2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

පරිසරය රකින්න ඇමැති එක්ක ගැටුණු දේවානි

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 266

වරද දකිමින් නිහඬව සිටින්නා අපරාධ සහායකයෙකි. වරදට එරෙහිව නැගී සිටින්නා වීරයෙකි. ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක පසුගිය සතියේ පරිසර හිතකාමී ලාංකිකයන්ට වීරවරියක් වූයේ එබැවිනි. ඊට හේතුව වූයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මීගමුව ප්‍රදේශයේ කඩොලාන පද්ධතියක් පිහිටි භූමියක ක්‍රීඩා පිටියක් ඉදිකිරීමේ ව්‍යාපෘතියට ඇය විරෝධය පෑමයි. ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඉදිරියේ ඇය කරුණු සහිතව ඉදිරිපත් කළ එම විරෝධයේ වීඩියෝවක් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය විය.

මෙම සිදුවීමට අදාළ සාකච්ඡා සිදුවූයේ පසුගිය සඳුදා (10) දිනයි. ඒ අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන සරත් කුමාර ගුණරත්නද සහභාගි වී සිටියහ. මෙම රැස්වීමේදී ආන්දෝලනයට තුඩුදුන් සිදුවීම් පෙළ දිගහැරුණු ආකාරය පළමුව විමසා සිටීම වැදගත්ය. බී.බී.සී. සිංහල සේවය එය මෙසේ වාර්තාකොට තිබුණි.

(උපුටා ගැනීම)
මෙහිදී දිසා වන නිලධාරිනිය පැහැදිලි කළේ, “මේ වනවිට ලංකාවේ අපේ ටාගට් එකක් තියෙනව ඒෂියන් චැම්පියන් වෙන්න කඩොලානවලින්. කඩොලාන භූමි අපට තව මදි හෙක්ටයාර් 10000ක්. ඊට අමතරව මේ ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම අපේ භූමිය අයිති කරගෙන ඉන්නේ...” යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ප්‍රකාශ කළේ, “මම ඉන්න ස්ථාවරය, අපි ඉන්නෙ බොහොම පුංචි දූපතක. මේක ලෝකෙ අනික් රටවල් එක්ක ගත්තම අපි බොහොම පුංචි රටක්. එක පැත්තකින් වන සංරක්ෂණය, අනික් පැත්තෙන් වනජීවීන්, අනික් පැත්තෙන් වෙරළ සංරක්ෂණය. මේ කියන සේරම නීති පස්සෙ ගියාම මිනිස්සුන්ට ජීවත්වෙන්න තැනක් නැතුව යනව. ඒ නිසා ඔබතුමියත් නම්‍යශීලිවෙලා මේක බේරගම්මු කියන එකයි මගේ අදහස,” යනුවෙනි.

“ඔක්සිජන්”

“මේක පැහැදිලිවම රජයේ වනාන්තර භූමියක්. වනාන්තර භූමියක් නිදහස් කරන්න බැහැ. ගම්පහ තමයි අඩුම වනගහනය 1.6%යි.” යැයි කී ඇය “මේ වෙනකොට අන්න බෙදනව ඉඩම් කච්චේරි තිය තියා. කවුද මේවට වග කියන්නේ? අපිට හුස්ම ගන්න නෑ. ඔක්සිජන් කෝ?” යැයි ප්‍රශ්න කළාය.

එහිදී එම රැස්වීමට සහභාගි වී සිටි අයෙකු ප්‍රකාශ කළේ, “මැඩම් ඔක්සිජන් තිබිලා වැඩක් නෑ, ළමයි කුඩු ගංජා ගහනවා...” යනුවෙනි.

ඊට ප්‍රතිචාර දක්වමින් ඇය පැවසුවේ, “ඔක්සිජන් ඕන නෑ කියන මිනිස්සු ගැන ඔබතුමා හිතලා­­­­­­ බලන්න. සයන්ටිෆික් ඩිසිෂන් එකක් ගන්නවද? ගමේ ගොඩේ මිනිස්සුන්ට ඕන විදිහට වැඩකරන්න ඕන නම් මෙච්චර ඉගෙනගෙන අපි මේ තනතුරුවලට එන්න ඕන නෑ. ඒකයි මගේ ස්ථාවරය....” යනුවෙනි.
මෙහිදී ඇය දැඩිව කියා සිටියේ, “නීතියට පිටින් වැඩ කළ නොහැකි,” බවය.

(උපුටා ගැනීම අවසන්)
මෙම වීඩියෝවත් සමඟ සමාජ ජාලා මාධ්‍ය පරිශීලකයෝ ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක වෙනුවෙන් විශාල හඬක් නගන්නට පටන් ගත්හ. එසේම පරිසර සංරක්ෂණය සම්බන්ධව විශාල කතිකාවක් රටපුරා ඇතිවිය. “මැඩම් ඔක්සිජන් තිබිල වැඩක් නෑ...” යනුවෙන් ප්‍රාදේශීය දේශපාලකයකු කළ ප්‍රකාශය බොහෝදෙනාගේ දෝෂදර්ශනයට හේතුවිය.

පරිසරවේදීන් පෙන්වා දෙන ආකාරයට මෙය හෙක්ටයාර් 2ක පමණ මීගමු කලපුවේ පිහිටි දූපතකි. ඊට ගොඩබිම් පිවිසුම් මාර්ගයක් නොමැත. තිලඩි තොට්ටම් නම් වූ මෙම දූපත ගැසට් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් කර තිබුණි. එහෙත් මෑතකදී දූපතේ ගිනි තැබීමක් සිදුව ඇත. අනතුරුව පස වියළී ගිය පසු පස ඉවත්කරන බවට පොරොන්දු වෙමින් ධීවර අමාත්‍යංශය විසින් කලපුවෙන් හාරා ඇති ද්‍රව්‍ය ඊට දමා තිබේ. එහෙත් දැන් ප්‍රදේශවාසීහු එම පස් භාවිත කරමින් ක්‍රීඩා පිටියක් ඉදිකරන ලෙස ඉල්ලා සිටිති.

මෙරට තුළ සිදුවන වන විනාශයන් හේතුවෙන් ඇතිවී ඇති පාරිසරික අර්බුදය රැසකි. ඒ බොහොමයකට හේතුව තිරසාර නොවන අත්තනෝමතික සංවර්ධන කටයුතුය. මෙහිදී කඩොලාන වැනි පරිසර පද්ධති වෙරළබඩ පරිසරයේ හා ගොඩබිම් තීරුවේ ආරක්‌ෂාව සඳහා අතිශය වැදගත් බව සිහිකළ යුතුය.

වර්ෂාව සහ සුළඟ නිසා හටගන්නා දැඩි රළ පහරින් ගොඩබිම ආරක්‌ෂා කිරීම සඳහා කඩොලාන හරහා සිදුවන්නේ විශාල සේවයකි. එසේම මත්ස්‍ය ප්‍රජාවගේ පැවැත්ම මෙය හරහා ආරක්ෂා වෙයි. සුළිසුළං, සුනාමි හා කුණාටු වැනි ස්‌වාභාවික ආපදාවලින් පරිසරයට සිදුවන හානිය වළක්‌වාලීම සඳහාද කඩොලාන වනාන්තර හේතුවන බව කියැවේ. ඇතැම් අධ්‍යයන තුළින් හෙළිකර ඇති පරිදි සුනාමි වැනි ප්‍රබල අපදා තත්ත්ව වලදීද කඩොලාන පරිසරය යම් බාධකයක්‌ ලෙස ක්‍රියාකර මිනිස් ජීවිත ආරක්ෂා කර ඇත. කෙසේ නමුත් ජීවත්වීම ඔක්සිජන් ඇවැසි බව නොදන්නා මිනිසුන්ට කඩොලානවල අගය වැටහේද යන්න සැබෑ ගැටලුවකි.

අදාළ සිදුවීමෙන් පසු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා නැවතත් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි. එහෙත් ඔහුගේ මතයේ වැඩි වෙනසක් ඒ තුළින් පිළිබිඹු නොවුණි. ඔහු පෙන්වා දී තිබුණේ මෙය මෙය රුපියල් ලක්ෂ 10,000ක පමණ මහා පරිමාණ ව්‍යාපෘතියක් බවයි. ඒ හරහා කලපුවේ ගැඹුර වැඩි කිරීම, මාර්ග සංවර්ධනය ආදී කටයුතු රැසක් කිරීමට නියමිතය.

“මේ ව්‍යාපෘතියෙන් අවුරුදු 7ක් තිස්සේ තවම රුපියල් ලක්ෂ 3000ක් විතරයි පාවිච්චි කරල තියෙන්නේ. තවත් රුපියල් ලක්ෂ 7000ක මහා පරිමාණ ව්‍යාපෘතියක් මේක. එක නිලධාරිනියකගේ ලියුමක් නැති නිසා මේක නතරවෙලා තියෙනවා. සමහර හිතුවක්කාර නිලධාරීන්ගේ කකුලෙන් ඇදීම් නිසා තමයි මෙහෙම දේවල් වෙන්නේ.”

ඉන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශ ඉතා අන්දෝලනාත්මකය.

“යම් පරිසර හානියක් වෙන්න පුළුවන් මේ හරහා. ඒත් එක සිද්ධියක් මුල් කරගෙන මහා පරිමාණ ව්‍යාපෘතියක් නතර කරන්න බැහැ. අපි කරන්න පුළුවන් දේවල් ඉදිරියට කරගෙන යනවා...”

යම් සංවර්ධනය කටයුත්තකදී සිදුවන පරිසර හානිය ගණනය කිරීම නිරන්තරයෙන් සිදුවේ. එය සිදුකරනුයේ අදාළ විෂය පිළිබඳ දැනුම ඇති නිලධාරීන් විසිනි. එය ඔවුන් පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් තකා සිදුකරන්නක් නොවේ. එය ඔවුන්ගේ රාජකාරියයි. ඇතැම්විට ව්‍යාපෘතියේ වටිනාකම කොතරම් වුවත් එම පරිසර පද්ධතියේ වටිනාකම ඊටත් වඩා වැඩිවිය හැක. ඒ අනුව යම් නිලධාරියකු පරිසර හානිය සලකා ව්‍යාපෘතියක් වෙනුවෙන් ඉදිරියේ කරන නිර්දේශ මෙවන් කරුණු දැක්වීම් හරහා ඉවත දැමීම ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍යුක්ති යුක්ත නොවේ.

කඩොලාන පරිසරය ආරක්ෂා කිරීමට පෙනී සිටි වනජීවී නිලධාරිනිය වෙනුවෙන් රජය පෙනී සිටින බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබිණි. එහිදී ජාතියේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින්නා වූ නිලධාරීන් ආරක්ෂා කිරීමට රජය කටයුතු කරන බවද ඔහු පවසා ඇත. මෙම නිලධාරිනිය සමඟ ජනතාව, රජය, ජනාධිපති, අගමැති සහ කැබිනට් මණ්ඩලය ද සිටින බවද මෙහිදී කියැවිණි.

මෙම ගැටලු සම්බන්ධ කරුණු විමසීමට අප ගම්පහා දිසා වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය ද ඇමතුවෙමු. නමුත් මේ සම්බන්ධව අදහස් දැක්වීම මේ මොහොතේ ඇයට සිදුකළ නොහැක්කකි. අදාළ භූමිය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක්ද ගොනුකර ඇතැයි කියැවේ. එම නිසාම මෙම ගැටලු සැබවින්ම නීතිය ඉදිරියේ විසඳාගැනීම සුදුසු බව අපගේ මතයයි. එහෙත් විපක්ෂයේ සිටියේදී වන විනාශයට එරෙහිව හඬ නැගූ වර්තමාන ආණ්ඩුව පරිසර ගැටලුවකදී ක්‍රියාකරන ආකාරය මහජනයා දැන් බලා හිඳිති. එසේම සොබාදහමට වින කරන්නන්ට සොබාදහමෙන්ම දඬුවම් ලැබෙන තුරු බලා සිටීමට දැන් කාලයක් නැති බවද අවසානයේ සිහිකළ යුතුය. එසේම සොබාදහමේ ප්‍රතිලාභ භුක්ති විඳින ඔබ සතුව සොබාදහමට එරෙහිවන්නට දඬුවම් කිරීමට වරයක්ද ඇති බව  අවසාන‍යේ අපි සිහිකරමු.

දූපත බලෙන් අල්ලා ගැනීම නීති විරෝධී වැඩක්
පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ

කලපුවම හාරලා සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කරන්න යන්නේ. පහුගිය කාලේ පාඨලී චම්පික රණවක තමයි යූ.ඩී. එක දාලා ඕක හෑරැවේ. මුලින් මිනිස්සුන්ගෙන් හරියට අදහස් ගත්තේ නෑ. ඒ නිසා මිනිස්සු මුලින් මේකට විරුද්ධ වුණා. එතකොට මේ අය බලෙන් හෑරුවා. මොරටුව සරසවියේ ප්‍රවීණයෝ වගයක් තමයි මේ වැඩේට සහයෝගය දුන්නේ. මෙතැන වැලි ගොඩගැහිලා තියෙනවා, ඒ නිසා හාරන්න ඕනෑ තමයි කියලා. එකේ පොඩි ඇත්තක් තියෙනවා. නමුත් මේ අය කරන්න යන්නේ මෙතැන සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම. දැනටමත් ගුරුගේ පාක් එක කරන අය එක දූපතක් අයිති කරගෙන ඉන්නවා.

මේ කියන දූපත තිබෙන තැන වගුරු බිමක් තිබුණේ. ඒක විශේෂ පරිසර පද්ධතියක්. තාවකාලිකව අයින් කරනවා කියන පදනම මත තමා ඔතෙන්ට පස් ගෙනත් දැම්මේ. දැන් ඒක අයින් කරන්න දෙන්නේ නැතුව දූපත බලෙන් අල්ලගන්නවා කියන එක සම්පූර්ණ නීති විරෝධී වැඩක්. අනික් කාරණය තමයි වෙරළ සංරක්ෂණයෙන්, පරිසර අධිකාරියෙන්, වන සංරක්ෂණයෙන් අවසරයක් නැතුව මේක කරන්න බෑ. දැන් මෙතැන කඩොලාන බොහොම ටිකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ වගේම මෙතැන තියෙන කඩොලාන හෝටල්වලට බදුදීමකුත් සිද්ධවෙනවා ප්‍රාදේශීය ලේකම් හරහා.

දැන් ලෝකයේ කතාකරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන විතරක් නෙවෙයි. පාරිසරික ප්‍රජාතන්ත්‍රවාදය ගැනත් ලෝකය කතාකරනවා. පාරිසරික ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ තීරණය ගැනීමේදී පාරිසරික වශයෙනුත් සලකා බැලිය යුතුයි. ඒ සඳහා අපි හැමෝටම අයිතියක් තියෙනවා. ඔක්සිජන් කියන්නේ පොදු සම්පතක්. කලපු වනාන්තර මුහුදු වෙරළ කියන්නෙත් පොදු සම්පත්. දේශපාලකයන්ගේ අවශ්‍යතා මත පොදු සම්පත් විනාශ කිරීමට ඉඩ නොදිය යුතුයි. මෙම සිදුවීමේදී ඔක්සිජන් ඕන නෑ කිව්ව පුද්ගලයාත් ප්‍රාදේශීය දේශපාලකයෙක්.

ඡන්ද එකතු කරගන්න අරමුණින් කලෙකට කලින් දේශපාලකයෝ මීගමුවේ කඩොල් කැලේ කියන පරිසර පද්ධතිය විනාශකරලා මේ වගේම ක්‍රීඩාංගණයක් හැදුවා. වර්තමාන සිදුවීම සැලකුවොත් මෙම අවස්ථාව පාරිසරික ප්‍රජාතන්ත්‍රවාදය පෙනුණු අවස්ථාවක්. පරිසර විනාශයට එරෙහිව මහා විශාල ජනතාවක් මේ මොහොතේ ඉදිරිපත් වුණා. නමුත් වියතුන් කියන සමහර දේශපාලනයට කඩේ යන මිනිසුන් වැරදි මත පතුරනවා. එවන් මිනිසුන්ව අප මෙහිදී නොසලකා හැරිය යුතුයි.

වනජීවී ඉඩම්වලින් අඟලක්වත් ගන්න බෑ
පරිසර හා වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන

අපේ වනජීවී පනත බොහොම ශක්තිමත් පනතක්. අපේ වනජීවී ඉඩම් කෑල්ලකින් අඟලක්වත් පාර්ලිමේන්තු අවසරයකින් තොරව ආපහුගන්න බෑ. වනජීවී නිලධාරිනියකට වනජීවී නිලධාරියකුට හෝ මටවත් ඒක කරන්න බෑ. මං හිතන්නේ සනත් නිශාන්ත ඇමතිතුමා වනජීවී පනත ගැන නොදන්නාකමට තමා ඒ ඉල්ලීම කරන්න ඇත්තේ.

එතැනදී වනජීවී නිලධාරීතුමියත් ඒ තත්ත්වය පැහැදිලි කළා. නිලධාරීතුමියයි ඇමතිතුමයි අතර වෙච්ච කතාව පිළිබඳව මම කනගාටුවෙනවා විෂය භාර ඇමැතිවරයා විදිහට. අනවශ්‍ය විදිහට කවුරු හරි ගොඩකිරීමක් කරලා තියෙනවා නම් වනජීවි පනත අනුව අපි ඊට විරුද්ධව අවශ්‍ය රාජකාරිය කරන්න පැකිලෙන්නේ නෑ.

ඇමතිතුමා කිව්වේ නෑනේ ඔක්සිජන් ගැන. ඒ වගේ පිරිසක් අපේ රටේ ඉන්නවා. නිලධාරිනිය කිව්වනේ මේකේ තියෙන ප්‍රශ්නය ආදීනව ප්‍රසිද්ධියේම. එතුමිය ඒ කරපු දේ හරිනේ. එහෙම වෙන්න ඕනෑ. මේවා ආරක්ෂා කරගන්න ඒ වගේ නිලධාරීන් ඉන්න ඕනෑ. නොදැනුවත් දේශපාලනඥයෝ ඉන්නව නම් ඒ පිළිබඳ දැනුවත් කරන්න ඕනෑ. පරිසරය පිළිබඳ එදා ජනාධිපතිතුමා ප්‍රකාශයක් කළා. මේක ළමයින්ට විෂයයක් වශයෙන් කරන්න කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ කාලේ මේ විෂය ඉගෙනගත්තා නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඇත්ත ප්‍රශ්නය වෙලා තියෙන්නේ විෂයක් තිබ්බේ නැති එක. මේක පාසල් විෂයක් කරන්න වෙනව. නැත්නම් වනජීවිය, පරිසරය ගැන අවබෝධයක් මිනිසුන්ට නෑ.

- චමිඳු නිසල් ද සිල්වා