“ගුවන් විදුලි සහ රූපවාහිනී ක්ෂේත්‍රයෙහි ප්‍රවීණතම මාධ්‍යවේදියෙකු වූ එම්.එම්. ගුණසේකරයන් අනුස්මරණය කිරීම පිළිබඳ ලිපියක්. “ලංකාදීප” පත්‍රයේ පළ වී තිබෙණු දුටු මගේ මතකය හදිසියේ දිව ගියේ රසවත් සිද්ධියකටය.
එච්.එම්. අප පාසල් වියේදී ආදරය කළ ගුවන්විදුලි ශිල්පියෙක්. ඔහු බ්‍රිතාන්‍ය බීබීසීය නිකුත් කළ විදේශ විත්ති විචාරය අපට එදා දැනුමේ ප්‍රභවයක් වුණා. පසු කාලයේදී ඔහු රූපවාහිනී සංස්ථාවේ වැඩසටහන් පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පදවිය හෙබවූවා. ඒ වකවානුවේ ජාතික රූපවාහිනියේ සභාපති ධූරය දැරුවේ එහි පළමු සභාපතිවරයා. ඒ විශිෂ්ට ගණයේ සිවිල් සේවකයෙක් වෙච්ච එම්.ජේ. පෙරේරා මහතායි. මා කියන්නට යන්නේ ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේදී එච්.එම්. ගුණසේකර වැනි මධ්‍යස්ථ, මතධාරී ප්‍රවීණතම මාධ්‍යවේදියෙකුට සිදුකළ හද කකියන දේශපාලන පලිගැනීමක් ගැනය.
1994 මහ මැතිවරණයේදී යූ.එන්.පී. පාලනය වෙනස් වුණා. පාලනයක් වෙනස් වූ සැණින් රාජ්‍ය සේවය තුළ මතුවන කාරණය තමයි දේශපාලන පලිගැනීම්. 1995 දී ශ්‍රී ලංකා රෑපවාහිනි සංස්ථාවේ සභාපති ධූරයට පත් වූ මා පළමුව මුහුණ දුන් කාරණය වූයෙත් දේශපාලන පලිගැනීම් පිළිබඳ ප්‍රශ්නයමයි. ජනමාධ්‍ය අමාත්‍ය ධර්මසිරි සේනානායක මහතා විසින් මා වෙත එවා තිබූ දේශපාලන පලිගැනීම් ලැයිස්තුවේ එච්.එම්. ගුණසේකරයන්ගේ නමත් තිබුණා. ඔහුගේ අභියාචනය මා වෙත ඉදිරිපත් කරනු ලැබුණේ මගේ නිරීක්ෂණ ලබා ගැනීමටයි.
මාගේ ලේකම්වරිය වශයෙන් කටයුතු කළේ මාලති කොඩිතුවක්කු මහත්මිය. ඇය රාජ්‍ය පරිපාලනයේ සිටි තවත් විශිෂ්ටයෙකු වෙච්ච ඩී.බී.අයි.පී.එස්. සිරිවර්ධන යටතේ පුහුණුව ලැබූ දක්ෂ නිලධාරිනියක්. එච්.එම්. ගුණසේකර මහතාගේ පෞද්ගලික ලිපි ගොනුව පරීක්ෂා කළත් අභියාචනයට අදාළ කිසිවක් එහි තිබුණේ නෑ. ඔහු නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කළ බව පමණයි වාර්තා වී තිබුණේ.
මේ පිළිබඳව මගේ ලේකම්වරියගෙන් තොරතුරු විමසූ විට ඇය මට තොරතුරු ලබාගත හැකි මූලාශ්‍රයක් පිළිබඳ ඉඟියක් ලබා දුන්නා. එනම් හිටපු සභාපති එම්.ජේ. පෙරේරා පාවිච්චි කළ දිනපොතයි.
