ෂාරුක් ඛාන්ට බෝම්බේ ගැහුවේ කවුද?
එය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් අධ්‍යක්ෂණය කරන හඬපට නම් මෙගා ටෙලියේ කුහුල දනවන දෙබසකි. වසර දහසයක් පැරණි රහසක් වන මෙම බෝම්බ ප්‍රහාරය පිළිබඳ තතු විමසීමට අපද උත්සුක වූයේ එබැවිණි. මෙය හෙළි නොවූ රහසක් නිසාවෙන්ම වර්තමාන කතාව සමඟ අතීතයද එකින් එක විමසා බැලීම වැදගත් වේ.
මෙහි අතීත කතාව ඇරැඹෙන්නේ 2004 වසරේදීය. 2004 වසරේදී දෙසැම්බර් මස 11 වැනි දින “Temptation 2004” නමින් ප්‍රසංගයක් සංවිධානය කළේ පෞද්ගලික ආයතනයක් විසිනි. ඊට එවකට ප්‍රකට මාධ්‍ය ආයතනයක දායකත්වයද ලැබුණි. ෂාරුක් ඛාන් ඇතුළු ඉන්දීය ජනප්‍රිය නළු නිළියන් රැසක් මීට සහභාගි වීම සඳහා මෙරටට පැමිණියෝය. මේ ප්‍රසංග වෙනුවෙන් ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට රුපියල් විසිපන්දහසේ ප්‍රවේශපත්‍ර නිකුත් විය. ප්‍රසංගය පැවැත්වීමට තෝරාගෙන තිබුණේ කොළොඹ තුරඟ තරග පිටියයි. ප්‍රසංගය ආරම්භ වී රාත්‍රී 11:20 පසුවිය. ෂාරුක් සිතුවේ වේදිකාව අභියස රතිඤ්ඤායක් පිපිරුවාය කියාය. එහෙත් පිරිස කලබල වනවිට එය බෝම්බ ප්‍රහාරයක් බව තමන්ට වැටහුණ බව පසුව ෂාරුක් ඛාන් ප්‍රකාශ කර තිබිණි.
අතීත කතාව මඳකට අමතක කර අපි වර්තමාන කතාවට පිවිසෙමු. වර්තමාන කතාව ඇරුඹෙන්නේ රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකට කතාවේ අවසාන මිනිත්තු කිහිපය පාදක කරගනිමිනි.
“තව එක දෙයක් කියන්න ඕනා මගේ මිත්‍රවරුන්ට. තමුන්නාන්සේලා කවුරුත් දන්නේ නැති දෙයක් ෂාරුක් ඛාන්ට බෝම්බ ගැහුවේ කවුද? ලංකාවේ සෝම හාමුදුරුවන්ගේ පළවෙනි ගුණානුස්මරණය දවසේ. මේක කිව්වා මට මිත්‍රයෙක් චීනයේදී. ඒක කියද්දී මං ඒක හොරෙන් රෙකෝඩ් කරගත්තා. හෙළඋරුමේ ගම්මන්පිල මහත්තයා දන්නවා එයාගෙන් අහන්න. බැරිවෙලාවත් ෂාරුක් ඛාන් මැරුණා නම් තාම ලංකාවට ගහනවා ඉන්දියාවෙන්.”
රන්ජන්ගේ කතාවට පසුදාක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවේ ඊට පිළිතුරු බැන්දේය. ඔහු කීවේ රන්ජන් කීවේ තමන් ගැන නොව වෙනත් ගම්මන්පිල කෙනෙක් ගැන බවය.
“ෂාරුක් ඛාන්ට එල්ලකළ බෝම්බ ප්‍රහාරය පිළිබඳ ගම්මන්පිල මහත්තයගෙන් අහන්න කියලා රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා මේ විසි එක් වෙනිදා ගරු සභාවේදී ප්‍රකාශ කළා. මන්ත්‍රීතුමා එහෙම කිව්වට කවුරුහරි මගෙන් ඇහුවොත් මට උත්තර දෙන්න තියෙන්නෙත් මේ රටේ ඒ විෂය පිළිබඳ උනන්දුවක් දක්වන කවුරුත් දන්න ඕපාදූප කටකතා ටික පමණයි. ඊට වඩා වැඩි දෙයක් දන්නව නම් මා ගාව සාක්ෂි තියෙනවා නම් නිශ්චිත වූ විශ්වාසනීය තොරතුරක් මා ගාව තියෙනවා නම් කවුරුවත් අහන්න කලින් මම පොලීසියට ලබාදෙනවා. එහෙම නැත්නම් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරනවා. ඒ නිසා මොකක්ද මේ මම දන්න කතාව කියලා ඇහුවට වැඩක් නැහැ. මං දන්නෙත් මේ රටේ බොහෝදෙනා දන්න ඕපාදූප වල්පල් ටික පමණයි.”
වර්තමාන කතාව මෙම ප්‍රකාශ දෙකෙන් පසු තවදුරටත් දික් ඇදුණේ නැත. සමාජ මාධ්‍ය හරහා යම් කතාබහක් ඇති වූ බව නම් සැබෑවකි. රන්ජන් රාමනායක රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බැවින් මේ පිළිබඳ වැඩිදුර විමසීමක් කළ නොහැක. අපි උදය ගම්මන්පිල මහතා සම්බන්ධ කර ගතිමු. ඔහු නැවතත් කීවේ පාර්ලිමේන්තුවේදී කී කතාවමයි. රන්ජන් රාමනායක එවැනි ප්‍රකාශයක් කළේ ඇයිදැයි තමන් නොදන්නා බවත් තමන්ට පරචිත්ත විජානන ඥානය නොමැති බවත් තවදුරටත් හෙතෙම පැවසීය.
අපි නැවත අතීත කතාව වෙත යොමුවෙමු. මෙම ප්‍රසංගය පැවැත්වීමට පෙර සිටම ජාතික හෙළඋරුමය මගින් එයට විරුද්ධත්වය පළ කළේය. ඊට හේතුව වූයේ සෝම හිමියන්ගේ අපවත්වීමේ වර්ෂ පූර්ණ පින්කම් මෙදිනට පැවත්වීමට නියමිතව තිබීමයි. 2004 වසර යනු සිංහල ජාතික ප්‍රබෝධයක් ඇතිවී හෙළඋරුමය සැලකිය යුතු සමාජ බලයක් නතුකරගෙන සිටි කාලයයි. ඔවුහු ප්‍රසංගය අවලංගු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියහ. සෝම හිමියන් ඝාතනය කළ බවට මේ වනවිට බොහෝදෙනා විශ්වාස කළ අතර එය සැමරීමට මෙම ප්‍රසංගය පවත්වන බව ඇතැම්හු කීහ. සංවිධායකයන් ප්‍රකාශ කළේ මෙම දිනය කල් ඇතුව ලබාගත් බැවින් වෙනස් කළ නොහැකි බවයි.
සිදුවීමට සතියක පෙර සිටම දැඩි විරෝධය මතුවෙමින් තිබුණි. උපවාසයක් පැවැත්වීම සම්බන්ධ කතිකාවක් වූවද එය සිදු නොවීය. එහෙත් විරෝධතා සංවිධානය විය. තත්ත්වය බරපතළ වනවිට ෂාරුක් ඛාන් ප්‍රකාශයක් නිකුත් කළේය. ඔහු පැවසුවේ ගංගොඩවිල සෝම හිමියන්ගේ පළමු අනුස්මරණ දිනය පිළිබඳව තමා නොදන්නා බවත් එසේම ඒ පිළිබඳව ලාංකීකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බවත්ය. මෙම සමාව ඉල්ලීම හරහා විරෝධතා තරමක් දුරට නතර විය. ඇතැම් භික්ෂූන් වහන්සේලා විරෝධතාවලින් ඉවත් වූ බවද කියැවේ. කෙසේ නමුත් මෙම සටන අත් නොහැර සිටි පිරිසක් ප්‍රසංගය දිනයේ ද විරෝධතාවල නිරත විය.
මෙම සමයේ මාධ්‍ය වාර්තා අනුව මෙදින සිදුවීම් පෙළ දිග හැරෙන්නේ මේ අයුරිණි.
පොලීසිය විසින් තුරඟ තරග පිටියට පිවිසෙන ස්ථානවල මාර්ග බාධක ඉදිකර තිබිණි. හවස් කාලයේ විරෝධතා ජාතික හෙළ උරුමයට සම්බන්ධ භික්ෂූන් කිහිපදෙනකු විසින් මෙහෙයවා තිබූ බව කියැවේ. තත්ත්වය එන්න එන්නටම නොසන්සුන් වී ඇති අතර අවසානයේ පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය. තත්ත්වය බරපතළ විය.
තවත් බොහෝ දෑ සිදුවිය. අවසානයේ සැකකරුවන් දොළොස් දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය. එහෙත් එදිනම රාත්‍රියේ කුරුඳුවත්ත පොලීසියෙන් ඔවුන්ව නිදහස් කර තිබිණි. කෙසේ වෙතත් මාධ්‍ය වාර්තා අනුව මෙම සිදුවීම් පෙළ ප්‍රසංගයට බලපෑමක් කර නැත. දැඩි ආරක්ෂාවක් යටතේ විශාල පිරිසක් ප්‍රසංගට නැරඹීමට පැමිණ සිටියහ. ඒ අතර රවි කරුණානායක, නියෝජ්‍ය අමාත්‍ය අර්ජුන රණතුංග ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද වූ බව කියැවේ.
ප්‍රසංගය ඇරැඹියේ සෝම හිමියන් වෙනුවෙන් මිනිත්තුවක නිහඬතාවයක්ද පළ කරමිනි. එහෙත් අවසානයේ රාත්‍රී 11.20-11.30 අතර කාලයේ මෙම අවාසනාවන්ත බෝම්බ පිපිරීම සිදුවිය. එය අත් බෝම්බයකැයි කියැවුණි. ලාංකිකයන් දෙදෙනෙක් මේ ප්‍රහාරයෙන් මියගියහ. දහනව දෙනෙක් පමණ තුවාල ලැබූහ. එදා එසේ අවාසනාවන්ත ලෙස මියගියේ ඡායාරූප මාධ්‍යවේදී ලංකා ජයසුන්දර සහ තරුපහේ හෝටලයක නිලධාරිනියක වූ ඩිලානි මහේෂිකා යන අයයි. සුප්‍රකට ඉන්දීය ක්‍රිකට් විස්තර විචාරක රවී ශාස්ත්‍රීගේ බිරිඳ සුළු තුවාල ලැබූ බව කියවිණි.
පසුව විමර්ශන ආරම්භ විය. ඒ සඳහා ඉන්දීය රජයෙන්ද බලපෑම් තිබුණි. එහෙත් එම විමර්ශනවල අවසානය කුමක්දැයි අදද රට දන්නේ නැත. දරුවකුගේ වතුර බෝතලයක දමා බෝම්බ මෙහි රැගෙන යන්නට ඇති බව මේ සමයේ මාධ්‍යයයේ කතා අතර විය. කෙසේ වෙතත් අධි ආරක්ෂාවක් යටතේ පැවති මෙම ප්‍රසංගයට බෝම්බ ගැසීම අදද ප්‍රශ්නයකි. එහෙත් මෙම වකවානුවේ බෝම්බ ශ්‍රී ලාංකිකයන්ට අරැමයක් නොවූ බවත් එයම මේ සිදුවීම යට යන්නට හේතු වූ බවද අප සිහිකළ යුතුය.
මේ සිදුවීම සම්බන්ධ දේශපාලනයද අවසාන වශයෙන් සිහිපත් කළ යුතුය. ජාතික හෙළ උරුමය එකල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ එක් භික්ෂුවකට විරෝධතා මෙහෙයවීම සම්බන්ධව පක්ෂයේ වෙනත් පිරිස් දෝෂාරෝපණය කළ බව කියැවුණි. එසේම ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියහට ද තුරඟ තරග පිටියේ සිද්ධියට නායකත්වය දුන් ජාතික හෙළ උරුමයේ මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ නම් හෙළි කිරීමට විපක්ෂයෙන් අහියෝග එල්ල විය. එහෙත් ජාතික හෙළ උරුමය බීබීසීයට පවසා තිබුණේ “මෙය රටේ ජනතාවගේ සහ රජයේ ප්‍රතිරෑපයට කැළලක් ඇති කිරීමේ කුමන්ත්‍රණයක්” බවයි.
මේ අතර ඉන්දීය විදේශ අමාත්‍යාංශය සඳහන් කර තිබුණේ ඉන්දියාවේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයකු සහභාගී වූ මෙම ප්‍රසංගයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පරීක්ෂණයේ ප්‍රතිඵල දෙස දිල්ලිය බලා සිටින බවයි. ප්‍රසංගයට සහභාගී වූ සයිෆ් අලි ඛාන් “මම කවදාවත් ශ්‍රී ලංකාවේ ප්‍රසංගයක් පැවැත්වීමට කැමති නෑ” කියා තිබුණු අතර ෂාරුක් නැවත කවදාවත් ලංකාවට නොපැමිණෙන බවද කියා තිබුණි. කෙසේ නමුත් සියල්ල කාලයේ වැලි තලාවෙන් වැසී ගියේය. රන්ජන් රාමනායකගේ හඬපට නාටකයේ කොටසක් ලෙස මෙය නැවතත් තිරගත වුවද එදා අහිමි වූ අහිංසක ජීවිතවලට කිසිදා සාධාරණයක් ඉටුවේ යැයි අපට අපේක්ෂා කරනු බැරිය.
► චමිඳු නිසල් ද සිල්වා