මේ දිනවල ප්‍රධාන පුවත වන්නේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාය. 2016 වසරේ පෙබරවාරි 28 වැනිදා රාත්‍රියේ සිදුවූ බව කියන රිය අනතුරක් හේතුවෙන් ඔහු මේ වන විට සිටින්නේ කොළඹ මැගසින් බන්ධනාගාරයේය. ඒ ලබන 24 වැනිදා ඇප ලබාදීම සම්බන්ධයෙන් අධිකරණය තීරණයකට එළඹෙන තෙක්ය. 2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවූ අතර ඒ හේතුවෙන් සංදීප් නැමැති තරැණයකු බරපතළ තුවාල ලබා තිබිණි. ඔහු එවකට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර ඒ වන විටත් මේ අනතුර සිදුකළේ පාඨලී චම්පික බව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. එහෙත් එවකට අමාත්‍යවරයකුව සිටි පාඨලී චම්පික අමාත්‍යවරයාගේ පාර්ශ්වයෙන් ඊට පිළිතුරැ ලබාදෙමින් ඔහු කීවේ එහි තමා නොසිටි බවත් තමන්ගේ රියැදුරැ විසින් එම අනතුර සිදුකළ බවත්ය.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී සංදීප් නැමැති තරුණයාගේ මිතුරන් දෙදෙනකු සිටි අතර ඔවුන් දෙදෙනා ඊට පසුදින මාධ්‍ය හමු තබමින් කීවේ එම අනතුර සිදුවූ පසුව තමන් ජීප් රිය පසුපස එලවා ගිය බවත් පසුව එය නැවතීමේදී එයින් බැසගත් පුද්ගලයකු තමන් චම්පික රණවක බව ප්‍රකාශ කළ බවත් පසුව බොරැල්ල පොලීසියට තමන් එන බව පවසා නික්ම ගිය බවත්ය. එහෙත් බොරැල්ල පොලීසිය වෙත වෙනත් රියැදුරකු ඉදිරිපත් කළ බව එම තරුණයෝ කීහ.
එවකට පොලිස්පතිවරයව සිටි පූජිත ජයසුන්දරගේ නියෝග පරිදි පරීක්ෂණ සිදුකළ අතර එහිදී ප්‍රකාශ කළේ චම්පික රණවක අමාත්‍යවරයා වාහනයේ නොසිටි බවත් සීසීටීවී රූපරාමු පවා පරීක්ෂා කළ බවත්ය. විශේෂයෙන් එම තරුණයා නියමිත ධාරිතාවට වඩා වැඩි යතුරුපැදියක් ධාවනය කර ඇති බවටද මෙහිදී චෝදනා එල්ල විය. සැබැවින්ම එය එසේ නම් නීති විරෝධී කටයුත්තකි. කෙසේවෙතත් එවකට විපක්ෂයේ සිටි වර්තමාන ආණ්ඩුවේ පිරිස් චෝදනා කළේ මෙය ආණ්ඩු බලය යොදා යට ගැසූ බවකි. එපමණක් නොව සීසීටීවී රූපරාමු පවා මකා දමා ඇති බවට එහිදී චෝදනා එල්ල විය. කෙසේවෙතත් එම නඩුව අවසන් වූ අතර කාලයේ වැලිතලාවෙන් එය බොහෝ දෙනාගේ ඔළුවෙන් මැකී ගියේය.
කෙසේවෙතත් වර්තමාන ආණ්ඩුව පැමිණ වැඩි දවසක් ගත වුණේ නැත. එකවර මේ සිද්ධිය කරළියට පැමිණි අතර ඇතැම් රූපවාහිනී මාධ්‍යයන්හි ප්‍රවෘත්ති ජාලයේ ප්‍රධාන පුවත බවට මෙය පත් විය. සංදීප් වර්තමානයේ ඉන්නා රෝගී තත්ත්වයත්, ඔහු වැඩ කටයුතු කරන ආකාරයත්, ඔහුගේ මව්පියන් කඳුළු සලමින් දරුවා සුවකර ගැනීමටත් යුක්තිය උදෙසාත් ආයාචනා කරන ආකාරයත් ප්‍රචාරය වන්නට විය. මෙම ප්‍රවෘත්තිය ක්‍රමයෙන් දිනපතා පුවතක් වූ අතර එය පාඨලී චම්පික රණවක මහතාගේ පාර්ශ්වයෙන් දේශපාලන පළිගැනීම් ආරම්භ කිරීමක් බවත්, නිමවූ නඩුවක් නැවත කරළියට ගෙන විපක්ෂයේ අය දඩයම් කොට මර්දනය කරන්නට සූදානම් වන බවත් ප්‍රකාශ විණි.
මේ අතර තවත් හදිසි පුවතකින් ප්‍රචාරය වුණේ පාඨලී චම්පික මන්ත්‍රීවරයාට සහ ඔහුගේ රියැදුරාට විදෙස් ගතවීම තහනම් කොට මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර ඇති බවයි. මෙම පුවතත් සමඟ රටම දැනගත්තේ එකී පරීක්ෂණ කාටත් හොරා ආරම්භ වී ඇති බවයි. මේ අතර මන්ත්‍රීවරයාගේ රියදුරුගේ බිරිඳත් දරුවනුත් ඉන්නා ගාල්ල ඉමදුවේ නිවෙසට ගොස් ඔවුන් අත්අඩංගුවට ගෙන රියැදුරු සොයා බත්‍තරමුල්ලට ගිය බව තවත් පුවතකින් ප්‍රචාරය විය. මෙය චම්පික පාර්ශ්වයෙන් කීවේ පැහැරගැනීමක් බවකි. රියදුරුගේ පවුලේ පිරිස් පැහැරගෙන ගොස් ඇති බව ඔවුහු කීහ. එහෙත් පොලීසිය පවසා සිටියේ රියැදුරැගේ බිරිඳ ස්වකැමැත්තෙන් ස්වාමියා පෙන්වීමට ආ වගයි. මේ සියල්ල මැද මේ කතාව තව තවත් ප්‍රචාරය වන්නට වූ අතර වසර හතරක් කිසිදු කෙනකු සොයා නොබැලූ සංදීප්ට ප්‍රතිකාර කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ නියමයෙන් ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා වූ ඒලීයන්ත වයිට් සම්බන්ධ කර දෙනු ලැබීය. කෙසේවෙතත් වසර හතරකට පසුව හෝ එම තරැණයා ගැන සොයා බැලීම යහපතක් බව කිව යුතුය.
මේ අතර සංදීප්ගේ මව මාධ්‍යයට පවසා සිටියේ මේ පැමිණිල්ල ඉවත් කරගන්නා ලෙසට එවකට බලපෑම් එල්ලවුණු බවය. මේ නිසා තමන් අසරණ වුණු බවත් කෙසේ හෝ සාධාරණය ඉෂ්ඨ කරන ලෙසත් ඇය ඉල්ලා සිටියාය. එසේම ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරැ නමින්ම කීවේ චම්පිකටත්, රාජිතටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන වගය. මේ සියල්ල මැද චම්පික රණවක පසුගිය බදාදා උදෑසන මල්වතු හිමියන් බැහැදැක තමන් අත්අඩංගුවට ගැනීමට සුදානම් වන බව දන්වා සිටියේය. කෙසේවෙතත් චම්පික අධිකරණය වෙත ගොස් එම අත්අඩංගුවට ගැනීම නවතන ලෙස ඉල්ලා නියෝග ලබා ගත්තේ නැත.
මේ සියල්ල මැද පසුගිය බදාදා රාත්‍රී හතට පමණ චම්පිකගේ කොළඹ පිහිටි නිවෙස කොළඹ අපරාධ කොට්ඨාසය මගින් වටලනු ලැබීය. එසේ වටලා චම්පික අත්අඩංගුවට ගැනීමට සූදානම් විය. කෙසේවෙතත් අනවසරයෙන් නිවෙසට ඇතුළු වූ බව කියමින් එහිදී චම්පිකගේ සමීපතමයෝ පොලීසිය සමඟ වාද විවාද ඇති කර ගත්හ. ඒ අතර නීතිඥ ශිරාල් ලක්තිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ද වූහ. එහෙත් පොලීසිය කීවේ නීතිපතිවරයා විසින් මොහු අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග ලබාදී ඇති බවය. මේ සියලු සිදුවීම් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව ප්‍රචාරය විය. අවසානයේ චම්පික පොලිස් බාරයට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන යනු ලැබීය. එහිදී ඔහුගෙන් ප්‍රකාශ ලබාගැනීම සිදුකළ අතර ඔහුගේ නීතිඥයකු ලෙස ශිරාල් ලක්තිලක ඔහු අසල විය මේ අතර එජාප මැති ඇමැතිවරු රැසක්ද එම ස්ථානයට පැමිණ සිටියහ. මෙහිදී සිදුවූ විශේෂ දෙයක් වන්නේ චම්පික බැලීම සඳහා සජිත් ප්‍රේමදාස එම ස්ථානයට පැමිණීමය. ඔහු එම ස්ථානයට යන විට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා චම්පිකගේ නිවෙසට පැමිණියේය.
අවසානයේ චම්පිකව රාත්‍රියේම කොළඹ අතිරේක මහේස්ත්‍රාත‍්වරිය වෙත ඉදිරිපත් කළේය. එහිදී චම්පිකට චෝදනා රුසක් එල්ල කර තිබුණි. එනම් අනතුරක් සිදුකිරීම, අපරීක්ෂාකාරී රිය ධාවනය, අනතුරෙන් පසු වෙනත් රියැදුරකු යෙදවීම සහ සාක්ෂි හිතාමතා වසන් කිරීම යන චෝදනාය. මේ නිසා චම්පිකව ඊට පසුදින දක්වා බන්ධනාගාර ගත කරනු ලැබීය.
ඊට පසුදින චම්පිකව බන්ධනාගාරයෙන් අධිකරණය වෙත කැඳවාගෙන ආවේය. එදින රජයේ පාර්ශ්වය වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් පෙනී සිටි අතර ඔහු පවසා සිටියේ චම්පික අමාත්‍යවරයා රිය අනතුර සිදුකර පලාගිය බවත් ඉන් අනතුරුව සංදීපගේ මිතුරන් පන්නා ගොස් නැවැත්වූ පසු අව් කණ්ණාඩි දමා සිටි අයකු බැස තමන් චම්පික රණවක බවට ප්‍රකාශ කළ බවට තොරතුරු එම තරුණයන්ට දිවුරුම් ප්‍රකාශයක් හරහා ලබාදුන් බවය. එසේම පරීක්ෂණවලදී වින්දිත පාර්ශ්වය මූලිකත්වය ලබා නොදී ඇති බවත්, පොලීසිය පළමු සැකකරු වන පාඨලී චම්පික රණවක මහතාගේ නම හිතාමතාම ප්‍රකාශවලින් ඉවත් කර ඇති බවත්ය. එය වැලිකඩ පොලීසියේ රථවාහන ස්ථානාධිපතිවරයාගේ නියමයෙන් ඉවත් කර ඇති බවත් මේ සඳහා ඔහුට වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා නියෝග කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කීය. මේ සිදුවීම විකෘති කිරීමට අනිවාර්ය නිවාඩු යවා සිටින සහ බන්ධනාගාර ගතව සිටින පූජිත ජයසුන්දර සක්‍රීයව දායකත්වය ලබාදී ඇති බවත් සඳහන් කළේය. එසේම මේ අනතුර චම්පික මහතාගේ රියැදුරු සිදුකළ බවට සඳහන් කිරීමට උත්සාහ කළත් දෙදෙනාගේ දුරකතන අංක පරීක්ෂා කිරිමේදී එදින දෙදෙනා වෙනත් මාර්ග දෙකක ගමන් කර ඇති බවත් කීය. එනිසා පොලිස් නිලධාරීන් පවා යොදාගෙන අපරාධ කුමන්ත්‍රණයක් සිදුකර ඇති නිසා ඉදිරියේදී අධි චෝදනා ගොනු කරන බවද සඳහන් කර ඇත. මේ සියල්ල හේතුකොට ගෙන නීතිපතිවරයා ඇප ලබාදීමට සහමුලින්ම විරැද්ධ බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කීය.
මෙහිදී අතිරේක මහේස්ත්‍රාත්වරිය විමසා සිටියේ මේ සඳහා පොදු දේපළ පනත ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇත්ද යන්නය. එහිදී සොලිසිටර් ජනරාල්වරයා පවසා සිටියේ එසේ උපදෙස් ලබා දී නැති බවත් එහෙත් එම ජිප් රථය අලුත්වැඩියාව සඳහා රජයේ මුදල් ලබාගැනීම පොදු දේපළ පනතට වැටෙන බවය. කෙසේවෙතත් චම්පික වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පවසා සිටියේ ගොනු කර ඇති චෝදනා ඇප ලබාදිය හැකි වරදවල් කියායි. එහෙත් අතිරේක මහේස්ත්‍රාත්වරිය පවසා සිටියේ පරීක්ෂණ මුල් අවස්ථාවේ ඇති බැවිත් ඇප ලබාදිය නොහැකි බවයි. ඒ අනුව චම්පික රණවකව ලබන 24 තෙක් බන්ධනාගාර ගත කැරිණි.
කෙසේවෙතත් මේ සියල්ල අවසන් වී චම්පිකව පිටතට රුගෙන එන අවස්ථාවේ අධිකරණය ඉදිරිපිට දැඩි නොසන්සුන්තාවයක් ඇතිවූ අතර මෙහිදී ඡායාරෑප මාධ්‍යවේදියකු හට පහර දුන් බවට හිටපු පළාත් සභ මන්ත්‍රීවරයකු වූ බෙවන් පෙරේරාගේ පුත් මංජුල පෙරේරා අත්අඩංගුවට ගනු ලැබීය. කෙසේවෙතත් ඔහු ද මේ දිනවල කතාබහට ලක්වන චරිතයක් වී ඇති අතර ඒ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියගේ සිද්ධියේදී රහස් පොලීසියට පැමිණ මාධ්‍යයට අසත්‍ය තොරතුරු ලබාදීමේ සිද්ධියක් නිසාය.
අවසානයේ මේ සිදුවීම විපක්ෂය විසින් විශාල දේශපාලන දඩයමක් ලෙස හුවා දක්වන අතර ආණ්ඩුව පවසන්නේ මෙය හුදෙක් නීතිය ක්‍රියාත්මක වීමක් පමණ බවයි. එහෙත් මහ බැංකු දූෂණය, පාස්කු ප්‍රහාරය වැනි සිද්ධීන් එලෙස තිබියදී මේ සිද්ධිය පමණක් ඇදගැනීම දේශපාලන දඩයමක් බවට විපක්ෂය චෝදනා කරයි. එහෙත් මේ සිද්ධිය සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශයක් ලබාදෙමින් කීවේ ජනාධිපතිවරණ සමයේදී හෝමාගම පැවති රුස්වීමකදී සංදීප්ගේ මව පැමිණ ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාධාරණයක් පැතු බවය. ඒ අනුව නිසා මේ පරීක්ෂණ ආරම්භ කළ බවය.
මේ සම්බන්ධයෙන් කතානායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ චම්පික රණවක අත්අඩංගුවට ගැනීමේදී මන්ත්‍රී වරප්‍රසාද බිඳ වැටී ඇති බවය. හිටපු ඇමැතිවරයා අත්අඩංගුවට ගන්නා විට කතානායකවරයා දැනුවත් නොකර ඇති බවත් සඳහන්ය. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කර ඇති බවත් එය හැන්සාඩ් ගතවී ඇති බවත් තමාද ඒ සම්ප්‍රදාය ආරක්ෂා කරමින් ඉදිරියට රැගෙන යන බවත් කරූ ජයසූරිය මහතා පවසා ඇත.
මේ වන විට මේ සිද්ධිය අධිකරණය තුළ විභාග වෙමින් පවතින අතර ඒ අනුව යුක්තිය වින්දිතයන් හෝ සැකකරැවන් වෙත පැවරීම අධිකරණයේ තීන්දු මත සිදුවන්නකි. ඒ නිසා මේ සිද්ධියේ තව තවත් ලුණු ඇඹුල් දමා රසවත් කරන්නට දෙයක් නැත.
කෙසේවෙතත් මෙය පිරිසකට දේශපාලන මාතෘකාවක් වී ඇත. පළිගැනීම්, එකට එක කිරීම් දේශපාලනයේ සුපුරැදු සිදුවීම් නිසා මෙයද එක් ආකාරයක එවැනි සිද්ධියක් ලෙස ඕනෑම අයකුට අර්ථකථනය කළ හැක. එහෙත් මෙය වින්දිතයකු හට සාධාරණය ලබා දීමක් පමණක් බවට තවත් පිරිසකට අර්ථකථනය කළ හැක. ඒ නිසා මේ සියලු තීරණ තීන්දුවලට එළඹිය හැක්කේ අධිකරණයේ තීන්දුව මතය. එබැවින් එතෙක් බලා සිටීම හැර වෙනත් දෙයක් නැත.
ගයාන් ගාල්ලගේ