එම්.ජේ. පෙරේරා මහත්තයත් පැරණි බ්‍රිතාන්‍ය සිවිල් සේවකයන් මෙන් තම නිල රාජකාරී දින පොතේ දෛනිකව සිදුවූ සියලු දේ ලිවීමේ සම්ප්‍රදාය අනුගමනය කළ සිවිල් සේවා නිලධාරියෙක්. මාලතී ලේකම්වරිය, හිටපු සභාපතිවරුන් පාවිච්චි කළ දිනපොත් ආරක්ෂාකාරීව තබාගෙන තිබුණේ ඇගේ රාජකාරී කටයුත්තක් විදිහටයි.
මාලතී එම්.ජේ. පෙරේරා මහත්තයාගේ දිනපොත බලලා එච්.එම්. ගුණසේකරයන්ගේ අභියාචනයට අදාළ තොරතුරු හොයාගෙන තිබුණා. එම දින පොතේ අදාළ රසවත් විස්තරේ ලියවිලා තිබුණේ දිනය, වෙලාව එක්කමයි. අද මට ඒ දින, වෙලාවල් මතක නැති වුණත් ඒකේ තිබුණු එම්.ජේ. පෙරේරා මහත්තයාගේ කතාව නම් මතකයි. ඒ මෙහෙමයි.
“ජනාධිපති ලේකම් මැණික්දිවෙල මහත්මයගෙන් දුරකතන ඇමතුමක් ලැබුණා. ඒ ජනාධිපති ජයවර්ධන මහත්මයා හමුවන ලෙස නියෝග කරලයි. ඒ අනුව මම ජනාධිපති ලේකම් කාර්යාලයට ගියා ජේ.ආර්. ජයවර්ධන මහත්මයා මගෙන් එච්.එම්.ට අදාළ කරුණු දෙකක් විමසුවා.
පළමුවන කාරණය මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පිළිබඳ වැඩසටහනක් සම්පාදනය කොට රූපවාහිනියෙන් ප්‍රචාරය කර තිබේ ද?
දෙවැනි කාරණය විජය කුමාරතුංගගේ ගීත ඇතුළත් වැඩසටහනක් සම්පාදනය කොට රූපවාහිනියෙන් ප්‍රචාරය කර තිබේ ද?
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වැඩසටහන්) වශයෙන් සියලු වැඩසටහන් ඔහුගේ අනුමැතිය ඇතිව සම්පාදනය කොට, ප්‍රචාරය කිරීමේ වගකීම පැවරෙන්නේ ඔහුට බව පිළිගත් මා ඔහු කිසිඳු වරදක් කර නැති බවත් ජනාධිපතිවරයාට අවධාරණයෙන් කියා සිටියෙමි. ඔහු මේ රටේ ප්‍රවීණතම ගුවන්විදුලි සහ රූපවාහිනි මාධ්‍යකරුවෙකු බව සහ ඔහුගේ පසුබිම් විස්තරය ජනාධිපතිතුමාට ඉදිරිපත් කළා.
ඒ සියලු කරුණු අසා වහාම ක්‍රියාත්මක වන පරිදි එච්.එම්. ධුරයෙන් ඉවත් කළ යුතු බවට ජනාධිපතිතුමා නියෝගයක් දුන්නා.
මා ජනාධිපති කාර්යාලයෙන් පිටවී ආවා. මට කළහැකි දෙයක් නෑ. රාජ්‍ය නායකයාගේ නියෝග ක්‍රියාත්මක කිරීමට මා බැඳී සිටිනවා. ඒත් ලිඛිත නියෝගයක් නැහැ. ජනාධිපතිතුමාගෙන් හෝ අමාත්‍යතුමාගේ හෝ ජනාධිපති ලේකම්ගෙන් හෝ අමාත්‍ය ලේකම්ගෙන් හෝ ලිඛිත නියෝගයක් නැහැ. ඒත් වාචික නියෝගය ක්‍රියාත්මක කළ යුතුයි.
මගේ හෘද සාක්ෂියට විරැද්ධ වුවත් එම නියෝගය ක්‍රියාත්මක කිරීමට මා බැඳී සිටිනවා. ඒ අනුව මා ජනාධිපති නියෝගය ක්‍රියාත්මක කරනවා.”
එම්.ජේ. පෙරේරා මහතා තමාට ලැබුණු මුල් දුරකතන පණිවිඩයේ සිට ජනාධිපතිතුමා හමු වූ සිද්ධිය සහ යළි තම කාර්යාලයට පැමිණි වෙලාව පවා සටහන් කර තිබීම ප්‍රබල ලිඛිත සාක්ෂියක්.
මේ ලිඛිත සාක්ෂිය පදනම් කරගෙන එච්.එම්. ගුණසේකර මහතා වන්දියකට හිමිකම් ලබා ඇති බවට මම නිර්දේශ කළා. ඒ අනුව ඔහුට රුපියල් ලක්ෂ හතරක වන්දියක් ලැබුණා. පසු දිනෙක මා ඔහු කැඳවා තොරතුරු විමසූ විට තමයි රසවත් සිද්ධියක් අසන්නට ලැබුණේ. ඒ දිනපොතේ සඳහන් මේ කිසිදු තොරතුරක් එච්.එම්. ගුණසේකර මහතා දැන නොසිටීමයි. සභාපතිවරයා හා ලේකම්වරිය එම තොරතුරු රහස්‍ය දේවල් වශයෙන් ආරක්ෂා කළේ එම තොරතුරු රාජ්‍ය නායකයාට සම්බන්ධ කාරණා නිසයි. එහෙත් එම්.ජේ. ඒ තොරතුරු තම දිනපොතේ ලියා තැබුවේ කළහැකි වෙන යමක් නොතිබුණු හින්දයි. මාලති ලේකම්වරියත් එච්.එම්. හොඳින්ම දන්නා කෙනෙක් වුවත් තම රාජකාරී කටයුතු රහසිගතව තබාගෙන තිබුණා.
සභාපති ලේකම්වරිය මෙන්ම එච්.එම්. ගුණසේකර යන චරිත තුනම යහපාලනයට ආදර්ශවත් චරිත තුනක්. මෙවැනි චරිත අද අපේ රාජ්‍ය සේවයේ සිටිනවාද? මේ සිද්ධිය අදටත් හිටපු ජනාධිපතිවරයාට කැළලක්.
කලින් සඳහන් කළ එම්.ජේ. පෙරේරා, තම ධූරයෙන් ඉවත් වී ගියේ මහත් කළකිරීමෙන්. තම නිල රථය ආපසු භාර දී තමන් ගොඩනැඟූ ජාතික රෑපවාහිනියට ආයුබෝවන් කියා හැව්ලොක් ටවුමේ පිහිටි ඔහුගේ නිවසට ගිහින් තිබුණේ පයින්මයි. ඉන් පසු යළි රූපවාහිනියට ඔහු පැමිණ තිබුණේ නෑ.
එහෙත් මා සභාපති ධූරයට පත්වූ පසු ඔහු වෙනුවෙන් වූ සමුගැනීමේ උත්සවයක් පදනම් ආයතනයේදී මහත් හරසරින් පැවැත්වූවා. ඒ ඔහු ඉවත්ව ගොස් වසර දහයකට පසුවයි. විශ්‍රාම ලත් සිවිල් නිලධාරියෙක් වූ ඔහුගේ නිවසේ රූපවාහිනියක් නොතිබුණු බව මා දුටු නිසාම අපි ඒ උත්සවයේදී ඔහුට රූපවාහිනී යන්ත්‍රයකුත් ත්‍යාගයක් විදියට පිරිනැමුවා..”
(ඩිව් ගුණසේකරගේ ජීවන අත්දැකීම් අළලා ලියන ලද “මගේ මතකය” නම් ග්‍රන්ථයෙන් උපුටා “ඩිව්. ගුණසේකර මිනිස්කමට හරසර” නැමති උපහාර ග්‍රන්ථයේ පළවූ ලිපියක් ඇසුරිණි. ප්‍රගති ප්‍රකාශනයකි.)
► ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා