2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

තරුණ සිසුන්ගේ නිරුවත එකතු කළ අමුතු ’තරුණිය’

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 549

“මගේ දරුවාගේ පෞද්ගලික ජීවිතයට තර්ජනයක් වෙච්ච කාරණයක් ගැන පැමිණිල්ලක් තියෙනවා. දරුවාගේ ආරක්ෂාවයි පෞද්ගලිකත්වයයි ගැන හිතලා මේකට අවශ්‍ය පියවර ගන්න. කොහොමහරි මගේ පුතාට නිදහසේ ඉන්න විදියක් හදලා දෙන්න.”

කොළඹ ජනප්‍රිය පාසලක 18 හැවිරිදි සිසුවකු සමඟ ඔහුගේ මව රහසේ පොලීසියට පැමිණ එහි පරිගණක අපරාධ විමර්ශන ඒකකයට එසේ කියා තිබිණ. කරුණු විස්තර කරමින් පැමිණිල්ල ඉදිරිපත් කළ පාසල් දරුවා සිදුවීම මෙසේ විස්තර කළේය.
“මම උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්නේ. දවස් කිහිපයකට කලින් මගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවට “හායි” කියලා කෙටි පණිවුඩයක් ආවා. ඒක එවලා තිබුණේ ලස්සන රූපයක් තියෙන ගෑනු ළමයෙක්. මම වැඩිය නොහිතාම ඒකට පිළිතුරක් යැව්වා. දවසකට විතර පස්සෙ නැවත මැසේජ් කළා. විස්තර කතා කළා. දවස් දෙක තුනකට පස්සේ මට එයාගේ නිරුවත් ඡායාරූපයක් එව්වා. මගෙනුත් ඉල්ලුවා. මමත් යැව්වා. ඊටපස්සෙ වීඩියෝ ඉල්ලුවා. එකක් දුන්නම නැවත ඉල්ලනවා. හැමදාම එහෙම ෆොටෝ වීඩියෝ ඉල්ලලා මට කරදර කරන්න ගත්තා. මට වදයක් නිසා ඔයාට මම සල්ලි හරි දෙන්නම්. ආයෙත් මේවා ඉල්ලන්න එපා කීවා. ඒ පාර තව ෆොටෝස් සහ වීඩියෝ දුන්නේ නැත්නම් කලින් දීපු ඒවා අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කරනවා කියලා මට තර්ජනය කරන්න ගත්තා. මේක මට හරිම කරදරයක්. විභාගය ළඟයි. ඒකට මුහුණ දෙන්නත් අමාරුයි මේ නිසා.”

රහස් පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි මහත්මිය හමුවේ අගතියට පත්වූ පාසල් සිසුවා සිය ගැටලුව විස්තර කළේය. මේ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි මහත්මියට දැනගැනීමට ලැබී තිබුණේ මේ සිසුවා මෙන්ම එම පාසලේ තවත් සිසුන් පස් හය දෙනකුම මෙකී සිදුවීමට මුහුණපා සිටින බවය. එහෙත් අදාළ කාරණය පිළිබඳව පැමිණිලි කරන්නට වෙනත් කිසිවකු ඉදිරිපත්ව සිටියේ නැත.

අන්තර්ජාලයේ ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් සහ වට්ස්ඇප් යනාදී වෙබ් අඩවි ඔස්සේ කාලයක සිට සිදුකළ මෙම ඡායාරූප සහ වීඩියෝ හුවමාරුවට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ප්‍රසිද්ධ පාසල්වල පිරිමි දරුවන් ගණනාවක් සම්බන්ධ වී සිටි බව පැවසේ. එහෙත් ඉන් මිදීමට අවශ්‍ය වුවද කිසිවකුටත් ඊට ඇවැසි මාර්ගයක් සැකසී නොතිබිණි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් සූක්ෂ්ම ලෙස තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ පරීක්ෂණ සිදුකෙරෙමින් පැවතිණි. ඒ අනුව රක්වාන ප්‍රදේශයේදී එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට රහස් පොලීසිය සමත් විය. අත්අඩංගුවට පත් සැකකාර තරුණයා කොළඹ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලැබූවෙකි.

