
ඡන්දය ජනතාවගේ අයිතියකි. ජනතා කැමැත්තෙන් මහජන නියෝජිතයන් තෝරා ගැනීමට මැතිවරණයක් පැවැත්විය යුතුය. පළාත් පාලන ආයතන, පළාත් සභා, පාර්ලිමේන්තු මහ මැතිවරණය හා ජනාධිපතිවරණය වශයෙන් අංශ හතරක මැතිවරණ මෙරට පැවැත්වෙයි. දේශපාලන පක්ෂ සහ ස්වාධීන පිරිස් මැතිවරණවලට තරග කරති. ජනතා කැමැත්ත දිනාගෙන පාලන යාන්ත්රණයට සම්බන්ධ වන අතර රට යහපත් දිසාවකට යොමු කිරීම අපේක්ෂකයන්ගේ අරමුණ බවට සැකයක් නැත.
අලුත් දේශපාලන පක්ෂ සිය ගණනක් පොරොත්තු ලේඛනයේ
මැතිවරණ කොමිෂන් සභාව දක්වන අන්දමට අලුත් දේශපාලන පක්ෂ 145 ක් ලියාපදිංචිය සඳහා අවසර ඉල්ලා තිබේ. දැනට රට තළ පවතින ලියාපදිංචි දේශපාලන ලක්ෂ ගණන 70 කි. නිත්‍යානුකූල පක්ෂයක් වශයෙන් පිළිගැනීමට සංකීර්ණ ක්‍රියාවලියක් සම්පූර්ණ කළ යුතුය. දේශපාලන පක්ෂයක් වශයෙන් ජනතාව සමඟ වසර පහක් ක්‍රියාකාරීව සිටි බව ඔප්පු කළ යුතුය. බැංකු ගිණුම්, පක්ෂ සම්මේලන වාර්තා, සාමාජික අත්සන් ලේඛන යනා දී තොරතුරැ සෑහෙන ප්‍රමාණයක් අවශ්‍යය. අලුතින් ලියාපදිංචිය ඉල්ලන පක්ෂ සහ දැනටත් අනුමැතිය ලැබී ඇති පක්ෂවල ක්‍රියාකාරීත්වය සසඳා ඒවා මැතිවරණ ක්‍රමයට ඇතුළත් කරගැනීම ඉතාමත් භාරධූර කාර්යයකි.
පසුගිය ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ හතලිස් එක්දෙනෙක් ඇප මුදල් තැන්පත් කළහ. ඉන් තිස් පස්දෙනෙක් ඉදිරිපත් වූහ. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ඡන්ද ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාව භාවිත කළ අතර ඒවා බහාලන ඡන්ද පෙට්ටි අලුතින් හදන්නට සිදුවිය. ජනාධිපතිවරණ වියදම රු. බිලියන 4.5 ඉක්මවා යා හැකි බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය. 2019 වසර සඳහා මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය ලේඛනයෙන් මගී ජනතාවගේ පහසුව සඳහා අලුත් බස් රථ 250 ක් ආනයනයට වෙන් කළ මුදල රු. බිලියන 1.5 කි. ජනාධිපතිවරණයට ආණ්ඩුවේ නිල වියදම කොපමණ ද යන්න අවබෝධ කරගැනීමට එම ඉලක්කම් පහසුවක් වනු ඇත.
ශ්‍රී ලංකාව මැදි ආදායම් රටකි. ජනගහනයෙන් සෑහෙන කොටසක් සහනාධාර මත ජීවත් වෙති. රට තුළ සෑහෙන ප්‍රශ්න තිබේ. අධ්‍යාපන, සෞඛ්‍ය හා ප්‍රවාහන අංශවල දීර්ඝ කාලයක් නොවිසඳුණු බරපතළ තැන් ඇත. අලුත් වියදම් සඳහා ආණ්ඩුවට ධනය නැති අතර ධනය උත්පාදනය කරන මාර්ග ඇති කරන ප්රයත්නය සාර්ථක කරගැනීමට නොහැකි වී තිබේ. එවැනි පසුබිමක ඡන්ද වියදම් ගැන නැවත සිතා බැලීම සුදුසුය.
