2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

මෙරට ජනාධිපතිවරණයේ ඉතිහාසය

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 1723

අනාගතය තීන්දු කිරීමට අතීතය තරම් අපක්ෂපාතී වෙනත් විනිසුරුවරයකු මේ විශ්වයේ නොමැත. මේ කතාව සත්‍යය ඔබට පහදා දෙන කතාවයි.

ලක් ඉතිහාසයේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමට ජනරජයේ පුරවැසියෝ සූදානමින් සිටිති. වර්ග කිලෝමීටර් හැටපන්දහස් හයසිය දහයක, මිලියන විසි එකක ජනතාවගේ වගකීම ඉදිරි වසර පහ සඳහා භාරගන්නේ කවුරුන්ද? ප්‍රතිඵලය කුමක්වේද? අනාවැකි මෙන්ම පුරෝකථනද දසතින් ගලා එයි. මේ තවත් එවන් පුරෝකථනයක් නොවේ. අනාවැකියක්ද නොවේ. හුදු අතීත ආවර්ජනයක්ද නොවේ. සාක්ෂි සාධක සංඛ්‍යාලේඛන මූලාශ්‍රකොට අපි මේ කතාව ඔබ හමුවේ තබමු. මේ ජනාධිපතිවරණය ඉතිහාස කතාවයි. අද දවසේ මෙම කියවීම හෙට දවසේ අනාගතය දකින්නට ඔබට තෙවැනි ඇසක් විවර කරනු ඇත.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ජනාධිපති නම් තනතුරේ ආරම්භය සටහන් වන්නේ 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළිනි. එතෙක් පැවති සෝල්බරි ආණ්ඩුක්‍රම අහෝසි කරමින් ගෙන ආ මෙම නව ආණ්ඩුක්‍රම කැබිනට් ආකෘතිය ගුරු කොට සකස් වී තිබුණි. ඒ අනුව විධායක බලයේ සැබෑ උරුමය අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය වෙත විය. ඒ නිසාවෙන්ම අභිනවයෙන් ස්ථාපිත කරන ලද ජනාධිපති ධූරය නාමමාත්‍රික විධායක විය.

කීර්තිමත් රාජ්‍යතාන්ත්‍රිකයකු වූ විලියම් ගොපල්ලව මහතා 1972 මැයි 22 දින එම මෙරට පළමු ජනපති ලෙස පත්වීම් ලැබීය. එහෙත් ඔහු නාම මාත්‍ර ජනාධිපතිවරයකු මිස මහජන ඡන්දයෙන් පත්වූ විධායක ජනාධිපතිවරයකු නොවීය. ඒ අනුව නිදහස් ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරයා ලෙස ඉතිහාස ගතවූයේ ගොපල්ලව මහතායි. 1978 පෙබරවාරි 4 වැනිදා දක්වා ඒ මහතා එම ධූරයේ කටයුතු කළේය.

අද ක්‍රියාත්මක විධායක ජනාධිපති ධූරය වෙනුවෙන් පිඹුරුපත් සැකසෙන්නේ 1977 මහ මැතිවරණයේදීය. එදා එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණට ඉදිරිපත් වූයේම නව ආණ්ඩු ක්‍රමයක් ගෙන ඒමට ජනවරමක් පතමිනි. ඒ අනුව මෙම මැතිවරණයෙන් හයෙන් පහක ආණ්ඩු බලයක් ඔවුන්ට ලැබිණි. ඒ සමඟම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කටයුතු ඇරඹියේය. ඒ අතරතුර 1977 ඔක්තෝබර් 4 වැනි දින පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ඒමට එජාප ආණ්ඩුව කටයුතු කළේය. ඒ යටතේ එජාප රජයේ අග්‍රාමාත්‍යවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතා අන්තර්කාලීනව 1978 පෙබරවාරි 4 වැනි දින ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා බවට පත්විය. එය ලාංකික දේශපාලනයේ මහා පරිවර්තනයක් විය. පසුව එම වසරේම සැප්තැම්බර් 7 වැනි දින 1978 දෙවැනි ජනරජය ව්‍යවස්ථාව බලාත්මක කරන ලදී. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා අද පවතින විධායක ජනාධිපති ක්‍රමය බිහිවීම සිදුවිය.

