2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

තුන්වේලටම රතුමස් කෑම බඩවැල් පිළිකා තුරුළු කරගැනීමක්....

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 325

මෙරට තුළ වසරකදී 3,50,000ක් උපදින විට 1,40,000ක්ම මියයන බව වාර්තා වෙයි. ඒ මියයන සංඛ්‍යාවෙන් 10% ක් එනම්, 14,000ක්ම පිළිකා රෝගීන් වීම ඊටත් වඩා ඛේදජනක තත්ත්වයකි.

ලෝකයේ අඩු ආදායම්ලාභී රටවලින් වාර්තා වන පිළිකා රෝගීන් සංඛ්‍යාව 2040 වසරේ දී 81%කින් ඉහළ යනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර වැඩි දිනයක් ද ගතවී නැත. ලෝකයේ සෑම මිනිත්තු 17කට වරක්ම කොතැනක හෝ පිළිකා රෝගියකු මියයන බවට 2018 දී ලෝකයේ රටවල් ගණනාවක් ඇසුරෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අවසන් වරට නිකුත් කළ වාර්තාවක දැක්වේ.

ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකදී ජාතික පිළිකා මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා හෙළිකර ඇති අන්දමට ලෝකයේ නව පිළිකා රෝගීන් 64ක් දිනකට හඳුනාගන්නා බව හෙළිකර තිබේ. ඒ අතරින් 38 දෙනෙක් මියයන බවද සඳහන්ය.

රක්ත වර්ණ මස් වර්ග වැඩියෙන් ආහාරයට ගැනීම බඩවැල් ආශ්‍රිත පිළිකා බහුල වීමට ප්‍රධාන හේතුවක් බව මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක 2006 සිට සිදු කරන ලද නවතම සමීක්ෂණ වාර්තාවකින් හෙළිකර තිබේ. 2006 වසරේ දී බඩවැල් ආශ්‍රිත පිළිකා රෝගීන් 400 ක් පමණ වාර්තා වූ බවත් මේ වන විට එම සංඛ්‍යාව 700කට අධික බවටත් අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි. තුන්වේලටම ගවමස් පරිභෝජනය කරන්නන් මේ අතර වැඩි වශයෙන්ම සිටින බවද එම සමීක්ෂණ වාර්තාවේ සඳහන්ය.

බඩවැල් ආශ්‍රිත සියලුම පිළිකා රෝගීන් හඳුනාගැනීම සඳහා ඔවුන්ගේ වතගොත ඇතුළත් කළ හැකි විස්තර පත්‍රිකාවක් මම මුලින්ම ලබා දුන්නා. ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කරන පත්‍රිකාවකට මුලින්ම අත්සන් ගත්තා. මෙහිදී පළමුව හෙළි වූ කරුණක් වන්නේ ආහාර රටාවේ වෙනස්කම් මෙම රෝගයට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි. ඇතැමුන් තුන්වේලටම ගවමස් පරිභෝජනය කරලා. වැඩිම සංඛ්‍යාව පිරිමි පුද්ගලයන්. ඔවුන් සියලුම දෙනා වයස අවුරැදු 40 – 60 අතර වෙනවා. මළපහ සමඟ ලේ පිටවීම, ගුද මාර්ගය ආශ්‍රිත රෝග, බඩඑළිය යාම, බඩ වේළීම මෙහි මූලික රෝග ලක්ෂණයි. රතු වර්ණයෙන් යුත් ගව, එළු හා ඌරුමස් පරිභෝජනයට ලොල් වූ වැඩිදෙනා ද මේ අතර සිටීම ප්‍රධානයි. එයිනුත් ගවමස් පරිභෝජනය දෛනික ආහාර රටාවට ඇතුළු කරගත් බොහෝ දෙනකු දිස්ත්‍රික්ක 25කින්ම ඇවිත් සිටියා. මෙහිදී ආගම ද වැදගත් වුණා. පුත්තලම, අම්පාර ඇතුළුව වයඹ හා නැගෙනහිර පළාත්වලින් රෝගීන් වැඩි වශයෙන්ම වාර්තා වුණා. කොළඹ හා තදාසන්න ප්‍රදේශවලින් ද සිටියා. මේ රෝගීන් හැමදෙනාම පාහේ දවසේ තුන්වේලටම හරක් මස් අනුභව කර තිබුණා. පවුලේ වෙනත් කෙනකුට මෙම පිළිකා රෝගී තත්ත්වය තිබුණා නම් එයත් මීට හේතුවක්.

දියවැඩියා රෝගී තත්ත්වය ද මෙම පිළිකාව වර්ධනයට බලපා තියෙනවා. පලා වර්ග හා පළතුරු වර්ග ආහාරයට නොගැනීම ද බරපතළ ප්‍රශ්නයක්. කුකුළු මස් කෑම මෙම තත්ත්වයට බලපාන්නේ නැහැ. ඒ රතුමස් වර්ගයක් නොවන නිසයි. මෙම තත්ත්වයට ගොදුරැ වූ රෝගීන් 80 දෙනෙක් පමණ දැනට රෝහලේ ඉන්නවා. බොහෝ රෝගීන්ගේ බඩවැලේ කොටසක් ශල්‍යකර්මයකින් ඉවත් කර ගුද මාර්ගයට සම්බන්ධ නොවීම සඳහා බඩවැලේ කොටසක් ඉන ප්‍රදේශයෙන් පිටතට ගෙන මළපහ කිරීම සඳහා කොලොස්ටොමි (COLOSTOMY) නැමති බෑග් එකක් එල්ලනවා. 

මෙම බෑග් වර්ගය දිනපතාම අවශ්‍ය නිසා මාස 3කට සෑහෙන ප්‍රමාණයකට බෑග් රජයෙන් නොමිලයේ ලබා දෙනවා. මෙම බඩවැල් පිළිකාව මුලින්ම හඳුනාගත්තොත් සුව කිරීම පහසුයි. උදර කුහරයෙන් පහළ ඉන කොටස දක්වා පැතිරී තිබුණොත් බේරන්නට බැරිවෙනවා. බඩවැල් පිළිකාව ආහාර රටාවේ පවතින වෙනස්කම් නිසා හටගන්නා බව තහවුරු වී ඇති බැවින්, එන්ඩෝස්කොපි (ENDOSCOPY) පරීක්ෂණයක් මුලින්ම කර ගැනීම වැදගත්. ළඟම ඇති රෝහලකින් මෙම පරීක්ෂාව සිදුකරගත හැකියි. රෝගය මුල් අවදියේම හඳුනා ගත්තොත් සුව කිරීම පහසුයි. මෙම පිළිකාව අද දරුණු තත්ත්වයට ඇවිත්. විශේෂයෙන්ම දරුවන්ට සොසේජස් හා මීට්බෝල්ස් හැම වේලේම නොදෙන්නට මව්පියන් වග බලාගත යුතුයි. සොසේජස් හා මීට්බෝල්ස් වර්ග වැඩිහිටියන්ට ද කොහෙත්ම හොඳ නැහැ. තරබාරුකම අඩුකර ගැනීමෙන් මෙම රෝගය වැළඳීම අවම කරගත හැකියි. ව්‍යායාම ද අවශ්‍යයි.

රතුමස් වර්ග වැඩියෙන් පරිභෝජනය කිරීමෙන් බඩවැලේ පිළිකා හටගැනීම වැඩි වී ඇති බවට ඉදිරියේ දී මෙම සමීක්ෂණ වාර්තාව තුළින් මුළු ලෝකයම දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මුඛ පිළිකා, මහාන්ත්‍රය ආශ්‍රිත පිළිකා, හෘද රෝග පිළිකා, ආමාශගත පිළිකා පරදා අද වන විට බඩවැල් ආශ්‍රිත පිළිකා මුල්තැනට ඇවිත්. මහරගම අපේක්ෂා රෝහලේ වසර 19ක අත්දැකීම් මට මෙම සමීක්ෂණයට වඩාත් මහෝපකාරී වුණා. රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී, නියෝජ්‍ය අධ්‍යක්ෂ හා අධ්‍යක්ෂ තනතුර නිසාම මෙම සමීක්ෂණය වඩාත්ම සාර්ථක වූ බවද කිව හැකියි.

 ජයන්ත සමරකෝන්