ප්රජාතන්ත්රවාදී පක්ෂවල අවිද්‍යාත්මක මෙහෙයුම්
දූෂණය තුරන් කර සහ වංචා නැති කර යුක්තිගරැක සමාජයක් හදන බවට පොරොන්දු දෙන දේශපාලන පක්ෂ හා ඒවායේ නායකයෝ පළමුවෙන්ම දූෂණය හා වංචාව වෙත නැඹුරැ වෙති. ඡන්ද ව්‍යාපාරයෙහි නිරත සියලු පක්ෂ හා අපේක්ෂකයෝ ඒවාට වැය කරන ධනය අත යටින් ලබා ගත් ඒවාය. මෙරට පවතින නීති අනුව මැතිවරණ වියදම් ප්‍රකාශයට පත් කළ යුතු නැත. අඩුම තරමින් පක්ෂ සාමාජිකයෝ අය වැය ගැන නොදනිති. පක්ෂ විධායක හෝ කෘත්‍යාධිකාරී මණ්ඩලවලට ඡන්දයකට වියදම් කළ මුදල් හෝ ඒවා ලැබුණ පිළිවෙල ගැන අවබෝධයක් නැත. මැතිවරණ කොමසාරිස්වරයාට වාර්ෂිකව පක්ෂ අය වැය ඉදිරිපත් කළ යුතු නමුත් එම ලේඛන පිරික්සන විට මෙරට පක්ෂ ඉතාම දුප්පත් බව පෙනේ. පක්ෂ නායකයන්, නිලධාරීන් හා වෘත්තීය සමිති නායකයන් වාර්ෂිකව සිය වත්කම් හෙළි කළ යුතුය. නමුත් එය කෙරෙන්නේ නැත. ඡන්දයක් ළංවන විට සල්ලි මලු එහා මෙහා වන අතර ඒවා බෙදෙන ක්‍රමය කිසිවෙකු නොදනී. ලැබුණ තැනක් ගැන සඳහනක් නැත. ලෝකයේ විගණන අංශ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සමාගම්වල ආදායම හා වියදම සොයා බලන නමුත් ශ්‍රී ලංකාවේ සමාගම්වල කිසිම අවස්ථාවක පක්ෂ අරමුදල්වලට කරන පරිත්‍යාග ගැන සඳහන් නොවේ. දේශපාලනයට වියදම් කරන ධනය නීත්‍යානුකූලව උපයා ගත් ඒවා නොවන අතර කළු සල්ලි යනුවෙන් ප්රකටය. උපයාගත් ආකාරය අනාවරණය කළ නොහැකි මෙම මුදල් මැතිවරණවලදී අත දිග හැර වියදම් කරන අතර ආණ්ඩුවක් බලයට පත් වූ පසු ඒවායේ ප්රතිලාභ උපයා ගැනීමට ක්‍රම සිදුවෙයි. එය ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය තුළ පවතින කුප්‍රකට තත්ත්වයක් බව දැක්විය යුතුය.
එක පැත්තකින් මැතිවරණ වෙනුවෙන් ආණ්ඩුව වියදම් කරන අතර අනෙක් පැත්තෙන් අපේක්ෂකයන් හා පක්ෂ මහා ධනස්කන්ධයක් වැය කරති. මැතිවරණ කොමිසම සිය මුදල ආණ්ඩුවෙන් ලබා ගන්නා අතර එය ජනතාව ගෙවන බදු බව පෙන්වා දිය යුතුව තිබේ. පක්ෂ වියදම් කරන බිලියන සංඛ්‍යාත ධනය එන්නේ කොතැනින්ද? ඒවා ද මෙරට ආර්ථිකයේ කොටසක් බව සඳහන් කිරීම අවශ්‍යය.
මැතිවරණ වියදම ගැන ඉන්දියාවේ කතාන්දරය
ඉන්දීය අවසන් මහ මැතිවරණය ලෝකයේ වඩාත් වියදම් සහගත ඡන්දය වශයෙන් ඉතිහාසයට එකතු වී ඇති බව මාධ්‍ය වාර්තා දක්වයි. අමෙරිකානු ඩොලර් බිලියන 8.7 ක් එළිපිට වියදම් කර තිබේ. එය 2014 මැතිවරණ වියදම මෙන් දෙගුණයකි. එක ඡන්දයකට ඉන්දීය රු. හත්සියයක් වැය කර ඇති අතර එක ආසනයක මැතිවරණ වියදම ඉන්දීය රැ. බිලියනයක් බව නවදිල්ලි මාධ්‍ය මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ. මෙම මුදල පරිස්සම් කරගත හැකි වී නම් ඉන්දියාවේ දුගී දරු පවුල්වලට සහනයකි. ශ්‍රී ලංකාවේ පවා මෙම තත්ත්වයම මෙයට වැඩිපුර බව නිසැකය.
එක ඡන්ද රැස්වීමක් සංවිධානය කරන්නට වැය කරන මුදල තක්සේරු කළ හැකිද? මාධ්‍යවල ප්‍රචාරණය අධික පිරිවැයක් සහිතය. සම්ප්‍රදායික මාධ්‍ය අභිබවා සමාජ මාධ්‍ය ප්‍රචාරය බලවත් වී ඇත. අවසානයේ දී ජනතාවගේ කැමැත්ත දිනා ගැනීමට ආයෝජනය කළ යුතු මුදල කිසිසේත් හිතා ගැනීමට බැරි තරමට ඉහළ නැග තිබේ.
