දේශපාලනය බොහෝම ගෞරවණීය වගකීම් සගහත රාජකාරියකි. එහෙත් විටෙක එම දේශපාලනයම රස ගුලාවකි. නිමාවූ ජනාධිපතිවරණ සමයේ රසවත් මතක සිහිකරන විට අපට එලෙස හැඟීයයි. එමනිසාම අපට පාඨක ඔබ වෙනුවෙන් පසුගිය සමයේ වූ රසවත් කතාවල වගතුග සිහිකරන්නට සිත්විය. මේවා ඔබට අපට අසන්නට දැනගන්නට ලැබුණු සිදුවීම්ය. මේ කතා රසවත් වීම පිණිස පමණක් බවත් කිසිවෙකුට අපහාස කරනු පිණිස නොවන බවත් පළමුවෙන්ම කියා සිටිමු.
මෙවර ජනාධිපතිවරණය පටන් ගන්න විටම ඇතිව තිබූ අවුල් කිහිපයක් දිහාවට තමයි මුල්ම අවධානය. අලි අපේක්ෂක අවුලක් මුල්කාලයේ වූ බව ඔබට මතක ඇත. මේ සමයේ සජිත් එනවා රැලි පැවැත්වෙමින් තිබිණි. ඒ සමඟම කථානායකවරයාටද ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම වෙනුවෙන් රහස් සාකච්ඡා පැවැත්වෙමින් තිබිණි. මේ අතරේ පාර්ලිමේන්තු දිනයක් උදාවිය. එදා පිරිසක් කල්තියා සැලසුම් කර කථානායකවරයාට සුභපැතූහ. එය එක්තරා හාස්‍ය උපදවන සුළු සිදුවීමක් විය කෙසේ වෙතත් ආරංචි වූ පරිදි කතානායකතුමාගේ හිත මේ සිද්ධිය නිසා නොරොක් විය.
මේ කාලයේම ශ්‍රීලනිප පොහොට්ටු සාකච්ඡා පැවැත්වෙමින් තිබිණි. එම සාකච්ඡා අතරේද රසබර සිදුවීම් කිහිපයක්ම සිදුවිය. සාකච්ඡා සාර්ථක කරගැනීමට ලොකු ලොක්කන් විසල් උත්සාහයක නිරත වූ අතර පොඩ්ඩන් විවිධ ආරවුල්වල පැටලුණි. මෙම කාලයේ ලොකු ක්‍රිකට් සම්බන්ධ ඇමැතිවරයකු සහ ඔට්ටු ක්‍රිකට් මන්ත්‍රීවරයකු අතර වන ආරෝවක් මහපුටුව දක්වා ගියේය. කාටත් රහසේ ලොකු තැන ලවා ලොකු ක්‍රිකට් ඇමැති මට්ටු කරන්න ඇඳි සැලසුම එළියට ආවේය. සාකච්ඡාවලට යන අතරේ මේ සම්බන්ධ හාස්‍යයෙන් පොහොට්ටුවේ අය කතා කළ බව කියැවේ. කෙසේ නමුත් සාකච්ඡාවල සිටි මීට සම්බන්ධ එක් අයෙක් මේ නිසා හොඳටෝම නොරොක් වූ බව අපට මේ සමයේ ආරංචි විය.
මේ අතර කාලයේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට ගෙනා යෝජනාවක් නිසා හිටපු අගමැතිතුමාට කවදාවත් නැති තරම් බැණුම් අහන්නට වූ කතාවද අපූරුය. වැඩේ සිද්ධ වුණේ මෙන්න මෙහෙම. එක දවසක් කැබිනට් ඇමතිවරුන්ව අගමැතිතුමා විසින් හවස දෙකට විතර අරලියගහ මන්දිරයට කැඳවීය. ජනාධිපති ක්‍රමය අහෝසි කරන ඕනෑ කියා එහි අරමුණ පැහැදිලි කිරීමට අගමැතිතුමා කටයුතු කළේය. වෙනදා තිබූ ගෞරවය දෙපිටින් ගියේය. මංගල ඇමැති සහ තවත් පිරිසක් බොහොම සැරට කතා කළහ. එහෙත් අගමැතිතුමා බිරන්තට්ටු වී ගියේ කවදත් හොඳහිතින් සිටි ඇමැතිවරයෙක් අවසානයේ සැරට කියූ කතාවක් නිසාවෙනි. අගමැතිගේ මූණ බලා ඒ ඇමැතිවරයා මෙසේ ඇසීය. අවුරුදු හතරහමාරක් නිදාගෙන ඉඳලා දැන් ඕක කරන්න...? අගමැතිතුමා රතු විය. යෝජනාව හැකිළිණි.
මෙම සිදුවීම ශ්‍රීලනිප පොහොට්ටුව ලකුණු ස්ථීරවීමට ද හේතුවිය. එය තරමක් පැටලිලි සහිත කතාවකි. පෙර සිදුවීමට පසුව පැවති ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ කැබිනට් සාකච්ඡාව එකම ගාලගෝට්ටියක් විය. ජනාධිපතිගෙන් ඇමැතිවරයෙක් මෙහිදී මෙය කැඳවන්නට කීවේ කවුදයි ඇසීය. ජනාධිපති අගමැති බව කී අතර අගමැතිට පෙර එය ජනාධිපති කී බව ඇමැතිට කියා තිබිණි. මේ අස්සේ කැබිනට් එකේ ලොකු තැනක් මේ වෙන්නේ ගෝඨාට සජිත්ට කෙළවෙන වැඩක් කියා රහසේ ගින්නක් අවුළුවාලීය. මේ සියල්ල වනවිට මහින්ද රාජපක්ෂ හිටියේ පොළොන්නරුවේ රැස්වීම්වලය. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ කැබිනට් රැස්වීමේ කතාව මෛත්‍රී ජනපති කුමන්ත්‍රණයක් යැයි හැඟෙන පිරිස කවුරුන් හෝ එය මහින්ද රාජපක්ෂ පක්ෂයේ මන්ත්‍රීවරයෙකි. මේ සිද්ධිය වනවිට පොළොවේ ජනාධිපති මෛත්‍රී පසමිතුරු පොහොට්ටුවේ තරැණ මන්ත්‍රීවරයෙක් මහින්ද අසල විය. “ඕකනෙ මම කීවේ” කියා ඔහු තවත් ගින්න ඇවිලුවේය. අවසානයේ පොළොන්නරුව රැස්වීමේදී මහින්ද මෙසේ කීය. “ගෝඨාභය රාජපක්ෂගේ පක්ෂයේ ලකුණ පොහොට්ටුව විතරයි.”
මෙම කතාවලට අමතර මැතිවරණ සමයේ ඇදගෙන නාගත් කිහිපදෙනෙක් පිළිබඳවද අපි සොයාබැලිය යුතුය. මධුමාධව අරවින්ද මේ අතරින් ප්‍රධානය. දැඩි මුස්ලිම් විරෝධී ප්‍රකාශයක් කිරීම මේ නා ගැනිල්ලට හේතුව විය. මෙහි අංචිය ඇදීමේ මූලිකයා වූයේ ගෝඨාගේ ප්‍රධාන නීතීඥ මොහොමඩ් අලි සබ්‍රිය. ඔහු දැඩි පීඩනයක් එල්ල කළේය. මධූ නිසා ගම්මන්පිලට ලොක්කන්ගෙන් දොස් අසන්නට විණි. අවසානයේ මධුමාධව තනතුරුවලින් ඉවත් කෙරුණි. එය ඉල්ලා අස්වීමක් ලෙස පෙනුණද අභ්‍යන්තර ගින්නක ප්‍රතිඵලයක් විය. කොහොම හැටි වෙතත් ගෝඨාභය රාජපක්ෂද මේ කටයුත්තේදී හිත නොරොක් කරගත් බව අපට අසන්නට ලැබුණි. ගම්මන්පිල දින කිහිපයක් තිස්සේ බලා ඉඳ ගෝඨාභය රාජපක්ෂ සහභාගී වූ කඩවත ජනරැලියේදී තම ගෝලබාලයාගේ අඥාන ක්‍රියාවේ රඟ තේරුම් ගෙන ඇතැයි කියා පෞද්ගලික කතාවක් දැමීමට ගියද ඔහුව ගෝඨාභය ගණනකට ගෙන නැති බව කියැවිණි. එහෙත් පසුව තැවුල් අවුල් විසඳාගෙන ගෝඨාභය ගම්මන්පිල කළණ මිතුරන් වී ඇතැයි කියැවේ.
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගේ සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවන බව එස්.බී. දිසානායක කී කතාවද ජනාධිපතිවරණයේ තවත් නා ගැනීමක් විය. මේ සම්බන්ධයෙන්ද පොහොට්ටුවේ ලොකු ලොක්කෝ හොඳටම කිපුණාහ. ලොක්කෙක් දුරකථනයෙන් ජාතිය ඇමැතීය. මේ සම්බන්ධව වීරවංශ මන්ත්‍රීවරයා ඒ දිනවල සැර කතාවක්ද කීය. එය කොතරම් සැරවීද යත් එස්.බී.ට ගොඩක් රිදුණු බව කියැවිණි.
“එස්.බී. දිසානායක මහත්තයා කියන කතා ගැනනම් කතාකරලා වැඩක් නෑ. එතුමාගේ කතාව හොඳ හින්දානෙ කතාවක් වැරදිලා හිරේ පවා ලැගලා හිටියෙ. ඒ එතුමාගෙ කතාවල තියෙන වටිනාකමේ ප්‍රමාණය...”
ජම්පර් කතාව ද මෙවන්ම නා ගැනීම සම්බන්ධ කතාවකි. එය කීවේ එජාපයේ තරුණ හේෂාය. මතුගම සජිත් එනවා වේදිකාවේදී කී කතාවෙන් සජිත් පමණක් නොව පරිවාරයම කිපුණු හේෂා කන පිරෙන්නට අහගෙන තිබිණි. එහෙත් “නොවැම්බර් 17 ගෝඨාභයට ජම්පරේ අන්දන්න සජිත් ප්‍රේමදාස පිටුපස යන්නේ නෑ කියන කාරණාව මතක් කරන්න ඕනෑ” යන ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නට හේෂා මැලිවිය. කෙසේ වෙතත් හේෂාට පැම්පස් ඇන්දවිය යුතු බව පොහොට්ටුවේ අය කීහ. එජාප පාර්ශ්වයෙන් නා ගැනීමේ කතා සජිත් ප්‍රේමදාස මහතා විසින්ම වැඩි වශයෙන් කියා තිබුණි. රෑට රෑට සතුටුදැයි බලන්නට යන කතාව ඉන් ප්‍රමුඛ වෙයි.
මේ ආදී කතා සරිත්සාගරයක් වූ මෙවර ජනාධිපතිවරණය සැලකීමේදී තවත් රසබර පුවත් බොහෝ අපට හමුවෙයි. ඒ සියල්ල ලියා තැබීම පහසු නැත. කෙසේ වෙතත් දේශපාලනය රසගුලාවකි. එහෙත් එය ලෝකයේ ජීවනාලිය බඳු විෂය ක්ෂේත්‍රයක් බව අප අමතක කළ යුතු නැත.
►චමිඳු නිසල්