අනාගතය උපන් දවස අද යැයි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක කීය.
රට සහලින් ස්වයංපෝෂිත කරමි යැයි ඩඩ්ලි සේනානායක කීය.
යටත් විජිත වහල් බැමි බිඳින බව සිරිමාවෝ බණ්ඩාරනායක කීය.
නිවහල් ධර්මිෂ්ඨ සමාජයක් හදන්නෙමි යැයි ජේ.ආර්. ජයවර්ධන කීය.
නැති බැරි අය ඇති හැකි කරන්නෙමි යැයි රණසිංහ ප්‍රේමදාස කීය.
ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දෙන වග චන්ද්‍රිකා බණ්ඩාරනායක කීය.
රට ත්‍රස්ත උවදුරෙන් මුදාගන්නා බව මහින්ද රාජපක්ෂ කීය.
මෙරටට යහපාලනය උදා කරන බව මෛත්‍රීපාල සිරිසේන කීය.
ජාතික ආරක්ෂාව තහවුරු කර සුරක්ෂිත දේශයක් සෞභාග්‍යමත් සමාජයක් බිහි කරන වග ගෝඨාභය රාජපක්ෂ කීය.
එදා මෙදාතුර දේශපාලන වේදිකාවේ දේශපාලන නායකයන් විසින් ප්‍රකාශ කළ ප්‍රතිඥා සහ උදාන වාක්‍ය කිහිපයකි ඒ. ඡන්ද කාලයේ එළිදකින මෙම උදාන වාක්‍ය ස්වරූපයේ ප්‍රතිඥාවන් යථාර්ථයක් වන්නේ ස්වල්ප වශයෙන් බව බහුතර ජනතාව අත්දැකීමෙන් දනිති. මෙවර ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ ප්‍රතිඥාවන් විෂයෙහි ද ජනතාව කල්පනා කරනු ඇත්තේ එලෙසමය. එහෙත් බලයට පත්ව ගතවූ පළමු සතියේ ක්‍රියාකාරකම් විසින් ගෝඨාභය වෙනස් දේශපාලන ප්‍රවේශයක තහවුරු වන්නට තැත් කරන බව පසක් කළේය.
සැබැවින්ම ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වෙනස් නායකයෙකි. සරල සැහැල්ලු බව, විනය හා ශික්ෂණය විසින් ඔහු ඉදිරියට තල්ලු කරනු ලබයි. අපේ දේශපාලන ගොහොරුව ගඳ ගස්වන කුණු කන්දල් ප්‍රතිචක්‍රීකරණයට ගෝඨාභය දරන උත්සාහය පැසසුම් කටයුතුය. එහෙත් ඔහු දේශපාලනයට ආධුනිකයකු ලෙස සටන් කළ යුත්තේ එදිරිවාදී යෝධයන් සමඟය. දේශපාලනය ජනතාවගේ වියදමින් තමන්ගේ වුවමනාවන් පිරිමසා ගන්නා රස්සාවක් බවට පත්ව ඇති යුගයක උඩුගං බලා පිහිනන්නට තැන් කරන ඔහුගේ ව්‍යායාමය සොඳුරු වෙහෙසක් වග අපි දනිමු.
කිසිවකු හමුවේ අයුක්තියට නොනැමෙන ගෝඨාභය රාජපක්ෂට පොහොසත් දේශපාලන උරුමයක් හිමිය. 1930 දශකයේ ඩී.එම්. රාජපක්ෂගේ සිට අද දක්වාම අසූ වසරකට වැඩි කාලයක් රාජපක්ෂලා දේශපාලනය කරති. එකම පවුලෙන් රාජ්‍ය නායකයන් දෙදෙනකු බිහිකළ මෙරට විරල ගණයේ පවුල් ගොන්නට ගෝඨාභය ද ඇතුළත්ය. කලින් මෙම වාර්තාවට හිමිකම් කීවේ සේනානායක පවුල සහ බණ්ඩාරනායක පවුල පමණි.
මෝරන තල මල සේම සාර සුබාවට රන්වන් පැහැයෙන් අස්වැද්දුණු කුඹුරු යායෙන්, අහස සිඹින ඉමකට දල්ල ඉහළ නැගුණු මහා වනස්පතියන්ගෙන් සැදුම්ලත් තුරු ගහණයෙන් යුත් ඈත ගිරුවාපත්තුවේ ගමේ ගෙදර, ගැමි සුවඳ, ගැමි සුවය හැම අස පැතිරුණු බිමක ජිවිතයේ අ යන්න ආ යන්න කියවූ ගෝඨාභයගේ ආධ්‍යාත්මය සුපෝෂණය වූයේ සොබාදහම ඇසුරින්ම ජීවිත සත්තාවන් භුක්ති විඳින නිර්මල පසුබිමකය.
හද්දා පිටිසර ගිරුවාපත්තුවේ ඉපිද ලඳු දෙනි කැලෑ බිම්වල ඇවිද ගිය ඔහු මෙරට ප්‍රධානම බෞද්ධ විද්‍යා පීඨයක් වන ආනන්ද මහා විද්‍යාලයේ නිමැවුමකි. ආනන්ද නම ප්‍රභාමත් කොට එම විදුහලෙන් බිහිවූ ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස වාර්තා පොතට එක්වූයේ ගෝඨාභය රාජපක්ෂය.
ගෝඨාභයගේ සොහොයුරා වූ මහින්ද රාජපක්ෂ, තිස් වසරක් පුරා දෙරණ මළගමක් කළ වියරු ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයේ ම්ලේච්ඡ මුදුන් මුල් ලක් පොළොවෙන් උදුරා උගුල්ලා දමන්නට තරම් නිර්භීත වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ළමා වියෙහිදී පවුලේ හැමටම වඩා දඟකාරයෙකි. පවුලේ දෙවැනි පියකු මෙන් කටයුතු කළ චමල් රාජපක්ෂ මහින්දගේ දඟකාරකම් ගැන වරෙක මා ඔහු සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ මෙවැන්නකි.
මහින්ද මල්ලි මොකක්හරි දඟ වැඩක් කරලා දඬුවමක් දෙන්න යද්දි එයා කරන්නේ දුවන එක. කෝටුවක් අරන් තාත්තා පිටුපස්සේ එළවද්දී එයා දුවලා දුවලා ගිහින් කජු ගහකට නැගගන්නවා.
ළමා වියේ ඒ විසේකාරකම් තාරුණ්‍යයත් සමඟ ජවසම්පන්න නිර්භීතකම් බවට පරිවර්තනය විය. මහින්ද රාජපක්ෂගේ දේශපාලන ගමන පුරාම දකුණේ ලෙය තුළ කැටි වූ ඒ නිර්භයබව, උත්තුංග මනුස්සකම් මෙන්ම නොනැමෙන කශේරුකාවේ බලසම්පන්නකම් ද උදෙසා ලබාදිය හැකි නිදසුන් අපමණය. මානුෂීය මෙහෙවරේ අවසන් අදියරේදී ප්‍රභාකරන් නිරුපද්‍රිතව රැකගනු වස් ලෝක බලවතුන් යුද්ධය වහා නතර කරන්න යැයි ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වූ මහින්දට නියෝග කරද්දී ඒ නියෝග පය පෑගෙන දුහුවිල්ලක් තරමටවත් මායිම් නොකළ මහින්ද රාජපක්ෂ ඍජුවම ප්‍රකාශ කළේ මේ මගේ මාතෘ භූමිය.. මගේ මාතෘ භූමියේ යහපත වෙනුවෙන් මම ගන්න කිසිම තීරණයකට අතපොවන්න මම කිසිම බලවතකුට ඉඩක් දෙන්නෙ නැහැ.. යන්නය.
රාජ්‍ය නිලධාරියකු මිස දේශපාලනඥයකු ලෙස අත්දැකීම් නැති ගෝඨාභය රාජපක්ෂගේ අභිනව දේශපාලන සම්ප්‍රාප්තිය තුළ දැවැන්ත සෙවණැල්ලක් සේ ළඟ හිඳින්නේ දකුණු ලකින් බිහිවූ ඒ ජවසම්පන්න හිටපු රාජ්‍ය නායකයාය.
ඩී.ඒ. රාජපක්ෂ සමකාලීනයන්ගේ මතක සටහන් කෘතියේ එක් පිටුවක් මෙලෙස සටහන් තබයි. ඒ සටහන තබා ඇත්තේ ඩී.ඒ. රාජපක්ෂයන්ගේ ලේකම්වරයා වූ පියසේන උබේසිංහය. මැතිවරණ ප්‍රචාරක රැස්වීම් ගැන එතුමා උනන්දු වූයේ නැත. ගම් මට්ටමෙන් කණ්ඩායම් සෑදී ඡන්දදායකයෝ මැදමුලනට පැමිණියහ. අති විශාල පිරිස් පැමිණියහ. රාජපක්ෂ මැතිනිය ඔවුන්ට සංග්‍රහ කළාය. හාල් ගෝනි ගණන් තම්බා බත් කන්නට දුන්නාය. ඇතැම් දිනෙක රැයක තැම්බූ බත් අවසන් වෙයි.
එතුමියට ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාත් මාත් සිහිවෙයි. හට්ටියේ දංකුඩ සූරා පිඟන් දෙකකට බෙදයි. එකක් මට. එකක් රාජපක්ෂ මැතිතුමාට.
ඒ පිඟන් දෙක ඇතුළු කාමරයක වසා තබයි. ඒ රැයේ එතුමියට ද දංකුඩ බත්ය. එබඳු අවස්ථා උදා වූයේ ඉඳහිටය. ඒ බලාපොරොත්තු නොවූ පරිදි අති විශාල පිරිසක් කෑමට ආ දවස්වලය. බොහෝ දිනවල සාලයේ මැද මේසය මත කුරහන් පිට්ටු, මී කිරි, කිතුල් පැණි, කිරි හොදි, මාළු, එළවළු පිරී තිබුණි.
එවන් උරැමයකින් පොහොනි වූ මනසින් යුතුව ගිරුවායෙන් අගනුවර ගෙන්දගම් පොළොවට සේන්දු වූ මහින්දලා ගෝඨාභයලා තමන්ගේ දේශපාලන නවාතැන වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහෘදයෝ වී සිටියහ. සිය පියාගේ ඇවෑමෙන් මහින්ද දේශපාලනය තෝරාගනිද්දී ගෝඨාභය තෝරාගත්තේ හමුදා සේවයයි. ඔහු කවදත් නිර්භීත වූවා සේම රට දැය සමය ගැන ධීර වීර හැඟීම් ඇතිව සිටි යෞවනයකු ලෙස තමන්ට පැවරුණු ආරක්ෂක මෙහෙවර හඹා යමින් සිටියේය.
එදා මෙදාතුර ලාංකික ජනාධිපතිවරුන්ගේ ඉතිහාසයේ ත්‍රස්තවාදයට එරෙහිව ඍජුව විරු සටනට ජීවය දුන්, ආරක්ෂක ලේකම්වරයකු වශයෙන් යුද්ධයේ අක් මුල් සිඳ බිඳ දමන්නට ජීවිත පරිත්‍යාගයෙන් කැපවූ හමුදා නිලධාරියකු ජනාධිපතිවරයකු ලෙස ජනවරම ලබාගත් ප්‍රථම අවස්ථාව මෙයයි. ප්‍රථම උපාධිය කල්කටා විශ්ව විද්‍යාලයෙන් සම්පූර්ණ කර 1992 වසරේදී තොරතුරු තාක්ෂණය පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් ලද ගෝඨාභය රණ වික්‍රම සහ රණ සූර යන පදක්කම් හමුදා ජීවිතය තුළ පැළඳි විරුවෙකි.
ඊළාම් යුද්ධය 1 සහ 2 ක්‍රියාන්විතවලදී යුද බිමේ සිටි ගෝඨාභය රාජපක්ෂ 2005 වර්ෂයේ සිට නන්දිකඩාල් කළපුවේදී වියරු වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ අවසානය සටහන් වන මොහොත දක්වාම ආරක්ෂක ලේකම්වරයා ලෙස සේනාධිනායක මහින්ද රාජපක්ෂටත් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක ඇතුළු සේනාංකාධිපතිවරුන්ටත්, සටන් බිමට බට හැම සොල්දාදුවකුටත් අනුපමේය ශක්තියක් වෙමින් කළ මෙහෙවර වදන් වියමනකට ලඝු කරන්නට සැබැවින්ම අසීරුය.
නිසි කළමනාකාරීත්වය, පිළිවෙල සහ සැලසුම්සහගත බව ගෝඨාභය චරිතයේ සුවිශේෂී ලක්ෂණය. ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධ නඩුවේදී චෝදනාවට ලක් වූ ගෝඨාභය සමඟ සම්මුඛ සාකච්ඡාවක් සඳහා මම වරක් මිරිහානේ පිහිටි ඔහුගේ නිවෙසට ගිය අවස්ථාවේ ඔහු ඇවන්ගාඩ් සම්බන්ධ සියලුම ලිපි ලේඛන ඇතුළත් ෆයිල් එකක් සාකච්ඡාව ඇරඹීමට පෙර අතට ගත්තේය. ඇවන්ගාඩ් ඇරඹීමට අදාළ පළමු නිල ලිපියේ සිටි ඊට අදාළ සියලුම ලේඛන පිළිවෙලට එහි අමුණා තිබුණි. ඒ පිළිවෙල සෑම කාර්යයකදීම ඔහුට අනන්‍ය ගුණයකි.
ගෝඨාභය කෙතරම් වේගවත් සහ පිරිමැසුම්දායක ක්‍රමවේද උපයෝගී කරගෙන අතිවිශිෂ්ට පරිපාලන නිලධාරියකු ලෙස පණ පෙවූ භූමිකාව උදෙසා මහින්ද යුගයේ දී ඇතිකළ කොළඹ සංවර්ධනය කදිම නිදර්ශනයකි. මඩ වගුරක්ව තිබූ බිම් යායක් දියත උද්‍යානය බවට පරිවර්තනය කර ඒ තුළ තම ජනතාවගේ ගත සිත නිවන විවේකී උද්‍යානයක් නිර්මාණය කරන්නටත් ඒ තුළින් සැලකිය යුතු පිරිසකට ව්‍යාපාර අවස්ථාව විවර කර දෙන්නටත් ඔහුට හැකි විය. කොළඹ 7 ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් ව්‍යාපෘතිය තුළින් ඔහු නවමු සංචාරක අත්දැකීමක් සඳහා නවමු දොරටුවක් විවර කළේය. කොළඹ කුණු ප්‍රශ්නයට ස්ථිරසාර සහ විද්‍යාත්මක විසඳුමක් දෙන්නට කදිම සැලසුමක් එතෙක් මෙතෙක් ඉදිරිපත් කළ එකම රාජ්‍ය නිලධාරියා ඔහුය. සංවර්ධනය දුර ඇති සිහිනයක් නොව නෙත් මානයේ යථාවක් බවට පත්කර ගත හැකි සැබෑවක් බවට ගෝඨාභය සංනිදර්ශන සැපයුවේ ඉතාමත් කෙටි කලක් තුළ අගනුවර කේන්ද්‍ර කරගෙන සිදුකළ විධිමත් සංවර්ධනය ඔස්සේය.
තවද ගෝඨාභය නවමු දේශපාලන නවමු ජනපතිවරණ සංස්කෘතියක නිර්මාපකයාය. තම ප්‍රතිවාදියා විවේචනය නොකළ, ප්‍රතිවාදියාට දොස් පරොස් එල්ල කරන්නට දේශපාලන වේදිකාව තුරුම්පුවක් කර නොගත් එකම විධායක ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභයයි. ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනවරම් අපේක්ෂිතව දේශපාලන සටන් බිමට සම්ප්‍රාප්ත වූ ගෝඨාභය එහි තවත් එක් සටන්කාමියකු නොවූ මහත්මා දේශපාලනයක පූර්වාදර්ශ චරිතයක් බවට පත් වූයේය. ජනාධිපතිවරණය දක්වා රැස්වීම් 151 ක් ඇමතූ ගෝඨාභය ඒ එක රැස්වීමකදීවත් තම ප්‍රතිවාදියා විවේචනය නොකළේය. තම ප්‍රතිවාදියාගෙන් තමාට නොයෙක් ගල් මුල් විසිවෙද්දී තම නිර්දෝෂීභාවය ජනතාවට කියන්නට නොගිය ගෝඨාභය කළ එකම කර්තව්‍ය වූයේ යහපාලනය තුළ මහ බැංකු කොල්ලය ඇතුළු දූෂණ ක්‍රියාදාමයන් තුළ අගාධයකට වැටුණු තම මාතෘ භූමිය යළි ගොඩනගන්නට අවැසි තම සැලසුම් හා ප්‍රතිපත්ති ජනතාව හමුවේ අවධාරණය කිරීම පමණි. පතාක කටවුට්, බැනර්, පෝස්ටර් ගෝඨාභය එකහෙළා ප්‍රතික්ෂේප කළේය. එහෙත් නිර්භය ජාතිහිතෛෂී ළය ලෙය විනිවිද ඔහු කියවූ ශ්‍රී ලාංකික ජනතාව බහුතරයක් ගෝඨාභයගේ හදගැස්ම හඳුනා ගත්හ. ඒ හදගැස්ම හා සහෘද වූහ. මම පැරදුණත් මම මගේ මව්බිම පාවාදෙන්නෙ නැහැ. දෙකඩ කරන්න දෙන්නේ නැහැ යැයි ස්ථිර ප්‍රතිපත්තියක නිමග්නව දෙමළ දේශපාලනඥයන්ගේ සම්මුතීන් හා විසම්මුතික වෙමින් බහුතර සිංහල බෞද්ධ ජන පදනම කෙරෙහි හුදු විශ්වාසය තැබූ ගෝඨාභය බහුතර සිංහල බෞද්ධ ජන පදනමකින් පමණක් ජනාධිපති ජනවරම ලද හැකි බවට මැනවින් පසක් කළේය. එහෙත් ජාතිය අමතා මම මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන්ගේ ජනාධිපතිවරයා යැයි නිහතමානී අභිමානයකින් ප්‍රකාශ කරමින් රටේම අනාගතය තමන් සම සිතින් බාරගත් බවට සාක්ෂි දුන්නේය.