එවකට පැමිණිල්ලේ සඳහන් පරිදිම ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් වෙබ් අඩවි හරහා මෙම තරැණයාගෙන් ද නිරුවත් ඡායාරූප සහ වීඩියෝ ලබාගැනීමට තරැණියක සමත්ව සිටි බවට කරුණු අනාවරණය වූයේ අදාළ ප්‍රශ්න කිරීම් හරහාය. බැංකු නිලධාරියකු වශයෙන් සේවය කරන පුද්ගලයා පාසල් අවධියේ සිට ඊට ගොදුරු වූයෙන් ඉන් මිදීමට නොයෙක් වර උත්සාහ දරා තිබිණි. අවසානයේ තරුණිය හා එකඟතාවයකට පැමිණි හෙතෙම එයින් ගැලවී තිබුණේ වෙනත් අයකුගේ අයිතියට යටත් සිම්පතක් තෑගි කර එමගින් අන්තර්ජාල පහසුකම් ගැනීමට අවස්ථාව ලබාදීමෙනි. ඊට පිළියමක් ලෙස තමා සේවය කරන බැංකුවේ ආරක්ෂක නිලධාරියකු මාර්ගයෙන් දමිළ කාන්තාවකගේ ජාතික හැඳුනුම්පත් අංකයකට සිම්පතක් මිලදී ගැනීමට තරුණයා සමත් විය. අනතුරැව අන්තර්ජාල පහසුකම් ලබාගත් ඔහු අවශ්‍ය වෙබ් අඩවි අතර ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් පිටු ආරම්භ කළේය. මේ කරුණු හෙළිකර ගැනීම සඳහා අදාළ දමිළ ජාතික කාන්තාවගේ ද සහාය ලැබුණු අතර ප්‍රධාන සැකකාරිය ලෙස අන්තර්ජාලයේ සැරිසරන තරුණිය හඳුනාගැනීම සඳහා වූ මෙහෙයුම දියත් වූයේ ඉන් පසුවය.

මේ සඳහා පෙර කී සිම්පත නිකුත් කළ ජංගම දුරකතන සමාගමෙන් හෝ සහායක් ලබාගැනීමට හැකියාවක් නොතිබිණි. ඊට අවශ්‍ය පහසුකම් නොවූයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ෆේස්බුක් ආයතනයෙන් කළ ඉල්ලීමකට අවශ්‍ය සියලු සහාය ලබාදෙනු ලැබීය. ඒ අනුව සැකකාර තරුණිය භාවිත කළ ගිණුම පිළිබඳ පරීක්ෂාවේ දී හඳුනාගෙන තිබුණේ ඇගේ ගිණුමට සම්බන්ධ තරුණයන් පනහකට අධික පිරිසක් සිටින බවත් ඔවුන් සියලු දෙනා සමඟ ඇය කෙටි පණිවුඩ හුවමාරු කර ඇති බවත් නිරැවත් ඡායාරූප සහ වීඩියෝ රාශියක් හුවමාරු කරගෙන තිබූ බවත්ය.

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් භාවිතයේ දී ජංගම දුරකතන අංකයක් හඳුනාගැනීමට අවස්ථාව නොමැත. එබැවින් රහස් පොලීසියේ උපදෙස් මත සැකකාරිය සඳහා වූ වට්ස්ඇප් ගිණුමක් ආරම්භ කිරීමට සිදුවූයේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ ලබාදෙන බවට වූ පොරොන්දුව මතය. ඒ අනුව සැකකාරියගේ ජංගම දුරකතන අංකය ලබාගැනීමට මෙම නිලධාරීහු සමත් වූහ. ඒ අනුව හෙළිවූයේ මෙතෙක් කල් තරුණියක ලෙස පෙනී සිට මෙම තරුණ පිරිසගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඇත්තේ පිරිමි පුද්ගලයකු බවය. එතෙක් කල් ඔහු ඒ බව හඳුනාගැනීමට කිසිවකුට ඉඩ ලබාදී නොතිබීම ද විශේෂයකි. 

