
සංස්කෘතිය යනු සරල සමාජ කාරණාවක් නොවේ. මානව සමාජ ක්‍රියාවලියෙහි හැසිරීමේ කාරණා සියල්ල ගොඩනැගෙන්නේ සංස්කෘතික කාරණාව මූලිකව බව පැහැදිලි වේ. සංස්කෘතියෙන් තොර මානව ක්‍රියාවලියක් හෝ සමාජ ක්‍රියාවලියක් දැකගත නොහැකිය. සංස්කෘතිය නිරන්තරයෙන් මානව සමාජ චර්යාව හා සබැඳෙන බව පැහැදිලිය. මිනිසාගෙන් තොරව සංස්කෘතිය යන්න අර්ථවත් නොවේ. සංස්කෘතිය යන සංකල්පය නිරන්තරයෙන් සක්‍රීය ක්‍රියාවලියකි. මෙය මිනිසාගේ නිර්මාණාත්මක බව තුළින් ගොඩනැගෙන්නක් වන නිසා මෙහි ඇත්තේ නිර්මාණශීලී බවකි. සමාජය සහ සංස්කෘතිය යනු එකිනෙකින් වෙන් නොවන ප්‍රබල කාරණා දෙකක් බව පැහැදිලි කරගත යුතුය. අනෙක් අතට සමාජය ඇති ඕනෑම තැනක සංස්කෘතික ක්‍රියාවලියක් පිළිබඳව අපට සාකච්ඡා කළ හැකි බවත් සංස්කෘතිය ඇති සෑම තැනකම සමාජයීය ප්‍රවේශයක් ඇති බවත් පෙනේ. ඒ අනුව මෙය මිනිසාගේ නිර්මාණකරණයක් බව එහි ස්වරෑප පිළිබඳ අවබෝධ කරගන්නා විට දැකිය හැකිය. නිර්මාණකරණයෙහි ප්‍රධාන ප්‍රවේශ තුනක් අපට හඳුනාගත හැකි වේ. එනම්, මිනිසාගේ මානසික නිර්මාණශීලී බව, කායික නිර්මාණශීලී බව හා මිනිසා භෞතිකය පදනම් කරගෙන ගොඩනගන නිර්මාණශීලී බව යනාදී වශයෙනි.
සතුන් තුළ සංස්කෘතික කාරණා ගොඩනැගිය නොහැකි බව අපට පැහැදිලි වේ. වර්තමාන සමාජයෙහි බොහෝ දෙනකු සත්ත්ව සංස්කෘතියක් පිළිබඳව සාකච්ඡා කළත්, එවැනි සංකල්පයක් හෝ චර්යාවක් සතුන් තුළ නිර්මාණය වීමට අදාළ ජීව විද්‍යාත්මක පදනම හෝ මානසික දියුණුව නොමැති බව පැහැදිලිය. මිනිසාට එම ශක්‍යතාව ජීව විද්‍යාත්මක සාධක මගින් ගොඩනංවා තිබේ. එනම් දියුණු මනස, කොඳු නාරටිය කෙළින් තබාගෙන දෙපයින් සිට ගැනීමේ හැකියාව, කතා කිරීමේ ශක්‍යතාව, මහපට ඇඟිල්ලේ ක්‍රියාකාරීත්වය මත සියුම්ව වැඩ කිරීමේ හැකියාව, ඔහුගේ චින්තනය සහ චර්යාව සඳහා සංඥා සහ සංකේත භාවිත කිරීමේ හැකියාව යනාදී වශයෙනි.
මිනිසාගේ සියලුම චර්යා සහ නිර්මාණකරණය සඳහා මෙම ඉහත ජීව විද්‍යාත්මක සාධක ප්‍රබල ලෙස බලපෑම් කරන බව පැහැදිලිය. මිනිසාගේ කොඳු නාරටිය කෙළින් තබාගැනීම හෙවත් සිරස්ව තබාගැනීමේ ශක්‍යතාව පදනම්ව දෑත නිදහස් වෙමින් එය විවිධ ක්‍රියා සඳහා භාවිත කිරීමට හැකි වී තිබේ. සතුන්ගේ කොඳු නාරටිය තිරස්ව තිබෙන බැවින් මෙම වාසිය සතුන්ට නොමැති වීමත් සමඟ නිර්මාණශීලිත්වය බිඳ වැටෙනවා පමණක් නොව, තිරස් කශේරැකාව මගින් ඔවුන්ව තිරශ්චීන යන නමින්ද හැඳින්වීමට හැකියාව ලැබී තිබේ. තිරිසන් සතුන්ට ඉහත පෙන්වා දෙන ලද ජීව විද්‍යාත්මක සාධක අහිමි වීමත් සමඟින් නිර්මාණකරණයට ගමන් කිරීමට නොහැකි වී තිබේ.
එහෙත්, මිනිසාගේ චර්යාව යනු නිර්මාණයකි. ඉතිහාසයේ සිට වර්තමානය දක්වාම මිනිසාගේ හැසිරීම් රටාවන් දෙස අවධානය යොමු කරන විට කිසියම් හෝ සංස්කෘතික ක්‍රියාවලියක් එහි පවතිනවා පමණක් නොව එය අනාගත සමාජයටද දායාද කිරීමට හැකි වී තිබේ. ලෝකය භූගෝලීය වශයෙන් වෙනස් වී තිබෙන අතර එහි විවිධ ප්‍රදේශයන්ට අනුව මිනිසුන්ගේ චර්යාත්මක කාර්යයන් ද වෙනස් වී තිබේ. ඒ අනුව සංස්කෘතිය සඳහා පරිසරාත්මක සාධකයන්ගේ ද බලපෑම ප්‍රබල වන බව දැකිය හැකිය. ලෝකයෙහි මිනිසුන්ගේ සමාජ හා සංස්කෘතික චර්යා සහ ගති ලක්ෂණ පරිසරාත්මක සාධකවලට අනුකූලව වෙනස් වී තිබේ.
සං යනු මනා ලෙස හෝ නිවැරදි ලෙස යනුවෙන් අර්ථ ගැන්වේ. කෘ යනු කිරීම යන්නය. ඒ අනුව සංස්කෘතිය යනු මනා ලෙස හෝ නිවැරදි ලෙස කිරීම යන්නයි. මනා ලෙස හෝ නිවැරදි ලෙස කළ හැකි වන්නේ මිනිසාට පමණි. ඒ අනුව සතුන්ට සංස්කෘතියක් නොමැති බව අවබෝධ කරගත යුතුය. ලෝකයේ විවිධ සංස්කෘති තිබේ. ඉතිහාසයට වඩා වර්තමානයේ සංස්කෘතික රටාවන්හි වෙනස්කම් ද තිබේ.
සංස්කෘතිය මගින් මිනිසාගේ චර්යාව සකස් කරන අතර එමගින් මිනිසකු ඉදිරියේ නිවැරදිව සිටීමට අවශ්‍ය ක්‍රමවේදය සම්පාදනය කර දි තිබේ. සංස්කෘතික කාරණාවෙන් මිනිසාට වෙන් වීමට හැකියාවක් නොමැත. සමාජ සංවර්ධනයේ මූලික සහ ප්‍රබලතම කාරකයක් බවට පත්වන්නේ සංස්කෘතික කාරණාවයි. එය කෙටි කාලීන නොවන අතර දිගු කාලීන මානව සමාජ ක්‍රියාවලීන් හා සබැඳෙන බව පැහැදිලි වේ.
මිනිසාට තවද මිනිසකු ඉදිරියෙහි නිවැරදිව සිටීමට සහ මිනිසා ඉදිරියේ සිටින අනෙකාට ආරක්ෂා වීමට හැකියාවක් ලැබී තිබෙන්නේ ද සංස්කෘතික කාරණාවෙහි තිබෙන දියුණුව සමඟිනි. මිනිසාට ජීව විද්‍යාත්මක අවශ්‍යතා අමු අමුවේ තෘප්තිමත් කර ගැනීමට නොහැකි වන්නේද සංස්කෘතික කාරණාව මූලික වන නිසාය. නිදසුන් ලෙස මිනිසාට ප්‍රබලව දැනෙන ලිංගික අවශ්‍යතා ඒ අයුරින්ම තෘප්තිමත් කර ගැනීමට නොහැකි වන්නේ මෙම සංස්කෘතික කාරණාව ප්‍රබල වීමෙනි. එසේ නොමැති වූවානම් තමා ඉදිරියේ සිටින විරුද්ධ ලිංගිකයාට මෙලෙස නිදහස් ලෙස සිටීමට නොහැකි වනවා පමණක් නොව ඒ මත ගොඩනැගෙන ප්‍රබල ගැටුම් සහ වියවුල් ද දැකිය හැකි වේ. එපමණක් නොව ආහාර ගැනීමේ රටාව ද ගොඩනැගෙන්නේ සංස්කෘතික ක්‍රියාවලියට අනුගතවය. ඕනෑම සමාජයක් තුළ ආහාර ගැනීමේ චර්යාත්මක ක්‍රමවේද විවිධ වනු දැකිය හැකිය. ඒ අනුව බටහිර සමාජයෙහි එක් ක්‍රමයකටත් අප වැනි සමාජයන්හි තවත් ක්‍රමයකටත්, එමෙන්ම ආගමික කාරණාවන් මත වෙනස් ලෙස ආහාර ගැනීමේ රටාවන් ද ගොඩනැගී ඇති ආකාරයත් පැහැදිලිය. නිදසුන් ලෙස ශ්‍රී ලංකාවේ මුස්ලිම් සමාජය සහ සිංහල සමාජය පිළිබඳ අවධානය යොමු කළ හැකිය. මේ අනුව ආහාර ගැනීමේ චර්යාත්මක කාරණා පමණක් නොව ඒ මත ගොඩනැගෙන හුරුපුරුදු දිගු කාලීන වේ.
ඇඳුම් ඇඳීම ද වර්තමානයෙහි ජනප්‍රිය සංස්කෘතික කාරණාවක් බවට පරිවර්තනය වේ. විලාසිතාව යනු ජනප්‍රිය සංස්කෘතික කාරණාවකි. එහෙත් ඇඳුම් ඇඳීමේ කාරණාව බිහි වූ ඉතිහාසය දෙසට ගමන් කරන විට එහි තිබුණේ විලාසිතාවක් නොව ශරීරය ආවරණය කිරීමය. ඒ අනුව ඇඳුම් ඇඳීමෙහි මූලිකතම කාරණා බවට ඉතිහාසයෙහි ශරීරයේ ආරක්ෂාව සැළකුවත් වර්තමානය වන විට ඒ ආරක්ෂාවේ සිට විලාසිතාව දක්වා මාරැ වී ඇති ආකාරය පැහැදිලි වේ. මෙම නිදසුන තුළ පැහැදිලි වන ප්‍රබල කරැණක් වන්නේ සංස්කෘතිය යන්න කාලීනව පමණක් නොව ජන සංඛ්‍යාවෙහි වර්ධනය, අවශ්‍යතාව, තරගය සහ අනෙකා ඉදිරියේ කැපී පෙනීමේ අවශ්‍යතාව පදනම්ව වෙනස්කම් සිදුවන බවයි. ඒ අනුව වර්තමාන සංස්කෘතියෙහි ජනප්‍රිය කාරණා ප්‍රබල ලෙස වර්ධනය වෙමින් පවතින අතර එහි දැකිය හැක්කේ බුද්ධිමය දියුණුවෙහි කාරණාවකට වඩා මිනිසා ඉදිරියෙහි කැපී පෙනීමේ කාරණාව සඳහා ප්‍රබල ඉඩක් ලබා දී ඇති බවයි.
ජනප්‍රිය සංස්කෘතික කාරණාව ලෝකයෙහි ඕනෑම සමාජයකට පොදු වුවත් වර්තමාන අප වැනි රටවල ජනප්‍රිය සංස්කෘතික කාරණාව සඳහා ප්‍රබල ලෙස බටහිර ජනප්‍රිය සංස්කෘතික කරැණු බලපෑමේ ප්‍රබල වීමත් සමඟ අප සංස්කෘතීන්හි වෙනස්කම් වේගයෙන් සිදුවෙමින් පවතින බව පෙනේ. ඒ අනුව ශ්‍රී ලාංකික ඉතිහාසයේ පැවති සංස්කෘතික කරුණු, චින්තනමය කරුණු ඒ අයුරින්ම වර්තමානයෙහිත් දැකිය හැකි නොවේ. වර්තමානයෙහි සංස්කෘතික කාරණා යනු සරල ක්‍රම මත ගොඩනැගෙන ක්‍රියාවලීන් බවට පරිවර්තනය වී තිබේ. එහෙත්, ඉතිහාසයට වඩා වර්තමාන සමාජය තුළ ගොඩනැගෙන සම්බන්ධතා සහ චින්තනමය කාරණා සරල වුවත් ජනප්‍රිය සංස්කෘතික කාරණාව සරල නොවේ. එහි ඇත්තේ ඉතිහාසයටත් වඩා සංකීර්ණ බවකි.
වර්තමාන ලෝකය පිළිබඳව පරික්ෂා කරනවිට අපට ජනප්‍රිය සංස්කෘතික කාරණා පමණක් නොව බහු සංස්කෘතික කාරණා පිළිබඳව ද අවධානය යොමු කිරීමට සිදු වේ. බහු සංස්කෘතික බව බොහෝ රටවල දැකිය හැකි ප්‍රබල සමාජ කාරණාවක් බවට පරිවර්තනය වුවත්, එය ඉතිහාසයේ ස්වරෑපයට වඩා වර්තමානයෙහි වෙනස් වී තිබේ. ඉතිහාසයෙහි සංස්කෘතිය සහ සංස්කෘතීන් අතර අවශ්‍යතා ඉෂ්ඨ කරගැනීම් දැකිය හැකි විය. වර්තමාන බහු සංස්කෘතික ප්‍රවේශය තුළ එම මිශ්‍ර කරගැනීම දැකිය හැකි වුවත් එය වේගයෙන් අනෙකාගේ සංස්කෘතිය ආක්‍රමණය කරනු දක්නට ලැබේ. ඉතිහාසයෙහි ආක්‍රමණශීලී ස්වරෑපයකටත් වඩා එක් සංස්කෘතියක කරැණු තවත් සංස්කෘතියක ජීවත් වීමට පමණක් නොව එහි පැවැත්මට ද හේතු කරගත්තත් වර්තමානයෙහි ඒ ආකෘතියට වඩා ගොඩනැගෙන්නේ ආක්‍රමණශීලී ස්වරෑපය නිසා එක් සංස්කෘතියක් තවත් සංස්කෘතියකට යට වෙන ස්වරෑපය පමණක් නොව ඒ තුළ බහු සංස්කෘතික කාරණා විහිදී යන ආකාරයත් දැකිය හැකිය. මෙම බහු සංස්කෘතික කාරණාව වර්තමානයෙහි තම සමාජය දක්වා ගමන් කරන්නේ අමෙරිකානු මොඩලයක් මූලිකව බව පැහැදිලිය.
මේ පිළිබඳ විචාර බොහෝ දුරට අප අධ්‍යන ක්‍රමවලට වඩා විෂය වී ඇත්තේ බටහිර අධ්‍යන ක්‍රමවේදවලට බව පැහැදිලි වේ. මේ පිළිබඳ විචාර බොහෝ දුරට ගොඩනැගෙන්නේ අප සමාජ ක්‍රමවේදය හෝ ආසියානු ක්‍රමවේදය තුළ නොවේ. මෙය බොහෝ දුරට බටහිර සමාජ විචාරයන් තුළ ගොඩනැගෙන ආකාර දක්නට ලැබේ. අමෙරිකානු හෙවත් බටහිර බහු සංස්කෘතික කාරණාවට බොහෝදුරට පැවැත්මට හැකි වී තිබෙන්නේ එහි ජනප්‍රිය සංස්කෘතික කාරණා මූලික කරගන්නා බැවිනි. වර්තමාන ලෝකය පමණක් නොව අතීත සමාජ ක්‍රමවේදයද බොහෝ දුරට ආක්‍රමණය කර ඇත්තේ ජනප්‍රිය සංස්කෘතික කාරණා මූලිකව බැව් පැහැදිලි වේ. නිදසුන් ලෙස ආගමික කාරණවෙහි හරය සමාජය ආක්‍රමණය කිරීම සිදු නොකළත් එහි ජනප්‍රිය සංස්කෘතික කාරණාවට සමාජය ආක්‍රමණය කිරීමට හැකියාව තිබේ. නිදසුන් ලෙස මෑතකාලීනව ශ්‍රි ලාංකික සමාජය තුළ සිදු වුණු බෝම්බ පිපිරැම සැළකිය හැකිය. එහි වාර්ගික සංකල්පයත්, ආගමික අන්තවාදයත්, අමෙරිකානු ව්‍යාප්තවාදයත් දැකිය හැකි වේ. ශ්‍රී ලංකාවෙහි සම්ප්‍රදායික සමාජ සංස්කෘතික කාරණා මෙම බටහිර ක්‍රමවේදයන්ට යටත් වන්නේ හෙවත් ආක්‍රමණය කිරීමට හැකි වී තිබෙන්නේ එහි පවතින ජනප්‍රිය සංස්කෘතික කාරණා නිසා පමණක් නොව මතුපිටින් නිර්මාණය වූ මානව හිතවාදී කාරණා එහි ඇති බැවිනි. ශ්‍රී ලාංකික සමාජය දෙස අවධානය යොමු කරන විට මිනිසාගේ චර්යාත්මක ක්‍රමවේද පමණක් නොව සමස්ත චින්තනය ද දේශපාලනීකරණය වී ඇති නිසා එහි ව්‍යාප්තිය සඳහා දේශපාලනඥයාගේ සහ ඔහුගේ ක්‍රියාවලියේ ප්‍රබල දායකත්වයක් දැකිය හැකි බව පැහැදිලි වේ. මෙම බලපෑම් සරල නොවන්නේ දේශපාලනඥයාට මේ පිළිබඳව ප්‍රබල විඥානයක් සහ අප සමාජ සංස්කෘතික කරුණු පිළිබඳ ගැඹුරැ අවබෝධයක් සහ ශ්‍රී ලාංකික සමාජ සංවර්ධන දිශානතිය පිළිබඳ නිවැරදිව අවබෝධ කරගැනීමට හැකියාවක් ඔවුන්ට නොමැති බැවිනි. එය වර්තමාන ශ්‍රී ලාංකික දේශපාලනඥයන්ට මේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් නොමැති වුවත් අභිනවයෙන් පත්වූ දේශපාලන නායකත්වයට එය තේරැම් ගැනීමට සහ සමාජ සංවර්ධන දිශානතියකට අනුගත කිරීමට අදාළ ශක්තීන් පමණක් නොව ඔහුට නිවැරදි සමාජ සහ ජීවිත පසුබිමක් ද ගොඩනැගී ඇති නිසා නිවැරදි සංස්කෘතික කළමනාකරණයක් ද ගොඩනගා ගැනීමේ ශක්‍යතාවය ඇති බව අපට පැහැදිලිය.