මේ ඔහුගේ කතාවයි. විධායක ජනාධිපතිවරු පස් දෙනෙකුගේ නිල ජයාරූප ශිල්පියා වීමට වාසනා වරම් ලද මිනිසාගේ මතක කෙමෙන් දිග හැරෙන්නට වෙයි. අප ඔහු සමඟ දොඩමළු වූයේ ජනාධිපතිවරණය පිළිබඳ සුදත්ගේ මතකයේ රසබර තැන් අවදිකරනු රිසියෙනි. සුදත් සිල්වා ජනාධිපතිවරණ පහක් ආවරණය වෙනුවෙන් සිය තෙවන ඇස මෙහෙයවා ඇත.
එක්දාස් නවසීය අසූ අට ජනාධිපතිවරණය පිළිබඳ ලක්වාසී බොහෝ දෙනෙකුට මෙන්ම සුදත්ට ද ඇත්තේ සොඳුරු මතකයක් නොවේ. ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවැත් වූ මේ මැතිවරණයේ රණසිංහ ප්‍රේමදාස මහතා ඇසුරේ සුදත්ට රාජකාරි පැවරී තිබිණි.
“අසූ අටේ මැතිවරණය තිබ්බේ උතුරු පළාතයි දකුණු පළාතයි ඇවිලෙන යුගයක. රටපුරාම ඝාතන රැල්ලක් තිබ්බා. ඉතිහාසයේ තිබ්බ බිහිසුණුම ජනාධිපතිවරණය. පෝස්ටර් එහෙම ගහලා තිබ්බා “මව්බිම නැත්නම් මරණය” ඡන්දෙ දැම්මොත් කපනවා වගේ දේවල් කියලා.”
සුදත් සිල්වා නම් තරුණ සේයාරූ ශිල්පයා අගමැති ප්‍රේමදාස සමඟින් ජනාධිපතිවරණ සටන ආවරණය කිරීමට සැරසුණේ මෙවන් පසුබිමකය. ඒ යුගයේ අඳුරු මතකයන් අතරින් අපූරු කතාවක් ඔහුට සිහිවිය. ඒ ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරදෙන දිනයයි. කොළඹ නගර ශාලාවේ උඩු මහලේ නාමයෝජනා භාරගැනීම සිදුවූයේ එවක මැතිවරණ කොමසාරිස් චන්දානන්ද ද සිල්වාගේ ප්‍රධානත්වයෙනි. ප්‍රේමදාස මහතාගේ නාමයෝජනා භාරදීමේ මොහොත ආවරණය කිරීම වෙනුවෙන් සුදත් ද මේ මොහොතට සහභාගී විය.
“ප්‍රේමදාස මහත්තයා එතුමාගේ නීතීඥ චොක්සි මහත්තයා එක්ක ගිහිල්ලා නාමයෝජනා භාර දුන්නා. එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් නාමයෝජනා භාර දුන්නා. ඒ වෙලාවේ සිරිමාවෝ බණඩාරනායක මැතිනියට ලොකු අකරතැබ්බයක් වුණා. නගර ශාලාවේ උඩ නාමයෝජනා භාරදෙන්න තිබේ. යනකොට ලිෆ්ට් එකේ ගියේ. එනකොට ලිෆ්ට් එක වැඩකරන්නේ නැතුව ගියා. පල්ලෙහාට එන්න වුණේ පඩිපෙළින් බැහැලා. එතුමියගේ දණහිස්වල පොඩි අමාරැවක් තිබුණා එනකොට පය පැටලිලා වැටෙන්න වගේ ගියා. මෙතෙන හිටියා ඡායාරූප ශිල්පියෙක් ලේක්හවුස් එකේ චිත්‍රානන්ද කියලා. එයා මේකේ ෆොටෝ එකක් ගත්තා. පස්සේ කවුරු හරි ප්‍රේමදාස මහත්තයා ට කිව්වා සර් අන්න හොඳ ෆොටෝ එකක් ගත්තා කියලා. කොහොම හරි ඒ ෆොටෝ එක එදා ගෙන්න ගන්න ඇති. පහුවදා අපි යනකොට දැක්කා පෝස්ටරයක් ගහලා තියනවා. “පඩි නගින්න බෑ මැණිකේ පය පැකිලෙනවා” කියලා. කොහොම හරි මැතිනියගේ වයස නිසා ජනාධිපතිවරණය ඉල්ලන්න බැරි අමාරැ තත්ත්වයක ඉන්නේ කියන එක තමා ඒකේ තිබුණේ.”
