අනාදිමත් කාලයක සිට හෙළ වෙදකම තුළින් හෙළදිව ජනයා තමන්ට වැළඳී රෝගාබාධ සඳහා අවට පරිසරයෙන් ලබාගත් වනස්පති ද්‍රව්‍ය වන කොළ, පොතු, ගෙඩි, මුල් හා ඉටි ආදිය භාවිතා කරමින් අතුරැ ආබාධවලින් තොරව කායික හා මානසික රෝග සුවයක් අත්විඳ ඇත.
වර්තමානයේ බහුලව දක්නට ලැබෙන බෝ නොවන රෝග ගණයට වැටෙන පිළිකා රෝගය ද දිනෙන් දින ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක සිට කිසිදු බෝ නොවන රෝගියකු වාර්තා නොවන ප්‍රදේශය මහියංගණයේ දඹාන බවට සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
මේ අතරින් පියයුරු පිළිකාව ද ඉතා ඉහළ මට්ටමක පවතින අතර මෙය සමාජයේ කාන්තාව ඉතාම පීඩනයට ගොදුරුව රෝගී තත්ත්වයකි. පියයුරු පිළිකා සඳහා ප්‍රතිකාර ලබාගන්නා බොහෝ දෙනෙක් අතුරු ආබාධවලට හෙවත් ප්‍රතිකාරවලින් පසු බොහෝ සංකූලතාවලට මුහුණපාති.
මේ සඳහා කඩුවෙල ආයුර්වේද සංරක්ෂණ සභාවේ වෛද්‍යවරුන්ට අපූරු පිළියමක් දැනගත හැකිවූයේ වත්මන් ආදීවාසි නායක ඌරැවරිගේ වන්නිලයලා ඇත්තන් හමුවීමට ගියවිටය. අපේ පැරුණි වෛද්‍ය ක්‍රම හා ආදීවාසින්ගේ රෝග සුවපත් කිරීමේ ක්‍රමවේද පිළිබඳ පැවති සාකච්ඡාවකදී මෙම ඖෂධය පිළිබඳ අනාවරණය කරගත හැකිවිය.
එදා හෙළයන් හෙළ වෙදකම මතු පරම්පරාව සඳහා රුගෙන ආවේ තම මුතුන්මිත්තන් අතින් ලබාගත් සම්ප්‍රදායික ඥානය හා පරම්පරාවෙන් පරම්පරාවට ගෙනආ රහසිගත ඖෂධ වට්ටෝරු තුළිනි. අපේ පැරැණ්නන් ස්වාභාවික පරිසරයත් සමඟ බද්ධ වී සරල සැහැල්ලු දිවි පෙවෙතක් ගත කළ බැවින් වනයේ වැවෙන ශාඛ පිළිබඳ අධ්‍යයනයක යෙදීමට හැකිවී තිබුණි.
කඩුවෙල ආයුර්වේද සංරක්ෂණ සභාවේ වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කිරීමේදී වැදිනායකයා පවසා සිටියේ එම පරිසරයේ වැවෙන තනහලු නම් ශාඛය මේ සඳහා යොදා ගන්නා බවත්ය. එම ශාඛයේ පියවුරුවක හැඩයෙන් කඳෙහි හටගන්නා කටුව දෙහි ඇඹුල් සමඟ ගලගා පිළිකාව ඇති පියවුරේ ආලේප කිරීමෙන් කිසිදු අතුරු අබාධයකින් තොරව පිළිකාව සුවපත් වන බවට වැදිනායකයා සහතික වෙයි.
මෙවන් අති දුර්ලභ ශාඛයක් වනයේම හැදී වනයේම විනාශ වී යාමට නොදී අනන්ත දුක්පීඩා විඳින කාන්තා පරපුර වෙනුවෙන් මෙම වටිනා ඖෂධය භාවිත කළ හැකිය. වර්තමානයේ පවතින දියුණු තාක්ෂණික ක්‍රම යොදාගනිමින් මේ පිළිබඳ නිසි ලෙස පර්යේෂණය කර එහි ප්‍රතිඵල ජනතාවට දැනගැනීමට සැලැස්වීමට වගකිවයුත්තන් උනන්දු වීම වැදගත් බව පෙන්වා දෙමු.
ආයුර්වේද වෛද්‍යාචාරිණි
ඒ.පී. ලියනගේ
කඩුවෙල ආයුර්වේද සංරක්ෂණ සභාවේ විධායක සභික