එදා පටන් අද දක්වා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයා ජනාධිපතිවරයා වේ. එසේම ජනාධිපතිවරයා විධායකයේ ප්‍රධානියා ද, සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා ද වේ. තවත් අනන්‍ය විධායක බලතල රාශියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ජනාධිපති ධූරය සතුකර ඇත. රටේ ජනාධිපතිවරයා තේරීමේ පරමාධිපත්‍යය මහජනයා සතුය. ජනාධිපතිවරයා තෝරාගන්නා මැතිවරණය ජනාධිපතිවරණය ලෙස හැඳින්වේ. ඒ අනුව ගෙවුණු දශක හතර තුළ වරින්වර මහජනතාව විසින් විධායක ජනාධිපතිවරුන් සය දෙනකු පත්කරගෙන තිබේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සතු විධායක බලතල පිළිබඳ ගෙවුණු දශක හතර පුරාවටම පුළුල් සංවාදයක් රටතුළ තිබිණි. ප්‍රථම විධායක ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධනයන්ට අනුව විධායක ජනාධිපතිවරයාට කළ නොහැක්කක් නොමැති තරම්ය. “ගැහැනියක් පිරිමියෙක් කිරීමත් පිරිමියෙක් ගැහැනියක් කිරීමත්” පිළිබඳ ඔහුගේ සුප්‍රකට ප්‍රකාශය ඊට සාක්ෂි දරයි. ඒ කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ බලතල සහ කාර්යයන් සම්බන්ධ සංශෝධන කීපයක් ගෙවුණු වසර 41 තුළ සිදුවූ බව සිහිකළ යුතුය. අද ද ජනාධිපති ක්‍රමයේ යෝග්‍යතාව පිළිබඳ මත දෙකක් රට තුළ පවතින බව මෙහිදී සැලකිය යුතුය.

කෙසේ වෙතත් ආරම්භයේදී ජනාධිපතිවරයාගේ නිල කාලය වසර හයක් ලෙස දැක්වුණි. ඒ අනුව මෙරට ප්‍රථම ජනාධිපතිවරණය 1982 ඔක්තෝබර් 20 වැනිදා පැවැත්විණි. එහිදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වූයේ ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කඳවුරෙන් හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. ඊට අමතරව පළමු ජනාධිපතිවරණයේදී කැපී පෙනෙන අපේක්ෂකයන් වූයේ ජනතා විමුක්ති පෙරමුණින් රෝහණ විජේවීර සහ උතුරේ ඉලංගෙයි තමිල් කොන්ග්‍රසය නියෝජනය කරමින් ඉදිරිපත් වූ කුමාර් පොන්නම්බලම්ය. ධනවාදී විවෘත ආර්ථික ප්‍රතිපත්තියට විරෝධය ගොනුකිරීම ශ්‍රීලනිපයේ ප්‍රමුඛ සටන් පාඨය විය. ඒ අතරේ එජාපය “ජනාධිපතිවරණට ජනාධිපතිතුමා” මැයෙන් පෝස්ටරයක් රටපුරා ඇළවීය. ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන ජනාධිපතිවරයකු පැරදිය නොහැකිය යන මතය ඒ හරහා ජනගත විය. අවසානයේ ජේ.ආර්. ජයවර්ධන 52.91%ක ප්‍රතිශතයක් ලබාගෙන පළමු ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාට ලබාගත හැකි වූයේ 39.07% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. රෝහණ විජේවීර 4.19% ක ඡන්ද ප්‍රතිශතයක්ද කුමාර් පොන්නම්බලම් 2.67%ක ප්‍රතිශතයක්ද ලබා ගැනීමට සමත්වූහ. එතැන් පටන් මුළුරටම එකම ඡන්ද කොට්ඨාසයක් ලෙස සලකා පවත්වන ජනාධිපතිවරණය ලක්වැසියන්ට නුහුරැ දෙයක් නොවීය.

1988 වසරේ දෙසැම්බර් මස 19 වැනි දින ශ්‍රී ලංකාවේ දෙවැනි ජනාධිපතිවරණය පැවතියේය. උතුර මෙන්ම දකුණද භීෂණයෙන් සලිතව ගිය මේ යුගයේ මතකය එතරම් සොඳුරු නැත. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිගේ නිල කාලය අවසන් වී තිබිණි. නැවත ඔහුට ජනාධිපතිවරණකට ඉදිරිපත් වීමට ව්‍යවස්ථා ප්‍රතිපාදන නොවීය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ එවකට අග්‍රාමාත්‍යවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතාය. හෙතෙම 50.43% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා එම ජනාධිපතිවරණය ජයගත්තේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ කඳවුරෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට ලබාගත හැකිවූයේ 44.5%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. ඊට අමතරව ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ඔස්වින් අබේගුණසේකර මහතා 4.63% ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබිණි. කෙසේ වෙතත් මෙම ජනාධිපතිවරණය ලක් ඉතිහාසයට එක්කළේ අඳුරු කතාවකි.

1993 වසරේ මැයි පළමුවැනිදා ලාංකික ජනාධිපතිවරුන්ගේ වංශය රුධිරයෙන් ලියැවුණි. මැයි පෙළපාලියකදී පුපුරා ගිය මිනිස් බෝම්බයෙන් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා මෙලොව හැරගියේය. ඒ සමඟ එවක අගමැතිව සිටි ඩිංගිරි බණ්ඩා විජේතුංග මහතා ජනාධිපති අනුප්‍රාප්තිකයා ලෙස ධූරයේ වැඩ බාරගනු ලැබීය. ඒ අනුව විජේතුංග ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ තුන්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ඉතිහාසයට එක් විය. රණසිංහ ප්‍රේමදාස මහතාගේ අනුප්‍රාප්තිකයා වූ ඒ මහතා වසරකට වැඩිකලක් ජනාධිපති ධූරය දැරීය.

නැවතත් ජනාධිපතිවරණයක් පැවතියේ 1994 නොවැම්බර් 9 වැනි දිනයි. ඒ අතර කාලයේ පැවති මහ මැතිවරණයෙන් ශ්‍රීලනිපය ජයගත්තෙන් මේ වනවිට අග්‍රාමාත්‍ය ධුරය දැරුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියයි. ඇය මෙම මැතිවරණයේ ශ්‍රීලනිපය ප්‍රමුඛ පොදු පෙරමුණේ අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වූවාය.

ඒ අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් වාර්තාගත 62.28% ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ලක් ඉතිහාසයේ තෙවැනි ජනපතිවරණය ජයග්‍රහණය කළේය. මෙම මැතිවරණයේදී එජාප අපේක්ෂකයා වූයේ ගාමිණී දිසානායක මහතායි. ජනාධිපතිවරණය අභිමුව 1994 වසරේ ඔක්තෝබර් 24 දින කුප්‍රකට තොටළඟ බෝම්බයෙන් ගාමිණී දිසානයක මහතාට දිවි අහිමි විය. ඒ අනුව එජාප ජනාධිපතිවරණ අපේක්ෂිකාව වූයේ ඔහුගේ බිරිඳ වූ ශ්‍රීමා දිසානායක මහත්මියයි. එහෙත් ඇයට ලබාගත හැකිවූයේ 35.91% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. මේ අනුව 17 වසරක් පැවති එජාප පාලනය බිඳවැටුණි. කෙසේ වෙතත් මෙම මැතිවරණයේ ප්‍රමුඛ අපේක්ෂකයන් දෙදෙනාම කාන්තාවන් වීම සුවිශේෂී වූයේය. ජයග්‍රාහී පරතරය ද වාර්තා පොත් අතරට එකතු විය.

මීළඟ ජනාධිපතිවරණයට දින නියම වී තිබුණේ 2000 වසරේදීය. එහෙත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව පැවති යුද්ධය ඉදිරියට ගෙන යාමට බලය ලබාගැනීමට අවශ්‍ය බව කියමින් එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුංග මහත්මිය 1999 වසරේ ජනපතිවරණය කැඳෙව්වේය. ඒ අනුව 1999 දෙසැම්බර් 21 ජනාධිපතිවරණයට දින නියම විය. එහෙත් ඡන්ද විමසීමට දින තුනකට පෙර කොළඹ නගර සභා පිටියේ පැවති අවසාන ප්‍රචාරක රැලියේදී නැවතත් ඛේදවාචකයක් සිදුවිය. පුපුරාගිය මිනිස් බෝම්බයෙන් බණ්ඩාරනායක මහත්මියට දකුණු ඇස අහිමි විය. නමුත් අවසානයේ 51.12%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ජනාධිපතිවරණය ජයගත්තේය. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ලබා ගත්තේ 42.71%ක් පමණි. ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක නන්දන ගුණතිලකට 4.08%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවීමද සුවිශේෂී විය.