ආණ්ඩුවෙන් වැය කළත් පෞද්ගලික අංශය ප්රදානය කළත් මැතිවරණ වියදම අන්තිමේදී පාරිභෝගිකයන් ගෙවන බද්දකි. ආණ්ඩුවේ ආදායම කෙලින්ම බදුවලින් ලැබෙන අතර ඡන්දවලට මුදල් හෝ ද්‍රව්‍ය තෑගි දෙන සියලුම දෙනා ඒවා නැවත හම්බ කරන්නේ තමන්ගේ නිෂ්පාදන හෝ සේවාවලින්ය. අපේක්ෂකයකුගේ රුස්වීමකට මාළු බනිස් බෙදන බේකරිය එය නැවත සිය පාරිභෝගිකයන්ගෙන් හම්බ කරගන්නා අතර එම කටුක පැත්ත ඉතාම නරක ඛේදවාචකයකි. මැතිවරණ වියදම වැඩිවන සෑම අවස්ථාවකම වන්දිය ගෙවන්නේ පොදු ජනතාව හැර අනෙකකු නොවේ. ප්‍රතිපත්ති සම්පාදකයෝ මෙම පැති ගැන අවධානය යොමු කළ යුතු අතර මැතිවරණ වියදම් සීමා කරන හා පක්ෂ අරමුදල් සම්බන්ධයෙන් විනිවිද පෙනෙන ක්‍රමයක් සකස් කිරීමට පියවර ගත යුතුව තිබේ.
බ්‍රිතාන්‍යය මැතිවරණ වියදම්වලට සීමා පනවා තිබේ. පක්ෂ, අපේක්ෂකයන් හා ස්වාධීන අපේක්ෂකයන්ට වියදම් කළ හැකි උපරිම සීමාව කොමිසම නියම කර ඇත. ඉකුත් බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ස්වාධින අපේක්ෂකයකුට වැය කළ හැකි උපරිම මුදල පවුම් 20,000 ක් වශයෙන් දක්වන ලද අතර මැතිවරණය අවසානයේ සියලු අපේක්ෂකයන් සිය ආදායම් හා වියදම් වාර්තා කොමිසමට ලබා දිය යුතු බවට නීතියෙන් නියම කර තිබේ. පසුගිය ඡන්දයේදී අන්තර් ජාල ප්‍රචාරණ වැය ගැන විශාල විවාදයක් ද පැවැති අතර එය කරන ක්‍රමවේදය ගැන තවමත් සාකච්ඡා කරමින් සිටී.
බලයට පැමිණීමෙන් පසු
බලයට පත්වන මහජන නියෝජිතයන්ට දෙන පහසුකම්වලට ගෙවන්නේ ද පොදු ජනතාවය. යහපාලන ආණ්ඩුවේ මැති ඇමැතිවරැ තීරෑ බදු රහිත වාහන ඇණවුම් කර තිබුණ අන්දම පසුගිය දිනවල අනාවරණය විය. කිසිම නීතියකට නැති අන්දමට අවශ්‍ය අයට පහසුකම් සැපයේ. පසුගිය ආණ්ඩුව විපක්ෂ නායකවරයාට සලකන ලද අන්දමට වත්මන් ආණ්ඩුව විපක්ෂ සංවිධායකට සලකන බව කැබිනට් පත්‍රිකා පෙන්වයි. මේවා මහජන මුදල්ය. ඉතිරි කරගතහොත් රටට හා ජනතාවටය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය අන්තිම නරක තැනකට පත්ව ඇත. 2019 වසරේ ආර්ථික වර්ධනය සියයට 2.7 ක තිබිණ. මෙම වසරේ පවා මහ බැංකුව සියයට හතරක වර්ධනයක් ගැන පුරෝකථනය කරන නමුත් පවතින පසුබිම අනුව එය සැක සහිතය. අඩු වර්ධනයක සිටිය දී සුපිරි වැය කරන්නේ කෙසේද? ජනතාව ප්‍රශ්න කළ යුතුය. ආර්ථිකය අක්‍රිය අවස්ථාවක ඡුන්ද පවත්වා ඒවායේ කටයුතු වෙනුවෙන් පෝස්ටර් මුද්‍රණය, ඒවා ඇලවීම, පුවත් පත්, ගුවන් විදුලි හා ටෙලිවිෂන් දැන්වීම් නිර්මාණය කිරීම හා පළ කිරීම, රුස්වීම් සංවිධානය කිරීම යනා දී දේ ව්‍යාපාර විය හැකිය. ඡන්ද රුස්වීමක් පවතින අවස්ථාවකට බත් පාර්සල් බෙදීම පවා අලුත් ආදායම් මාර්ගයකි. නව ආර්ථික අංශයක් පෝෂණය විය හැකි බව කියන්නට හැකියාවක් තිබේ. නමුත් ඇත්ත එය නොවේ. ඡන්දවලින් ආර්ථිකයක් නැගෙන්නේ නැත. ඡන්දයක දී විසි කරන්නේ කළු සල්ලි බව නැවතත් මතක් කළ යුතුය. මේවා ලැබෙන්නේ කොතැනින්ද? ඒවා විහිදෙන්නේ කෙසේ ද යන්න ගැන ද අවධානය යොමු කිරීම වැදගත්ය.
ගාමිණී සරත් ගොඩකන්ද