් පන්සියකි.
ප්‍රේමදාස මහතාගේ දුප්පත්කම තුරන් කිරීමේ සංකල්පනාව පැසසිය යුතු වූවත් මූල්‍යමය වශයෙන් ඉලක්කය කරායාම අසීරු බව මට දැනුණි. මේ පිළිබඳව ප්‍රේමදාස මහතාත්, මමත් සුසිල් සිරිවර්ධන මහතා සමඟ සාකච්ඡා කරද්දී මගේ බ්රීෆ්කේසයෙන් කැල්කියුලේටරය ගෙන ගණන් සාදා එහි අසීරැතාවය තේරුම් කර දීමට මම උත්සහ කළෙමි. එවකට ශ්‍රී ලංකාවේ වාර්ෂික මූල ධන පිරිවැය බිලියන 45ක් පමණ බවත්, ජනසවිය සඳහා වෙන් කළ යුතු මුදල බිලියන 88ක් බවත් මට අවබෝධ විය.
“විජයදාස මොනවද ඔය ගණන් බලන්නේ?” ඔහු මෙහිදී මගෙන් විමසීය.
“සර් මේ ජනසවිය ව්‍යාපෘතියට යන ගණන මම බැලුවේ. රුපියල් බිලියන අසූ අටක් මේකට යනවා. මේ ගණන රජයේ සම්පූර්ණ වාර්ෂික ප්‍රාග්ධන වියදම වගේ දෙගුණයක්. මේ තත්ත්වය මත මේක අවුරුදු දෙකකින් කරන්න අසීරු වගේ.” මම පැවසීමි.
මගේ කතාවෙන් ඔහුට කේන්ති ගිය බවක් දැනුණි.
“විජයදාස ඔය කැල්කියුලේටරය දාගන්න බෑග් එකට, මම දේශපාලනඥයෙක්. ඔය ගොල්ලො නිලධාරි. මම කියන්නම් සල්ලි හොයන හැටි.”
අවසානයේ ඔහු එසේ පැවසීය. මම නිහඬ වීමි. ඒ ප්‍රේමදාස චරිතයේ හැටිය. ඔහු නිවාස වැඩපිළිවෙළ ආරම්භ කරන අවස්ථාවේදී ද මුදල් ගැන සිතුවේ නැත. කිසිම කාර්යයකට මුදල් බාධාවක් කර ගන්නට ඔහු සිතුවේ නැත. මා අදත් විශ්වාස කරන්නේ ඔහු මෙරට අතිශයින් සාර්ථකත්වය පත්වූ නායකයකු වන්නට බලපෑ ප්‍රධාන සාධකයක් වූයේ ඒ ශක්තිය බවය.
මෙහිලා සඳහන් කළ යුතු විශේෂ කරැණක් ඇත. අග්‍රාමාත්‍යවරයා වශයෙන් උදාගම් හා නිවාස වැඩපිළිවෙළ සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදීම ප්‍රතික්ෂේප වූ අවස්ථාවේ ඔහු ඒ සඳහා “සෙවණ අරමුදල” ආරම්භ කළේය. ටවර් හෝල් රඟහල සහ කොළඹ සුගතදාස ක්‍රීඩාංගනය ප්‍රතිසංස්කරණයට ජේ.ආර්. ජයවර්ධන රජයෙන් මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කළද ඔහු ඒ ව්‍යාපෘතිය අත්හරියේ නැත. ඊට පිළියම් ලෙස ඔහු කළේ දානපතියන්ගේ ආධාරවලින් ටවර් හෝල් රඟහල සහ සුගතදාස ක්‍රීඩාංගණය ජාත්‍යන්තර තත්ත්වයට ප්‍රතිසංස්කරණය කිරීමය. ඉන් අනතුරුව එල්ෆින්ස්ටන් රඟහල නවීකරණය ආරම්භ කළේත් එලෙසමය. මෙවැනි අධිෂ්ඨානශීලි ක්‍රියාමාර්ගවලින් ප්‍රේමදාස මහතා ලබන ජයග්‍රහණවල කොටස්කරුවකු වීමට සිතාගත් ජේ.ආර්. ජයවර්ධන මහතා එල්ෆින්ස්ටන් රඟහල ප්‍රතිසංවර්ධනය සඳහා රුපියල් කෝටි තුනක් මහා භාණ්ඩාගාරයෙන් ලබා දුන්නේය.
ප්‍රේමදාස මහතා ඇතැම් ජනතා හිතවාදී කාර්යයන් සඳහා මුදල් ඉල්ලූවිට ජේ.ආර්. ජයවර්ධන මහතා පැවසුවේ එම ව්‍යාපෘතිවලට වඩා රජයට වෙනත් ප්‍රමුඛතා ඇති බවය. ප්‍රේමදාස මහතාගේ ගමන් මග හරහා විවිධ බාධා පැනවීමට හේතු වූ කරුණු අතර ඔහුගේ ජනප්රියභාවය සහ පොදු ජන පසුබිම හේතුවන්නට ඇත. ප්‍රේමදාස මහතා තම දේශපාලන ප්‍රතිරූපය නංවා ගැනීම පිණිස මෙවැනි කටයුතු කරන බව ඇතැම් ඇමතිවරැන් ජේ.ආර්. ජයවර්ධන මහතාට පවසා තිබිණි. එවැනි හැඟීමක් ජේ.ආර්. තුළ වූ බවක් ද පෙනී ගිය අවස්ථාද එමටය.
ප්‍රේමදාස මහතා විසින් අගමැතිකම පියන් කමකට සමාන කළේ මෙවැනි වාතාවරණයක් මතය. ඇතැම් අවස්ථාවල ඔහු ප්‍රසිද්ධියේම ඒ බව ප්‍රකාශ කළේය. 1978 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව යටතේ මෙරට පොදු ජනතාව වෙත බලෙන් පටවන ලද ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය යටතේ රාජ්‍ය නායකයාද, රජයේ නායකයාද, අමාත්‍ය මණ්ඩලයේ නායකයා ද, සේනාධි නායකයා ද, ජනාධිපතිවරයාමය. ප්‍රේමදාස මහතා සියලු හපන්කම් පෙන්නුවේ පළාත් පාලන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ පිහිටෙන්ය.
(කේ.එච්.ජේ. විජයදාස මහතා විසින් රචිත “පහන් සංවේගය - දශක හයක මතක සටහන්” නමැති කෘතියෙනි. දයාවංශ ජයකොඩි සමාගමේ ප්රකාශනයකි.)
► ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා