2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

මම උපදිනකොටත් තාත්තා අගමැති ලේකම් මට අවුරුදු හතළිහ වෙනකොටත් තාත්තා අගමැති ලේකම්

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 499

අභිනව සාර්ක් මහ ලේකම් ඇසල වීරකෝන්ගේ මතක වත

ග්‍රීස් ගසකට නැගගැනීම පහසු කරුණක් නොවේ. බෙහෙවින් වෙහෙසකර ව්‍යායාමයකි. ඊට අවශ්‍ය වන්නේ උත්සාහය සහ කැපවීම පමණි. කැපවීම ඇති තැනැත්තා ජයග්‍රහණයේ කොඩිය අතට ගනී. එලෙස ජීවිතය ජයගත් සුහද මිනිසකු ගැන සටහනක් තබන්නට මම සූදානම් වෙමි. මා ඉදිරියේ සිටින්නේ තවත් මසකින් ආසියාවේ ලොකුම ලේකම් පුටුව හොබවන්නට කොළඹින් පිටව යන ඇසල වීරකෝන් මහතාය. සම්පූර්ණ නමින් ඇසල රුවන් වීරකෝන් වන ඔහු හඳුන්වා දිය හැකි වඩාත් පහසුම ක්‍රමය වන්නේ මෙරට රාජ්‍ය නායකයන් වැඩිම ගණනකගේ ලේකම්වරයා වූ කීර්තිමත් සිවිල් සේවක දේශමාන්‍ය බ්‍රැඩ්මන් වීරකෝන් මහතාගේ එකම පුත්‍රයා ලෙසය.

දැනට ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා ලෙස සේවය කරන ඇසල වීරකෝන් මහතා රටවල් අටකින් සමන්විත දකුණු ආසියානු රාජ්‍යයන්ගේ ප්‍රමුඛතම සංවිධානය ලෙස හැඳින්වෙන ‘සාර්ක්’ සංවිධානයේ මහ ලේකම් ධූරයට පත් කර තිබේ. ලෝකයේ පිහිටි ප්‍රාදේශීය රාජ්‍ය සංවිධානවලින් වැඩිම ජනගහනයක් නියෝජනය කරන සාර්ක් සංවිධානයේ උසස්ම පුටුවට පත්ව යන ඇසල වීරකෝන් මහතා හිටපු තානාපතිවරයකු මෙන්ම අමාත්‍යංශ ලේකම්වරයෙක් ද වෙයි. මේ ඔහුගේ අප නොදත් කතාවයි.

“මගේ තාත්තා බ්‍රැඩ්මන් වීරකෝන් මහත්මයා. අම්මා දමයන්ති වීරකෝන් මහත්මිය. අපේ පරම්පරාවම රාජ්‍ය සේවකයන්ගේ පවුලක්. මගේ සීයලා දෙන්නම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු. අපේ පවුලේ කාගේත් උනන්දුව තිබුණෙ රාජ්‍ය සේවයට ඇවිල්ලා රටට සේවයක් කිරීම. මම උපදිනකොටත් මගේ තාත්තා අගමැති ලේකම්. මට අවුරැදු 40 ක් වෙනකොටත් තාත්තා අගමැති ලේකම්.... ඒක ලේසියෙන් කෙනකුට අත්දකින්න ලැබෙන සිදුවීමක් නෙවෙයි...” ඇසල සිය කතාව ආරම්භ කළේ එසේය.

කොළඹ ඉපිද ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඇසලට සිය පියා කෙටි කලකට දේශපාලන මාරුවක් ලබා මඩකලපුව මහ දිසාපති ලෙස පත්ව ගිය පසු මඩකලපුවට ගොස් එහි ශාන්ත මයිකල් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නට සිදුවිය. එය ඉතාම අමුතු අත්දැකීමක් ලෙස සලකන ඔහු අනතුරුව නැවත කොළඹට පැමිණ රාජකීය විද්‍යාලයේ උසස් පෙළ අධ්‍යාපනය ලැබීය. එකල දිස්ත්‍රික්කයක මහ දිසාපතිවරයා අප්‍රමාණ සමාජ ගෞරවයට පාත්‍රවූවෙකි. ඇසලගේ පියා අම්පාර, මඩකලපු මෙන්ම ගාල්ලේ මහ දිසාපති ලෙස ද කටයුතු කර ඇත.

“මම දිසාපතිවරු ගැන රසවත් කතාවක් කියන්නම්. තාත්තා ගාල්ලේ දිසාපති කාලෙ අපේ නිල නිවෙසට දුරකතන ඇමැතුමක් ආවා. ගෙදර හිටපු කෙනෙක් දුරකතනය ගත්තා. එහා පැත්තෙන් කතා කළ කෙනා ඇහුවා “හාමුදුරුවො ඉන්නවද?” කියලා. උත්තර දුන්න අය කිව්ව “වැරදි නොම්මරයක්. එහෙම කෙනෙක් මෙහේ නැහැ” කියල.. ඊටපස්සෙ දෙවැනි වරටත් අර ඇමැතුම ආවා.. ඒ පාරත් ඇහුවෙ හාමුදුරුවො ඉන්නවද කියලයි... අපේ ගෙදර හිටපු සේවකයට ටිකක් තරහ ගිහිල්ල එයා කිව්වා “මේක පන්සලක් නෙවෙයි. හාමුදුරුවරු මෙහේ නැහැ. කරැණාකරල පන්සලට කතා කරන්න” කියලා. එතකොට මේ දෙබස මගේ අම්මට ඇහිල ඇවිල්ල දුරකතනය ගත්තට පස්සෙ එහා පැත්තෙන් කතා කළ තැනැත්තා කිව්ව “මම කිව්වෙ පන්සලේ හාමුදුරුවන් ගැන නෙවෙයි.. ඒජන්ත හාමුදුරුවන් ගැනයි” කියලා. ඔන්න ඔහොමයි එදා මහ දිසාපතිවරයකුට තිබුණු සැලකිල්ල...” ඇසල සිනාසෙමින් පැවසීය.

උසස් පෙළ සමත්ව කැලණිය සරසවියට තේරුණු ඇසල හදාරන්නට තෝරාගත්තේ ආර්ථික විද්‍යා විශේෂවේදී උපාධියයි. ඊට වසර 4 ක් ගත විය. ඔහු සරසවියට යන කාලයේත් පාසල් යන කාලයේත් පියා රාජ්‍ය සේවයේ ඉහළම සිවිල් සේවකයා විය. එහෙත් ඔහු නිවෙසේ සිට පාසලට ගියේ පයිනි. සරසවියට තේරීපත් වූ දා සිට සාමාන්‍ය බස් රථයකින් සරසවියට ගියේය. පියාට නිල රථ හා වෙනත් පහසුකම් කොපමණ තිබුණත් ඔහුට ඒවා ලැබුණේ නැත. පියාගෙන් පාසලට හෝ සරසවියට යන්නට වාහනයක් ඉල්ලුවේද නැත. ඇසලගේ එකම අරමුණ වූයේ පාසල් හා සරසවි අධ්‍යාපනය නිමවා පියා මෙන් පරිපාලන සේවයට ඇතුළත් වීමයි.

කැලණිය සරසවියේ උපාධි ලැබූ ඔහු ලන්ඩනයට ගොස් එහි ප්‍රමුඛ පෙළේ විද්‍යායතනයක් වන ආචාර්ය එන්.එම්. පෙරේරා ද උගත් ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්හි පශ්චාද් උපාධිය හැදෑරීය. ඒ දිනවල ඔහු මෙරට පරිපාලන සේවාවට ඇතුළු වීමට අයැදුම් කර තිබුණි. එහි ලිඛිත පරීක්ෂණය යෙදී තිබුණේද ලන්ඩනයේ පශ්චාද් උපාධි විභාගය යෙදී තිබුණේ ද එකම කාලයේය. එනිසා ඔහු මෙරට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ඩී.බී.අයි.පී.එස්. සිරිවර්ධන මහතාට ලියුමක් ලියා ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලයට පරිපාලන සේවා විභාගයේ ප්‍රශ්න පත්‍ර ගෙන්වාගෙන එහිදී තානාපති කාර්යාල නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ උත්තර සැපයීමට අවසර පැතීය. එහෙත් මහ නීතිකාරයකු හැටියට ප්‍රකට රාජ්‍ය පරිපාලන ලේකම්වරයා අගමැති ලේකම් බ්‍රැඩ්මන්ගේ පුතාට ඊට අවසර දුන්නේ නැත. පරිපාලන සේවයට එන්න අවශ්‍ය නම් ලංකාවට පැමිණ විභාගය ලියන්නැයි ඔහු ඇසලට නියම කළේය. මෙහි වැදගත්ම කරුණ දශක ගණනාවක් රාජ්‍ය සේවයේ ලොක්කා වූ බ්‍රැඩ්මන් තම එකම පුත්‍රයා ගැන පරිපාලන ලේකම්ට කිසිම ඉල්ලීමක් නොකිරීමය. ඒ එදා සිටි ප්‍රතිපත්තිගරුක රාජ්‍ය සේවකයන්ගේ හැටිය.

ඉස්කෝලෙ ගියේ පයින්  කැම්පස් ගියේ බස් එකේ

ඇසලට පරිපාලන සේවා වරම අහිමි විය. නමුත් ඊට මාස තුනකට පසු ඔහුට තවත් දොරටුවක් විවෘත විය. ඒ විදේශ සේවා විභාගය ගැසට් කිරීමත් සමඟය. ඊට ඉදිරිපත් වූ හෙතෙම 1988 දී ශ්‍රී ලංකා විදේශ සේවයට තෝරාගනු ලැබිණ. මෙම සියලු කටයුතුවලදී තමන්ගේ පියා ඉතාම කාර්යබහුලව සිටි බැවින් සිය මව සියලු දේ නොපිරිහෙලා ඉටුකළ බව ඔහු පවසන්නේ හරසර පෙරටුවය.

ඇසල වීරකෝන් මහතාගේ මුල්ම විදේශ සේවා පත්වීම පැරිස් තානාපති කාර්යාලයයි. ප්‍රවීණ සිවිල් සේවකයකු මෙන්ම උගතකු ලෙස ප්‍රකට ආචාර්ය ආනන්ද ගුරුගේ එරට තානාපතිවරයා විය. ඇසල පැරිසියට ගියේ මෙරටදී විවාහ වීමෙන් පසුවය. ඔහුගේ භාර්යාව වූයේ ප්‍රවීණ විදේශ තානාපතිවරයකු මෙන්ම හිටපු විදේශ ලේකම්වරයකු වන බර්නාඩ් පී. තිලකරත්න මහතාගේ දියණිය වන ක්‍රිශාන්ති තිලකරත්න මෙනෙවියයි. ඇය ‘දිල්ලි ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්’ ආයතනයේ උපාධිධාරිනියකි. ඇසලට ක්‍රිශාන්ති මුණගැසුණේ කෙටි කාලයක් දෙදෙනාම මධ්‍යම පරිසර අධිකාරියේ මුල්ම සභාපති වූ හිටපු ජනාධිපති ලේකම් කේ.එච්.ජේ. විජයදාස මහතා යටතේ සේවය කළ කාලයේය.
පැරිසියේ සේවයෙන් පසු ඇසල වීරකෝන් ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් ධූරයට පත් කෙරිණි. එහි මහ කොමසාරිස් වූයේ ජෙනරාල් සේපාල ආටිගලය. “ඇත්තටම මට බයත් හිතුණා හමුදා ජෙනරාල් කෙනෙක් පතාක යෝධයෙක් වගේ කෙනෙක් එක්ක මම වැඩ කරන්නෙ කොහොමද කියලා. ඒත් එතුමා ඉතාම විශිෂ්ට චරිතයක්. මම පොඩි කතාවක් කියන්නම්.. ඒ කාලෙ ලන්ඩනයෙ මම හිටියෙ මහ කොමසාරිස්තුමාගෙ ගෙදර තිබුණු තැනට පිටිපස්සෙ තිබ්බ ෆ්ලැට් එකක. මම වැඩට යන්නෙ කෝච්චියෙ. හිම වැටෙන කාලෙට රූ වෙනකම් වැඩ කරලා කළුවරේ ෆ්ලැට් එකට යන එක දුෂ්කර ගමනක්. ඒක දැනගත්ත ජෙනරාල් ආටිගල මහත්මයා රූට යනකොට මටත් එතුමගෙ කාර් එකෙන් යන්න කතා කරනව. ඔන්න ඔහොම දවසක් යනකොට මොකක් හරි කාරණාවකට මම ඇහුවා “සර් ඔබතුමා දන්නවද එංගලන්තෙ ආරක්ෂක ඇමැතිතුමාව?” කියලා. එතකොට එයා ඒ ප්‍රශ්නය ඒ හැටි ගණන් නොගෙන “හ්ම්” කියල කිව්වා.. මට හිතුණෙ මම මහ මෝඩ ප්‍රශ්නයක් ඇහුව බවයි. ඒත් තත්ත්පර කිහිපයකින් ආයෙත් කතා කරපු ජෙනරාල් ආටිගල මට මෙහෙම කිව්ව.. “අයිසේ ඇසල මම ඔය ආරක්ෂක ඇමැතිව පුංචි කාලෙ වඩාගෙන ඉඳලත් තියෙනවා” කියල.. මම ඒ උත්තරේට උඩ ගිහින් බිම වැටුණා... ඊටපස්සෙ එයා මට කිව්ව “ලංකාවෙ පළමු බ්‍රිතාන්‍ය හමුදාපති කේට්නස් සාමිගෙ පුතා තමයි දැන් එංගලන්ත ආරක්ෂක ඇමැති. ඒගොල්ලො ලංකාවෙ ඉන්නකොට මම හමුදාපතිගෙ ප්‍රධාන සහායක නිලධාරි. ඒ කාලෙ තමයි ඔය ළමයා මම වඩාගත්තෙ... කියලා.”

එවන් විශේෂ සබඳතා තිබූ තානාපතිවරුන්, මහ කොමසාරිස්වරැන් යටතේ සේවය කරන්නට ලැබීම වාසනාවක් යැයි ඔහු මා සමඟ පැවසුවේය.

ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ කොළඹ සිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් මෙරටින් පිටුවහල් කිරීම නිසා ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර විශාල රාජ්‍ය තාන්ත්‍රික හබයක් හටගත්තේය. සාමාන්‍ය ක්‍රමය අනුව මෙරට සිටින බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් පිටුවහල් කළහොත් බ්‍රිතාන්‍ය ද කරන්නේ එරට සිටින අපේ මහ කොමසාරිස් පිටුවහල් කොට එකට එක කිරීමයි. නමුත් එරට ඉහළ තැන් සමඟ උසස් සබඳතා පවත්වාගෙන ගිය ජෙනරාල් සේපාල ආටිගල සමඟ බ්‍රිතාන්‍ය රජය සුහදතාව බිඳගත්තේ නැත. ඔහු පිටුවහල් කළේ ද නැත.

බ්‍රිතාන්‍යයේ සේවයෙන් පසු කොළඹට පැමිණ වසර දෙකක් සේවය කළ ඇසල වීරකෝන් නැවත මැලේසියාවට පත් කෙරිණි. එහි වැඩි කලක් ඔහු සේවය කළේ නියෝජ්‍ය මහ කොමසාරිස් ලෙසයි. මහ කොමසාරිස් වූයේ හිටපු මහ බැංකු අධිපති ආචාර්ය වර්ණසේන රාසපුත්‍ර මහතාය. ඔහු ඉතා නිහතමානී චරිතයක් ලෙස ඇසල හඳුන්වයි. ඔහු කොතරම් නිහතමානී වූයේ ද යත් වරක් ඔහු ඇසලට මෙසේ කීය. “ඇසල මම නිදාගන්නෙ පැදුරෙ.. වැටෙන්නෙත් පැදුරෙන්.. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ..” ආචාර්ය රාසපුත්‍රගෙන් පසුව මැලේසියාවේ මහ කොමසාරිස් ලෙස පැමිණියේ ලයනල් ප්‍රනාන්දු මහතාය. ඔහු පැමිණි පසු එරට විදේශ අමාත්‍යවරයා ලෙස සිටි අබ්දුල්ලා බදාවි හමුවීමට මහ කොමසාරිස්වරයා ගියේ ඇසල ද සමඟය. එම හමුවේදී සුප්‍රකට මැලේසියානු විදේශ අමාත්‍යවරයා මහ කොමසාරිස් ලයනල්ට හා නියෝජ්‍ය මහ කොමසාරිස් ඇසලට කදිම කතාවක් කීය. “මහ කොමසාරිස්තුමනි.. මම ඔබලා ආදරෙන් පිළිගන්නවා. මේ වෙලාවෙ විශේෂ යමක් කිව යුතුයි. අද මම මෙහෙම ඉංග්‍රීසි කතා කරන්නෙ කොහොමද දන්නවද? ඔබේ රටේ ගුරැවරයෙක් මට ඉංග්‍රීසි උගන්නපු නිසයි..” ඒ කතාවට ලයනල් සහ ඇසල සතුටට පත් වුවද එදා අපට පසුපසින් සිටි මැලේසියාව අද අප පසුකර බොහෝ ඉදිරියට ගොස් ඇතැයි පැවසුවේ තරමක කනස්සල්ලෙනි.

අනතුරැව ජපානය, ඔස්ට්‍රේලියාව සහ නෝර්වේ යන රටවල සේවය කළ ඇසලට මෙම රටවලදී ලැබූ සුවිශේෂ අත්දැකීම් විදේශ සේවාවේ හිනිපෙත තරණයට බෙහෙවින් උපකාර විය. ජපානයේ රජ මැඳුරට ගොස් අධිරාජයාට අතට අත දී සුබ පතන්නට එරට වැසියන්ට කිසිසේත්ම අවසර නැත. එහෙත් තානාපතිවරුනට එම අවස්ථාව වසරකට දෙවරක් හිමිවන්නේ ජනවාරි 01දා සහ රජුගේ උපන් දිනය දාය. ඇසල ජපානයේ සිටියදී මෙම වරම ඔහුට ද ලැබිණි. තානාපතිවරුන් රජුට අතට අත දී සුබ පැතීමෙන් පසු රජ මැඳුරෙන් පිටතට එද්දී ඔවුනගේ සුරත අල්ලා සුබ පතන්නට ජපාන වැසියෝ පෙළගැසී සිටිති. රජුට අතට අත දෙන්නට බැරි නිසා රජු අතට අත දුන් තානාපතිවරයකුට අතදීම පවා ඉමහත් ගෞරවයක් ලෙස ජපාන වැසියෝ සලකති. එය ඇසල සිය විදේශ සේවා දිවියේ ලැබූ තවත් රසවත් අත්දැකීමකි. එසේම ඔහුට බෙහෙවින් වේදනාබර අත්දැකීමක් ද ලැබිණි. ඒ ජපානයට පෙර ඔහු 2009 දී පමණ යුද සමයේ නෝර්වේහි තානාපති ලෙස සේවය කළ කාලයේය. ඉතා සාමකාමී රටක් වන නෝර්වේ රාජය එදා මෙරට සාම ප්‍රයත්නය සඳහා ද උදව් වෙමින් සිටියේය. ඒ කාලයේ එක් ඉරිදාවක එරට ඩයස්පෝරා සාමාජිකයන් තානාපති කාර්යාලයට පහර දී සම්පූර්ණයෙන්ම විනාශ කර තිබිණි. එනිසා සම්පූර්ණයෙන්ම තානාපති කාර්යාල කටයුතු අඩාල විය. මෙම සිද්ධිය නිසා නෝර්වේ ආණ්ඩුව ද බලවත් අපහසුතාවට පත් විය.

ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරියකු ලෙස ඇසල වීරකෝන් මහතා වොෂින්ටන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ද සේවය කර ඇත. ඒ පසුගිය රාජපක්ෂ ආණ්ඩු කාලයේදීය. අමෙරිකාවේ දී විශේෂයෙන් උගත් දේ කුමක්දැයි මම ඔහුගෙන් ඇසුවෙමි.

“හමුදාවට එපමණ ගෞරවයක් තිබෙන රටක් මම ලෝකයේ වෙන කොහේවත් දැකලා නැහැ. ඒ රටේ ගුවන් තොටුපොළවල ගුවන්යානාවලට මගීන් ඇතුළත් කරනකොට මුලින්ම ඇතුළු කරන්නේ පළමුවැනි පන්තිය හෝ ව්‍යාපාරික පන්තියේ මගීන් නෙවෙයි. ඒ රටේ ආරක්ෂක හමුදා සාමාජිකයො ඉන්නව නම් එයාල අසුන් ගන්වලයි පළමු පන්තිය ඇතුළු කරන්නෙ.. ඒක මම ලෝකෙ කොහේවත් දැකලා නැති සිද්ධියක්...”

එංගලන්තේ ආරක ඇමැති වඩාගෙන හිටපු තානාපති

අමෙරිකාවෙන් පසු කොළඹට පැමිණ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස ටික කලක් සේවය කළ ඔහු ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස නවදිල්ලියට ගියේය. ඇසලගේ මාමණ්ඩිය වූ හිටපු විදේශ ලේකම් බර්නාඩ් තිලකරත්න මහතා මහ කොමසාරිස් ලෙස කටයුතු කළ දිල්ලියට ඇසල පත්වීම ද විශේෂයකි. ඊටත් වඩා විශේෂත්වය වූයේ ඇසලගේ ආදරණීය බිරිඳ ක්‍රිශාන්ති උපත ලබා තිබු‍ණේ නවදිල්ලියේ දී වීමයි. සිය පියා වූ බර්නාඩ් තිලකරත්න මහතා දිල්ලියේ සේවය කළ සමයේ එහිදී ඇය උපත ලැබුවාය. ඉන්දියාවේ මහ කොමසාරිස් ලෙස සේවය කළ කාලයේ ඔහු එරට සංඝනායක හිමිනමක වන බානගල උපතිස්ස හිමියන් සිය පන්සලේ සංවිධානය කර තිබූ සැරියුත් - මුගලන් ධාතු ප්‍රදර්ශන උත්සවයකට සහභාගි විය. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ ඉන්දීය මධ්‍ය ප්‍රදේශ් මහ ඇමැති සිවරාජ් චවුහාන් මහතාය. බානගල හාමුදුරුවන් ඔහුට ඇසල හඳුන්වා දුන්නේ මේ අපේ මහ කොමසාරිස්තුමා යැයි කියමිනි. එවිට හාස්‍යප්‍රිය මහ ඇමැතිවරයා “ඔබ කොහොමද ලංකාවෙ මහ කොමසාරිස් වෙන්නෙ. ඔබ ඉන්දියන් කාරයෙක් වගේනෙ..” යැයි කී විට ඊට කැපෙන උත්තරයක් දුන් ඇසල “ඔව් ඔව්.. එහෙම වෙන්න පුළුවන්. අපි එක අම්මගෙ දරුවොනේ..” යැයි පැවසීය.

දිල්ලියේ ඇසලගේ සේවා කාලය වසරක් පමණි. ඔහු නැවත කොළඹට කැඳවූයේ විදේශ ලේකම් ධූරය භාරගන්නට ආරාධනා කරමිනි. එම තනතුර ද ඔහුට විශේෂ විය. ඊට හේතුව ඔහුගේ මාමණ්ඩිය විසින් කලකට පෙර එම තනතුර හොබවා තිබීම නිසාය. විදේශ ලේකම් ධූරයෙන් සංචාරක සංවර්ධන අමාත්‍යංශ ලේකම් ධූරයට පත්වූ ඔහු දැන් සේවය කරන්නේ ජනාධිපති කාර්යාලයේය. ඔහුගේ බිරිය තෘතීය හා වෘත්තීය අධ්‍යයන කොමිසමේ සාමාජිකාවකි.

මේ වන විට ඇසල වීරකෝන්ගේ රාජ්‍ය සේවා කාලය වසර 31 කි. ඔහු පවසන්නේ ඔහු ද ඔහුගේ පියා මෙන්ම සුබවාදී පුද්ගලයෙක් බවයි. “මගේ තාත්තත් ඉතාම සුබවාදී කෙනෙක්. එතුමාගෙන් කවුරුහරි කොහොමද කියල ඇහුවොත් දෙන්නෙ එකම උත්තරයයි “මම ඉතාම හොඳින්..” ඒකයි එතුමාගෙ පිළිතුර. මමත් හිතන්නෙ ඒක හරි. මමත් එහෙමයි..” එලෙස සුබවාදීව ලෝකය දෙස බලන ඔහු ආදරණීය දියණියකගේ හා පුත්‍රයකුගේ පියෙකි. දියණිය රජයේ නීතිඥවරියකි. පුතා ගෘහ නිර්මාණ ශිල්පියෙකි.

