2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

අන්තර්ජාලයෙන් ණය දීලා ගසාකන ජාවාරම

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 524

ජීවිතයේ සියලු දෛනික අවශ්‍යතා කඩිනමින් සහ පහසුවෙන් ඉටුකර ගැනීමට අන්තර්ජාලය උපයෝගී කරගත හැකිය. රාජ්‍ය අංශය ප්‍රමුඛ සෞඛ්‍ය, සුබසාධන, අධ්‍යාපන, ව්‍යාපාරික, පාරිසරික මෙන්ම විනෝදාස්වාදය යන සෑම අංශයක්ම නූතනයේ ඩිජිකල්කරණය හරහා නව මාවතකට පිවිස තිබේ. කාර්යබහුල ජීවිතයකට අන්තර්ජාලය සහ ඩිජිටල් මෙවලම් කදිම තෝතැන්නක් වන විට ඒ හරහා කූඨ ජාවාරම් මෙහෙයවන අයවලුන්ගෙන් ප්‍රවේසම් වීමට ද කල්පනාකාරී විය යුතුය.

නව තාක්ෂණය සමඟ ඩිජිටල්කරණයට පා නැගූ ලෝකයේ ඉ-තැපෑල, ඉ-බෑන්කිං, ඉ-චැනලිං, ඉ-ටිකටිං, ඉ-බේ ආදී වශයෙන් හඳුන්වන නවතාවයන් ඔස්සේ ලිපි සහ තොරතුරැ යැවීම, බැංකු කටයුතු සිදුකිරීම, වෛද්‍යවරු වෙන්කරවා ගැනීම, ප්‍රවේශපත්‍ර වෙන්කිරීම, භාණ්ඩ මිලදී ගැනීම යනාදී ඕනෑම ක්‍රියාවක් පහසුවෙන් සිදුකරගත හැකිය. නිවෙසේ හෝ කාර්යාලයේ රැඳී සිටින විටදී, සංචාරයක නිරතවන අවස්ථාවේදී, නැතහොත් විශේෂයෙන් නිවාඩු දිනයක හෝ දවසේ ඕනෑම මොහොතක දී මෙවැනි කටයුතු සිදුකර ගැනීමට හැකිවීම කාර්යබහුල කාටත් සහනයකි.

මේ වන විට අන්තර්ජාලය හරහා සිදුකරන ව්‍යාපාර සහ සේවා සැපයීමේ අංශ රාශියක් පවතී. ඉහත සඳහන් කළ සේවාවලට අමතරව අන්තර්ජාලයෙන් ඉගැන්වීම, අධ්‍යාපනය ලැබීම, අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම සහ පහසු ණය යෝජනා ආදිය කැපී පෙනෙයි. අමතර මුදලක් ඉපයීමේ අපේක්ෂාවෙන් මෙන්ම කාර්යාල වේලාවට අමතරව පරිගණකයෙන් හෝ ස්මාර්ට් ජංගම දුරකතනයෙන් මුදල් ඉපයීමට උත්සාහ ගන්නා තරැණ තරුණියෝ ද මේ අතර වෙති. නොයෙක් විට ඒ පිළිබඳව කතා කරන සහ උපදෙස් පතන ආකාරය ද දකින්නට ලැබේ.

මෙකී කාරණා ඔස්සේ ඊට යොමුවන ජනතාවට අමතර ආදායමක් ලැබේ නම්, ජීවිතයට සහනයක් අත්වේ නම් එය යහපත් ප්‍රවණතාවයකි. එහෙත් එවැනි ක්‍රම සම්බන්ධයෙන් අසන්නට ලැබෙන්නේ, වාර්තා වන්නේ සුබදායක තොරතුරු නොවේ. විශේෂයෙන්ම ඒවා සියල්ල විවිධාකාර මූල්‍ය වංචා පිළිබඳවය.