මහින්ද රාජපක්ෂ යුගයේ දී රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව දුන් සහතිකය ඉරා දැමූ යහපාලන ආණ්ඩුව රටේ ජාතික ආරක්ෂාව අර්බුදයක් කරා තල්ලු කර දැම්මේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බාරගැනීමට සිදු වූයේ එලෙස ආරක්ෂාව අතින් ද ආර්ථික අතින් ද වියවුලට පත් දේශයකි. එහෙත් ජාතිය අමතා කළ ප්‍රථම ආමන්ත්‍රණයේදී ජනාධිපතිවරයා දැඩි ලෙස අවධාරණය කරමින් කියා සිටියේ ජයග්‍රහණය කළ නොහැකි අභියෝගයක් මෙදියත නොමැති බවය. එම ප්‍රකාශය යථාවක් බවට පරිවර්තනය කිරීමේ වගකීම ගෝඨාභය රාජපක්ෂගේ දෙවුර මත පමණක් පටවා මඟහැරීම යුක්ති යුක්ත නොවන බව මේ රටේ පුරවැසියන් ලෙස ඔබ මැනවින් තේරුම්ගත යුතුය. ඡන්දය භාවිත කළ 84%ක් වූ ජනගහණයෙන් 69,24,255කගේ ඡන්දය ගෝඨාභය රාජපක්ෂ වෙත ලැබුණේ ඔහු පෙරටුව මේ රටේ සෑම පුරවැසියකුම එකම අභිලාෂයක් එකම ගමනක් යා යුතු වගට වන පණිවිඩය ද සමඟය. ජනතාව වෙනුවෙන් යැයි කියමින් රුපියල් දාහක් වියදම් කළත් රුපියල් කෝටියක් වියදම් කළ සෙයින් පාරම්බාන, ප්‍රසිද්ධිය ඉල්ලන ඇතැම් දේශපාලකයන්ගේ පිම්බීමේ රුදාවට නව ජනපතිවරයා පැමිණි විගසම දුන් පිළිතුර අගනේය. රාජ්‍ය ආයතනවල රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කිරීම, මාර්ගවල ජනාධිපතිවරයාගේ හෝ දේශපාලනඥයාගේ රුව ප්‍රදර්ශනය නොකිරීම, ජනපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂාව සඳහා භාවිත කළ රථ වාහන හා ආරක්ෂකයන් දැඩි ලෙස සීමා කිරීම, ජනාධිපති කාර්ය මණ්ඩලය සංඛ්‍යාත්මකව අඩු කිරීම මෙන්ම ගෝඨාභය ජනපති ලෙස දිවුරුම් දෙන දා මට අශ්ව පෙළපාලි එපා කියමින් අනවශ්‍ය සංදර්ශනවලින් වැළකීම ආදී සුපසන් ආදර්ශ පූර්ව ක්‍රියා තුළින් තමා කවුදැයි ගෝඨාභය නොකියා කියා හමාරය. එමෙන්ම තම කැබිනට්ටුවට අගමැති මහින්ද සහ චමල් රාජපක්ෂ පමණක් ඇතුළත් කර ගැනීමට ගත් තීරණය තුළින් ඔහු රාජ්‍ය පාලකයකු ලෙස ආදර්ශයක් දී තිබේ.
පාලකයා රළු විය යුතු තැන රළු විය යුතුය. මෘදු විය යුතු තැන මෘදු විය යුතුය. ඍජු විය යුතු තැන ඍජු විය යුතුය. දෙවියන් වෙසින් පෙනී සිටිය යුතු තැන දෙවියන් වෙසින් ද, මිනිසකු වෙසින් පෙනී සිටිය යුතු තැන මිනිසකු වෙසින් ද පෙනී සිටිය යුතුය. අප හඳුනන ගෝඨාභය රාජපක්ෂ, අප කියවූ ගෝඨාභය රාජපක්ෂ එවැන්නෙකි.
ඔහු ශ්‍රී ලංකා ද්වීපයට අනභිභවනීය මෙහෙවරක් ඉටුකළ යුගයේ මිනිසෙකි. බෙහෙවින් සැලසුම් සහගත ක්‍රම සම්පාදනය කෙරේ ගෝඨාභය තුළ ඇත්තේ අනවරත හැකියාවකි. ඔහු ළඟ ව්‍යාජ ආටෝප සාටෝප වාග්ආඩම්බර නැත. කිවයුත්ත ඍජුව කියන රට වෙනුවෙන් කළ යුත්ත අනලස්ව ඉටු කරන හෙතෙම දේශපාලන පෙරහරේ බැබළෙමින් ගමන් කරන්නකු නොවේ. පිටත සිට ඒ පෙරහර සරසන්නෙකි. ඒ බව වෙසෙසින් සටහන් කරන්නේ දිලිසෙන දෙපයින් ගමන් කරන ඔහුට හරසර පිණිසය.
සංජීවිකා සමරතුංග