2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

සංගා එක්ක සම්මාන ගත් ඉන්දියාවෙන් ආ සුපිරි ගායකයා...

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 56

කාදලන් (1994) චිත්‍රපටිය මේ රටේ සිනමා රසිකයන් කාගේත් සිත්ගත් චිත්‍රපටයකි. එහි   ‘කාදලික්කු පෙන්නිල්’ කියන ගීතය රසික හදවත් තුළ රැඳුණු ගීතයකි. එම ගීතයේ රූපරාමුවල ප්‍රභූදේවා, නග්මා සහ වඩිවෙල් සමඟ නටන මහත කොල්ලා  ඉන්දියාවේ නම දිනූ ගායන - රංගන ශිල්පියෙකි. ඔහු තමා එස්. පී. බාලසුබ්‍රමනියම්. පසුගිය දිනෙක ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ මාලිබෝර්න් ක්‍රිකට් සමාජයේ සභාපති කුමාර් සංගක්කාරට ගෞරව නාමයක් පුද කිරීමට දමිළ සාහිත්‍ය උත්සවයකදී පියවර ගෙන තිබුණි. එම උත්සවයේදිම තවත් විශේෂ චරිතයකට ඉහළම සම්මානයක් පිරිනැමුණි. ඒ අපි ඉහතින් කී ඉන්දියාවේ සුප්‍රසිද්ධ චිත්‍රපට පසුබිම් ගායක එස්. පී. බාලසුබ්‍රමනියම් හටය.

ඉන්දියානු සිනමාවේ ජ්‍යෙෂ්ඨ විශිෂ්ටයකු වන බාලසුබ්‍රමනියම් සහ සංගා එකම වේදිකාවකදී පිදුම් ලැබුවේ වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා ශාලාවේ පැවති කොළඹ කම්බන්විලා රිදී ජුබිලි සම්මාන උළෙලේදීය. එස්. පී. බාලසුබ්‍රමනියම් ඉන්දීය ගායකයෙක්, නළුවෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක්, හඬකැවීම් ශිල්පියෙක් හා චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. ඔහුගේ අධික දායකත්වය හිමිවූයේ තෙළිගු, දෙමළ හා කන්නඩ සිනමාවටය. තිහකට අධික ඉන්දීය වාදක ගායක මණ්ඩලයක් සමඟ 2018 දී මේ දිවයිනට පැමිණි බාලසුබ්‍රමනියම් පිළිගැනීමට එදවස මහත් ජනකායක් යාපනයේ රැස්ව සිටියහ. එදා ඔහු යාපනයට පැමිණියේ ජීවිතයේ මුල්ම වතාවටය. දෙවැනිවර වව්නියාවේ අක්ෂි රෝහලට මුල්ගල තියන්නට 2019 අග පැමිණි ගමනය. ඔහු දමිළ සුබසාධන වැඩ පිළිවෙළ සඳහා මනා කැපවීමක් සිදුකළ අයෙකි. කම්බර් නමැති ඉන්දියානු කවියා විසින් රචනා කළ කම්බන් රාමායනය වාර්ෂිකව රඟදැක්වෙන අතර ඒහා සමගාමීව දමිළ ජාතික පැවැත්ම උදෙසා නන් අයුරින් කැප වූ විවිධ ක්ෂේත්‍රයන්හි විශිෂ්ටයන්ට ගෞරව සම්මාන පිරිනැමීම ද සිදුවේ. දේශබන්දු දිව්‍යනායගම් පිල්ලේයි පදනම මගින් ඔහු සමරා මේ සම්මානය පිරිනැමීම සිදුකරයි. දිව්‍යනායගම් පිල්ලේයි යනු තමිල්නාඩුවේ සිට මෙරට පැමිණි දැන් අප දන්නා ඊස්වරන් බ්‍රදර්ස් නිර්මාර්තෘවරයාය. මෙවර සංගා සමඟ තවත් දේශීයයන් තිදෙනෙක් ද සම්මාන ලදහ. ඒ දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්පන්දන්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා සහ ලේඛක ඒ. මුත්තුලිංගම්ය. ලංකාවේ රසිකයන් අතර ද ජනකාන්ත නමක් දිනූ බාලසුබ්‍රමනියම් හට සුවීශේෂි “කම්බන් පූගල්” ගෞරව සම්මානය පිදුණේ එහිදීය. මෙහි ඇති අපූර්වත්වය නම් සංගීතවේදී එස්. පී. බී සංගීතය හා සිනමාව හැරුණූ විට අතිශය ප්‍රිය කරන විෂය ක්‍රිකට් වීමයි. උත්සවයේදී ඔහුම කී පරිදි සංගක්කාර ඔහුගේ ප්‍රියතම ක්‍රීඩකයාය. ලංකාවේ ක්‍රිකට් මෙන්ම ලාංකීය සංස්කෘතිය ලොවට ගෙන යන තානාපතියකු බඳු සංගා සමඟ තමන්ට එකම වේදිකාවක සම්මානයක් ගන්නට අවස්ථාව ලැබීම මහා භාග්‍යයක් ලෙස ඔහු සැලකීය.

භාරත ‘ගී පුරහඳ’ ලෙස විරුදාවලි ලත් එස්. පී. බාලසුබ්‍රමනියම් ඉන්දියාවේ දෙවැනි තැන ගත් බහුභාෂා ගායකයාය. තවත් මතයකට අනුව බහුභාෂා ගායකයන් අතර ලොවෙන්ම දෙවැනි තැන ද ඔහුට හිමි වේ. දෙමළ සිනමාවේ එස්. පී. බී. නැතිනම් බාලූ ලෙස ද හැඳින්වෙන ශ්‍රීපති පණ්ඩිතාර්ධ්‍යූල බාලසුබ්‍රමනියම් මේ වනවිට හැත්තෑ හතරවැනි වියේ පසුවෙයි. ඉන් වසර 54ක්ම සංගීතය හා චිත්‍රපට කලාව වෙනුවෙන්ම කැප කළ අයෙකි. තෙලිඟු, දමිල, කන්නඩා, හින්දි සහ මලයාලම් සිනමාවේ මූලික කැපී පෙනෙන දායකත්වයක් දක්වන්නෙකි. ඔහු ගීත 40,000කට වැඩි සංඛ්‍යාවක් පටිගත කර වාර්තාවක් තබා ඇති අතර ඉන්දියානු භාෂා 16කින්ම ගීත ගයා තිබේ. තෙලිඟු, දමිල, කන්නඩා සහ හින්දි බසින් චිත්‍රපට පසුබිම් ගායනා සඳහා හොඳම පසුබ්ම් ගායකයා සම්මානය හය වතාවක්ම දිනා තිබේ. අන්ද්‍රා ප්‍රදේශ් සිනමා සම්මාන උලෙළදී “නන්දි” සම්මාන 25ක් දිනා ඇත. කර්නාටක සහ තමිල්නාඩු ප්‍රාන්ත වෙතින්ද සම්මාන ගණනාවක් හිමිව තිබේ. බොලිවුඩයේ ෆිල්ම් ෆෙයාර් සම්මානලාභී බාලා හට දකුණේ ෆිල්ම් ෆෙයාර් සම්මාන 6ක් පිරිනැමුණි.

ගීත ගයා ඔහු ගිනස් වාර්තා පොතට ද එක්ව තිබේ. ඒ 2012 වසරේ වැඩිම සිනමා ගීත ගැයූ ගායකයා හැටියටය. ජීවිත කාලය පුරා සිනමා කලාවට කළ සේවය අගයා රජයෙන්  පිරිනමන  NTR National Award පවා ලබාගත් ඔහුට 2016දී වසරේ සිනමා ශිල්පියාට පිරිනැමෙන මයුර පදක්කම ද හිමිවිය. 2001 පද්ම ශ්‍රී සම්මානයත් 2011දී පද්ම භූෂණ සම්මානයත් ලබාගන්නට බාලා සමත් විය. තිහකට අධික ඉන්දීය වාදක ගායක මණ්ඩලයක් සමඟ 2018 දී  මේ දිවයිනට පැමිණි බාලසුබ්‍රමනියම් පිළිගැනීමට එදවස මහත් ජනකායක් යාපනයේ රැස්ව සිටියහ. එදා ඔහු යාපනයට පැමිණියේ ජීවිතයේ මුල්ම වතාවටය. දෙවැනිවර වව්නියාවේ අක්ෂි රෝහල විවෘත කිරීමටය. ඔහු මෙවර මේ රටට ආවේ දින හතරක් පුරා තිබූ කම්බන් උළෙලටය.

පැරණි මදුරාසියට අයත් නෙලෝර්හි තෙලිගු බ්‍රාහ්මණ පවුලක උපන් බාලාගේ පියා ද දේව කතා ඇතුළත් ගීත නාටක ඉදිරිපත් කළ කලාකාරයෙකි. ඔහුගේ පවුලේ සාමාජිකයන් 7කි. සොයුරන් 2ක් සහ සොයුරියන් 5කි. ගීත 600කට වඩා ගයා ඇති සුප්‍රකට ගායිකා එස්. පී. සයිලාජා ඉන් එක් තැනැත්තියකි. බාල වියේ සිටම බාලා සංගීතයට යොමුවිය. නමුත් ඔහු අධ්‍යාපනය ලැබුවේ ඉංජිනේරු අංශයෙනි. ඒ ඉගෙනුම අතරේ සංගීතයත් අත් නොහැරි බාලාට සම්මාන ලබන්නට පින පැදෙන්නේ ඒ පාසල් අවදියේදීමය. මැඩ්‍රාස් තෙලිඟු සස්කෘතික සංගමයෙන් 1964දී ඔහු සිය මුල්ම සම්මානය ලැබීය. ඔහු දරු දෙදෙනකුගේ පියෙකි. පුතා චරන්, බාලා මෙන්ම පසුබිම් ගායකයෙකි. චිත්‍රපට නිෂ්පාදකයෙකි.

බාලා සිය මංගල පසුබිම් ගායනය අරඹන්නේ 1966 තරම් ඈත කාලයකදීය. ශ්‍රී ශ්‍රී ශ්‍රී මර්යද රාමානා තෙලිඟු චිත්‍රපටයටය. අන්තර්ජාතික මට්ටමේ ගීයකට ඔහු දායක වූයේ ශංකරාභරණම් නමැති තෙලිඟු චිත්‍රපටයෙනි. එය 1980දී තිරගත විය. එය ජාතික සම්මානය ලැබුවේය. 1981දී මුල්ම හින්දි චිත්‍රපට ගීය ගයන්නට අවස්ථාව එලැඹුණි. එයට ද හොඳම පසුබිම් ගායක සම්මානය ලැබුණි. එතැන් සිට සම්මාන ඔහු හඹා එන්නට විය. මෙවර ලද සම්මානයද එවැන්නකි.

 සුගත්