ශ්‍රී ලංකා තොරතුරැ තාක්ෂණ සංගමය වෙත වාර්තා වී ඇති තොරතුරු පදනම් කර ගනිමින් එම සංගමය පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පදනම් කොටගෙන ක්‍රියාත්මක කරන මූල්‍ය වංචාවල වර්ධනයක් ඇති බවය. එවැනි සිදුවීම් ගණනාවක් පිළිබඳ තොරතුරැ එම සංගමයට වාර්තා වී ඇතැයි ද එවැනි මූල්‍ය ගනුදෙනුවලට සම්බන්ධ නොවී කල්පනාකාරීව සහ ප්‍රවේසමෙන් කටයුතු කරන්නැයි ද එම සංගමයේ සභාපති රජිව් කුරැවිටගේ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයන්න අපෙන් නොමිලේ ඉගෙන ගන්න ආදී වශයෙන් සිත් ඇදබැඳ ගන්නා වචන මෙන්ම ආකර්ශනීය ඡායාරෑප සහිතව පළ කරන දැන්වීම් ද මුහුණුපොත තුළ දැකිය හැකිය. වැඩි විස්තර සඳහා වෙබ් අඩවියට හෝ ෆේස්බුක් පිටුවට පිවිසෙන ලෙස ද ආයාචනය කොට තිබේ. ඊට උත්සාහ කරන පිරිස් එම උපදෙස් මත ක්‍රියා කරති. ප්‍රථමයෙන් නොමිලේ යැයි සඳහන් කර තිබුණද, වැඩි විස්තර සෙවීමේදී එහි විස්තර පත්‍රිකා අන්තර්ජාලය හරහා බාගත කළ යුතු බව දක්වයි. ඒ සඳහා අවශ්‍ය ගෙවීම සිය බැංකු ගිණුම්, ක්‍රෙඩිට් කාඩ් හෝ එවැනි මාර්ගයකින් සිදු කිරීමට උපදෙස් සපයා අවශ්‍ය මුදල් ගෙවීම් කළද අදාළ බාගත කිරීමට අවස්ථාව නොලැබීම මෙකී ජාවාරමේ ක්‍රමයයි.

ඒ අනුව යම් ජාවාරම්කරුවකු හෝ පිරිසක් ඒකරාශී වී අනුන්ගේ මුදල් වංචා කිරීම මෙසේ සිදුකරන බව අන්තර්ජාලය පරිහරණය කරන ජනතාව අවබෝධයෙන් පසුවිය යුතුය. මෙම මූල්‍ය වංචා මෙහෙයවන්නෝ බොහොමයක් තම බැංකු ගිණුමට හෝ වෙනත් විද්‍යුත් මුදල් ගනුදෙනු ක්‍රමයකට සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් මුදල් ලබාගෙන එම පිරිස් පොරොන්දු වන සේවා ලබාදීම පැහැරහැරීම සිදු කරති.

වර්තමානයේ සමාජ මාධ්‍ය මගින් සිදුකරන තවත් මූල්‍ය සේවාවක් වශයෙන් ණය පහසුකම් සැපයීම පෙන්වා දිය හැකිය. මේ හරහා සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ බැංකු දත්ත ලබාගැනීමට ජාවාරම්කරැවන් කටයුතු කරන බව වාර්තා වී ඇතැයි ද ශ්‍රී ලංකා තොරතුරැ තාක්ෂණ සංගමය පෙන්වා දෙයි.

අන්තර්ජාලයේ විවිධ වෙබ්අඩවි තුළ දක්වන දැන්වීම් හරහා අදාළ පිටුවට පිවිසීම සඳහා වන කෙටි සහ පහසුම ක්‍රමය පෙන්වා දෙයි. ඒ අනුව අදාළ විස්තර කියවීමට සහ එයට පිවිසීමට අවස්ථාව පවතී. බොහෝ ණය පහසුකම් සපයන බව කියන එවැනි සේවා ආයතන සඳහා ස්ථිර කාර්යාලයක්, ලිපිනයක් නොව දුරකතන අංකයක් හෝ නොමැත. එහෙත් ඔවුහු ගනුදෙනුකරැවන් අන්තර්ජාලය හරහා හැසිරවීමට උත්සාහ ගනිති. කෙසේවෙතත් එවැනි පිටුවකට පිවිස ණය මුදලක් ලබාගැනීමට උත්සාහ ගන්නා අයකු අදාළ පිටුවේ පළමු කොටස් නම, ගම, විස්තර ඇතුළු කළ යුතුය. අනතුරැව දෙවැනි පිටුව විවෘත වන අතර එහි සිය පෞද්ගලික තොරතුරැ ඇතුළත් කළ යුතුය. මෙම තොරතුරැවල රහස්‍යභාවය සුරකින බවට ද එම පිටුව මගින් පෙන්නුම් කරයි. තවත් ඉදිරියට යාමේදී රුකියාව සහ ලිපිනය වැනි තොරතුරැ සඳහන් කිරීම ද, ඉන්පසුව බැංකු ගිණුම් අංකය, ශාඛාව ද සඳහන් කළ යුතුය. අනතුරැව කෙටි පණිවුඩ සඳහා වන  කේතයක් එම ජාලය මගින් දන්වන බවද පෙන්වයි. අනතුරුව අයැදුම්පත්‍රය සම්පූර්ණ බවත්, ඉතා ඉක්මනින් ණය මුදල ලබාදීමට කටයුතු කරන බවත් දක්වයි.