මෙසේ සිදුකළ විමර්ශන අතරතුර සැකකාර තරුණයා හඳුනාගැනීමට රහස් පොලීසිය සමත් විය. සැකකරු දැනට තොරතුරු තාක්ෂණ ශිල්පියකු ලෙස කටයුතු කරන්නෙකි. මොහු මොරටුව ලක්ෂපතිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද පැවසේ. පාසල් සමයේ පටන් වසර කිහිපයක පෙර සිට මෙම ක්‍රියාව සිදුකරමින් සිටින බවත් මිතුරකු හඳුනා ගැනීමෙන් පසුව ඔහුගේ ගිණුමේ සිටින සෙසු මිතුරන් ද හඳුනා ගැනීමට උත්සාහ කළ බවත් ඔවුන් හා සබඳතා ගොඩනගාගෙන මෙසේ නිරුවත් පින්තූර ගෙන්වාගත් බවටත් සැකකරු තොරතුරු හෙළි කළේය. 

එසේ ලබාගත් තරුණයන් පනස් දෙනකුට වැඩි පිරිසකගේ ඡායාරූප සහ වීඩියෝ ඔහුගේ නවීන ජංගම දුරකතය තුළ ගබඩා කරගෙන තිබූ බවද අනාවරණය විය. ඒ සඳහා ඇබ්බැහි වී සිටි තමා ඉන් මිදීමට සිතුවද ඉන් පලක් නොවූ බවද සැකකරු කියා තිබිණි. තරුණයන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ නරඹා තමා වින්දනයක් ලැබූ බවද ඔහු අනාවරණය කළේය. වසර කිහිපයක පටන් සිදුකළ මෙම කටයුත්ත තුළදී සැකකරු තරුණියක ලෙස පෙනී සිට වචනයක් හෝ කතා කිරීමෙන් වැළකීම ද ඔහුගේ උපක්‍රමයක් වී තිබිණි.

ව්‍යාජ අන්තර්ජාල ගිණුම් හරහා තරුණයන් මුලාකර නිරුවත් ඡායාරූප සහ වීඩියෝ ලබාගැනීම සහ ඔහුට තර්ජනය කිරීම යන චෝදනාවලට එරෙහිව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට රහස් පොලීසිය කටයුතු කරනු ලැබීය.  සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි මහත්මිය ප්‍රකාශ කළේ මෙසේ ඡායාරෑප ලබාගැනීම මෙන්ම ලබාදීම ද වරදක් බවය. අන්තර්ජාලය භාවිතයේ දී තමා දන්නා හඳුනන හිතවතුන් පමණක් ආශ්‍රය කරන ලෙසත් නාඳුනන මිතුරු ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම හෝ සබඳතා ගොඩනගා ගැනීමෙන් වළකින ලෙසත් ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. එසේ වෙනත් පාර්ශ්වයක් ඇසුරු කරන්නේ නම් දෙවතාවක් සිතා බලන ලෙස ද ඇය තවදුරටත් පවසයි. මෙලෙස ලබාගත් ඡායාරූප ඇතැම් විදේශීය අසභ්‍ය වෙබ් අඩවිවලට විකිණීමේ ජාවාරම් සිදුවන බවද ඒවායෙන් වැළකීමට තමන් කල්පනාකාරී විය යුතු බවද ඇය තරයේ අවවාද කරයි. එසේම තරුණ දුවා දරුවන් අන්තර්ජාලය භාවිත කිරීම පිළිබඳව මව්පියන් ද අවධානයෙන් පසුවීම වැදගත් බවද ඇය පෙන්වා දෙන්නීය. එලෙසම ඇතැම් දරු දැරියන් මෙවැනි අපරාධ සඳහා යොමුවීමේ ප්‍රවණතාවයක් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

රහස් පොලීසිය බාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ උපදෙස් මත එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න මහතාගේ අධීක්ෂණය යටතේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි මහත්මියගේ මෙහෙයවීම මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

  සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:05