රන්ජන් රාමනායකගේ හඬපට මෑත දේශපාලන ඉතිහාසයේ කතාබහට ලක්වුණු ප්‍රධානම සිද්ධිය විය. මේ හඬපට නිසා අද වනවිට සමාජයේ නම් ගම් ප්‍රසිද්ධ බොහෝ දෙනෙක් නැති කරදරවල පැටලී සිටිති. ඇතැම් අයට රැකියා අහිමිව ඇත. තවත් අයට වංචාකාරයන්, දූෂිතයන් බවට සමාජයෙන් ගැරහුම් ලැබී ඇත. ඇතැම් අය මානසික ලෙඩුන් ලෙස ගැරහුමට පත්වී සිටිති. මේ සියල්ල රන්ජන් විසින් රහසේ පටිගත කළ සංවාද නිසාය. ඊටත් වඩා රන්ජනුත් මේ හේතුවෙන් අද වනවිට හිරබත් කමින් සිටියි.
කෙසේ වෙතත් මේ සංවාද හඬපටයේ එක්තරා හඬපටයක් දුරදිග යාම හේතුවෙන් අද වනවිට රටේ ප්‍රධාන ආයතන දෙකක සීතල යුද්ධයක් හටගෙන ඇත. ඒ නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුව අතරය. මෙම ආයතන දෙකේ ප්‍රශ්නයට හේතු වී ඇත්තේ රන්ජන් රාමනායක සහ වැඩ තහනමට ලක්වූ මහාධිකරණ විනිසුරැ ගිහාන් පිලපිටිය අතර ඇතිවූ සංවාදයක්ය. ඒ සංවාදයට අදාළව විනිසුරුවරයා අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා නීතිපතිවරයා විසින් පොලිස් දෙපාර්තමේන්තුව වෙත නියෝග යොමුකළත් ඒවා ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මෙකී සීතල යුද්ධය ආරම්භ විය. මේ සියලු සිද්ධීන් ආරම්භ වන්නේ මෙසේය.
රන්ජන් රාමනායක මහතා සහ විනිසුරු ගිහාන් පිලපිටිය සමඟ ඇතිවූ සංවාදයට අදාළව පළමු විමර්ශනය සිදුකරනු ලැබුවේ අධිකරණ සේවා කොමිසම විසිනි. එම කොමිසමෙන් පරීක්ෂණ සිදුකළත් මහාධිකරණ විනිසුරුවරයකුට එරෙහිව කටයුතු කළ නොහැකි නිසා එකී බලය පැවරී ඇති ජනාධිපතිවරයා වෙත කොමිසමේ නිර්දේශ ඉදිරිපත් කෙරිණි. එසේ සිදුකිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් සියලු කාරණා සලකා බලා කොමිසම වෙත දැනුම් දුන්නේ කොමිසමෙන් ගනු ලබන තීන්දුවකට තමන් එකඟ බවය. ඒ අනුව විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගේ වැඩ තහනම් කෙරිණි. ඒ ඇඹිලිපිටිය මහාධිකරණයේ විනිසුරු ලෙස කටයුතු කරමින් සිටින අතරතුරේය.
එසේ වැඩ තහනමෙන් පසුව වැඩි දිනක් ගතනොවීය. පරීක්ෂණවලට අදාළව ගිහාන් පිලපිටිය මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සිදුවිය. පැය හයක ප්‍රකාශයක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ලබාගත් අතර එම නියෝගය ලබාදී තිබුණේද නීතිපතිවරයා විසිනි. පසුව එම ප්‍රකාශය නීතිපතිවරයා වෙත යොමුකරන ලදී. 2020 ජනවාරි 23 නීතිපති දෙපාර්තමේන්තුව විසින් පොලීසිය වෙත ලිපියක් යොමු කළේය. නීතිපති දෙපාර්තමේන්තුව විසින් නීතිපතිවරයාගේ යොමු අංක යොදමින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමුකළ එම ලිපියේ පිටපතක් වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ද ඉදිරිපත් කර තිබිණි.
එහි සඳහන් කර තිබුණේ පිලපිටිය මහතා අධිකරණමය කාර්යයක් යම් අවස්ථාවක භාවිත කිරීමේ අරමුණින් ගොතන ලද සාක්ෂි නිර්මාණයට පළමු සැකකාර රන්ජන් රාමනායක සමඟ කුමන්ත්‍රණය කර ඇති බවට ප්‍රමාණවත් කරුණු හෙළිවී ඇති බවය. ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 102, 113 (අ) සහ 190 යටතේ වැරදි සිදුකර ඇති බව තමාගේ මතය බවත් ඒ අනුව රන්ජන් රාමනායක සහ ගිහාන් පිලපිටිය යන අය සැකකරුවන් ලෙස නම්කර පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙසත්ය.