යුධ ගැටුම් මෙන්ම සාම කතාද සමඟ ගෙවී ගිය විසි එක්වැනි සියවසේ මුල්කාලයේ ශ්‍රී ලංකාවේ නැවත දේශපාලන අර්බුදයක් හටගත්තේය. 2001 දෙසැම්බර් 5 දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණ (එජාපෙ) පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 225 අතුරින් ආසන 109 ක් දිනා ගනිමින් පාර්ලිමේන්තුවෙහි විශාලතම කණ්ඩායම බවට පත් විය. ඒ සමඟම පොදු පෙරමුණු ආණ්ඩුව බිඳවැටුණි. අගමැති රනිල් වික්‍රමසිංහ වූ අතර ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක විය. පක්ෂ දෙකින් ජනපති සහ අගමැති වූයෙන් අභ්‍යන්තර අර්බුද බහුල විය. සාම ගිවිසුම් ආදිය නිසාවෙන් අර්බුදය තවත් ඉහළ ගියේය. ඒ අනුව පූර්ණ කාලයට පෙර 2004 පෙබරවාරි 7 වැනි දිනදී ආණ්ඩුව නැවත විසුරැවා හැරිණි. නැවත ශ්‍රීලනිප ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු බලය තහවුරු කරගැනීමට සමත් විය. අනතුරු ජනාධිපතිවරණයට දින නියම විය.

නියමිත කාලයට වසරකට පෙරාතුව ජනාධිපතිවරණය පැවැත්වීම හේතුවෙන් දෙවැනි ධූර කාලයට එම වසර එකතු විය යුතු බව පවසමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ආම්භයේදීම ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළාය. නමුත් පෙත්සම නිශ්ප්‍රභ විය. ඒ අනුව 2005 නොවැම්බර් 17 දින ජනාධිපතිවරණය පැවැත්විණි. ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය 73.73% විය. එල්.ටී.ටී.ඊ. සංවිධානය උතුරු නැගෙනහිර ජනතාවට ඡන්දය පාවිච්චි කිරීම තහනම් කළේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එවක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ඉදිරිපත් වූ අතර එක්සත් ජාතික පක්ෂයෙන් විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය ඉදිරිපත් විය.

ප්‍රකාශිත සියලු ඡන්දවලින් 50.3% ලබාගත් මහින්ද රාජපක්ෂ මහතා පස්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. ‘මහින්ද චින්තන’ ප්‍රතිපත්ති මාලාව එළිදක්වා ජනාධිපතිවරණය පිවිසි ඔහුට ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ජාතික හෙළඋරුමයේද සහාය හිමිවිය. මෙම ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට 48.43%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ වතුකරය නියෝජනය කරන දෙමළ පක්ෂවලද සහාය ලබමිනි. කෙසේ වෙතත් උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවීම සමස්ත ඡන්ද ප්‍රතිඵලයට දැඩි ලෙස බලපාන්නට ඇති බවටද විචාරක මත පළවිය.

2005 ජනාධිපතිවරණයන් පසුව එළඹි කාලය රටට ඉතා තීරණාත්මක විය. ජනාධිපති මහින්ද රාජපක්ෂ එතෙක් පැවති සාම සාකච්ඡා වෙනුවට එල්.ටී.ටී.ඊ. සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීමේ උත්සාහයක නිරත විය. අවසානයේ දී 2009 මැයි 18 වැනි දින එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මරා දැමීමත් සමඟ තිස් වසරක් පැවැති ඊලාම් යුද්ධය නිමාවට පත්විය. ඒ සමඟින්ම විශාල ජන ප්‍රසාදයක් දිනාගත් මහින්ද රාජපක්ෂ මහතා විසින් නිල කාලය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය කැඳවනු ලැබීය. ජනාධිපති මහින්ද රාජපක්ෂ එක් පසෙකින් ජනාධිපතිවරණය ඉදිරිපත් වූ අතර එජාපය ජවිපෙ ඇතුළු විපක්ෂ කණ්ඩායම් පොදු අපේක්ෂකයකු ලෙස හිටපු හමුදාපති ජෙනරල් (එවක) සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළේය. යුද ජයග්‍රහණ මෙම ජනාධිපතිවරණයේ ප්‍රමුඛ මාතෘකාව විය. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම යුධ ජයග්‍රහණය උරදී තිබූ නිසා ජනාධිපතිවරණය උණුසුම් විය. කෙසේ වෙතත් අවසානයේ 57.88%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට ලබාගත හැකිවූයේ 40.15%ක් ඡන්ද ප්‍රතිශතයක් පමණි.

ජනාධිපතිවරණය සහ පසුව පැවති මහ මැතිවරණද ජයගත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කළේය. ඒ 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමඟ ජනාධිපති ධූරය දැරීමේ හැකියාව වාර දෙකට පමණක් සීමාකර දැක්වීමේ ව්‍යවස්ථා ප්‍රතිපාදන ඉවත් කෙරිණි. ජනාධිපති මහින්ද රාජපක්ෂහට නැවත ජනාධිපතිවරණය ඉදිරිපත් වීමේ අවකාශය මේ හරහා උදාවිය. ඒ අනුව මෙරට පැවති අවසන් ජනාධිපතිවරණය 2015 ජනවාරි 8 වැනි දින පැවැත්විණි. මෙවරද එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක එකතුවකින් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනු ලැබීය. රාජපක්ෂ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්ව සිටි මෛත්‍රීපාල සිරිසේන එම අපේක්ෂකයා විය. ජනාධිපතිවරණය අතිශය තීරණාත්මක විය. වෙනසක් පිළිබඳ ජනමතයක් වේගයෙන් ජනගත විය. යහපාලනයක් දින සීයෙන් අලුත් රටක් ආදී වැඩපිළිවෙළ ගණනාවක් මෛත්‍රීපාල පාර්ශ්වයෙන් ඉදිරිපත් කෙරිණි.

2015 ජනවාරි 8 වැනි දින පැවති ජනාධිපතිවරණයෙන් පළමුවරට මෙරට බලයේ සිටි ජනාධිපතිවරයා පරාජයට පත්විය. මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද 62,17,162ක් ලබා 51.28% ක ප්‍රතිශතයකින් ජනාධිපතිවරණය ජය ගත්තේය. මහින්ද රාජපක්ෂ මහතා හට හිමිවූයේ 47.58%ක ඡන්ද ප්‍රතිශතයකි. එතැනින් පසුව බිහිවූ ආණ්ඩුව යහපාලන ආණ්ඩුව ලෙස හැඳින්විණි. ජනාධිපතිවරයා ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය ලබාගැනීම සහ 19 වැනි සංශෝධන හරහා ජනාධිපති බලතල අඩුවීම 2015 වසරේ සිදුවූ සුවිශේෂී සිදුවීම් විය. 2015 මහ මැතිවරණයෙන් පසු එ.ජා.ප.ය සහ ශ්‍රීල.නි.ප.ය අතර ඇතිවූ එකඟතාවක් හරහා ජාතික ආණ්ඩුවක් බිහිවීම දේශපාලනමය වශයෙන් සුවිශේෂී සිදුවීමක් විය.

මේ අතර කාලයේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පාර්ශ්වය ඒකාබද්ධ විපක්ෂ ලෙස පෙනී සිටි අතර ඔවුන් වෙනත් දේශපාලන ප්‍රවාහයක් ලෙස ක්‍රියාත්මක විය. 2018 පෙබරවාරි 10 වැනි දින පැවති පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය කිරීමට ඔවුන් විසින් අභිනවයෙන් නිර්මාණය කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වීම කැපී පෙනිණි. ඊට අමතර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතරවූ මත ගැටුම්වල ප්‍රතිඵල ලෙස ඇති වූ 2018 ඔක්තෝබර් අර්බුදයේදී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට ජනාධිපති මෛත්‍රී කටයුතු කිරීම සමඟ ජාතික ආණ්ඩුව බිඳවැටුණි. කෙසේ වෙතත් මෙම බල පෙරළිය ආපසු හැරවීමට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපය සමත්විය. ඒ අනුව අවසන් වසර වසර තුළ මෙරට බලය දරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර නිරන්තර අර්බුදය මෙම කාලය තුළ කැපී පෙනිණි. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ වසර පහකට සීමා වූ නිල කාලය අවසන් වීමත් සමඟ වර්තමාන ජනාධිපතිවරණයට දින නියම විය.

මෙම ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපතිවරයා නැවතත් තරග නොකිරීම කැපී පෙනෙන තත්ත්වයකි. එසේම ඉතිහාසයේ විශාලතම අපේක්ෂක සංඛ්‍යාවද වාර්තා වන්නේ මෙවර ජනාධිපතිවරණයේදීය. ඉතිහාසය විමසා අනාගතය තීරණය කිරීමේ පරමාධිපත්‍යය දැන් ඔබ සතුය. අපි කිසි ලෙසකින් ඔබගේ තීරණය කුමක් විය යුතුදැයි නොකියමු. අනාගතය තීන්දු කිරීමට අතීතය තරම් අපක්ෂපාතී වෙනත් විනිසුරුවරයකු මේ විශ්වයේ නොමැති බව පමණක් නැවතත් මෙහි ලියා තබමු.

- චමිඳු නිසල් ද සිල්වා