2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

සයින්දමරුදුවට ලැබුණු දේශපාලන පොරොන්දුව

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 78

කල්මුණේ මහ නගර සභාව යටතේ පවතින සයින්දමරුදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙනම නගර සභාවක් ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් පසුගිය සතියේ නිකුත් කෙරිණි. නගර සභා ආඥා පනතේ 284 වැනි වගන්තිය යටතේ  ඇමැතිවරයාට පැවරී ඇති බලතල අනුව රාජ්‍ය පරිපාලන, විදුලි සංදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් කල්මුණේ මහ නගර සභාවට අයත් සීමා වෙනස් කොට නව පළාත් පාලන ආයතනයක් ලෙස සයින්දමරුදු නගර සභාව පිහිටුවීම සඳහා මෙම අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. ඒ අනුව 2022 මාර්තු 20 වැනිදා සිට සයින්දමරුදු නගර සභාවේ නිල කාලය ආරම්භ වීමට නියමිතය. සයින්දමරැදු නගර සභා බල ප්‍රදේශයට ග්‍රාමසේවා වසම් 17ක් ඇතුළත්ය.

සයින්දමරුදු අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනෙන් එකකි. එම ප්‍රදේශයට නගර සභාවක් ලබාගැනීම සඳහා බොහෝ කලක සිට එහි මුස්ලිම් ප්‍රජාවේ ඉල්ලීමක් තිබිණි. මහින්ද රාජපක්ෂ පාලන සමයේ (2010 – 2012 කාලයේ) පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා ලෙස කටයුතු කළේ අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කළ ඒ.එල්.එම්. අතාවුල්ලාය. ඔහු වෙතින් ද එම ඉල්ලීමට සාධාරණයක් ඉටු වූයේ නැත. දෙමළ සන්ධානයද සයින්දමරැදුවට වෙනම පළාත් පාලන ආයතනයක් ලබා දීමට විරෝධය පළ කර තිබිණි. කල්මුණේ උතුර බහුතරයක් සිටින්නේ දෙමළ ජනතාවය. සයින්දමරුදු සඳහා වෙනම නගර සභාවක් ලබා දෙන්නේ නම් දෙමළ බහුතරයක් සිටින කල්මුණේ උතුර සඳහා තමන්ටද වෙනම නගර සභාවක් අවශ්‍ය බව ඔවුන් කියා තිබිණි. 

පැවැති යහපාලන රජය මේ සම්බන්ධයෙන් සලකා බලමින් සිටි අතර ඒ සඳහා නිශ්චිත තීරණයකට එළැඹ තිබුණේ නැත. 2019 ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සයින්දමරැදු ප්‍රදේශයේ පැවති ජන හමුවකදී කියා සිටියේ මැතිවරණයෙන් පසු කල්මුණේ සයින්දමරැදු ප‍්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස නම් කිරීමට කටයුතු කරන බවටය. එම මැතිවරණ පොරොන්දුව ඉටු කරමින් නව රජය මුස්ලිම් ප්‍රජාවගේ ඉල්ලීම ඉටු කිරීමට කටයුතු කළේය. වසර කිහිපයක් ඇදෙමින් තිබූ තම ගැටලුවට විසඳුමක් ලැබීම සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව තැන තැන කිරිබත් කමින් රතිඤ්ඤා දල්වමින් සතුටු වන අයුරු දැකිය හැකි විය. 

කල්මුණේ නගර සභාව බිහි වූයේ 1987 දීය. එවක සයින්දමරැදු පැවතියේ ගම් සභාවක් ලෙසිනි. ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ පළාත් පාලන ආයතන යළි ප්‍රතිසංවිධානය කිරීම යටතේ 2001 දී කල්මුණේ මහා නගර සභාවක් ලෙස උසස් කෙරිණි. ඒ අනුව එම කලාපය කල්මුණේ, කල්මුණේ උතුර හා සයින්දමරැදු වශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3කට අයත් විය. කල්මුණේ මහ නගර සභාවට පළමු වරට මහජන ඡන්දයෙන් සභිකයන් තේරී පත්වූයේ 2006 වසරේය. එහි ආසන 19න් 10ක්ම හිමි වූයේ එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් තරග කළ මුස්ලිම් කොංග්‍රසයටය. ඉලංකෛයි තමිල් අරසු පක්ෂය ආසන හයක්ද, එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන දෙකක්ද ස්වාධීන කණ්ඩායමක් එක් ආසනයක් ද දිනා ගත්තේය. 

කල්මුණේ මහ නගර සභාවේ වැඩි බලය මුස්ලිම් කොංග්‍රසයට හිමිවීම මත සයින්දමරුදු ප්‍රදේශයට හිමිවූයේ කුඩම්මාගේ සැලකිල්ලකි. එහි ප්‍රතිඵලය වූයේ කල්මුණේ මුස්ලිම් කොංග්‍රසයට එරෙහිව සයින්දමරැදු මුස්ලිම් ජනතාව වෙනත් මුස්ලිම් නායකයන් වටා එකතු වීමය. සයින්දමරැදු ප්‍රදේශයට වෙනම පළාත් පාලන ආයතනයක් ඉල්ලා සිටීමට බලපෑවේ එම විරසකයයි. 2015 ජනාධිපතිවරණයේදී සයින්දමරුදු වැසියන්ගේ ප්‍රධානතම ඉල්ලීම වූයේ වෙනම පළාත් පාලන ආයතනයකි. එක්සත් ජාතික පක්ෂය එය ඉටු කරන බවට පොරොන්දුවක් ලබා දුන්නද නැගෙනහිර වැඩි බලයක් හිමිකරගෙන සිටි මුස්ලිම් කොංග්‍රසය එයට බාධා කළ බව පැවසිණි. කල්මුණේ පැවැති බල අරගලයේ සැබෑ මුහුණුවර මතු වූයේ 2018 පෙබරවාරියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදීය.

තම සම්ප්‍ර‍දායික පක්ෂය වන මුස්ලිම් කොංග්‍ර‍සයෙන් තරග නොකර, සයින්දමරුදු ප්‍රදේශයේ ආගමික නායකයන්ගේ අනුග්‍ර‍හය ඇතිව ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට ඔවුහු පියවර ගත්හ. සයින්දමරැදු ප්‍රදේශයේ බහුතර ඡන්ද හිමි වූයේ එම ස්වාධීන අංක 4 කණ්ඩායමටය. මුස්ලිම් කොංග්‍රසය එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් තරග කළ අතර සයින්දමරුදු ප්‍රදේශයට දොඩම් ගෙඩිය ලකුණින් තරග කළ ස්වාධීන කණ්ඩායම අංක 4 මුස්ලිම් කොංග්‍රසයට කරට කර තරගයක් දීමට සමත් විය. එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කළ මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 17,400ක් ලබා 29% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා විට දොඩම් ගෙඩිය ලකුණින් තරග කළ ස්වාධීන කණ්ඩායම අංක 4ට ඡන්ද 13,200ක් හෙවත් 22%ක ප්‍රතිශතයක් ලැබිණි. එජාපයෙන් තරග කළ මුස්ලිම් කොංග්‍රසය කල්මුණේ මහ නගර සභාවේ ආසන 12ක් හිමිකර ගන්නා විට දොඩම් ගෙඩිය ලකුණින් තරග කළ ස්වාධීන කණ්ඩායම අංක 4 ආසන 9ක් දිනාගැනීමට සමත් විය. රිෂාඩ් බදුයුදීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය ආසන 5ක් ද තමිල් අරසු පක්ෂය ආසන 3ක් ද හිමිකර ගත්හ.

එහෙත් එවරද මුස්ලිම් කොංග්‍රසය සයින්දමරුදුවේ දොඩම් ගෙඩිය කණ්ඩායම හා සන්ධානගත නොවී දෙමළ සන්ධානය සමඟ එක්ව නගර සභාවේ බලය පිහිටුවීමට සමත් විය. ඔවුන් සයින්දමරුදු මුස්ලිම් ප්‍රජාව නොතකා හැරිය බවක් පෙනෙන්නට තිබිණි. 2019 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ තම අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුවහොත් සයින්දමරුදු ජනතාවගේ ඉල්ලීම ඉටු කරන බවට පොරොන්දුවක් දුන් අතර පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ එකඟතා පත්‍රයකටද අත්සන් තැබීය. ජනාධිපතිවරණයේදි සයින්දමරුදු ප්‍රදේශයෙන් ගෝඨාභය රාජපක්ෂට ඡන්ද 7286ක් හිමි විය. සයින්දමරුදු ප්‍රදේශයට වෙනම පළාත් පාලන ආයතනයක් හිමිවූයේ එලෙසය.

සයින්දමරුදුවට වෙනම නගර සභාවක් ලබා දීම සම්බන්ධයෙන් ඇතැම් දේශපාලකයන් විවිධ ප්‍රකාශ කරනු දැකිය හැකිය. තනිකරම මුස්ලිම් ප්‍රජාවක් වෙසෙන ප්‍රදේශයකට වෙනම පාලනයක් ලබා දීමෙන් භයානක තත්ත්වයක් උද්ගත විය හැකි යැයි ඔවුහු පවසති. විශේෂයෙන් පසුගිය පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වූ සහරාන්ගේ නිජ භූමියද සයින්දමරුදුය. පසුගිය කාලයේ මුස්ලිම් ප්‍රජාව රහසිගතව සිදුකළ අන්තවාදී ක්‍රියා, මද්‍රසා පාසල්, ෂරියා නීති ව්‍යාප්තිය වැනි දෑ වඩාත් පහසුවෙන් කිරීමට අවසර ලැබෙන බව ඇතැමුන් නගන චෝදනාවකි. කෙසේ වුවද සයින්දමරුදු ප්‍රදේශයට වෙනම පළාත් පාලන ආයතනයක් ලබා දීම සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් එනම් ජනගහනය 25000 ඉක්මවීම, ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට 2000ක් වීම හා නිවාස සංඛ්‍යාව 6000 ඉක්මවීම වැනි සියලු නිර්ණායක ඔවුන් සපුරා තිබූ පැවසේ.

මෙලෙස මුස්ලිම් ප්‍රදේශයකට වෙනම පළාත් පාලන ආයතනයක් ලබා දීමත් සමඟ දෙමළ බහුතරයක් සිටින කල්මුණේ උතුරැ ප්‍රදේශයට වෙනම දෙමළ පළාත් පාලන ආයතනයක් ලබා දෙන ලෙසට දෙමළ සන්ධානය කරන ලද ඉල්ලීම යළි කරළියට පැමිණිය හැකිය. ඒ සඳහා රජය කෙබඳු පියවරක් ගන්නේද යන්න ඉදිරියට බලාගත හැකිවනු ඇත.

සයින්දමරුදු නගර සභා ගැසට් පත්‍රය අත්හිටුවයි

රටේම පවතින පළාත් පාලන ව්‍යුහ වෙනස් කිරීමේ අවශ්‍යතා සලකා බලා සියල්ල එකවර සිදුකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති හෙයින් සයින්දමරුදු වෙනම නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව 20.02.2020 දින සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

සයින්දමරුදු ප්‍රදේශය සඳහා වෙනම පළාත් පාලන ආයතනයක් ලබාදීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් විවේචන එල්ල වූ අතර රජය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර මෙය ක්‍රියාවට නැංවූ බවට චෝදනා එල්ල විය. සයින්දමරුදු නගර සභා ගැසට් පත්‍රය අවලංගු කළ බවට වන නව ගැසට් පත්‍රය දින කිහිපයක් තුළ නිකුත් වීමට නියමිතය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා