2020 ජනවාරි 25 වන සෙනසුරාදා

ස්පා බෝඩ් එක යට විකිණෙන කාන්තාවෝ

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 650

ඔරු කඳ මැදට නිල් කැටේට පිරවූ පිරිසිදු වතුරය. ඒ මත පාවෙමින් තිබෙන්නේ සුසිනිදු මල් පෙතිය. තවත් ශාඛ පත්‍ර කිහිපයක් පාවෙද්දී ඉතිරි පත්‍ර දිය යටට ගිලෙමින් තිබේ. සියල්ල මැද සුන්දර රූ සපුවක් ඇති යුවතියකි.  ඇය ඔරැව මැද වතුරේ ගිලෙමින් සිටී.

සමාධි බුදු පිළිමයක රුව ඈත කෙළවරකය. පිත්තල පොල්තෙල් පහනක් නුදුරින් තබා තිබේ. එක් එක් හැඩයෙන් කළු ගල් අපූරු හැඩයට එක මත එක ඉහළට අසුරා තිබේ. පසෙකට වන්නට සුදු ඇතිරිල්ලක් සහිත සයනයක වැතිරුණු යුවතියකි. ඉහපතට වැටෙන ඖෂධීය ශාඛසාර සහිත තෙල් ගොට්ටයක් හිසට ඉහළින් ඉල්ලා තිබේ. මේ සියල්ල මැද නිස්කලංක පරිසරයක සිරියාව අත්විඳිය හැකිය.

මේ සියල්ල අතර මැද තැනක අයුර්වේද පංචකර්ම ප්‍රතිකාර ලෙස සඳහන් පුවරුය.

රුව ලස්සන වන්නට සිහින මවන කොයි කාටත් මේ දසුන් හිත් සනසා වශී කරන සුළුය. ඇතැම් ස්ථානවල මෙවැනි පුවරු සහිත විවිධ හැඩයෙන් විවිධ ප්‍රමාණයේ ගොඩනැගිලිය. විටෙක සටහන්ව ඇත්තේ ස්පා (Spa) නම් පුවරුවක් පමණය. ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන හෝ ස්පා වෙත ගොස් ශාඛ සාර බෙහෙත් සත්කාර මගින් රුව වර්ධනය කොටගෙන සෞඛ්‍ය සම්පන්නව සිටිය හැකි බවට ඕනෑම කෙනකුට සිතිය හැකිය.

මේ ආකාරයට නගර මංමාවත් දෙපස දකින්නට ලැබෙන නවමු ආරක් ගත් නවීන සම්බාහන මධ්‍යස්ථාන දකින්නට ලැබේ. ඒ බැව් එකහෙලාම හුවා දක්වන්නට එම මධ්‍යස්ථාන හිමිකරුවන් උත්සාහ කරන බවද ප්‍රචාරණ ක්‍රියාවලිය අනුව දැකිය හැකිය. එවැනි අනර්ඝ හා වටිනා ප්‍රතිකාර ක්‍රම දේශීය ආයුර්වේදයේ පැවතියත් ඊට මුවා වන සමහරුන් අද දිවයින පුරාම ලිංගික වෙළෙඳාම සිදුකරන බව ප්‍රසිද්ධ රහසකි. ආයුර්වේද සම්බාහන මුවාවෙන් කොළඹ ඇතුළු තදාසන්න නගර ආශ්‍රිතව ගණිකා ජාවාරම සිදුකරන බව නොරහසකි.

මේ ආකාරයට නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථාන පවත්වාවෙන යමින් ඒවායෙහි ගණිකා ජාවාරම සිදුකරන බවට කොළඹ අවට පොලිස්ථාන රැසකට තොරතුරු වාර්තා වී තිබිණ. ඒ අනුව එම තොරතුරු සියල්ල වාර්තා කොට තිබුණේ කොළඹ උතුර බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙතය. ඔහුගේ උපදෙස් මත බස්නාහිර පළාත උතුර කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර මහතා වැටලීම් සඳහා අවශ්‍ය සැලසුම් සකස් කළේය. 

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර මහතා 

“කොළඹ හා තදාසන්න ස්ථාන ගණනාවක නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන බවට බුද්ධි තොරතුරු ලැබුණා. ඒ සම්බන්ධයෙන් උසස් නිලධාරීන් දැනුම්වත් කළා. එහිදී නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් ලබාදුන්නේ අවශ්‍ය වැටලීම් කඩිනමින් සිදුකරන ලෙසටයි. පසුව අපි සැලසුමක් සැකසුවා. ඒ සඳහා කොළඹ අවට පොලිස්ථානවල නිලධාරීන් සම්බන්ධ වුණා. ඒ ආකාරයට අපි පොලිස් කණ්ඩායම් 14ක් සකස් කරලා හඳුනාගත් ස්පා නැතිනම් සම්බාහන මධ්‍යස්ථාන වැටලීමට සූදානම් වුණා. එක නිලධාරී කණ්ඩායමකට මධ්‍යස්ථාන දෙක බැගින් වැටලීමට පළමු දිනයේදී නියම වුණා. ඒ අනුව දිනකට සිදුකරන වැටලීම් ගණන 28ක් විය යුතුව තිබුණා.”

කොළඹ දිසාවේ කොට්ඨාස තුනක පොලිස්ථාන නියෝජනය කරමින් වැටලීම සඳහා නිලධාරීහු ඒකරාශී වී සිටියහ. වැටලීමට මත්තෙන් අවශ්‍ය නීතිමය කටයුතු සකසාගෙන තිබුණු අතර වැටලීම අවසානයේ සැකකාර වෛද්‍යවරු 14ක්, ගණිකා සේවය සැපයූ කාන්තාවන් 40ක් සමඟ ආයතන කළමනාකරුවන් 10 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියහ.

මෙම වැටලීම් ජනවාරි 2 වැනිදා සිට 15 වැනිදා තෙක් සහ 20 වැනිදා සිට 25 වැනිදා තෙක් ක්‍රියාත්මක කෙරෙන බව දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

1961 ආයුර්වේද පනත ප්‍රකාරව ආයුර්වේද මධ්‍යස්ථාන, ඔසුසල් ඇතුළු සියලු ස්ථානවලට අවසර ලබාගත යුතුය. ඊට නීත්‍යානුකූලව ක්‍රියාත්මක විය යුතුය. ආරම්භයේදී මෙය ක්‍රමවත්ව සිදු කෙරුණද රටේ පැවති යුද්ධයත් සමඟ සියල්ල අඩපණ වී විදේශ විනිමය ගලා ඒම අවහිරව ගොස් තිබිණ. ඉන්පසුව ආණ්ඩුව මැදිහත්ව සංචාරක හෝටල් තුළ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම ප්‍රචලිත කිරීම සිදුවිය. ඒ විදෙස් විනිමය ඉපැයීමේ අරමුණෙනි. කෙසේ වෙතත් අයුර්වේද පංචකර්ම පසෙකලා පසුව ආයුර්වේද පූරවකර්ම පමණක් සිදුකිරීම වර්තමානයේදි සිදු වේ. එය යුරෝපය හා නැගෙනහිර ආසියාව තුළත් Spa ලෙස ප්‍රසිද්ධය.

මේ සඳහා තෙරපිවරුන් හා වරියන්ද පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන්ද උපාධි ලත් වෛද්‍යවරුද කටයුතු කරති. කාන්තාවන් සඳහා ආයුර්වේද ප්‍රතිකාර කිරීමට කාන්තාවන් ද පිරිමි සඳහා ප්‍රතිකා ලබාදීමට පිරිමි අයවළුන්ද දෙස් විදෙස් හැඩිදැඩි කාන්තාවන් සඳහා ආයුර්වේද සම්බාහන ප්‍රතිකාර ලබාදීම සඳහා පිරිමි අයද යොදාගනිති.

වර්තමානයේ නීති විරෝධී ලෙස සිදු කරන ස්පා ආයතන තහනම් කිරීමේ අදහසින් පොලිස් මූලස්ථානය මැදිහත්ව වැටලීම් ආරම්භ කර තිබේ. ඒ සඳහා ආරක්ෂක අමාත්‍යංශය මඟින් ද විශේෂ සහායක් ලබා දී තිබේ.

ස්පා පවත්වාගෙන යන්නේනම් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහ සංචාරක අමාත්‍යංශයේ නිසි අවසරය මත සිදුකළ යුතුය. දැනට වාර්තා වන පරිදි නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථාන දිවයින පුරා 40,000 ඉක්මවා තිබේ. මේ හරහා සමාජ රෝග ඇතුළු බරපතළ රෝග රැසකට වත්මන් පරපුර ස්පා නිසා ගොදුරු වෙමින් බරපතළ ගැටලුවක් බව අනාවරණය වී තිබේ.

 සමන්ත ප්‍රදීප් විල්තෙර