2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

පාර්ලිමේන්තුවේ කොඩිවින කළ මලයාලි කට්ටඬියෝ

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 120

පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්ත්‍රීවරුන් අත්සන් තැබූ දෝෂාභියෝග යෝජනාව 1991 අගෝස්තු මස 29 දින සවස කථානායකවරයාට බාර දෙන ලදී. 91 අගෝ. 30 වන දින අතිවිශේෂ ගැසට් නිවේදනයකින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කල් තැබීය. ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කර ඇති මොහොතක ඔහුට පාර්ලිමේන්තුව විසිරුවා හැරිය නොහැක. එහෙත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ එවැනි අවස්ථාවක වුවද ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු සැසිවාරය කල්දැමිය හැකිය. මෙය අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති බලවත් දුර්වලතාවක් බව මෙම කල් තැබීමත් සමඟ මධ්‍යස්ථ නීති විශාදරයන් අතර දැඩි ලෙස සාකච්ඡාවට භාජනය විය. එසේම මෙවැනි අවස්ථාවක පාර්ලිමේන්තු සැසිවාරය කල්තැබීම ප්‍රජාතන්ත්‍රීය සම්ප්‍රදායන්ට තරම් නොවන බවද රටේ සාකච්ඡාවට ලක්විණි. 1991 සැප්. 24 වන දින ශ්‍රීමත් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැවත විවෘත කරන ලදී.

ජනාධිපතිතුමා පෙරවරු 10.37ට පාර්ලිමේන්තු නව සැසිවාරය විවෘත කිරීමට පාර්ලිමේන්තු සභා ගැබට ඇතුළු විය. මේ වනවිට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු හා විපක්ෂයේ මුස්ලිම් හා ද්‍රවිඩ මන්ත්‍රීවරු කීප දෙනෙක් පමණක් පෙ.ව. 10.31 සිට පාර්ලිමේන්තුවේ අසුන් ගෙන සිටියහ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභා ගැබට ඇතුළු වූ පසු විපක්ෂයේ සෙසු මන්ත්‍රීවරු සභාගැබට ඇතුළු වූහ.

එම මන්ත්‍රීවරු සභා ගැබට ඇතුළු වෙමින් “අපේ පුටුවලට කොඩිවින කරලා.” “මේ පුටුවල මොනවදෝ තෙල් ගාලා” “මලයාලම්කාරයෝ ඊයේ රෑ පාර්ලිමේන්තුවට ගුරුකම් කරලා” “ඉඳගන්න බෑ ඇලවෙනවා.” “අපි ඌරු තෙල් ගෙනාවා.” ආදිය කියමින් පුටු පිස දමමින් ඝෝෂා කරන්නට වූහ.

මේ අවස්ථාවේ ජනාධිපතිවරයා “ගරු මන්ත්‍රීවරුනි කරුණාකර සියලු දෙනාම අසුන් ගන්න.” යයි කීය. ඒ කිසිවකට ඇහුම්කන් නොදුන් විපක්ෂ මන්ත්‍රීවරු පුටු පිස දමමින් ඝෝෂා කරමින් ඇනුම්පද කියමින් අපිළිවෙලින් අසුන් ගත්හ.

මෙදින පාර්ලිමේන්තුව රැස්වීමට පෙර උදෙන්ම පැමිණ සිටි විපක්ෂ නායිකා බණ්ඩාරනායක මැතිනිය පිරිත් පැන් බෝතලයක් හා ලේන්සු තොගයක් ගෙනවිත් තිබුණි. මේ ලේන්සු පිරිත් පැන්වලින් පොඟවා, ඒවා විපක්ෂයේ මන්ත්‍රීවරුන් වෙත ඇය විසින් බෙදා දෙන ලදී. එයට හේතුව ඊට පෙර දින රාත්‍රියේ මලයාලි කට්ටඩියන් පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණ විපක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව කොඩිවිනයක් ජප කළ බවට තොරතුරු ලැබී තිබීමයි. සියලුම මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට උසුළු විසුළු හා ඇනුම් බැනුම් කියමින් එම පිරිත් පැන් පෙඟවූ ලේන්සුවලින් සිය පුටු පිසදා ගැනීමට අමතක නොකළෝය.

පාර්ලිමේන්තු ලේකම්වරයා පෙ.ව. 10.40ට ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව කැඳවීමේ ප්‍රකාශය කියවීය.

ඉන්පසු ජනාධිපතිවරයා “ගරු මන්ත්‍රීවරුනි” යනුවෙන් සභාව ඇමතීම ඇරඹීය. ඒ සමඟම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක රිචඩ් පතිරණ මන්ත්‍රීතුමා “ගරු ජනාධිපතිතුමනි” යනුවෙන් ආමන්ත්‍රණය කරමින් නැඟී සිටියේය. ජනාධිපතිවරයා නිහඬ විය. රිචඩ් පතිරණ මැතිතුමා පහත සඳහන් ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

“ගරු ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු බහුතරයක් විසින් ඔබතුමාට විරුද්ධ දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඔබතුමා එම යෝජනාව ඉදිරිපත් වූ වහාම පාර්ලිමේන්තුව කල් තැබුවා. පාර්ලිමේන්තුව කල් තබා අද දින ඔබතුමා මෙම උත්තරීතර සභාවට පැමිණ මේ ගරු මන්ත්‍රීවරුන් අමතා කතා කිරීමෙන් මේ ප්‍රශ්නය පිළිබඳ මූලික විනිශ්චයකරුවන් වන ගරු මන්ත්‍රීවරුන්ට අනිසි ආකාරයේ බලපෑමක් ඇති කරනවා. එනිසා මම ඉල්ලනවා කරුණාකර ඔබතුමාගේ දේශනය නොපවත්වන හැටියට.

ඒ වගේම මලයාලි ගුරුකම්කරුවන් කීප දෙනෙක් පෙරේදා සවස මෙම ස්ථානයට පැමිණ කොඩිවින කිරීම සම්බන්ධයෙනුත් ගරු මන්ත්‍රීවරුන්ගේ අප්‍රසාදය ඔබතුමාට පළ කරන්න කැමතියි. ඒ නිසා අපේ ගෞරවනීය ඉල්ලීම නම් මෙන්න මේකයි. මේ දෝෂාභියෝග යෝජනාව පිළිබඳ යම්කිසි තීරණයක් ලැබෙන තුරු කරුණාකර ඔබතුමා මේ උත්තරීතර සභාව ඇමතීමෙන් වළකිනවා නම් එය ගරැුමන්ත්‍රීවරුන්ට කරන විශාල සැලකිල්ලක් හැටියට අපි සලකනවා.”

ජනාධිපතිවරයා මෙම ඉල්ලීමට නිහඬව සවන් දී සිට කිසිදු විශේෂ වෙනස්වීමක් නොපෙන්වා සුපුරුදු ලෙස සිය කතාව ඇරඹීය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ගුරුකම් කතාව කියන විට ජනාධිපතිවරයා ආයාසයෙන් උපහාසාත්මක සිනහවක් මුවගට ගැනීමට උත්සාහ කරනු පෙනිණි. ජනාධිපතිවරයාගේ කතාව පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමට ප්‍රථම මෙම ඓතිහාසික විවෘත කිරීම පිළිබඳව යමක් කිව යුතුය.

ප්‍රජාතන්ත්‍රවාදී රටක පාර්ලිමේන්තු සැසිවාරයක් විවෘත කිරීම අතිඋත්කර්ශවත් අවස්ථාවකි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බිහි වූ එංගලන්තයේ පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරනු ලබන්නේ මහා රාජිණිය විසිනි. එම උත්සවය සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෞරවණීය සහභාගීත්වයෙන් සිදුවේ. එම අවස්ථාවට විදේශීය තානාපතිවරු ඇතුළු රටේ ඉහළම නිලධාරීහු හා ප්‍රභූහු සහභාගී වෙති. ලංකාවේ ද එය එසේම සිදු කෙරේ.

සුපුරැදු පරිදි සැප්. 24 වනදා ද පාර්ලිමේන්තුව විවෘත කිරීම සඳහා පැමිණි ජනාධිපතිවරයාට උත්කෘෂ්ඨ උත්තමාචාර දක්වා පිළිගනු ලැබීය. වෙනදා ජනාධිපතිවරයා එන මග දෙපස ජනතාව රැස් වන්නේ එම චිත්තාකර්ශනීය රිය පෙරහර හා අසරු පෙරහර නැරඹීමටය. එහෙත් මෙදින ජනාධිපතිවරයාට පක්ෂපාතිත්වය දක්වන හා ලලිත් ගාමිණී කණ්ඩායමට දෝෂාරෝපණය කරන ලද දැන්වීම් ඔසවා ගත් සුළු කණ්ඩායම් කීපයක් තැනින් තැන සිටිනු දක්නට ලැබුණි.

මෙදින ප්‍රේමදාස කල්ලිය විසින් සංවිධානය කරනු ලැබූ අති විශාල පිරිසක් පාර්ලිමේන්තුවට එන මග දෙපස රැස්වනු ඇතැයි ආරංචි ලැබී තිබුණි. එවැනි සෙනඟ ගෙන්වීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් තිබූ බව ද සත්‍යයකි. එනිසාම බණ්ඩාරනායක මැතිනිය විසින් මෙදින පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුනට පූර්ණ ආරක්ෂාව සලසන ලෙස කතානායකවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබුණි. කෙසේ නමුත් බලාපොරොත්තු වූ සෙනඟක් එදින මඟ දෙපස නොවූහ.

එහෙත් එදින පාර්ලිමේන්තුව හා අවට අතිවිශාල ආරක්ෂක වළලු ගණනාවක් දක්නට ලැබුණි. ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව තුළට කඩාවැදීම සඳහා හමුදා හා පොලිස් බලඇණි දෙකක් සූදානමින් සිටි බව පෙනුණි. පාර්ලිමේන්තු භූමිය ඇතුළේම ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් නවතා තිබුණි. ජනාධිපතිවරයා සුපුරුදු ලෙස හා අභිමානවත් ලෙස අශ්වාරෝහක බල ඇණියක් පෙරටු කොටගෙන පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු විය. සුපුරුදු ලෙසම මඟුල් බෙර, ජයමංගල ගී, ආචාර වෙඩි මුර, උත්තමාචාර පෙළපලිවලින් හා ජාතික ගීයෙන් එතුමාට උත්තමාචාරය පිදුණි.

පාර්ලිමේන්තු සභා ගැබට ඇතුළුවන තුරුම ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටක රාජ්‍ය නායකයාට මෙවන් අවස්ථාවක හිමි විය යුතු සියලු ගෞරව, බහුමාන, සැලකිලි ලැබුණත් සභා ගර්භය තුළ තත්ත්වය ඊට හාත්පසින් වෙනස් විය. ආරම්භයේ පටන්ම විපක්ෂය ඔහුට කිසිදු ගරුසැලකිල්ලක් නොදක්වා විරෝධතා හා උසුළු විසුළු කිරීමට පෙළඹුණි.

එහෙත් සුපුරුදු ලෙස මෙදින මහජන ගැලරිවල තානාපතිවරුන් ඇතුළු රටේ ඉහළම ප්‍රභූන් හා නිලධාරින් අසුන්ගෙන සිටිනු දක්නා ලදී.
රිචඩ් පතිරණ මන්ත්‍රීවරයාගේ විශේෂ ඉල්ලීමෙන් පසු මා මුලින් සඳහන් කළ ලෙසට ජනාධිපතිවරයා කතාව ඇරඹීය.

එහෙත් ආරම්භයේම ඔහු ආණ්ඩු පක්ෂයේ සිය ප්‍රතිවාදීන්ටත්, විපක්ෂ සංවිධායකවරයාගේ ඉල්ලීමටත්, පිළිතුරු දීමට අමතක නොකළේය. ඔහු සිය කථාව ආරම්භ කළේ මෙසේය.

“ගරු මන්ත්‍රීවරුනි, සිංහලෙන් මම කරන කථාව එක්වරම ද්‍රවිඩ භාෂාවෙනුත්, ඉංග්‍රීසි භාෂාවෙනුත් තමුන්නාන්සේලාට අසාගන්ට විධිවිධාන යොදා තිබෙනවා. යමක් ඉල්ලූ විට දීම යුතුකමක්. එහෙත් ඉල්ලපු දෙයක් තමන්ට ලැබෙන විට සන්සුන්ව ඉවසිල්ලෙන් ලබා ගැනීම හොඳ සිරිතක්, යුතුකමක්. දෙන අත සපා කෑම මිනිස් ගතියක් නොවේ. අද පවතින ව්‍යවස්ථාව සුරුකීමට මා බැඳී සිටිනවා. එය නීත්‍යානුකූලව වෙනස් වන තුරු අප කවුරුත් ඒ ව්‍යවස්ථාවට බැඳී සිටිය යුතුයි.”

“මට විරැද්ධව දෝෂාභියෝගයක් ඇති බවක් මිස කිසිම විෂමාචාරයක් තවම ප්‍රකාශයට පත්වී නෑ. යම් කෙනෙක් වැරදිකරුවෙක් වන තුරු ඒ පුද්ගලයා නිර්දෝෂි පුද්ගලයෙක් හැටියට සැලකීම අපේ රටේ චාරිත්‍රයක්. කෙනෙකුට චෝදනාවක් ඉදිරිපත් කළ පමණින් ඒ පුද්ගලයා වැරදිකරැවෙක් නොවන බව අප සියලු දෙනාම දන්නවා. යම් චෝදනාවක් ඔප්පු වී ඒ චෝදනාවෙන් චූදිතයා වැරදිකරුවෙක් බවට පත්කරන තුරැ ඔහු නිර්දෝෂී පුද්ගලයෙක් බව අපි සියලු දෙනාම පිළිගන්නට ඕනේ. මම මේ රටේ කිසිම වරදකට වැරදිකරුවෙක් වෙලා නෑ.”

මේ ඔහුගේ කතාවේ ආරම්භයයි. ඒ තුළින් ඔහු විපක්ෂ සංවිධාකවරයාට පිළිතුරක් දෙමින් තමාට මෙම සභාව ඇමතීමට ඇති අයිතිය ගැන කරුණු ඉදිරිපත් කළ බව පැහැදිලිය.

(අමාත්‍ය එස්.බී. දිසානායක විසින් 1992 දී රචිත “මා අත්සන් කළ දෝෂාභියෝගය” නමැති කෘතියෙනි. කර්තෘ ප්‍රකාශනයකි.)

► ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා