මහජන සාමය සඳහා වන පනත උල්ලංඝනය කර ඇති හෙයින් එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සේවය කළ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශකවරයා (Minister Counsellor- Defense) වූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට ස්ටර්ලින් පවුම් 2400ක දඩයක් පැනවීමට බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් අධිකරණය දෙසැම්බර් 6 වැනිදා තීන්දු කළේය. 2018 පෙබරවාරි 4 වැනි දින ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පැවති නිදහස් දින සමරු උත්සවයේදී එම පරිශ්‍රය අසලට රැස්වූ දෙමළ ජාතිකයන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වූ අතර බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු එම උද්ඝෝෂකයන් හට අභිනයෙන් කළ ඉඟිය තමන්ට කළ තර්ජනයක් සේ සලකමින් දෙමළ ඩයස්පෝරාව සහ දෙමළ හිතවාදීහු ඔහුට එරෙහිව නඩු පවරා තිබිණි.එය නම්කර තිබුණේ “බ්‍රිගේඩියර් ආඬිගේ ප්‍රියංක ඉඳුනිල් ප්‍රනාන්දුට එරෙහිව මජුරාන් සතානන්දන් නඩුව” ලෙසිනි. ඔහු පළ කළ ඉරියව්ව යමකුගේ ගෙල සිඳලන අයුරු ප්‍රකාශ වන්නක් යැයි ද එය එම අවස්ථාවේ ගන්නා ලද නිශ්චල ඡායාරූප සහ වීඩියෝ පට මගින් තහවුරු කෙරෙන බවද එම තීන්දුව ලබා දුන් ප්‍රධාන විනිසුරු එමා අර්බත්නෝට් ප්‍රකාශ කර තිබිණි. බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය හිමි නොවන බවට මින් ඉහතදී වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් තීන්දුවද යළි තහවුරු කෙරිණි.
එක්සත් රාජධානියේ මහජන සාමය සුරැකීමට අදාළ පනත උල්ලංඝණය කිරීම යටතේ මහ බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ මූලාරම්භක ආධුනික විනිසුරු මඬුල්ලක් විසින් 2019 ජනවාරි 21 දින ප්‍රියංක ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කළ අතර පසුව ක්‍රියා පටිපාටියේ පැවැති දෝෂ කිහිපයක් මත වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය මගින් එම අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව 2019 පෙබරවාරි මස 01 වැනි දින අවලංගු කළේය.
බ්‍රිතාන්‍ය සමාජයේ නීතිය සහ සාමය රැකීමට අදාළ පනතෙහි (1986) 4 (a) සහ 5 (1), (6) යන වගන්ති අනුව අන් අයට පෙනෙන හෝ ඇසෙන මානයේ සිට තර්ජනාත්මක ස්වරූපයෙන් හැසිරීම හෝ එවන් වදන් පැවසීම හෝ බිය ගැන්වෙන ආකාරයේ සංඥා කිරීම මගින් එම පුද්ගලයන්ට අඩන්තේට්ටම් සිදු කිරීම, පීඩාවට පත් කිරීම යන චෝදනා යටතේ මූලාරම්භක ආධුනික විනිසුරු මඬුල්ල විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වරදකරු බවට තීන්දු කළේය.
එම තීන්දුව ද 2019 මාර්තු මස 15 වැනි දින නඩුව කැඳවන ලද අවස්ථාවේදී වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයෙහි ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් නිශ්ප්‍රභ කරනු ලැබිණි. වගඋත්තරකරුගේ නියෝජනයකින් තොරව ඔහු වරදකරු බවට නිගමනය කිරීම අසාධාරණ ක්‍රියාදාමයකට තුඩු දුන් වැරදි හෝ දෝෂ සහගත හෝ තීන්දුවක් යැයි සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය, 1980 මහේස්ත්‍රාත් අධිකරණ පනතේ 142 වැනි ඡේදය යටතේ නඩුව මුල සිට යළි කැඳවිය යුතු බවට තීන්දු කළාය.
ඒ අනුව 2019 ඔක්තෝබර් මස 18 වැනි දින වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් උසාවියේදී එය යළි විභාගයට ගැනුණු අතර, එහිදී නඩුව 2019 නොවැම්බර් මස 19 දින දක්වා කල් තැබීමට අධිකරණය තීන්දු කළේය. ඒ අනුව නොවැම්බර් 19 දින සිට යළිත් මුල සිට එම නඩුව විභාග කෙරුණු අතර එහි අවසන් තීන්දුවෙන් බ්‍රිගේඩියර්වරයා වරදකරැ කොට පවුම් 2400ක දඩයක් පනවා තිබේ.