සාමාන්‍යයෙන් විනිසුරුවරයකු අත්අඩංගුවට ගැනීම නීතිමය පාර්ශ්වයෙන් ප්රශ්නකාරී නිසා වැඩබලන පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් සොයාබැලීමට පොලිසිය තුළින්ම විශේෂ කමිටුවක් පත්කළේය. එම කමිටුවට නීති විනය සහ කල්ක්‍රියා දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, අපරාධ හා සංවිධානාත්මක අපරාධ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි, පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන බාර නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා, නීති කොට්ඨාස වැඩබලන අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර, කොළඹ අපරාධ කොට්ඨාස අධ්යක්ෂ පොලිස් අධිකාරී ජී.ජේ. නන්දන යන අය පත් කරනු ලැබූහ.
කෙසේ වෙතත් මේ සංවාදය යන මුල්ම කාලය තුළ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා වැඩබලන පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් මේ ගැන පරීක්ෂණ කරන ලෙස ඉල්ලීමක් ලබාදී තිබුණි. ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත ඒ සම්බන්ධ පරීක්ෂණ කටයුතු බාරදෙනු ලැබීය. වැඩබලන පොලිස්පතිවරයා විසින් නව කමිටුව පත්කරන අවස්ථාවේත් එකී පරීක්ෂණය ක්‍රියාත්මක වෙමින් තිබුණේය.
එම පරික්ෂණයට අදාළව විශ්‍රාමික පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ ප්‍රකාශයකට අනුව ගිහාන් පිලපිටිය මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස රාජකාරි කරන සමයේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දුරකතන සංවාදය ආරම්භ වූ කාලයේම ලිඛිත පැමිණිල්ලක් සිදුකර විනිසුරුවරයාට වැඩි ආරක්ෂාවක් ලබාදී ඇත. ඒ ඔහුට පැවැති තර්ජන නිසාය. එසේම එවකට ගිහාන් පිලපිටිය මහතා සමීපයේ සිටි ආරක්ෂකයන් සහ අධිකරණ සේවා සංගමයේ එවකට ලේකම්, විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජනරාල්වරු විසින් ලබාදුන් කරුණුවලට අනුව ගිහාන් පිලපිටිය මහතාට තර්ජනය කර ඇත්තේ එවකට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා බවද තහවුරු වී තිබිණි. එම පරීක්ෂණයේ තොරතුරු මත හෙළිවන්නේ රන්ජන් රාමනායක මහතාගෙන් තර්ජන තිබී ඇති බවය.
මේ අතර පසුගිය හත්වැනිදා නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙතින් කරුණු විමසීමක් කර තිබිණි. වරෙන්තුවක් ලබාගනිමින් ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට නොගත්තේ ඇයිද යන්න ගැනය. එහිදී දීර්ඝ කරුණු සඳහන් කිරීමක් කරමින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා දන්වා ඇත්තේ නීතිය සර්ව සාධාරණ වියයුතු බවය. එම හඬපටවලට අදාළව කුමන්ත්‍රණයක් සිදුකර ඇති බවට පැහැදිලිව පෙනෙන නිසා විනිසුරුවරයා අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දුන් බවය. එසේම නියෝග ලබාදී තිබියදීත් එම නියෝග ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව පෙබරවාරි 10 පෙර හේතු දක්වන ලෙසත් දැනුම් දී තිබුණේය. ඒ පිළිබඳ හේතුද විමසා තිබිණි.
පෙබරවාරි 08 වැනිදා පොලිස්පතිවරයා විසින් පිටු හතරකින් යුත් ලිපියක් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙත යොමු කරන ලදී. ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණත් නීතිපතිවරයා විසින් විමසන ලද කරුණුත්, වරෙන්තුව ලබාගැනීමේ ප්‍රශ්නත් ඇතුළුව තොරතුරු රැසක් එම ලිපියේ අඩංගු විය. එය වක්‍රාකාරයෙන් තවම පරීක්ෂණ ගැටලු සහගත තත්ත්වයක ඇති නිසා නීතිය ක්‍රියාත්මක කිරීම ගැටලුවක් බව මෙහිදී පෙන්වා දී තිබිණි.
නීතිපතිවරයා 10 වැනිදාට පෙර කරුණු විමසා සිටි නිසා වැඩබලන පොලිස්පතිවරයා විසින් 10 වැනිදා නීතිපතිවරයා වෙතත් ලිපියක් යොමුකරනු ලැබීය. එම ලිපියේ දන්වා ඇත්තේ නීතිපතිවරයා විසින් එම සංවාදය සම්බන්ධයෙන් නීති කටයුතු ආරම්භ කරන ලෙසට දැනුම් දුන්නත් අදාළ සංවාදය කුමන ප්‍රදේශයක සිදුවී ඇතිද යන්න තවම විමර්ශන නිලධාරීන් අනාවරණය කර නොමැති නිසා එම නඩු කටයුතු කුමන අධිකරණය පවත්වාගෙන යා යුතුද යන්න නීති උපදෙස් අවශ්‍ය බවය.
ඒ අනුව නීතිපතිවරයා ඊට පසුදිනම වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදුන්නේ එදිනම විනිසුරු පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්න ලෙසය. නුගේගොඩ අධිකරණයට කරුණු වාර්තාකර අවශ්‍ය පියවර ගන්නා ලෙසත් නීතිපතිවරයා දන්වා තිබිණි. විශේෂයෙන් එම හඬපටයේදී පිලපිටිය මහතා “නෑ... නෑ... දැන් මගේ වාහනය උසාවියට හරවන ගමන්” කියන බවත් ඒ අනුව අධිකරණ බලසීමාව අනාවරණය වන බවද එම ලිපියේ දන්වා ඇත. කෙසේ වෙතත් තමන් ඒ සම්බන්ධයෙන් කරුණු විමසන තෙක් ඒ පිළිබඳ ගැටලු නොවීමසීම කනගාටුදායක බවද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත දන්වා තිබිණි. එම සංවාදය නුගේගොඩ හෝ කොළඹ අධිකරණ බල සීමාවේ සිදුවී ඇති බවට තහවුරු වන නිසා දෙවැනි සැකකරු වන ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව නුගේගොඩ අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස දැන්වීය.
මේ අතර අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා වැඩබලන පොලිස්පතිවරයා වෙත මෙම මස 12 වැනිදා ලිපියක් යොමුකරමින් සඳහන් කරන්නේ අදාළ හඬපට හා වීඩියෝ පටවල පිටපතක් වහාම ඔහුට ලබාදෙන ලෙසය. ඒ ඉදිරි නීතිමය කටයුතු කිරීම සඳහාය.
නීතිපතිවරයා සහ වැඩබලන පොලීස්පතිවරයා අතර ඇතිවන සංවාදය දිගින් දිගටම මාධ්‍යවල වාර්තා වුණු අතර ඒ ලෙස ගැටුමේ තවත් එක් ලිපියක් 12 වැනිදා මාධ්‍ය විසින් ප්‍රචාරය කරනු ලැබීය. එනම් පෙබරවාරි 3 වැනිදා වැඩබලන පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයා වෙත යොමුකරන ලද ලිපියක් සම්බන්ධයෙනි. එනම් එහි දන්වා ඇත්තේ රහස් පොලීසිය, මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරන ලද පරීක්ෂණ සම්බන්ධයෙන් නැවත පරීක්ෂණ සිදුකරන නිසා අදාළ පරීක්ෂණය නිමවනතෙක් එම ඒකක වලින් ගොනුකළ නඩු බහා තබන ලෙසය. ඊට පිළිතුරැ ලබාදෙමින් නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ තමන්ට නඩු බහා තැබීමට විධායක බලතල නොමැති නිසා එය සිදුකළ නොහැකි බවය. එසේම ඒ සඳහා ඉහළ අධිකරණයකින් නියෝගයක් ලැබිය යුතු බවද නීතිපතිවරයා දන්වා තිබුණි.
මේ අතර පසුගිය 13 වැනිදා ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වූ වරෙන්තුව ලබාගැනීමට අදාළ නඩුව කැඳවනු ලැබීය. එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති නෙවිල් ද සිල්වා මහතා සඳහන් කර සිටියේ පිලපිටිය මහතාට එරෙහිව වරෙන්තු ලබා නොගන්නා බවය. විනිසුරුවරයා සැකකරුවකු ලෙස නම් කිරීම හෝ වරෙන්තු ලබාගැනීම සම්බන්ධයෙන් තමන්ට ඉහළින් උපදෙස් ලබා දී නොමැති නිසා වරෙන්තු ලබාගැනීමක් සිදු නොවන බවය. ඒ අනුව එදිනද නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත ලබාදුන් නියෝගය ක්‍රියාත්මක නොවීය. ඒ අතර විනිසුරැ පිලපිටිය ලබන සතියේ මෙම නීති කෘත්‍යය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය වෙත ගොස් නියෝගයක් ලබාගැනීමේ සූදානමක් ඇතැයි ද සිකුරාදා වාර්තා විය.
ඒ අනුව මේ සංවාදය තව කෙතරම් දුරට යනු ඇතැයි ද යන්න කිව නොහැක. මේ සංවාදය මෙතරම් දුර යනු ඇතැයි බොහෝදෙනා සිතන්නටද නැතුව ඇත. සාමාන්‍ය ජනතාව වන අපට මෙකී සංවාද තුළ ඇති යථාර්ථය පමණක් උකහා ගත හැකිවන අතර නීතිමය පරාසය ඔවුනොවුන් අතර බෙදී යනු ඇත.
l ගයාන් ගාල්ලගේ