සාර්ලිස් මාස්ටර්ගේ චිත්‍ර අතරින් සීවලී මහ රහතන් වහන්සේගේ චිත්‍රය ඉතා ජනප්‍රියය. 1911 දී කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන් විහාරයේ සිතුවම් ඇඳීමෙන් ස්වාධීන චිත්‍ර ශෛලියක් නිර්මාණය කරගත් එම්. සාර්ලිස් ඊට පසු විහාර රාශියක චිත්‍ර නිර්මාණය කළේය. ඒ අතරින් සමහර විහාරවල චිත්‍ර පසුකාලීන අලුත්වැඩියාවන් නිසා විනාශ වී තිබේ. කිරිබත්ගොඩ ඊරියවැටියේ සුනන්දාරාමය, තිඹිරිගස්යාය ඉසිපතනාරාමය, ඉඳුරුව කයිකාවල යාලේගම විහාරය, තම්මිට බෝමළුවේ විහාරය, මහනුවර කටුකැලේ විහාරය, පොතුපිටියේ පූජාරාමය, තිස්සමහාරාමය, මතුගම පාන්තියේ මහා මංගල විහාරය, බෝමිරියේ ගණේවත්ත විහාරය ඔහුගේ නිර්මාණ සහිත විහාර වේ. මේ අතරින් පාන්තියේ විහාරය වැදගත් වන්නේ එහි චිත්‍ර හා මූර්ති කිසිදු වෙනස් වීමකට භාජනය නොවී අද දක්වාත් ඒ අයුරින්ම පවතින හෙයිනි.
විහාරයේ ඉතිහාසය පිළිබඳව විහාරාධිපති නවුත්තුඩුවේ විමල හිමියෝ අප සමඟ මෙසේ පැවසූහ.
“වර්ෂ 1778 දී මේ විහාරය මුලින්ම ආරම්භ කළ බව ලේඛනවල සඳහන් වෙනවා. මල්පොල ගුණරතන හාමුදුරුවෝ තමයි පළමු විහාරාධිපති වුණේ. පැරණි බුදුමැදුර තවමත් තිබෙනවා. නමුත් ඒක පසුව ප්‍රතිසංස්කරණය කරලා. අලුත් විහාරගෙයක් ඉදිකිරීම ආරම්භ කළේ 1919 දී දියගම සාරානන්ද හාමුදුරැවෝ. උන්වහන්සේ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ 1906-1915 කාලය තුළ ඉගෙන ගෙන තිබෙනවා.”
එම්. සාර්ලිස් චිත්‍ර ශිල්පියා දියගම සාරානන්ද හිමියන්ට හමුවූයේ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙණේදී බව පෙනේ. ඒ මාලිගාකන්ද විද්‍යෝදය විහාරයේ චිත්‍ර නිර්මාණය කර ඇත්තේද සාර්ලිස් මාස්ටර් නිසාය.
බොහෝ විහාරවල පැරණි චිත්‍ර නැවත අලුත්වැඩියා කිරීමෙන් වනසන සමයක මේ සිතුවම් හා මූර්තිවල අගය වටහාගත් විමල හිමියෝද චිත්‍ර කලාව ඉගෙනගත් එය රසවිඳින භික්ෂූන් වහන්සේ නමකි. වර්ෂ 1936 වනවිට නව විහාරයේ චිත්‍ර හා මූර්ති එම්. සාර්ලිස් විසින් නිමකර නේත්‍ර මංගල්‍යයක්ද පවත්වා වැඩ අවසන් කර තිබේ. ඒ බව විහාරයේ උළුවස්සට යටින් මෙසේ සඳහන් කර ඇත.
“ශ්‍රී බුද්ධ වර්ෂ 2447ක් වූ පොසොන් මස, 1932 ජූනි 27 වෙනි සඳුදා ප්‍රථම නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය සිද්ධ කොට 1936 අප්‍රේල් 27 සඳුදා සූවිසි විවරණ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය සිද්ධ කොට වැඩ අවසන් කරන ලදී.”
මෙහි චිත්‍ර අතර වියනේ ඇඳ තිබෙන මංගල සූත්‍ර දේශනාව අගනා නිර්මාණයක් බව කලා විචාරක ගාමිණී ජයන්ත මෙන්ඩිස් සඳහන් කරයි.
“වියන් සිත්තමක් ලෙස මල්, කොළ, මෝස්තර රටා, සිතුවම් කිරීමට වඩා මානව රූප සහිත අර්ථාන්විත කතාවක් සිත්තමට නැගීම අතිශය දුෂ්කර කටයුත්තක් වුවද මෙහිදී එය ඉතා උනන්දුවෙන් හා ඉවසීමෙන් යුතුව සිතුවම් කර ඇති බව පෙනේ. බෞද්ධ දෘෂ්‍ය සන්නිවේදන ක්ෂේත්රයෙහිලා ඇම්. සාර්ලිස් විහාර සිතුවම් තුළින් ඉදිරිපත් කළ උසස්ම නිර්මාණය වන්නේද ශ්‍රී මහා මංගල විහාරයේ මහා මංගල සූත්‍ර දේශනාව සිත්තමය.” මෙම චිත්‍රය සිවිලිමේ විශාල ඉඩ ප්‍රමාණයක කොටු වශයෙන් බෙදා නිර්මාණය කර තිබේ. එයට අමතරව මූර්ති වශයෙන් පිරිනිවන් මංචකය, හිඳි බුදු පිළිමයක්, හිටි බුදු පිළිමයක්, දේව රූප, මහින්දාගමනය නිර්මාණය කර තිබේ. සිතුවම් සඳහා බුද්ධ චරිතය, දස පාරමිතා, දිව්‍ය ලෝකයේ සිද්ධි, ලංකාවේ පැරණි සිද්ධස්ථාන තේමා කරගෙන ඇත.
සියවසකට ආසන්න කාලයක් ගතවීම නිසා පාන්තිය විහාරයේ චිත්‍ර පතුරු ගැලවී යමින් දුර්වර්ණ වෙමින් පැවතුණි. සමහර චිත්‍ර විනාශවීමද ඇරඹී තිබුණි. මේ නිසා මෙම වටිනා චිත්‍ර සම්භාරය ආරක්ෂා කර ගැනීමට විහාරාධිපති නවුත්තුඩුවේ විමල හිමියන්ට අවශ්‍ය විය. ඒ සඳහා සුදුසු චිත්‍ර සංරක්ෂකයන් සොයාගැනීමේ අභියෝගයට උන්වහන්සේ මුහුණ දුන්හ. බම්බලපිටියේ වජිරාරාමයේ චිත්‍ර සංරක්ෂණය කරන කණ්ඩායමක් ගැන උන්වහන්සේට තොරතුරු ලැබෙන්නේ ඒ අතරය. ෆේස්බුක් හරහා වජිරාරාම විහාරයේ සංරක්ෂණ කටයුතු ගැන තොරතුරු දැනගෙන මතුගම තරුණයෙක් විමල හිමියන්ට පවසා තිබුණි. ඒ අනුව කළ ආරාධනය මත එම සංරක්ෂණ කටයුතු කළ ඒ.එල්.ඩී. ටර්නන් ඇතුළු කණ්ඩායම පාන්තිය විහාරයට ගොස් විමල හිමියන් හමුවූහ.
“නායක හාමුදුරුවෝ චිත්රවල වටිනාකම දන්නා කෙනෙක්. අපිටත් ඒ ගැන ගොඩක් සතුටුයි. සාර්ලිස් මාස්ටර්ගේ චිත්‍ර අපි පරීක්ෂා කළ විට පුස්, දැලි බැඳිලා, සීරිලා තිබුණා. සමහර තැන්වල බදාම ස්ථරයට හානිවෙලා තිබුණා. බිත්තිවල බොල්වීමක්ද නිරීක්ෂණය වුණා. බදාම කැඩුණු තැන්වලට පසුකාලීනව සිමෙන්ති බදාම දැමීම නිසා ඒ අවට චිත්‍ර දුර්වර්ණ වී තිබුණා. බදාම ආධාරකය සහ බිත්ති අතර සමහර තැන්වල මි.මී. 1- මී.මී. 0.5 පමණ හිදැසක්ද හැදිලා...” අප සමඟ පැවසුවේ “විහාර සියයක සිතුවම් සුරකිමු” වැඩසටහනේ නිර්මාතෘ ටර්නර්ය. ඔහු පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් බිතුසිතුවම් සංරක්ෂණය පිළිබඳව හැදෑරූ අයෙකි.
චිත්‍ර පරීක්ෂා කළ ඔහු ඇතුළු කණ්ඩායම ඒ සඳහා සංරක්ෂණ සැලසුමක් සකස් කළහ. ටර්නර් සමග ආර්.එම්. රසිකා, ප්‍රේමනාත් කෝට්ටගේ, ඒ.එල්.ඩී. සිරිසේන ද මෙම කාර්යයට දායක වෙති. මුලින්ම විහාරයේ චිත්රවල ඉතිහාසය, එහි වර්තමාන ස්වරූපය පිළිබඳව වාර්තාවක් සකස් කරන අතර ඊට පසු සංරක්ෂණය ආරම්භ කෙරේ. සෑම චිත්රයක්ම සංරක්ෂණයට පෙර මුලින්ම කරන්නේ බදාමය ශක්තිමත් කිරීමය. බිත්තිය සහ බදාමය අතර හිදැස් තිබෙනවා නම් ඒ අතර හුණු මිශ්‍රණයක් පිරවීම සිදුවේ. ඊටපසු සිමෙන්තියෙන් අලුත්වැඩියා කළ කොටස් ඉවත් කර මුල් බදාමයට සමාන බදාමයෙන් (හුණු/වැලි) ඒවා සකස් කෙරේ.
“සංරක්ෂණයට පෙර චිත්රයේ වර්ණ ඡායාරූපයක් ලබාගන්නවා. ඊට පසු බිත්තියේ වර්ග මීටර් 1ක කොටුවක ප්‍රමාණයක් කඩදාසියක ඇඳගන්නවා. එහි චිත්‍රය තිබූ ආකාරයෙන් විනාශ වූ ස්ථාන ආදිය තිබෙන ලෙසට තමයි අඳින්නේ. පසුව වර්ග මීටරයට අදාළ දත්ත වාර්තාවක් ලබා ගන්නවා. මේ නිසා සංරක්ෂණයට පෙර චිත්‍රය තිබූ ආකාරය දැනගත හැකියි. පසුව ගම් වර්ගයකින් කැඩුණු තැන් අලවා ගන්නවා. ඊටපසු පිරිසිදු කිරීම් කර බොල් පුරවා බිත්තිය සහ ආධාරකය ශක්තිමත් කරනවා.”
මෙම චිත්‍ර බිත්තිවල සහ දැවයෙන් කළ වියනේද නිර්මාණය කර තිබේ. ඒවා ඇඳ තිබෙන්නේ එකල පිටරටින් ගෙන්වූ කුඩු සායම් වර්ගයකිනි. ඒවා දොරණ තෙල් සමඟ මිශ්‍ර කර ඇඳ තිබේ.
“බදාමය ශක්තිමත් කරගත් පසු වර්ණ ලබන ස්ථරයේ අඩු කොටස් නැවත සකසනවා. මකුළු මැටි ඒ සඳහා යොදාගන්නවා. ඒ මත තමයි චිත්රයේ විනාශ වූ කොටස් නැවත අඳින්නේ. විශාල කොටසක් ගැලවිලා නම් අඳින්නේ නැහැ. රේඛා හඳුනාගත හැකි තැන් පමණයි නැවත අඳින්නේ. දියසායම් වර්ගයකින් තමයි අඩු තැන් පුරවන්නේ. චිත්‍රය සම්පූර්ණ කළ පසු වාර්නිෂ් එකක් ආලේප කරනවා...” ඔහු පැවසුවේය.
1880 ජූනි 25දා උපත ලද එම්. සාර්ලිස් ජීවිතය නිමාකළේ 1955 නොවැම්බර් 21දාය. එම කාල සීමාව තුළ ශ්‍රී ලාංකේය චිත්‍ර කලාවට ඔහුගෙන් ඉටුවුණේ අමිල මෙහෙයකි. ඔහු චිත්‍ර කලාවට බටහිර ආභාෂය මුසු කළේය. සමහර ලක්ෂණ නෑකම් කියන්නේ මෝගල් චිත්‍ර කලාවටය. ඔහුගේ චිත්‍ර සුරුකි විහාර මන්දිරයකට නැවත පණදීමේ සංරක්ෂණ කාර්යය අප අගය කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය දායකත්වය සපයන්නේ විහාරාධිපති විමල හිමි හා දායක සභාවයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් කරනා පැරණි විහාර චිත්‍ර සංරක්ෂණයට අමතරව තවත් විහාර රාශියක වටිනා සිතුවම් ශේෂව පවතී. විහාර චිත්‍ර සංරක්ෂණය සඳහා ලංකාවටම සිටින මුළු සංරක්ෂණ ශිල්පීන්ගේ සංඛ්‍යාව 100කට අඩුය. මේ නිසා බොහෝ විහාර සිතුවම් නවීකරණයෙන් වැනසී යාම සිදුවේ. මේ නිසා විහාර 100ක බිතුසිතුවම් තම ජීවිත කාලය තුළ සංරක්ෂණය කිරීම අරමුණු කරගත් ටර්නර් ඇතුළු නඩය ගැන අපට සතුටුය.
►කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ සැපයීම විජයසිරි මතුගම