මේ ආකාරයට පැයකින් හෝ දිනයකින් ණය මුදල ලබාදෙන බවට දක්වන අන්තර්ජාල දැන්වීම් ද දැකිය හැකිය. මෙලෙස හදිසි ණය මුදලක් ලබාගත් තරුණියක සිය අත්දැකීම මෙසේ විස්තර කළාය.

මම අවශ්‍යතාවකට රුපියල් 10,000 ක් අයැදුම් කළා. අන්තර්ජාලය හරහාම අවශ්‍ය විස්තර ලැබුණා. ජාතික  හැඳුනුම්පත් අංකය, බැංකු ගිණුම් අංකය පවා ගත්තා. ණය මුදල දෙනවා කීවාට දිනයක් වෙලාවක් කීවේ නෑ. දවස් දහයකට පස්සෙ මට කෝල් එකක් ආවා. ඔබේ ණය මුදල ගෙවීමට නියමිත දිනය හෙමින් අවසන් වෙනවා. අලුත් කරන්න රැපියල් 1000 ක් දාන්න කියලා ගිණුම් අංකයක් කීවා. විස්තර අහලා මම මගේ ගිණුම බැලුවාම මුදල ඉල්ලපු දවසට පහුවදා රුපියල් 10,000 ක් දාලා. මම දන්නෙත් නෑ. දින දහයකින් මුදල ගෙවන්න ඕනලු. හරියට පොලිය කීවෙ නෑ. මම කෝකටත් සල්ලි තිබුණු නිසා රුපියල් 1000 ක් ගෙව්වා. ඊටපස්සෙ කීවා ඔබේ ඉතිරි මුදලට පොලිය 4200 ක් වෙනවා. ඒක දින හතරකින් දාන්න කියලා. ඒකත් දැම්මා. එහෙම දවසක් දෙකක් පහුවෙද්දී ගත්තාට වඩා ගෙවන්න වෙනවා. මට රුපියල් 7,200 ක් විතර ගෙවන්න වුණා. ගෙවීම් කරන එකත් කාගිල්ස් ෆුඩ් සිටියෙන් හරි සම්පත් බැංකුව හරි පේ ඇන්ඩ් ෂෝ යන්ත්‍රයකින් ගෙවන්න කීවා. එහෙම ගෙව්වත් ලදුපතක් නිකුත් කරන්නේ නෑ. අපිට මැෂිමෙන් ලැබෙන රිසිට් එක දිනකින් දෙකකින් මැකිලා යනවා. එතකොට ආයෙත් කෝල් කරලා සල්ලි ඉල්ලනවා. සල්ලි දැම්මා කීවාම ඔප්පු කරන්න කියනවා. රිසිට් මකලා ඔප්පු කරන්න බෑ. එයාල අපිට නඩු දාන්න හදනවා. නැත්නම් කියන ගාණ ගෙවන්න කියනවා.

මෙම අකරතැබ්බයට මුහුණපෑ තරුණිය අදාළ අන්තර්ජාල පිටුව වඩාත් පරීක්ෂාවට ලක් කිරීමේදී දැක ඇත්තේ එයට දක්වන ප්‍රතිචාර තුළ බොහෝ අප්‍රසාදය පළ කර ඇති බවකි. දිගින් දිගටම ජනතාව රවටා මුදල් වංචා කර ඇති බව ඇය හඳුනාගෙන තිබුණේ ද අනතුරුවය.

මෙවැනි සිදුවීම් නිතිපතා වාර්තා වන පසුබිමක අන්තර්ජාලය හරහා ඉහත සේවා ලබාගැනීමට සමාජ මාධ්‍ය පරිශීලකයන් කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳ වඩාත් අවධානයෙන් පසුවන්නැයි ශ්‍රී ලංකා තොරතුරැ තාක්ෂණ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටී. එහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ බැංකු පරිශීලක නාම (User name) සහ මුරපද (Password) මුදල් ලබාදීමට කටයුතු කරන පිරිස් වෙත කිසිම විටෙක ලබා නොදිය යුතු බවය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර