“තරුණ යුවළක් ව්‍යායාම මංතීරුවේ ඉන්නවා දැක්කා. එතන එහෙම ඉන්න එක සාමාන්‍ය දෙයක්. එකපාරටම දෙන්නා අතර කලබලයක් වුණා වගේ තේරුණා. ඒත් ඉතින් අපිට බලන්න බෑනේ. ඒත් එක්කම තරුණිය කෑගහන ශබ්දයක් ඇසුණා. තරුණයා මොකකින් හරි ඇයට ඇන්නාදෝ අපිට නිකමට හිතුණා. ඒ ගමන්ම තරුණිය පහළට තල්ලු කරපු තරුණයා පැනලා යන්න හැදුවා. ඊටපස්සේ වටපිටාවේ හිටපු අය දුවලා ගිහින් මිනිහා අල්ලාගත්තේ.”
යාපනය පන්නෙයි මුහුදු වෙරළ උද්‍යානයේදී යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුවියකගේ ගෙල කපා ඝාතනය කිරීම සියැසින් දුටු ප්‍රදේශවාසියෙකු මෙසේ සිද්ධිය විස්තර කළේය.
රෝෂනී කාංචනා නම් වූ 29 හැවිරිදි තරුණිය යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටියාය. ඇය බේරුවල, වලතර, බඳනගොඩ දරැවන් සිව්දෙනකුගෙන් යුත් පවුලක වැඩිමල් දියණියයි. ඇය පාසල් අධ්‍යාපනයට තිබූ උනන්දුව නිසාම කෙසේ හෝ විශ්ව විද්‍යාල වරම් ලබාගත්තාය. ඒ අනුව මීට තෙවසරකට පමණ ඉහතදී උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාලයට ඇතුළත් වූවාය.
විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අතරතුර ඇය බේරුවල ප්‍රදේශයේ කාලවිලකන්ද පදිංචි එරංග දිලීප් කුමාර නැමැත්තා සමඟ විවාහ ගිවිසගෙන තිබුණේ මීට දෙවසරකට පමණ ඉහතදීය. කුඩා කල පටන්ම දන්නා හඳුනන මිතුරකු හා මිතුරියක වශයෙන් කල් ගෙවූ දෙපළ ආදර සබඳතාවක් ගොඩනගාගෙන තිබුණද රෝෂනීගේ මව්පියන් ඊට විරෝධය ප්‍රකාශ කර තිබිණ. එහෙත් අවසානයේ දියණියගේ තීරණයට එකඟව ආශිර්වාදය ලබාදෙමින් විවාහයට අවශ්‍ය වටපිටාව සකස් කරදී තිබිණ.
රෝෂනීගේ සැමියා වූ එරංග දිලීප් කුමාර ඒ වනවිටත් යුද හමුදාවේ වෛද්‍ය අංශයේ රාජකාරියේ නිරතව සිට තිබුණි. සිය බිරිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ දා පටන් එරංගගේ සිතට වදදෙමින් තිබී ඇත්තේ රෝෂනීගේ සිත වෙනස් වේදෝ යන්නයි. එහෙත් සිහිනෙකින් හෝ රෝෂනීට එවැන්නක් සිතුණේ නැත. ඇය එකම සිතින් එරංගට ආදරය කළද එරංගගේ සැකය නිසා වරින්වර ප්‍රශ්න ගණනාවකට මුල පිරුවේය. රෝෂනී සියල්ල ඉවසා දරා සිටියද එරංගගේ මිතුරන්ගෙන් ලැබෙන උපදෙස් අවවාද අනුව ඔහුගේ සිත ඔහුටම පාලනය නොවන තැනකට පත්ව තිබිණ.
රෝෂනී විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අතරතුර එරංග යාපනය 662 වැනි බළ සේනා මූලස්ථානයේ වෛද්‍ය අංශයට අනුයුක්ත ලාන්ස් කෝප්‍ර්ල්වරයකු ලෙස රාජකාරියේ නිරතව සිට ඇත. මේ කාලයේ එරංගයට රෝෂනී සමඟ කතාබහ කිරීමට පවා ලැබුණේ සීමිත අවස්ථාවක් පමණි. එබැවින් එරංග නිරතුරැවම නොසන්සුන් සිතින් කල්ගෙවා තිබිණ. මේ අතර කලාතුරකින් හෝ දුරකථන ඇමතුමකින් අමතන දෙදෙනා අතර අඩදඹර හටගෙන තිබිණ. එරංගගේ මෙම ගතිපැවතුම් වෛද්‍ය සිසුවියට කිසිලෙසින්වත් නොගැලපුණු නමුත් ඇය ඉවසා සිටියාය. එසේ සිට ඇය වෛද්‍යවරියක වන්නට සිහින මැව්වාය. ඒ අතර ඇය විවාහය පිළිබඳව පසුතැවිලි වූවාය. එසේම නීතිමය උපදෙස් ලබාගෙන සැමියාගෙන් වෙන්වීම සඳහා දික්කසාද නඩුවක් ගොනු කළාය. මේ අතරතුර සැමියාගෙන් වෙන්ව මව්පියන් සමඟ වාසය කිරීමට ඇය කටයුතු කළාය.
රෝෂනී ඉකුත් දිනවලදී යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍ය පුහුණුව ලබමින් සිටියාය. දින කිහිපයකට ඉහතදී නිවසට පැමිණ ගිය ඇය මව්පියන් හමුවේ ප්‍රකාශ කර තිබුණේ තවත් මාස තුනකින් තමා වෛද්‍යවරියක වශයෙන් පත්වීම ලබන බවය.
ඉකුත් දා රෝෂනී හා එරංග දුරකථනයෙන් කතාකර හමුවීමට වෙලාවක් යොදාගෙන තිබිණ. ඒ අනුව රෝෂනී එරංග හමුවීම සඳහා යාපනය කොටුව වෙත ගියාය. පන්නෙයි මුහුදු වෙරළ ආශ්‍රිත උද්‍යානය අසළ රැඳී සිටි දෙපළ අතර ගැටුමක් ඇති වී තිබුණේ එහිදීය. බහින්බස් වීම දුරදිග යාමෙන් වූ ගැටුම හේතුවෙන් එතෙක් වෙලා සන්තකයේ සඟවාගෙන සිටි තියුණු පිහියකින් ආදරණීය බිරියගේ ගෙල කපා එයින් බේරීමට උත්සාහ කළ ඇයගේ අතක්ද කපා දැමීමට තරම් එරංග මාරාවේෂව සිට ඇත. එසේ බරපතළ තුවාල සිදුකර පෙරළා දමා එසැණින් පලායන්නට උත්සාහ කරන අතර අසල්වැසී ධීවරයන් පිරිසක් විසින් දැක තිබිණ. ඒත් සමඟ ක්‍රියාත්මක වී සැකකරු අල්ලා ගැනීමටත් පසුව පොලිස් නිලධාරීන්ට දන්වා බාරදීමටත් පියවර ගැණින.
අනතුරුව පැමිණි පොලිස් නිලධාරීන් තුවාල ලබාසිටි සිසුවිය රෝහල්ගත කිරීමට උත්සාහ කළද ඒ වනවිටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටියාය. මළ සිරැරට තරමක් නුදුරින් ඇයගේ බවට සැක කරන පාවහන් යුගලක්, මුදල් පසුම්බියක් හා කුඩයක් තිබී සොයාගෙන තිබිණ.
යාපනය පොලීසිය එයින් ඝාතනය වූ තැනැත්තිය පිළිබඳව තොරතුරු අනාවරණ කොටගෙන තිබූ ඒ පිළිබඳ බේරුවල පොලීසියට දන්වා තිබුණේ සිදුවීම නිවසට දැන්වීම සඳහාය. ඉන් අනතුරුව රෝෂනීගේ මව්පියන්නට කනවැකී තිබුණේ ජීවිතයේ අසන්නට ලද අවාසනාවන්තම සිද්ධියක් ගැනය. එහිදී ඝාතනයට ලක්වූ රෝෂනීගේ මෑණියන් “අවට ගම් හතටම තවත් මාස තුනකින් වෛද්‍යවරියක් වෙන්න හිටපු මගේ දුව... ලෝකෙට මිල කරන්න බැරි මගේ සම්පත නැති කළා...” යනුවෙන් සංවේදී වූවාය.
රෝෂනී එරංග යුවළ අතර පැවැති පවුල් ආරවුල උච්ඡචතම අවස්ථාවකට පැමිණ තිබියදී මාරාවේෂයෙන් රෝෂනී හමුවට ආ එරංග පිහි ඇනුමකින් ආදරණීය බිරිය පරලොව යවා තිබුණේ සැකය සහ අවිශ්වාසය පිළිබඳව ලෝකයට සිතන්නට යමක් ඉතිරි කරමිනි.
සමන්ත ප්‍රදීප් විල්තෙර
පසුබිම් වාර්තා හා සේයාරූ -
වන්නි රොමේෂ් මධුෂංක සමඟ අළුත්ගම තුසිත කුමාර ද සිල්වා