2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

අහිංසකයකු බිලිගත් නළුවාගේ රථගාය!

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 659

ප්‍රධාන මාර්ග ආශ්‍රිතව සිදුකරන සංවර්ධන කටයුතු බහුලව දකින්නට තිබේ. ඊට සමගාමීව සිදුකරන මාර්ග වසා තැබීම හා කැණීම් බොහෝවිට රථවාහනවලට සහ මගී ප්‍රවාහනයට මෙන්ම පදිකයන්ටත් බාධාවකි. අපේම පහසුව තකා ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් කරන මාර්ග සංවර්ධන කටයුතුවලට දායක වන කම්කරුවන්ගේ සේවය පැසසුම් සහිතය. එහෙත් මේ අවාසනාවන්ත කතාව එවැනි අහිංසක කම්කරුවකුට මරණය නියම කළ රිය අනතුරක් ගැනය.

ගම්මන ලියනගේ වසන්ත උදය කුමාර හිතමිතුරන් කිහිප දෙනකු සමඟ කොන්ත්‍රාත් සමාගමක කම්කරුවන් ලෙස සේවය කරමින් සිටියේය. මතුගම, මීගහතැන්න, වෙලපහළ ප්‍රදේශයේ පදිංචිව සිටි වසන්ත උදයකුමාර මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ උප කොන්ත්‍රාත් ලබාගත් සමාගමක් යටතේ සේවයේ නිරතව තිබුණි. වසන්ත ඇතුළු පිරිසට නියමිතව තිබුණේ ප්‍රධාන මාර්ග කිහිපයක පදිකමාරු හා මාර්ග සීමා ක්‍රමවත් ලෙස ස්ථාපිත කිරීමය. ඒ සඳහා විශේෂිත වූ තීන්ත ආලේපයක් හා ඊටම අයත් යන්ත්‍රයක් හා අවශ්‍ය උපකරණ කොන්ත්‍රාත් සමාගම විසින් සපයා තිබිණි. වසන්ත ඇතුළු පිරිසට රාජකාරි පැවරී තිබුණේ බොරැල්ල - කොට්ටාව 174 බස් මාර්ගයේ ස්ථාන කිහිපයක පදික මාරු ස්ථාපිත කොට තිබෙන ස්ථාන ආසන්නයේ වෙනත් මාර්ග සලකුණු සටහන් කිරීමය. ඒ අනුව පදික මාරුවක් ඉදිරියෙන් තිබෙන බව දැන්වීම සඳහා මාර්ගය මැද සුදුපැහැති කොටුවක් සටහන් කිරීමට වසන්ත ඇතුළු පිරිස කටයුතු කරමින් සිට ඇත. කම්කරුවන් පිරිස පසුගිය බදාදා සවස සිට රාත්‍රී සේවයේ නිරතව තිබුණේ අදාළ කොන්ත්‍රාත් කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහාය.

රාජකාරි ආරම්භයට මත්තෙන් සියලුම සේවකයින් ආරක්ෂිත නිල ඇඳුම් පැළැඳ මාර්ගයේ ආරක්ෂාව සඳහා ලුමිනස් කේතු තබා අවශ්‍ය ප්‍රමාණයට මාර්ගයේ ඉඩ ලබාගෙන කටයුතු කරමින් තිබුණේ ආරක්ෂිත ආලෝක සංඥාවද භාවිත කරමිනි. මේ ආකාරයට කම්කරුවන් දස දෙනෙකුගෙන් පමණ වූ කණ්ඩායම මනා ලෙස සේවය කරමින් සිට තිබුණේ බත්තරමුල්ල පන්නිපිටිය මාර්ගයේ කලල්ගොඩ පසුකළ විට හමුවන වෙලේහන්දිය ආසන්නයේය.

මධ්‍යම රාත්‍රිය ඉක්මවා සේවයේ යෙදී සිටි කම්කරු පිරිස පසුකර ආගිය වාහන අපමණය. මැදියම් රැයේ 12.45 පසුවෙමින් තිබියදී බත්තරමුල්ල දෙසින් පන්නිපිටිය දෙසට ධාවනය  වෙමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයකි. ඒ වනවිටත් වසන්ත ඉතා ඕනෑකමින් සිය රාජකාරිය කරමින් සිටි අතර මාර්ගයේ වම් තීරුවේ පදික මාරුවට මීටර් කිහිපයකට මත්තෙන් වන මාර්ග සංඥාව ස්ථාපිත කරමින් පාරේ බිමට පහත් වී සිට ඇත. මේ මොහොතේ ඔවුන් පසුකර යන්නට අධික වේගයෙන් ආ සුදුපැහැති බෙන්ස් වර්ගයේ මෝටර් රථය රාජකාරියේ නිරතව සිටි වසන්ත යටකරගෙන ගියේ කිසිවෙකුත් විශ්වාස නොකළ පරිද්දෙනි.

මාර්ගයේ ආරක්ෂාවට තබා තිබූ ලුමිනස් පැහැ කේතු යටකරගෙන පැමිණි මෝටර් රියේ ගැටුණු වසන්ත මීටර් 20ක් පමණ ඈතට විසි වී ගොස් වැටිණ. එහෙත් නොනවත්වා ධාවනය කළ මෝටර් රථය තවත් මීටර් 150ක් පමණ ඈතට ගොස් නතර කර තිබිණ. ඒත් සමඟ වසන්ත හා සේවය කළ සගයන් කිහිපදෙනකු එතැනට දිවගොස් තිබූ අතර ඒ මොහොතේ රථයේ රියැදුරු රථය පණගන්වා තිබුණේ පිරිසෙන් මිදී පලායාමටය. එහෙත් පිරිස ඊට ඉඩක් නොදී සැකකාර රියැදුරුවරයා නවත්වාගෙන තිබිණ.
අනතුරට පත් වසන්ත තුවාල ලබා සිහිසුන්ව සිටියදී මිනිත්තු කිහිපයක් හෝ යන්නට මත්තෙන් බත්තරමුල්ල දෙස සිට පැමිණි ගිලන් රථයකි. අනතුර දුටු වහාම රියැදුරු ගිලන් රථය නවතා තුවාලකරැ රුගෙන කොළඹ ජාතික රෝහලට යාමට පියවර ගෙන තිබිණ. එම ගිලන් රථය වෙනත් රෝගියකු රැගෙන කොළඹ ජාතික රෝහලට බාරදී එන ගමනේදී හමුවූ එකකි. විනාඩි කිහිපයක් තුළදී රෝහල් ගත කිරීමට උත්සාහ ගෙන තිබුණද අළුයම 1.15ට පෙර අනතුරට පත් වූ වසන්ත ජීවිතක්ෂයට පත්ව තිබිණ.
මේ අතරතුර සිදුවීම සම්බන්ධයෙන් තලංගම පොලීසිය දැනුම්වත් කිරීමට සෙසු පිරිස කටයුතු කර තිබිණ. ඒ සමඟම එතැනට පැමිණි තලංගම පොලීසියේ රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රණසිංහ සහ පොලිස් සැරයන් 27876 ප්‍රියංජිත් යන අය සිදුවීම පිළිබඳ විමර්ශන අරඹා තිබිණ.

මේ අතර අනතුර සිදුකළ වාහනයේ රියැදුරු සමඟ කම්කරුවන් කිහිපදෙනකු ජයවර්ධනපුර රෝහලට ගොස් තිබුණේ වසන්ත බැලීම සඳහාය. වසන්ත එම රෝහලට ඇතුළත්ව නැති බව දැන යළි අනතුර සිදුවූ ස්ථානයට පැමිණ කොළඹ ජාතික රෝහල වෙත පිටත්වීමට සූදානම් වූ මොහොතේ පොලිස් නිලධාරීන් සැකකාර රියැදුරු අත්අඩංගුවට ගෙන තිබිණ.

CBJ 5557 අංක දරන බෙන්ස් වර්ගයේ සුදු පැහැති කාර් රථයෙන් පැමිණ අනතුර සිදුකළ සැකකාර රියැදුරුවරයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහුගේ නම කාවිංග නාමල් පෙරේරා බවට ප්‍රකාශ කර ඇති අතර ඔහු ජනප්‍රිය රංගන ශිල්පියකු බව හඳුනාගෙන තිබුණේද ඉන්පසුවය. සැහැල්ලු සරල ඇඳුමකින් සැරසී සිටි ඔහු සාදයකට ගිය බවත් නිවස බලා යමින් සිටියදී අනතුර සිදුවූ බවත් කියා තිබිණ. වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ කම්කරුවකු මාර්ගයේ සිටින බව නොදුටු බවය. අනතුරින් පසුව ඔහු රථය නවත්වා තිබුණේ වාහනයේ යමක් පැටලෙන හඬ ඇසුණු බැවින් එය පරීක්ෂාවටය. ඒ වනවිටත් රථයේ යට පැටලි තිබී ඇත්තේ කම්කරුවන්ගේ ආරක්ෂාව සඳහා තබා තිබූ ෆයිබර් කේතුවකි. පරීක්ෂණ අතරතුරදී සැකකාර රංගන ශිල්පි කාවිංග පෙරේරා මත්පැන් පානය කර ඇති බව සනාථ වී තිබිණ. ඒ අනුව අත්අඩංගුවට ගැනුණු සැකකරු වරද කිහිපයක් ඇසුරෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගැනිණ.

එහිදී සැකකරු මාර්තු 3 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කොට තිබිණි. ඊට අමතරව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් සානුකම්පිත දීමනාවක් ලෙස ලබාදීමට නියෝග කෙරිණ. අනතුරින් මියගිය වසන්ත මාස කිහිපයක් වයසැති බිළිඳකුගේ පියකු බවද වාර්තා විය. ඔහුගේ හිසට හා කොඳුඇට පෙළට වූ අභ්‍යන්තර තුවාල හා ලේ ගැලීම නිසා මරණය සිදුව තිබෙන බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කළේය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04