2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

දුප්පත් රෝගීන් ප්‍රාණ ඇපයට ගත් බෙහෙත් හොරු

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 44
ශ්‍රී ලංකාව තුළ මේ දිනවල වඩාත් කතාබහට ලක්වන ක්ෂේත්‍රය වන්නේ සෞඛ්‍යය අංශයයි. පසුගිය කාල සීමාව තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ විවිධ දූෂණ අක්‍රමිකතා සම්බන්ධ වැඩියෙන් කතාබහ ඇතිවිය. මෙයිනුදු දැඩි අවධානය යොමුව ඇත්තේ තත්ත්වයෙන් බාල ඖෂධ මෙරටට ගෙන්වීම සම්බන්ධයෙනි.
 
වෛද්‍යවරුන් හමුවට පැමිණෙන රෝගීන්ට රෝගය සුවපත් වන හොඳම ඖෂධය නියම කිරීමට සැමවිටම වෛද්‍යවරු උත්සුක වෙති. තමන්ගේ සායනික අත්දැකිම අනුව රෝගියාට ලබාදිය යුතු, රෝගී තත්ත්වය ඉක්මනින්ම සුවපත් වන, අතුරු ආබාධ අවම, දිගුකලක් අපහසුවකින් තොරව ලබාගත හැකි ඖෂධ නියම කිරීමට වෛද්‍යවරු ක්‍රියා කරති. එහෙත් මෙසේ නියම කරන ඖෂධය වෙළෙඳපොළේ විවිධ නාමයන්ගෙන්, විවිධ මිල ගණන් යටතේ පැවතිය හැකිය. රෝගීන් අසරණ වන්නේ මෙවිටය. තත්ත්වයෙන් ඉහළ මිලෙන් අඩු ඖෂධ වෙළෙඳපොළේ පවතින බව පැවසුවද, වෛද්‍යවරයා නියම කළ වෙළෙඳ නාමයෙන් පවතින ඖෂධය සාමාන්‍ය මිල මෙන් කිහිප ගුණයක් වේ නම් මිලදී ගන්නේ කුමන බෙහෙතදැයි යන ගැටලුවට රෝගීහු මැදිවෙති.
 
අප නිදහස ලබාගත්තේ මීට වසර හැත්තෑ දෙකකට පමණ පෙරය. නිදහස් වූ ජාතියක් ලෙස මෙතෙක් කලක් අපේ රටට අවශ්‍ය ඖෂධ සියල්ල නිපදවාගත නොහැකි වීම කනගාටුවට කරුණකි. අපේ රටේ රාජ්‍ය අංශය මේ වනවිට ඖෂධ 47ක් නිපදවයි. පෞද්ගලික අංශය ඖෂධ වර්ග 50ක් නිපදවයි. රටක් වශයෙන් අප නිපදවන ඖෂධ ප්‍රමාණය සියයකට අඩුයි. එහෙත් රටට ඖෂධ වර්ග එක්දහස් පන්සියයක් පමණ අවශ්‍ය වේ. අපේ රටේ නිපදවන ඖෂධ හැරෙන්නට ඉතිරි ඖෂධ සියල්ල මිලට ගැනීමට සිදුවී තිබෙන්නේ බහුජාතික සමාගම් හරහාය.
මෙම බහුජාතික සමාගම් ඖෂධ සැපයීම සඳහා නිසි පරිදි ටෙන්ඩරය ලබා ගනී. එහෙත් ඔවුහු අවශ්‍ය වෙලාවට, අවශ්‍ය ප්‍රමාණයෙන් ඖෂධ ලබාදීම හිතාමතා පැහැර හරිති. ප්‍රමාද කරති. ටෙන්ඩරයට අනුව පොරොන්දු වූ ඖෂධ ප්‍රමාණය වෙනුවට ඊට වඩා අඩු ප්‍රමාණයක් වෛද්‍ය සැපයීමේ අංශයට ලබාදීම අඛණ්ඩව සිදුකරයි. මෙම බහුජාතික සමාගම් විශාල වශයෙන් ඖෂධ සපයන විට ඇතැම් ඖෂධ කාණ්ඩ තත්ත්වයෙන් අසමත් වේ. මේ තත්ත්වයෙන් අසමත් හෝ බාල ඖෂධ කාණ්ඩ රජය විසින් ප්‍රතික්ෂේප කළත් ඒ සඳහා යළි මුදල් හෝ ඒ වෙනුවට ඖෂධ ලබාදීමටද මෙම සමාගම් විශාල ලෙස කාලය ලබාගනී. කෙසේ වෙතත් මේ සියලු දෙයින් අවසානයේ අසරණ වන්නේ හරි මගක් තේරුම්ගත නොහැකි දිළිඳු රෝගීන්ය.
 