මෙම නඩු විභාගය සඳහා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා පෙනී නොසිටි අතර ශ්‍රී ලංකා රජයේ විශේෂ නියෝජිතයෙක් ඔහු වෙනුවෙන් පෙනී සිටියේය.
වෙස්ට්මිනිස්ටර් අධිකරණයෙන් ලබා දුන් තීන්දුව පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට විදේශ කටයුතු අමාත්‍යංශය හා ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කරමින් සිටින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය. 1961 රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියේ 31 වැනි වගන්තිය ප්‍රකාරව බ්‍රිගේඩියර්වරයා රාජ්‍ය තාන්ත්‍රික මුක්තියට හිමිකම් කියන්නකු බව ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය වී තිබේ. ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ මෙම තීන්දුවට කිසියම් දේශපාලන මැදිහත්වීමක් සිදුව ඇති බවටය. නඩුව විභාගවන අතරතුර එල්.ටී.ටී.ඊයට සහාය දක්වන පිරිසේ බියගන්වන සුළු හැසිරීම්ද පෞද්ගලිකව නඩු පැවරීම මත විත්තිකරැ විසින් අධිකරණයට ඉදිරිපත් කළ වරප්‍රසාදිත තොරතුරු මාධ්‍ය වෙත අනාවරණ වීම වැනි කරුණු මත මෙහි දේශපාලනික පෙළඹවීමක් පවතින බව පෙනී යන්නේ යැයි ද විදේශ සබඳතා අමාත්‍යංශය සඳහන් කරයි.
නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහාද පියවර ගැනීමට නියමිතව ඇති අතර බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා මේ සම්බන්ධ වැඩිදුර කරුණු ලබාගැනීමට ද කටයුතු කර තිබේ.
බ්‍රිගේඩියර්වරයාට ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් ගිහි පැවිදි බොහෝ දෙනකුගේ මතය වූයේ එය අසාධාරණ තීන්දුවක් බවයි. ප්‍රියංක ප්‍රනාන්දු මහතා තම රට ජාතිය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයකු බවද බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාවේ ඡන්ද අපේක්ෂාවෙන් ඔවුන්ගේ මනදොළ පිරවීම සඳහා එංගලන්ත රජය විසින් බ්‍රිගේඩියර් ප්‍රියන්ත ප්‍රනාන්දු බිල්ලට ගෙන ඇතැයිද සිංහල රාවය සංවිධානයේ මාගල්කන්දේ සුදත්ත හිමියෝ ප්‍රකාශ කළහ. ඔහු මෙරට ස්වෛරීභාවයට හා භෞමික අඛණ්ඩතාව උදෙසා සුවිශේෂී මෙහෙයක් කළ රණවිරුවකු බවද එහෙයින් සතයක් හෝ ගෙවිය යුතු නොමැති බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
මෙරට ජනතාව රුපියල බැගින් එකතු කොට බ්‍රිගේඩියර්වරයාට පනවා ඇති දඩ මුදල ගෙවීමට පියවර ගත යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළේය. විදේශ සබඳතා අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බැවින් එලෙස මුදල් රැස් කිරීම අනවශ්‍ය බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.
මේ දිනවල මහත් ආන්දෝලනයකට ලක්ව සිටින ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවට රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය ඇති බැවින් ප්‍රශ්න කළ නොහැකි බවට ස්විස් තානාපතිවරයා ප්‍රකාශ කරන පසුබිමක් තුළ රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස බ්‍රිතාන්‍යයේ සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය හිමි නොවන බව පැවසීම දෙමළ ඩයස්පෝරාවේ වුවමනාව මත සිදුවූවක් බව සිවිල් සමාජයේ මතය වී තිබේ. බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේද ශ්‍රී ලංකාවට එරෙහි වගන්ති ඇතුළත්ව තිබීමෙන්ද මෙය දේශපාලනික අවශ්‍යතාවක් මත සිදුවූවක් බව බොහෝ දෙනකුගේ පිළිගැනීමයි.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා