2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

අනාවැකි වැරදුණේ ඇයි?

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 680

ජනාධිපතිවරණයට තරග කළ සජිත් ප්‍රේමදාස අපේක්ෂකයා නියත වශයෙන් ජයගන්නා බව සමහර ජ්‍යොතිෂවේදින් මාධ්‍ය මගින් ප්‍රකාශයට පත්කර තිබෙණු පසුගිය දිනවල අසන්නට දකින්නට ලැබුණි. ජය පිළිබඳ විවිධ පුවත්පත්වල සහ මාධ්‍යවල නොයෙක් ප්‍රකාශන එළිදැක්විණ. එම අනාවැකි ප්‍රකාශ කළ ජ්‍යොතිෂවේදීන් ප්‍රවීණ උගත් සම්මානලාභී විද්වතුන් බව ඒ අයගේ නම් ඉදිරියේ පළවිය. මෙම ප්‍රකාශන දැන්වීම් ලෙසට ද ලිපි ලෙසට ද පුවත්පත්වල ප්‍රකාශ කෙරැණි. විද්‍යුත් මාධ්‍යවලද ප්‍රකාශයට පත්විය.

එසේ වුවද ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව සනාථ වූයේ එම අනාවැකි වැඩි කොටසක් බොරුවූ බවය. අන්තිමට ඒ වැරදි ප්‍රකාශ කළ දෛවඥයන්ට ආගිය අතක් සොයා ගැනීමට බැරි තත්ත්වයට පත්වීමට සිදුව තිබුණි.

මෙලෙස එක් පාර්ශවයකට වාසි සිදුවන ලෙස ව්‍යාජ අනාවැකි ප්‍රකාශ කළේ හුදෙක් මුදලට වහල් වීම නිසාද? නොඑසේ නම් තමන්ගේ නොදන්නාකම නිසාද යන්න ගැටලුවකි. අනාවැකි වැරදිම නිසා තමන්ගේ නමට සිදුවන හානිය ගැන එම ප්‍රකාශකයන් නොදන්නවා නොවේ. තමා ලබන මුදලට වඩා තම කීර්තිනාමය (එවැන්නක් තිබේ නම්) රඳවා තබාගැනීම වැදගත් බව ඔවුන්ට ප්‍රත්‍යක්ෂ නොවීම විශාල අවාසනාවකි. එසේ නොමැතිව සියල්ල සිදුවූවාට පසු නිදහසට කරුණු ඉදිරිපත් කිරීම යථායෝග්‍ය නොවේ. දේශය පුවත්පතට ද මෙලෙස වැරදි මෙන්ම නිවැරදි අනාවැකි ඉදිරිපත් කළ දෛවඥයෝ සිටියහ. දෙපාර්ශවයටම සාධාරණත්වය ඉටුකිරීම හා ස්වාධීනව තොරතුරැ පළකිරීමේ මාධ්‍ය ගුණාංගය සාක්ෂාක් කරමින් අපි ඒ අදහස් එසේම පළකළෙමු.

අද අප සිදුකරන්නේ එම අනාවැකි පිළිබඳ පශ්චාද් සමාලෝචනයක යෙදීමය. අපේ පරමාර්ථය කිසිවකුවත් අසාධාරණයක් කිරීම නොවේ. ව්‍යාජ අනාවැකි පළකරන “ප්‍රවීණ අනාවැකි* කරැවන්ගෙන් පාඨකයා ආරක්ෂා කරගැනීම බව අවධාරණය කරමු. 

I යසවර්ධන රුද්ද්‍රිගූ

‘ගෝඨාභය නියත ජනපති’ අපි කිව්වා. හරි ගියා: පුස්සන්ගේ හඬ යට ගියා

සත්‍ය ජ්‍යොතිෂය යනු පොත්පත්වල පවතින විවිධ යෝග උත්පත්ති ජන්ම පත්‍රවලට අරෝපණය කරමින් තමන් පළඳවාගත් පාට කණ්ණාඩි වලින් බලමින් තමන්ගේ ලාභ ප්‍රයෝජන ගැන සිතමින් විවිධ ප්‍රකාශ නිකුත් කිරීම නොවේ. ජ්‍යොතිෂය බබලවමින් තමාගේ ප්‍රකාශය පළකරන මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයද එලෙසම බබලවමින් පර් යේෂණ ජ්‍යොතිෂ චාරිකාවක යෙදීමට පෙළඹෙන ජ්‍යොතීර්වේදියෙක් වේ නම් ඔහු ඉටු කරන්නේ මහඟු ජාතික වගකීමකි.

2004 වර්ෂයේ සිට මා විසින් සිදුකළ ජ්‍යොතිෂ පර්යේෂණ මාලාවේ “ඉන්දීය භිර්ගු නන්දන නාඩි සිද්ධාන්ත” හරහා සිදුකළ 2019.11.16 පැවති ජනාධිපතිවරණයේදී (නියත ජය ගෝඨාභයට) යන ප්‍රකාශය සමාජගත කළ දේශය පුවත්පතටද සෙසු මාධ්‍යයටද සත්‍ය ජ්‍යොතිෂය ඉස්මතු කිරීමට සිදුකළ මෙහෙය පිළිබඳව ජාතියේ ගෞරවය පුදකළ යුතුය.

2019.11.19 වැනිදා දේශය පුවත්පතේ දහවන පිටුවේ “ගෝඨාභය නියත ලෙසම ජනපති වෙනවා” යන ලිපිය පළ කළෙමි. එම ප්‍රකාශය “ඉන්දීය භිර්ගු නන්දන නාඩි සූත්‍රම්” හරහා පළකිරීම පිණිස 2019.09.20 ඉරිදාද, 2019.10.27 ඉරිදාදා 2019.11.03 ඉරිදාද දේශය පුවත්පතේ පර්යේෂණ ලිපි මාලාවක් පළ කරමින් අවසාන අනාවැකිය ප්‍රකාශ කිරීම සඳහා ශාස්ත්‍රීය උපමාන පර්යේෂණාත්මකව පෙළගස්වා ගත්තා විනා ආවාට ගියාට දේශපාලන පක්ෂවල පාට කණ්ණාඩි මම පළඳවා නොගත්තෙමි.

කෙසේ වෙතත් එම ප්‍රතිචාරය ජ්‍යොතිෂයේ නව පිටුවක් පෙරළීමක් විය හැක. ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපතිවරැන් පත් කිරීම පිළිබඳව පර්  යේෂණ ලිපියක් ශ්‍රී ලංකාවෙන් ලෝකයට දානය කළේ “දේශය” පුවත්පතයි. මෙම පර් යේෂණය ඔබද අත්හදා බැලිය යුතු යැයි මම යෝජනා කරමි.

පරාශර ඍෂි නියාමය, ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය, භාව කේන්ද්‍ර ගණිතය යන කිසිම න්‍යායකින් මට නම් කොතෙක් උත්සාහ කළත් මෙකී අනාවැකිය ප්‍රකාශ කළ නොහැක. සජිත් සහ ගෝඨාභය යන ජනාධිපති අපේක්ෂක දෙපළම වටා ඒකරාශි වූ ජනතා රැල්ල ජ්‍යොතීර්වේදීන් නොමග යවන සුළුය. එකී අභියෝගය ජයගනු ලැබුවේ සරල සිද්ධාන්ත ඔස්සේ 

පර්යේෂණ චාරිකාවක යෙදෙන්නට මාව පෙළඹ වූ “ඉන්දීය භිර්ගු නන්දන නාඩි සූත්‍රම්” සිද්ධාන්තයන්ය. ජ්‍යොතිෂ ලෝලී ඔබත් රැකියා, තනතුරු, දරුලාභ, විවාහ, මැතිවරණ ජය ආදී අනේක විධ අනාවැකි පැවැසීම සඳහා “ඉන්දීය භිර්ගු නන්දන නාඩි සූත්‍රය” අත්හදා බැලීම සමාජයට සේවයක් සැලසීමට ඉදිරිපත් වීමක් විය හැක.

අද සමහර ජ්‍යොතිෂවේදීන් යයි කියාගන්නා උපාධි නාම තම නම අගට එකතු කරගත් පුස්සන් විවිධ ව්‍යාජ අනාවැකි පතුරැවා රට සහ ජනතාව නොමඟ යවන බව පසුගිය සතිවලදී අපට සනාථ විය. එවැනි අය ප්‍රබල ජ්‍යොතිෂ විද්‍යාව තම ආත්මාර්ථකාමී ලාභප්‍රයෝජන සඳහා පාවිච්චි කිරීම පිළිබඳ කනගාටු විය යුතුය.

මෙලෙස ජ්‍යොතිෂ විද්‍යාවෙන් අයුතු ප්‍රයෝජන ගැනීම පිළිබඳ නියම ජ්‍යොතිෂවේදීන් එරෙහිව ප්‍රබල හඬක් මතුකළ යුතු බව මගේ විශ්වාසයයි. එසේ නොවුණහොත් සත්‍ය ජ්‍යොතිෂ විද්‍යාව යටපත් වී අසත්‍යම රජයනු ඇත.
මෙම වසරේ අවුරුදු චාරිත්‍රවල ඇති දෝෂ පිළිබඳ මම මාධ්‍ය හරහා ප්‍රබල හඬක් නැගුවෙමි. එයින් මුළු රටටම සිදුවන විපත ගැන මම පැවසීමි. දැන් ඒ සියල්ල සනාථ වන සිද්ධි සිදුවෙමින් පවතින බවද කිවයුතුය.

විශ්ව කීර්ති ජ්‍යොතිෂ විද්‍යා පණ්ඩිත ශිරෝමණී
සුරා ශ්‍රී ගුණවර්ධන

 

ජ්‍යොතිෂය නිවැරදියි ප්‍රකාශ කරන හැටි වැරදියි

ජ්‍යොතිෂය පරම සත්‍යයයි. එය අමතර ඇසකි. 3 වැනි ඇස ලෙසද හඳුන්වයි. පියවි ඇසට නොපෙනෙන දේ තෙවැනි ඇසට ප්‍රත්‍යක්ෂ ලෙස පෙනෙනවා. එලෙස දකින දෙයින් නිවැරදි දේ ලබාගෙන ජනතාවට විකාශනය කළ යුතුයි. එය තමයි ජ්‍යොතිෂයෙන් වැදගත් වන්නේ. රටට හෝ පුද්ගලයාට විපතක් හෝ සැපතක් සිදුවේවිද යනුවෙන් අනාගතය ගැන ප්‍රකාශ කිරීම ජ්‍යොතිෂයේ කාර්යභාරය වෙනවා. මෙය දියුණුවට වගේම පිරිහීමටද හේතුවෙනවා. එහෙත් මේ වනවිට සිදුවෙමින් පවතින්නේ හානියක්. තවදුරටත් ජ්‍යොතිෂය ඉදිරියට යාමට නම් අද වැටී ඇති අවාසනාවන්ත තත්ත්වයෙන් වැළකී නිවැරදිව සහ අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.

ඇතැම් ජ්‍යොතිෂවේදීන්ට ප්‍රසිද්ධිය තිබුණාට ඔවුන් ජ්‍යොතිෂ විද්‍යාව ප්‍රගුණ කළ අය නොවෙයි. අත්දැකීම්ද අඩුයි. තමා පැවසූ යම් දෙයක් කලාතුරකින් හෝ සනාථ වුවහොත් මහා ජ්‍යොතිෂවේදීන් යයි ප්‍රසිද්ධියක් ලැබීමට පෙළඹෙනවා. එහෙත් හරිගිය එකට වැඩිය වැරදුණු ඒවා වැඩියි. සියල්ලටම මුදල් ප්‍රධාන නමුත් ජ්‍යොතිෂවේදීන් මුදල් මතම යැපිය යුතු නැහැ.

නිවසක් ගොඩනගන නැකතත් දුන්නාට එතැනින් ජ්‍යොතිෂවේදියාගේ කාර්යභාරය නිමවෙන්නේ නැහැ. ඒ ගෙයි වැඩ අතරමග නැවතී තිබෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට අපෙන් නැකත් ලබාගත් තැනැත්තා වෙනත් හේතුවක් නිසා මියයන්න වුවත් පුළුවන්. එය ගෙයි නැකතේ වැරදීමෙන් සිදුවුණා යැයි මිත්‍යා මතයක් ඇතිවෙන්න පුළුවන්. ඔහු ගලවා ගන්නට දෙවියන්ට කන්නලව් කළත්, බෝධි පූජා පැවැත්වුවත්, දෛවඥයා කියූ දේවල් කළත් බැරිවෙන්න පුළුවන්. ජ්‍යොතිෂය කියන්නේ පුළුල් පරාසයක්.

උදාහරණයක් ලෙස පැවසුවොත් වැස්සකට කුඩයක් ඉහළගෙන ගියාට සම්පූර්ණයෙන් නොතෙමී යන්න බැහැ. යම්තම් හෝ තෙමෙන්න පුළුවන්. එවැනි තත්ත්වයක් තමා ජ්‍යොතිෂයටත් ඇතිවී තිබෙන්නේ. සම්පූර්ණයෙන් ඒ මතම විශ්වාසය තබා කටයුතු කිරීම වැරදියි.

සමහර අය තම තමාගේ දැනුම අනුව ඒ අය පෙනෙන හැටියට අනාවැකි කියනවා. ඉතින් ඒ ගැන වරදක් කියන්න බැහැ. ගණිත ක්‍රමය නිවැරදිව යොදාගත යුතු වෙනවා. ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයෙන් සමහරු කේන්ද්‍ර බලලා අනාවැකි කියනවා. එය කුඩා අංශකවලට බෙදාගෙන කරන ශිල්පයක්. භාව කේන්ද්‍රයෙන් බැලිල්ල තමා වඩාත් නිවැරදි. ඒත් අද බොහෝ ජ්‍යොතිෂවේදීන් පුරුදුවෙලා ඉන්නේ දල කේන්ද්‍රයෙන් බැලිල්ලයි. මෙහිදී ග්‍රහයන්ගේ පිහිටීම් කොටුවලට ගෙන පරීක්ෂා කරනවා. එය සියයට සියයක්ම නිවැරදි නැහැ.

උදාහරණයක් පැවසුවොත් නිවෙසක කාමර 5-6ක් තියෙනවා යැයි සිතමු. ළමයින් කිහිප දෙනෙක් එය තුළට දමා දොර වැසූවිට ඒ අය කුමන කාමරවල ඉන්නවද කියලා නිච්චියට කියන්න බැහැ. නිවෙස තුළ ඉන්න බව නම් ඇත්ත. එහෙත් ඉන්න තැන කියන්න අමාරුයි. සියලුදෙනාම එකම කාමරයක ඉන්නත් පුළුවන්. නැතිනම් වෙන වෙනම කාමරවල ඉන්නත් පුළුවන්. කේන්ද්‍ර බැලිල්ලත් එහෙම තමා.

භාව කේන්ද්‍ර බැලිල්ලෙන් ඒ අය ඉන්න තැන හරියටම කියන්න පුළුවන් වෙනවා. දල කේන්ද්‍ර සටහනෙන් කියන්න ගිය විට වැරදෙන්න ඉඩ වැඩියි. මෙවර ජනාධිපතිවරණයේදී වැරදි ලෙස අනාවැකි පැවසූ අය බොහෝවිට දළ කේන්ද්‍රයෙන් බලන්න ඇති. එයයි වැරදීමට හේතුව.

මා කේන්ද්‍ර බලන්නේ භාව කේන්ද්‍රයෙන්. එහෙම බලලා ගෝඨාභය මහතා ජයගන්න බව නිච්චියටම කල් ඇතුව පැවසුවා. මේ විදියට ජ්‍යොතිෂ අනාවැකි වැරදීම මේ විද්‍යාවට අගෞරවයක්. එය වළක්වා ගැනීමට සෑම ජ්‍යොතිෂවේදියෙක්ම සංවිධානය විය යුතුයි. කේන්ද්‍ර බලන විට සුළු මුදලක් දෙන නිසා වැඩිය මහන්සි වෙන්නේ නැතුව දල කේන්ද්‍රයෙන් බලනවා විය හැකිය. කෙසේ වුවද වැඩි මුදලක් අයකර හෝ නිවැරදිව අනාවැකි කිව යුතුයි. එහෙම නැතුව ජ්‍යොතිෂ ශාස්ත්‍රය බාල්දු කරන්න සුදුසු නැහැ.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ඩී.ඩබ්.පී. ලියනගේ

‘ගුරුන්ටත් අකුරු වරදිනවා’-අනාවැකිය වැරදීම ගැන අතිශයින් කනගාටු වෙනවා

මා දේශය පුවත්පතට පසුගිය සතියක “දිනන්නේ සජිත්” යනුවෙන් ලිපියක් පළකරමින් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ජයගන්නා බව පැවසුවා. එම ලිපිය අනුව යෝග පිළිබඳ පමණක් සංසන්දනය කර බැලීම නිසා මගේ ලිපියෙන් එ.ජා.ප. අපේක්ෂකයා දිනන බව සඳහන් කරන්නට යෙදුණි. නමුත් කුමන හෝ හේතුවක් නිසා එය නිවැරදි කිරීමට අවස්ථාව නොලැබුණු බව මේ වනවිට සනාථ වී ඇත. ඒ අනුව බලනවිට මට පසක් වූයේ (ගුරුන්ටත් අකුරු වරදී) යන කියමනය.

නමුත් මෙහිදී පැහැදිලි ලෙස සනාථ වූ කරුණක් නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පෙර වාසනා බලය කේන්ද්‍රය අභිබවමින් සජිත්ට වඩා වැඩිපුර බලපා තිබුණු බවය. එය මට පසක්වීම කුමන හෝ බලවේගයකින් මඟහැරී ගොස් තිබුණි. එයට මගේ අතිශය කනගාටුව ප්‍රකාශ කරන අතර ගෝඨාභය ජනපතිට තිබුණු පෙර පිං බලය අසාමාන්‍ය ලෙස බලපෑම මෙන්ම එයට ආධාරකයක් වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තිබූ අතිශය ඉහළ බලවේගයද මෙවැනි ජයක් ලැබීමට තරම් ඔසවා තැබීමට හේතු වූ බවද කිව යුතුය. ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කේන්ද්‍රවල තිබුණු ශක්තියට වඩා බලපෑමක් කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කේන්ද්‍රයට හා පිං මහිමයට හැකිවූ බව පෙනේ. එම බලය ගෝඨාභය ජනාධිපතිට ආරෝපණය වීම නිසා ඉතාම ඉහළ මට්ටමකින් ජය තහවුරු කර ගැනීමට හේතුවිය.

ඒ අතරම ගෝඨාභය ජනපතිගේ ආත්ම ශක්තිය, නිහතමානීකම, අධ්‍යාත්මික ගුණවගාව මෙන්ම ජනතාව වෙතින් ලැබුණු ආකර්ෂණ ශක්තියද ජයට බලපෑ බව කිව යුතුය. ජනතා හදවත් දිනා ගැනීමට හැකිවීම හා පෙර පිං මහිමය වඩාත් බලසම්පන්න වී ඔහු ජයටැඹ කරා ඔසවා තැබූ බව පෙනෙන්නට තිබේ. එසේම ඔහු ඉදිරිපත් කළ යෝජනා ජනතා සිත්සතන් තුළ කා වැදීම මෙන්ම ජන්ම මහිමය හා බලපාන විට කිව නොහැකි තරම් වාසනා මහිමයක් මතුව තිබුණි.

මොහුගේ ඒ වාසනා ගුණය නිසා ධුර කාලය තුළ කිසිදු කාලයක නොතිබූ බලසම්පන්න, කාර්යශූර, යහපත් වටාපිටාවක් රට තුළ නිර්මාණය කිරීමට සමත්වන බව කිවයුතුව තිබේ. එම යහපත් තත්ත්වය දිගු කලක් රඳවා තබා ගැනීමට හැකියාව ඇති බව සක්සුදක් සේ පැහැදිලිය.

ජ්‍යොතිෂවේදී මහාචාර්ය හේමපාල පතිරණ

ජ්‍යොතිෂ විද්‍යාවට බරපතළ හානියක්

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී අමරසේන වේගිරිය පවසන්නේ මෙලෙස වැරදි අනාවැකි පැවසීමෙන් ජ්‍යොතිෂ ශාස්ත්‍රයට සිදු කරන හානිය විශාල වන අතර ව්‍යාජ අනාවැකි නිසා ඒවා පවසන ජ්‍යොතිෂවේදීන්ගේ කීර්ති නාමයට ද හානිවන බවය.

“ජ්‍යොතිෂ විද්‍යාව කියන්නේ අනාදිමත් කාලයක සිට නොබිඳී නොකැඩී දිගටම ගමන් කරන ශාස්ත්‍රයක්. හරියට ජ්‍යොතිෂය අනුව අනාවැකි කියනවානම් එය කොහොමත් වරදින්නේ නැහැ. දැන් මෙතන වෙලා තියෙන්නේ කොහේ හරි පංතියකට ගිහින් ජ්‍යොතිෂය යන්තම් ඉගෙනගෙන තමන් සකල සම්පූර්ණයි කියලා හිතලා අනාවැකි පැවසීමට යාමයි. ඉතින් වැරදිලා හරි මෙය හරි ගියොත් නම ප්‍රසිද්ධ වෙනවා. එහෙම ලොකු ජ්‍යොතිෂවේදියෙක් වුණාම ඒ අයගේ ආදායම වැඩිවෙන්න පුළුවන්. ඊළඟට සිද්ධ වෙන්නේ තමුන් කරා එන ජනතාව අමාරැවේ වැටිල්ලක්.

මෙවැනි අනාවැකි නිසා ජ්‍යොතිෂ විද්‍යාවේ විශ්වාසනීයත්වයට හානි වෙනවා. නියම ජ්‍යොතිෂවේදීන් දෙසට මහජනයා වපර ඇහෙන් බලන්න පුරුදු වෙනවා. හොරු, බොරුකාරයෝ, වංචාකාරයෝ කියලා අපහාසයට උපහාසයට ලක්වෙනවා. සමහර අය ඒ අදාළ කෙනාගෙන් විශාල වශයෙන් මුදල් අරගෙන ඒ අයට අවශ්‍ය ලෙසට අනාවැකි කියනවා වෙන්න පුළුවන්. එහෙම කිව්වම හරි ගියත් වැරදුණත් කියන අයට සිද්ධ වෙන්නේ වාසියක්. එහෙත් ඒ අය සිතාගන්න ඕනෑ මේ ව්‍යාපාරයට වැඩි ආයුෂක් නැහැ කියලා. කොහොමත් ලෝකේ හොර බොරුවට වැඩි කල් පවතින්න බැහැ.

අපි පාරම්පරික ජ්‍යොතිෂවේදීන්. මම නම් කල් ඇතිව දැනගෙන සිටියා ගෝඨාභය රාජපක්ෂ මහතා විශිෂ්ට ලෙස ජයගන්න බව. මාධ්‍යවේදීන් මගෙන් ඉල්ලා සිටියා ඒ පිළිබඳ ප්‍රකාශයක් කරන හැටියට. එහෙත් මම එය කළේ නැහැ. එවැනි දේ සිදු කිරීම සුදුසු නැහැ කියලා මම තේරැම්ගෙන තිබුණා. මම එහෙම අනාවැකියක් පැවසුවා නම් රටේ ප්‍රසිද්ධ වෙන්න තිබුණා. එහෙත් මට එහෙම දේවල් කියලා අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා ගන්න ඕනකමක් තිබුණේ නැහැ.

මම මේවගේ අනාවැකි කියලා නිකන් සවුත්තු වෙන ජ්‍යොතිෂවේදීන් යැයි කියාගන්නා අයගෙන් ඉල්ලා සිටින්නේ දැන්වත් ජ්‍යොතිෂයේ නාමයෙන් මේ සිදුකරන වින්නැහිය නවත්වන්න කියලා. එහෙම නොකළොත් ඉස්සරහට ජනතාව ජ්‍යොතිෂය පිළිගන්නේ නැතුව යාවි. එයින් ඒ පරම පවිත්‍ර ශාස්ත්‍රයට විශාල අසාධාරණයක් වෙනවා. එය තම තමා ස්වෙච්ඡාවෙන්ම සිතා කළ යුතු දෙයක්. එහෙම නැතුව නීතියෙන් කළහැකි දෙයක් නෙවෙයි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ආචාර්ය

අමරසේන වේගිරිය