අයුතු බලපෑම්, ඥාති සංග්‍රහ, බලය අයුතු ලෙස පාවිච්චිය, හිතවත් සමාගම් පිනවීම ඇතුළු මෙරට ඖෂධ සැපයීමේ ක්ෂේත්‍රය තුළ පසුගිය වසර කිහිපයේදී සිදුවූ වංචා දූෂණ අක්‍රමිකතා නිසා අපේ රජයේ රෝහල්වලට රුපියල් කෝටි 1200කට ආසන්න බාල පරණ හා අනුමත නොකළ බේත් ගෙන්වා ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණයකින් සහ ජනාධිපති විමර්ශන කොමිසමට දුන් තොරතුරු අනුව අනාවරණය වී තිබේ.
 
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ පසුගිය වසර 4 ඇතුළත මෙරට ඖෂධ ක්ෂේත්‍රයේ සිදුවූ වංචා හා අක්‍රමිකතා මෙන්ම ඖෂධ මාෆියාවේ මගඩි රැසක් අනාවරණය කරගෙන ඇති බවයි. බාල ඖෂධ පිළිබඳව සොයාබැලීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ඖෂධවේදියා පවසා ඇත්තේ අපේ රටට පසුගිය වසර 4-5 ඇතුළත ගෙන්වා ඇති ඖෂධවලින් සියයට 80ක් පමණ ලොව කිසිම රටකින් මිලදී නොගන්නා ආසියානු රටවල් දෙකක් මගින් නිපදවන බාල ඖෂධ බවය. තත්ත්වයෙන් බාල ඖෂධ තොග වශයෙන් මෙරටට ගෙන්වීමට හා මිලදී ගැනීමට අනුමැතිය ලබාදීම පිළිබඳව හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාට ඖෂධ සංස්ථා බලධාරීන්ටද ඖෂධ නියාමන අධිකාරියට දණ්ඩ නීති සංග්‍රහය යටතේ හා අල්ලස් පනත යටතේ නඩු පැවරිය හැකි බවට ජනාධිපති කොමිසම නිර්දේශය කර ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.
 
ඖෂධ මාෆියාවේ ප්‍රතිඵලයක් ලෙස බාල බටහිර ඖෂධ වෙළෙඳපොළේ සැරිසැරීම හේතුවෙන් පසුගිය කාලය පුරාවටම රෝගීන් අතුරු ආබාධ වෙත ගොදුරුවීමේ ප්‍රවණතාවය කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බව සෞඛ්‍යය අංශ පවසයි. දැනට වෙළෙඳපොලේ පවතින තත්ත්වයෙන් ඉහළ ඖෂධ ඇතැම් ඔසුසැල්වල විකිණීමට නොමැත. මීට අමතරව බාල ඖෂධවලට එරෙහි නීති රීති ක්‍රියාත්මක වීම මන්දගාමීව සිදුවන අතර පවතින නීතිරීතිවල සිදුරුවලින් පහසුවෙන් රිංගා යා හැකිය.
 
මහරගම අපේක්ෂා රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ හිඟය පසුගිය කාලයේ මෙරට ජනමාධ්‍ය තුළ ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය. දිවයිනේ විවිධ රෝහල්ද වරින්වර මෙම ඉරණමට ලක්විය. නිදහස් සෞඛ්‍ය සේවයක් වෙනුවෙන් බදු ගෙවන මෙරට ජනතාව බෙහෙත් අඩුපාඩු වෙනුවෙන් කාලයත් මුදලත් වෙන් කරමින් පෞද්ගලික බෙහෙත් සැල්වලට යති. මූල්‍ය හැකියාවන් නැති ජනතාව දෙවියන්ට කන්නලව් කරන තත්ත්වයට පත්විය. තැනින් තැන මහජනතාව, වෘත්තීය සමිති මේ අසාධාරණයට විරුද්ධව හඬ නැගූහ.
 
මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කළ වෛද්‍ය සැපයුම් අංශය දිගින් දිගටම පැවසුවේ රෝහල්වලට ප්‍රමාණවත් තරම් ඖෂධ ඇති බවය. ඖෂධ හිඟයක් මවන පිරිස දේශපාලන කණ්ඩායම්වල අතකොලුවක් බව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා චෝදනා නැගීය. ඖෂධ ගබඩා පාළු ගෙවල් බවට පත්වන තෙක්ම හිටපු අමාත්‍යවරයාගේ මවාපෑමට වැඩි අවධානයක් හිමිවූයේ නැත.
 
දූෂිත මාෆියාව තාම ක්‍රියාත්මකයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ

 

පසුගිය ආණ්ඩුවේ සෞඛ්‍ය අංශය තමයි මෙරට සෞඛ්‍යය ක්ෂේත්‍රයේ දූෂිතම යුගය වෙලා තිබුණේ. ඒ වගේම මහ බැංකු බැඳුම්කර වංචාව වගේ දෙගුණයක් මේ ඖෂධ මිලදී ගැනීමේ පටිපාටිය තුළ පසුගිය වසර හතරක කාලය අතර සිදුවෙලා තියෙනවා. පිළිකා ඖෂධ මගඩිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභා සාක්ෂිවලින් හිටපු සෞඛ්‍ය අංශයේ බොහෝ දෙනාගේ නම් සඳහන් වුණා. නව රජයක් බිහිවීමෙන් පසු මෙවැනි දූෂිත ගනුදෙනු නතර වී ඖෂධ මාෆියාව හතරවන බව හිතුවත් මෙම ආණ්ඩුව යටතේත් ඖෂධ මාෆියාව ක්‍රියාත්මක වන බවත් පේනවා. ඒකට හොඳම උදාහරණය තමයි පසුගිය රජය යටතේ දූෂිත ගනුදෙනු කළ සමාගමක් වෙත ඖෂධ සංස්ථාවෙන් නැවත ටෙන්ඩරයක් ලබාදීම.
 
මෙම ඖෂධ මාෆියාව නැවැත්වීම සඳහා අපි යෝජනා 06ක් ආණ්ඩුවට ඉදිරිපත් කර තිබෙනවා. මීට අමතරව ඖෂධ ජාවාරම් කටයුතු පිළිබඳ මෙතෙක් හෙළි නොවූ කරුණු සොයාබැලීම සඳහා 2015 වසරින් පසු අලුතින් ඖෂධ ජාවාරම් ක්‍රියා පිළිබඳ තොරතුරු තහවුරු වී තිබෙන සමාගම් මීට පෙර මෙවැනි කටයුතු කර තිබේද යන්න පිළිබඳ සොයාබැලීම, හිටපු ජනාධිපතිවරුන් පත්කළ කොමිෂන් සභා වාර්තාවන්ට අනුව ඖෂධ ජාවාරම්කාරයන්ට නීති මගින් දඬුවම් කිරීම, ඖෂධ සමාගම්වලට ගෙවීමට ඇති මුදල් නතර කිරීම සහ තාක්ෂණය උපයෝගී කර ගනිමින් සෞඛ්‍යය අමාත්‍යංශයේ ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය පාරදෘශ්‍ය කිරීම යන යෝජනා ද මෙම යෝජනාවලියට ඇතුළත් කර තිබෙනවා. එසේම මෙම ඖෂධ ජාවාරම්වල නිරත වූ සමාගම්වලට නීතිය ක්‍රියාත්මක කර ජාවාරම්කාරයන් නීතිය ඉදිරියට ගෙන යාමට වැඩපිළිවෙළක් සැකසිය යුතු බවටත් යෝජනා කරනවා.

 

► සටහන - හසිත් අංජන