නිමක් නැති පැරණි කතා මැද දැන් මම ඔහුගෙන් අහන්නේ ඔහු භාරගන්නට යන අලුත් වගකීම, සාර්ක් මහ ලේකම් ධූරය ගැනයි.

“සාර්ක් රටවල් අතරේ ලේකම් ධූරය බෙදිලා යනවා. මෙයට කලින් මේ තනතුර දැරුවෙ එකම ශ්‍රී ලාංකිකයයි. ඒ නිහාල් රුද්‍රිගූ මහත්මයා. රජයේ නාමයෝජනාව අනුව මාව එතැනට පත් කරල තිබෙන්නෙ අවුරුදු තුනක ධූර කාලයකට.. සාර්ක් සංවිධානයට අයත් රටවල් අටේම කටයුතු සොයා බැලීම, සාර්ක් රාජ්‍ය නායක සමුළුව සංවිධානය වගේ ප්‍රධාන රාජකාරි ගොඩක් මේ තනතුරට පැවරෙනවා.. නේපාලයේ කත්මණ්ඩු නුවරයි අපේ මූලස්ථානය තියෙන්නෙ.. සාර්ක් සංවිධානෙ ආදායමින් 40% ක් විතර ඉන්දියාවෙනුයි සපයන්නෙ. ඒ වගේම සාර්ක් රාජ්‍ය නායක සමුළුව පවත්වන්න සියලුම රාජ්‍ය නායකයො ඉන්නම ඕන. එහෙම නැත්නම් සමුළුව තියන්න බැහැ. මට පැවරෙන මුල්ම රාජකාරිය තමයි සාර්ක් රටවල් 8ම රාජ්‍ය නායකයො මුණගැහිල මීළඟ සමුළුව කැඳවීම.” 

අනතුරුව මම ඔහු තමන්ගේ කත්මණ්ඩු ජීවිතය සැලසුම් කරන ආකාරය ගැන සරල ප්‍රශ්නයක් ඇසීමි.

“මට දැනගන්න තියෙන විදිහට ඒ රට නිතර නිතර භූ චලන සිදුවන රටක්. එහාට යන විදේශ සේවාවල කාටත් උපදෙස් දෙනවා ‘ගෝ බැක්’ කියල විශේෂ මල්ලක් තියාගන්න කියලා. ඒකෙ පාස්පෝට් කොපියක්, අවශ්‍ය බෙහෙත් වර්ග, කණ්ණාඩි කුට්ටමක්, ඇඳුම් දෙක තුනක් දාලා හරිගස්සලා තියන්න ඕන. හදිසි අවස්ථාවකදි ටක් ගාලා මල්ල ගත්තා ගියා..” ඒ ඔහුගේ සූදානමයි.

ඉතා සරලව සැහැල්ලුවෙන් සිය දිවිපෙවෙත හැඩගස්වාගත් මේ ප්‍රවීණ විදේශ සේවා ප්‍රධානියා සමඟ සාකච්ඡා කළ මෙම ලියුම්කරුට ද මේ අවස්ථාව විශේෂ වෙයි. ඇසලගේ පියා වන බ්‍රැඩ්මන් වීරකෝන් මහතා සමඟත් ඔහුගේ මාමණ්ඩිය වූ බර්නාඩ් තිලකරත්න මහතා සමඟත් දැන් ඔහු සමඟත් සාකච්ඡා කරන මම වීරකෝන් - තිලකරත්නවරුන්ගේ පරම්පරා දෙකක් මුණගැසී ඇත්තෙමි. එය ද මාධ්‍යකරුවකුට ලැබෙන විශේෂ අවස්ථාවක් බව සිහිපත් කරමි. බරසාර වගකීමක් සුපුරුදු සැහැල්ලුවෙන් කරට ගත් ඇසල වීරකෝන් මහතාට දිලිසෙන දෙපයින් ගමන් කරන්නට මාවත දැන් විවෘතය. එහි සීරුවෙන් ඇවිදයාමට ඔහුට ශක්තිය හා ධෛර්යය ඇති බව අපේ විශ්වාසයයි. ග්‍රීස් ගස නැගගත් ඔහුට අපි සුබ පතමු.

► රන්ජිත් ආනන්ද ජයසිංහ
සේයාරූ I සුමුදු හේවාපතිරණ

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05