2020 ජනවාරි 25 වන සෙනසුරාදා

හඬපට හුටපටයේ නඩු වැටෙන හැටි

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 160

- ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා

රජ ගෙදරද දියවන්නාවේ මැද මැඳුරේද දුගී පැලේද අද ප්‍රමුඛ මාතෘකාව හඬපටයයි. හඬපට සම්බන්ධ නීතිය සහ හඬපට තුළින් නීති ක්ෂේත්‍රයට එල්ල වී ඇති බලපෑම මේ කතාවේ වැදගත් කොටසකි. අපි ඒ පිළිබඳ විද්වත් විමසීමක් වෙනුවෙන් ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා සමඟ සංවාදයකට එළඹියෙමු. මේ සටහන ලියැවෙන්නේ එම සංවාදයේ මතුවූ කරුණු ඇසුරිණි.

සිදුවෙමින් පවතින අධිකරණයට බලපෑම් කිරීම සම්බන්ධ සාකච්ඡාව අතිශය බරපතළ ලෙස සලකා බැලිය යුතුය. අප මෙහිදී මතක තබා ගතයුතු කරුණු කිහිපයකි. විනිශ්චයකාරවරුන් සහ අධිකරණයට සම්බන්ධ පිරිස් සද්භාවයෙන් කටයුතු කරන අතර සමාජය හමුවේ සැකයක් ඇති නොවන සේ වගකීමෙන් ක්‍රියා කළයුතුය යන්න ලොව පිළිගත් මූලධර්මකි. ඇතැම්විට විනිශ්චයකාරයකු අතින් වරදක් සිදුනොවන්නට පිළිවන. නමුත් ඔහුගේ හැසිරීම සහ ක්‍රියා කලාපය හේතුවෙන් මහජනතාව තුළ අධිකරණය පිළිබඳ විශ්වාසය බිඳේ නම් මතුවන්නේ ගැටලුවකි. සද්භාවයෙන් කළ කටයුත්තකදී වුවද එය සැකයට භාජනය වී ආයතනයේ ගෞරවයට හානියක් වේ නම් එවැනි අයෙක්ට තවදුරටත් විනිශ්චයකාරවරයකු ලෙස කටයුතු කිරීමේ හැකියාවක් නැත. මෙය හඬපට සිදුවීමට පමණක් අදාළ කරුණක් නොවේ.

අද වනවිට හඬපට සිදුවීම හරහා කතාබහට ලක්වන අධිකරණයට අපහාස කිරීම සහ බලපෑම් කිරීම සම්බන්ධ කතිකාවටද අවධානය යොමුකළ යුතුය. අධිකරණයට අපහාස කිරීමේ වරදට අදාළව නිශ්චිතව දණ්ඩනයක් නොවේ. එමනිසා අධිකරණයට අපහාස කිරීමේ වරදට අධිකරණයට අවැසි පරිදි දඬුවම් පැමිණවීමේ හැකියාවක් පවතියි. අධිකරණ මැදිහත්වීම සම්බන්ධ සැලකීමේදී නම් එයට නිශ්චිත දඬුවමක් වෙයි. එහෙත් සෑම මැදිහත්වීමක් පිටුපස අපහාස කිරීමක් පවතින බව අප සැලකිය යුතුය. ඒ අනුව මෙම වරද ඔප්පු වුවහොත් අධිකරණයේ අභිමතය පරිදි යම් කාලයකට දඬුවම් නියම කිරීමට අධිකරණයට හැකියාවක් තිබේ.

යම්විටෙක විනිසුරුවරයකු බලපෑමට නතුවී නම්  එම ක්‍රියාවද අධිකරණයට කරනු ලබන අපහාසයක් ලෙස සැලකිය හැකිය. අධිකරණයේ කීර්තිනාමයට හානිවෙන සියලු දේ අධිකරණයට සිදුකරන අපහාස කිරීම්ය. ඒ අනුව අධිකරණ පද්ධතියේ යම් නිලධාරියකු විසින් අධිකරණය ස්වාධීන නොමැති බව හැඟෙන ලෙස කටයුතු කර ඇත්නම් එය අධිකරණයට කළ අපහාසයකි. එසේම අධිකරණ නිලධාරියකු දේශපාලන වුවමනාවන් මත කටයුතු කරනවා යැයි යමෙකු අසත්‍ය පැවසීමද අධිකරණයට කරන අපහාසයක් සේ සැලකිය හැකිය. මේ අනුව වර්තමාන තත්ත්වය කවරක් වුවත් ඊට අදාළ නීතියේ බරපතළ බව හොඳින් අවබෝධ වෙයි.

අධිකරණ ක්‍රියාවලියට යම් දේශපාලන බලපෑමක් සිදුවී ඇත්නම් ඇතිවන තත්ත්වය පිළිබඳවද සලකා බැලීම වටියි. කෙසේ වෙතත් හඬපට සිදුවීම හරහා අධිකරණයට බැලපෑම් වී ඇත්ද යන්න පිළිබඳ තවම අපහට නිශ්චිතව පැවසීමේ හැකියාවක් නොවේ. එහෙත් එවන් බලපෑමක් මත තීන්දුවක් ලැබී ඇත්නම් එම තීන්දුවට තවදුරටත් පැවතීමට නොහැකිය. අධිකරණ එය නිවරදි කළ යුතුය. මෙහිදී දැන් එය සිදුවී හමාර බව කියා එයින් ගැලවීයාමට හැකියාවක් කිසිවකුට නොහැක. නමුත් වරද නිවැරදි කරන ආකාරය තීරණය කළ යුත්තේ අධිකරණය විසිනි. බැලූබැල්මට අප කවුරුත් පිළිගතයුතු සත්‍යතාව වන්නේ නඩුවක් සම්බන්ධයෙන් විනිශ්චයකාරවරයකුට දුරකථනයෙන් කතා කිරීමම ගැටලුවක් බවයි. උදාහරණයක් ලෙස විනිශ්චයකාරවරුන් බොහෝ දෙනෙක් නීතීඥයවරුන්ගේ පාසල් මිතුරෝ වෙති. නීති විද්‍යාලයේ සමකාලීනයන්ය. කොතරම් මිත්‍රත්වයක් තිබුණ ඔවුන් සමඟ නඩු කටයුතු පිළිබඳව පෞද්ගලිකව කතාබහ නොකරන්නේ ආචාර්ධර්මවලට අනුකූලවය. බහුතරය වූ නීතීඥවරු මෙම ආචාරධර්ම ආරක්ෂා කරති. යම් අවස්ථාවක නිල වශයෙන් නඩුවක් පිළිබඳ විනිසුරුවරයකු සමඟ කතා කිරීමට නීතීඥයකු හට ඇවැසි වුවහොත් එවන්විට අනෙක් පාර්ශ්වයේ නීතීඥයාට ඒ පිළිබඳව දැනුවත් කර ඔහු සමඟින් විනිසුරැ හමුවට යාම සම්ප්‍රදායයි. එහෙත් ඒ බලපෑම් කිරීමේ අදහසින් නොවේ.

වර්තමාන හඬපටවල සත්‍යතාව වෙනම තහවුරු කරගත යුත්තකි. එහෙත් එම ප්‍රකාශ එලෙස සිදුවී තිබේ නම් මෙය ඉතාම බරපතළ තත්ත්වයකි. එසේම එම හඬපට සමාජය නිරාවරණය වූ විට ඒවා පිළිබඳ කථිකාව වැරදි යැයි කීමද භයානකය. ඇත්තෙන්ම මෙය සත්‍යයක් නම් අප විමතියට පත්වී වහා නිවැරදි කිරීම සඳහා කටයුතු කළයුතු වෙයි. මෙම චෝදනාව මෙරට සියලුම විනිසුරුවන් වෙත එල්ල වන්නක් නොවේ. එම නිසාම වරදක් සිදුවී ඇත්නම් එය සාමාන්‍යකරණයකොට කතාබහ නොකර සිටියහොත් ඇතිවන්නේ ගැටලුවකි. එවිට තවදුරටත් ජනතාවට සැකයක් පහළවෙයි.

දැනට මෙම ගැටලුවට මැදිවී ඇත්තේ විනිසුරුවන් තිදෙනෙකි. එමනිසා කිසිසේත්ම බහුතරයට චෝදනා කිරීමට ඉඩක් නැත. එහෙත් දැනට පවතින තත්ත්වය සැඟවීමට උත්සාහ කළහොත් තත්ත්වය බරපතළ වේ. තුන තිහක් යැයි කීමටද ඇතැමුන් පෙළඹෙනු ඇත. එහෙත් චෝදනා තිබෙන්නේ කාටදැයි ඒ චෝදනා මොනවාදැයි විමර්ශන සිදුවේ යැයි ජනතාව දැනුවත් නම් ගැටලුවක් නැත. ජනතාව වෙත තොරතුරු නොලැබෙන විට සමස්තය දුෂිත යැයි සිතීමට ඔවුන් පෙළඹීමට ඉඩ තිබේ. එමනිසා අධිකරණය කෙරෙහි ජනතා විශ්වාස රැක ගැනීමට ජනතාව මෙම විමර්ශන සම්බන්ධ අවබෝධ ලබාගැනීමට ඉඩදීම අතිශය වැදගත් වේ.

මෙහිදී සිහිකළ යුතු තවත් කරුණක් තිබේ. මහජන සේවයට එන අධිකරණ නිලධාරීන් දේශපාලකයන් පෞද්ගලික ක්‍රියා කලාපයට සීමා වේ. එවිට මං කතා කළේ පෞද්ගලික දෙයක් වැනි දෑ කියමින් සම්පූර්ණ ගැටලු මගහැරයාමට ඔවුනට නොහැකිය. යම් පෞද්ගලිකත්වයක් තිබිය යුතු බව අප පිළිගනිමු. එහෙත් මෙවන් අවස්ථාවක තොරතුරු මහජනතාව දැන ගැනීම වැදගත් වේ. යම් හෙයකින් මෙවන් දෑ මාධ්‍ය නිරාවරණය කිරීම වාරණය කළහොත් නැවතත් දූෂිතයන්ට අසීමිත නිදහසක් ලැබීමට ඉඩඇත. එය වර්තමානයේ සිදුව ඇති සියල්ලට වඩා භයානකය.

අවසානයේ හඬපට සම්බන්ධ නීතිමය ප්‍රතිපාදන පිළිබඳව සහ වර්තමාන තත්ත්වය පිළිබඳවද කෙටියෙන් සඳහන් කළ යුතුය. නොදන්වා දුරකථන ඇමතුම් පටිගත කිරීම වරදක් වන අතර ඊට අදාළව නීතිමය ප්‍රතිපාදන තිබේ. කෙසේ වෙතත් එය වෙනම සාකච්ඡා කළ යුත්තකි. තවමත් මෙම සිදුවීමට අදාළව ගතවී ඇත්තේ දින කිහිපයක් පමණි. එම නිසා එකවර නඩු පැවරීම සිදුකළ නොහැකිය. ඊට පූර්වයේ විමර්ශන සිදුකළ යුතුය. ඔහුව මීට පෙළඹවූ පුද්ගලයන් සිටීද යන්න පිළිබඳ මෙන්ම මෙම හඬපටවල නිර්වද්‍යතාවයද සොයා බැලීමද සිදුවිය යුතුව තිබේ. ජනතාව සතුටු කිරීම සඳහා සාක්ෂි නිසි ලෙස ගොනුකර ගැනීමකින් තොරව නඩු පැවරීමෙන් වරදකරුවෝ නිදහස් වෙති.

► සංවාද ඇසුරින් සටහන : චමිඳු නිසල් ද සිල්වා

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05