මහාචාර්ය වල්පොල රාහුල හිමියන් ‘භික්ෂුවගේ උරුමය’ ග්‍රන්ථය ලිව්වේ අඩසියවසකට ඉහතදීය. එම ග්‍රන්ථය තුළින් ඉස්මතු කළ භික්ෂු දේශපාලනයේ කිසිවිට භික්ෂූන් වහන්සේ පාර්ලිමේන්තුවට, පළාත් සභාවලට හෝ ප්‍රාදේශීය සභාවලට ගොස් ඒවායේ අලකලංචිවලට මැදිහත්වීමක් ගැන සඳහන් නොවේ. න්‍යායාත්මක කරුණුවලට අමතරව ප්‍රායෝගිකව ද දේශපාලනයේ නිරත වූ උන්වහන්සේ සඳහන් කළේ භික්ෂුවගේ දේශපාලනය යනු මන්ත්‍රීධුර ලබාගැනීම හෝ දේශපාලන පක්ෂවල අනුශාසකවරුන් වීම හෝ දේශපාලනඥයන්ගේ උපදේශකයන් වීම නොව සමස්ත සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් වැඩ කටයුතු කිරීම බවයි.
වර්තමාන බෞද්ධ භික්ෂුන් වහන්සේගෙන් වැඩි දෙනෙක් තම දේශපාලන වගකීම ලෙස වටහාගෙන සිටින්නේ ජනප්‍රිය දේශපාලනයේ නියැලීමය. මේ නිසා බුද්ධ පුත්‍රයන්ගෙන් සිදුවිය යුතු දේශපාලන යුතුකම වෙනුවට ගිහියන් තුළ උන්වහන්සේලා පිළිබඳ පවතින ගෞරවය ද හෑල්ලු වී යාම පසුගිය කාලයේ සිදුවිය.
ලංකාවේ මුලින්ම පාර්ලිමේන්තුවට ගියේ සමසමාජ පක්ෂයෙන් ඡන්දය ඉල්ලා ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු ගිය බද්දේගම සමිත හිමියෝ වෙති. ඒ 2001 දීය. පසුව උන්වහන්සේ දකුණු පළාත් සභාවට ද තරග කර පත්වූහ. බෞද්ධ උරුමය ආරක්ෂා කර ගැනීමට යැයි පවසමින් භික්ෂූන් වහන්සේලා මූලික කරගෙන මහමැතිවරණයට ඉදිරිපත් වූ ජාතික හෙළ උරැමය 2004 දී ඡන්ද 550,000කට වඩා ලබාගනිමින් ආසන 9 ක් දිනාගත්තේය. භික්ෂූන් වහන්සේලා 9 දෙනෙක් මන්ත්‍රී භික්ෂූන් වහන්සේගේ බවට පත්වුවද පාර්ලිමේන්තු දායකත්වයේ දී උන්වහන්සේ බුදුදහම ඔසවා තැබුවේදැයි යන්න ගැටලුවකි.
ජාතික දේශපාලන පක්ෂවලින් එළඹෙන මහමැතිවරණයට භික්ෂූන් වහන්සේට නාමයෝජනා නොදිය යුතු බවට ප්‍රබල මතයක් ඉදිරිපත්ව තිබේ. අස්ගිරි පාර්ශ්වයේ මතය ඉදිරිපත් කළ එහි ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමි සඳහන් කළේ භික්ෂූන් වහන්සේ ඡන්දයට ඉදිරිපත්වීම මේ අවස්ථාවේ නුසුදුසු බවයි. මීළඟ මහ මැතිවරණයේදී භික්ෂූන් වහන්සේට නාමයෝජනා ලබාදීම ප්‍රතික්ෂේප වුවහොත්, දැනට ඍජුවම දේශපාලනයට සම්බන්ධ වී සිටින හිමිවරුන් ‘සඟ පෙරමුණ’ නමින් නව සංවිධානයකින් මැතිවරණයට ඉදිරිපත් වීමට සාකච්ඡා කෙරෙන බවද වාර්තා විය. නව දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කර හෝ දේශපාලනයට ඉදිරිපත්වීම කෙරෙහි ද උන්වහන්සේලාගේ අවධානය යොමුව තිබෙන බව පැවසේ. බද්දේගම සමිත හිමියෝ සඳහන් කළේ කිසිම පක්ෂයක් තවම නාමයෝජනා නොදෙන බවට තීරණය කර නැති බවය.
ඒ පිළිබඳව භික්ෂූන් වහන්සේ කිහිප නමකගේ අදහස් මෙසේ ඉදිරිපත් කරමු.
භික්ෂුව කළ යුත්තේ දේශපාලනඥයා පාලනය කිරීමයි
මැදගම ධම්මානන්ද නාහිමි
සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී
භික්ෂූන් වහන්සේ තමයි පුරාණයේ පටන්ම දේශපාලනය කරන රජවරැන්ට අනුශාසකත්වය උපදේශකත්වය ලබා දුන්නේ. මේ රට සම්බුද්ධ ශාසනය, බෞද්ධ සංස්කෘතිය පවතින රට. ජනතාවගේ අපේක්ෂාව තමයි භික්ෂූන් වහන්සේ තමන්ගේ රුකවරණයට ඉන්නවයි කියන කාරණය. ඒක මුල්කරගෙන තමයි රට හැඩගැසී තිබුණේ.
1947 සිට පැවැත්වූ සෑම මහ මැතිවරණයකදීම භික්ෂූන් වහන්සේගේ මැදිහත්වීම දේශපාලනයට තිබුණා. මෑතකදී මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ ඒ අතරින් කැපී පෙනෙනවා. උන්වහන්සේගේ ශාසනික භූමිකාවක් වගේම දේශපාලන භූමිකාවකුත් තිබුණා. ඒ අතරතුර ඍජු දේශපාලනයට එනම් පාර්ලිමේන්තුවට යාම ගැන තමයි ප්‍රධාන කතිකාව ගොඩනැගෙන්නේ. ඒක 2002 සිට තමයි කතාබහට ලක්වන්නේ. ඒ කාලේ බෞද්ධයන් අන්‍යාගම්වලට හරවාගැනීම, බෞද්ධ විරෝධී වැඩපිළිවෙලක් රාජ්‍ය පාලනය තුළ පැවතියා. මේ නිසා අවසන් විසඳුමක් ලෙස භික්ෂූන් වහන්සේ ඍජු දේශපාලනයට මැදිහත්වීමක් සිදුවී පාර්ලිමේන්තුවට යා යුතුයි කියන අදහසක් රටේ මතු වුණා.
ඒ මත තමයි භික්ෂූන් වහන්සේ ඍජු දේශපාලනයට ඉදිරිපත් වුණේ. එලෙස පාර්ලිමේන්තුවට යාමෙන් පසු ක්‍රියාදාමයන් ගැන බැලුවහොත් සුබවාදී සහ අසුබවාදී දෙපැත්තම තිබෙනවා. ඒ සඳහා හේතු වුණේ භික්ෂූන් වහන්සේලාට පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමට ප්‍රායෝගික අවබෝධයක් නොතිබීම. ඒ නිසා භික්ෂූන් වහන්සේ පාර්ලිමේන්තුවේ දී ලොකු ගැටලු රාශියකට මුහුණදුන් බව අපි දුටුවා.
ඒ කාලේ පාර්ලිමේන්තුවේ සිටි භික්ෂූන් වහන්සේ උතුරේ යුද්ධය මැඩපවත්වා ජයග්‍රහණ ලබාගැනීමට පැවති රජයන්ට සහයෝගය ලබාදුන් බව පැහැදිලි කාරණයක්. නමුත් භික්ෂූන් වහන්සේගේ චර්යාව සහ ශාසනික කරුණු සැලකුවහොත් ඉන් භික්ෂූන් වහන්සේලාගේ පිරිහීම් ලක්ෂණත් මතුවූ බව පිළිගත යුතුයි. වර්තමාන රාජ්‍ය නායකත්වය පත්කර ගැනීමටත් භික්ෂූන් වහන්සේලා මැදිහත් වුණා. එලෙස පත් කරගත් නායකයා තුළින් රටට හිතැති කාරණා ඉටුකරගත යුතු වෙනවා. ඒ සඳහා භික්ෂූන් වහන්සේ මැදිහත් විය යුතුයි. එයින් අදහස් වන්නේ නැහැ භික්ෂූන් වහන්සේ දේශපාලනයෙන් මුළුමනින්ම ඉවත් විය යුතු බවක්. අනාගතයේ දී යම් තත්ත්වයක් ඇතිවුවහොත් භික්ෂූන් වහන්සේ පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු ඒ අවස්ථාව අහිමිකර ගැනීමටත් අපි බලාපොරොත්තු වන්නේ නැහැ. මේ මොහොත වන විට ශාසනික වශයෙන් දැඩි හානිකර තත්ත්වයක් වර්තමාන පාලනය තුළින් ඇතිනොවේ යන විශ්වාසයක් ගොඩනැගී පවතිනවා. ඒ නිසා භික්ෂූන් වහන්සේ පාර්ලිමේන්තුවට යා යුතු නොවේ කියන අදහසක් තිබෙනවා. මේ මොහොතේ රාජ්‍ය නායකත්වයට පාලනයට ඉඩදීලා භික්ෂුව කළ යුත්තේ දේශපාලනඥයා පාලනය කිරීමයි. මෙහෙයවීමයි.
හිටපු ගමන් විරුද්ධ වුණේ ඇයි?
බද්දේගම සමිත හිමි
හිටපු ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
දැනට පක්ෂ වශයෙන් කිසිම දේශපාලන පක්ෂයකින් භික්ෂූන් වහන්සේට නාමයෝජනා දීම ප්‍රතික්ෂේප කරල නෑ. සමහර පුද්ගලයන් සහ හාමුදුරුවරු කිහිප දෙනෙක් අදහස් ප්‍රකාශ කරලා තිබෙනවා පමණයි. ඕනෑම කෙනකුට තම අදහස ප්‍රකාශ කිරීමට අයිතිය තිබෙනවනේ. මම වර්ෂ 1989 සිට දේශපාලනය කළා. පළාත් සභාවේ සිටියා. පාර්ලිමේන්තුවේ හිටියා. එකපාරට හදිසියේම භික්ෂූන් වහන්සේ දේශපාලනය කිරීම ගැන කැක්කුමක් ඇතිවුණේ ඇයිද කියලා අහන්න ඕනෑ. දැනට හාමුදුරුවරුන්ගේ ක්‍රියාකාරී දේශපාලනයට විරුද්ධ වන පිරිස මෙතෙක් හිටියේ කොහෙද කියලා මම අහනවා.
පොරොන්දු දේශපාලනයක් මම කරල නෑ. ජනතාවට පොරොන්දු දීලා ඒවා කඩ කරල නෑ. මම කවදාවත් ආගමික සංකේත දේශපාලනයට භාවිත කළේ නෑ. මම ගාල්ලෙන් ලංකා සමසමාජ පක්ෂයෙන් ඉදිරිපත් වී ජයග්‍රහණය ලබා පාර්ලිමේන්තුවට ගියා. දකුණු පළාත් සභාවට ගියා.
දේශපාලනය කළාට මම ඒක ආගමික ජීවිතයට බාධාවක් කර ගත්තෙ නෑ. දායකයන්ගේ කටයුතු ඉටුකිරීම, ධර්ම දේශනා පැවැත්වීම කරනවා. ධර්ම දේශනාවලදී දේශපාලන කරුණු කියලත් නෑ. මම උදේ 4.00ට නැගිටලා පන්සලේ ආගමික කටයුතුවල නිරත වන්නේ. මිනිසුන්ට සේවය කරන්නේ ආගම්, කුලමල භේදවලින් තොරවයි. සිංහල ජනතාව, තේවතුවල වැඩ කරන දෙමළ ජනතාව වගේම මුස්ලිම් ජනතාවත් මට ඡන්දය දෙනවා. මම පාර්ලිමේන්තුවේ අවුරුදු දෙකක් හිටියා. 2004 දී හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවීම ගැන විරුද්ධ වුණා. මම වාහන පර්මිට්, විශ්‍රාම වැටුප් ගැන උනන්දු වුණේ නෑ. ලැබෙන දෙයක් ගත්තා පමණයි.
ජනතාව ඇවිත් දුක කිව්වාම ඔවුන්ට පිහිටවීමේ යුතුකමක් අපට තිබෙනවා. බලයක් නැතුව අපට ජනතාවට හොඳ පිහිටක් ලබාදෙන්න අපහසුයි. බලය ඇතිව කිව්වොත් පමණයි බලධාරීන් අපි කියන දේ කනකට ගන්නේ.
හාමුදුරුවරු පාර්ලිමේන්තු ගිහින් කළේ පෞද්ගලික වාසි ගැනීමයි
වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි
මිහින්තලේ රජමහා විහාරාධිපති
වාරියපොළ සුමංගල හාමුදුරුවෝ සුද්දන්ට රට යටත් වූ කාලේ ඉංග්‍රීසි කොඩිය බිම දාපං කියලා අපේ අනන්‍යතාවය ඔප්පු කළා. එවැනි නිර්භීත ක්‍රියා කිරීමට දේශපාලනයට, පාර්ලිමේන්තුවට යාමට වුවමනාවක් නෑ. අපේ ත්‍රෛනිකායික මහනායක ස්වාමින් වහන්සේලා වේදිකාවට ගිහින් කාටවත් ඡන්දෙ දෙන්න කියලා කියන්නෙ නෑනේ. අපි කියන දේ තවමත් මිනිස්සු අහනවා. දායකයො අපට සිව්පසයෙන් උපස්ථාන කරනවා. තව මොකටද පාර්ලිමේන්තු යන්නේ. පාර්ලිමේන්තුවට ගිය භික්ෂූන් වහන්සේ මොනවද කළේ? බෞද්ධ අණපනතක් සම්මත කළාද? මේ පුරාවිද්‍යා නටබුන් ටික ජාතික උරුමයක් බවට පත් කළාද?
පාර්ලිමේන්තුවට ගියේ නම් බෞද්ධ උරුමය රැකගැනීමට කියමින්. නමුත් වෙසක් පෝයවත් ජාතික උත්සවයක් කිරීමට ගැසට් කළාද? හිටපු ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කළා වෙසක් පෝය ජාත්‍යන්තර නිවාඩු දිනයක් කිරීමට කියලා. ඒ අනුව තමයි 2000 වර්ෂයේ සිට වෙසක් පෝය ජාත්‍යන්තර නිවාඩු දිනයක් වුණේ. දේශපාලනඥයන් හොරකම් කරනවා. තැබෑරුම් දානවා. ඒවායේ අකටයුත්ත ගැන දේශපාලනඥයන් දැනුම්වත් කළ යුතුයි. ඒවා කරන්නෙ නැතුව රැපියල් 20ට බත් කන්නයි, වාහන පර්මිට්, පැන්ෂන් ගන්නයි තමයි පාර්ලිමේන්තුවට යන්නේ. භික්ෂූන් වහන්සේ පාර්ලිමේන්තුවට යාමේ අරමුණ කුමක්ද? අපි රජුන් තැනුවා. රජුන්ට අනුශාසනා කළා කියලා අපට කිව හැකියි. පෞද්ගලික පරමාර්ථ තමයි පාර්ලිමේන්තුවට යාමට උත්සාහ කරන භික්ෂූන් වහන්සේලාට තිබෙන්නේ.
ගංගොඩවිල සෝම හාමුදුරුවො අපවත් වීම ගැන හොයනවා කියලනෙ පාර්ලිමේන්තුවට ගියේ. කෝ හෙව්වද? ලැබෙන දීමනා ඔක්කොම ගන්නවා. තීරු බදු බලපත්‍ර විකුණනවා. ගමේ දායකයකු එදාවේල කන්න නැතිව ඉන්නවා. සමහරු හාමුදුරුවෝ පාර්ලිමේන්තු ගිහින් හොඳ සැප ගන්නවා.
නාමයෝජනා පක්ෂවලින් නොලැබුණොත් සඟ පෙරමුණකින් එන බවට සමහර භික්ෂූන් වහන්සේලා පවසා තිබුණා. එහෙම කළ නොහැකියි. මහනායක, අනුනායක, කාරක සංඝ සභාවෙන් අනුමත කළ යුතුනේ ඒවා. ඒවා නෛතික නෑ. මිනිස්සු පිළිගන්නෙ නෑ. සමහර හාමුදුරුවරු සුනඛයාගෙන්, ට්‍රැක්ටරෙන් ඉල්ලුවා. එහෙම ඉල්ලුවා කියලා ඡන්දෙ දෙන්නෙ නෑ. රටට විපතක් වෙනවා නම් අපි මූලිකත්වය ගත යුතුයි. එය තමයි අපේ අරමුණ විය යුත්තේ.
► කුසුම්සිරි විජයවර්ධන