සුදත්, රණසිංහ ප්‍රේමදාස අග්‍රාමාත්‍යවරයාගේ නිල ඡායාරූප ශිල්පියා බවට පත්වූයේ එක්දාස් නවසිය අසූ හතර වසරේදීය. එදා මෙන්ම අදත් ඔහු කෙරේ විශ්වාස තැබූ රාජ්‍ය නායකයන්ගේ විශ්වාසය පලුදු නොවන පරිදි ඔහු අප සමඟ අතීත ස්මරණයේ යෙදෙයි. පෙර කී ලෙස මෙම මැතිවරණ ව්‍යාපාර ආවරණය කිරීමේ වගකීම සුදත්ගේ දෙවුර මත විය. එම නිසාම ප්‍රේමදාස මහතා යන එන හැමතැනකම සුදත් ද කැටුව ගියේය. එදා ආ ගිය ගමන්වල විත්ති අපගේ කතා සාජ්ජයේදී මේ අපූරු ආලෝක සිත්තරා අප මනසේ මවාලයි.
“මේ කාලේ මැතිවරණ වැඩවලට යනකොට රැස්වීම්වල සෙනඟ නෑ. හැබැයි ප්‍රේමදාස මහත්තයා යන හෙළිකොප්ටර් ලෑන්ඩ් කරන පිට්ටනියේ හෙළිකොප්ටරේ බලන්න සෙනඟ ඉන්නවා. ප්‍රේමදාස මහත්තයා බැලුවා රැස්වීමවල සෙනඟ නෑ හෙළිකොප්ටර් බාන තැන සෙනඟ ඉන්නවා. එතුමා කිව්වා ආරක්ෂක අංශවල හෙළිකොප්ටරේට ශබ්ද විකාශය යන්ත්‍රයක් අවශ්‍යයි කියලා. ඊට පස්සේ එතුමා කළේ ආරක්ෂාව සලසලා තිබුණ එස්.ටී.එෆ්. ජීප් එකක් උඩට නැගලා හෙළිකොප්ටර් බලන්න ආපු අයට ළඟට එන්න කියලා ඒ අයට කතා කරන එක.”
රටපුරා වූ භීෂණය හේතුවෙන් මැතිවරණ කටයුතුවලට සහභාගී වීමට මහජනයා තුළ භීතියක් ජනතකර තිබුණි. අගමැති ප්‍රේමදාස මහතා ඊට සොයාගත්තේ කදිම වික්ලපයකි. වරක් තංගල්ල ප්‍රදේශයේ පැවැති රැලියකදී තවත් අපූරු සිදුවීමක් සිදුවිය.
“රැලි කිහිපයක් කතාකරලා අවසානයේ තිබ්බේ තංගල්ල රැලිය. රෑ හතට විතර ඇති. ඒ දවස්වලට ආරක්ෂක අංශවල මොබයිල් එහෙම නෑනේ. පණිවිඩය ලබාදෙන්නේ පොලිස් මැසේජ්වලින්. අගමැතිතුමාට පොලිස් පණිවිඩයක් ආවා තංගල්ල රැලියට ආවට වැඩක් නෑ. සෙනඟ කවුරුත් නෑ සර්... එන්න එපා. කියලා. ප්‍රේමදාස මහත්තයා ඒක ඇහුවේ නෑ. මං එනවා රැස්වීමේ වැඩකටයුතු කරන්න කියලා කිව්වා. ඊටපස්සේ අපි ගියා එතෙන්ට. ඒ වෙනකොට තංගල්ලේ මන්ත්‍රී ජිනදාස වීරරිසිංහ ඒ මන්ත්‍රීවරයයි තව කිහිපදෙනෙකුයි වේදිකාවේ හිටියා. ප්‍රේමදාස මහත්තයා වේදිකාවට නැග්ගා නිවේදනය කටයුතු කරපු ඒරානන්ද හෙට්ටිආරච්චි මහත්තයා එතුමා හඳුන්වලා දුන්නා. ඊටපස්සේ අගමැතිතුමා පෝඩියම් එකට ඇවිල්ලා පැය භාගයක් විතර කතා කළා. අපිත් පිටිපස්සේ ඉඳන් බලන් ඉන්නවා එක මනුස්සයෙක්වත් නෑ. හැබැයි බල්ලෝ දෙන්නෙක් හිටියා ඉස්සරහා වාඩිවෙලා. අපි හිතුවා මේ බල්ලෝ දෙන්නාටද දන්නේ නෑ කතා කරන්නේ කියලා. ඒත් අවසානයේදී එතුමා කිව්වා මම දන්නවා මෙතන සෙනඟ නෑ. ඒත් තමුන්නාන්සේලා ගෙවල්වල දොරවල් ජනෙල් අස්සට වෙලා මේ කතාව අහගෙන ඉන්නවා. ඒකයි මම කතා කළේ කියලා.”
මෙම ජනාධිපතිවරණයේදී ප්‍රේමදාස මහතා සමඟ රටපුරා ගිය සුදත්ගේ මතක උල්පත දැන් පිටාර ගලා යයි. නේක සිදුවීම් ඔහු අප හමුවේ තබයි. වරක් උතුරු නැගෙනහිර රැස්වීම් ඇමතීම වෙනුවෙන් ප්‍රේමදාස මහතා පිටවත්ව ගියේ සුදත් ද කැටුවය. මන්නාරම රැලියක් ඇමතීමට ගිය අගමැතිතුමාගේ හෙළිකොප්ටරය මෙවර ගොඩබස්සවනු ලැබුවේ ඉන්දියන් හමුදා කඳවුරකටයි. මේ ඉන්දියන් හමුදාව ලංකාවට පැමිණ සිටි යුගයයි. මේ කඳවුර භාරව සිටියේ සීක් ජාතික නිලධාරියෙකි. ඔහු අග්‍රාමාත්‍යවරයාව පිළිගෙන ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ සිතියම් ආදියද පෙන්වමින් සුහද සාකච්ඡාවක නිරත වී ඇත. එහෙත් සාකච්ඡාව අවසානයේ සීක් නිලධාරියා කියා ඇත්තේ මන්නාරමට යාමට ඉඩදිය නොහැකි බවයි. ඊට හේතුව ලෙස මන්නාරම නගරය හරහා වන මාර්ගයේ ආරක්ෂාව තහවුරු කර නොමැති බව ඔහු කියා තිබේ. එහෙත් සිනහමුසු මුහුණින් කඳවුරෙන් එළියට පැමිණි ප්‍රේමදාස මහතා එහි පැමිණ සිටි මන්නාරම පොලීසියේ ස්ථානාධිපති දැක ඔහු අසලට ගොස් මන්නාරම පොලීසියේ ඕ.අයි.සී. දැයි අසා ඇත. නිලධාරියා ඔව් සර් කියා ඇත. නිලධාරියා පැමිණි ජීප් රිය පෙන්වා මේ ජීප් එකේ යන්න පුළුවන්ද කියා නැවතත් ඔහුගෙන් විමසා තිබේ. ස්ථානාධිපතිවරයා පුළුවන් සර්... කිව් සැණින් කඩිමුඩියේ ජීප් රියට ගොඩවූ ප්‍රේමදාස මහතා ස්ථානාධිපතිට එයට ගොඩවන්නට කීවේය. සුදත් ඇතුළු පිරිසද ඊටම නංවාගෙන අනාරක්ෂිත මන්නාරම නගර මධ්‍යයෙන් රැලිය පැවැති පිටිය බලාගොස් තිබේ. සුදත්ගේ මතක පොතේ පිටු පෙරළා බලන අතරේ මේ ගමනේ මතක අපට හමුවිය.
මේ කතාවේදී සුදත් අපිට කී රහසක් හෙළිකිරීම දැන් අනුචිත නොවෙතැයි අපට සිතේ. ගුවනින් රැළිවලට යන ප්‍රේමදාස මහතා ඇතැම් තැනක මැතිනියගේ රැලි දකී. ඒවායේ බොහෝ සෙනඟය. එවන් විට අගමැතිතුමාගේ සිත උපදින්නේ චකිතයකි. සුදත්ලා එය දකී. එවන් විට මැතිවරණ ව්‍යාපාරය භාරව සිටි සිරිසේන කුරේ මහතා අමතා මොනවා හෝ කීම ප්‍රේමදාස මහතාගේ පුරුද්දකි.
“ප්‍රේමදාස මහත්තයා සුචරිතේ ඉඳන් තමා සියලුම කටයුතු කරන්නේ. දවසක් සුචරිතේ ඉඳන් හෙළිකොප්ටර් ගන්න කාර් එකෙන් එතුමා යනවා. ඒ කාලේ හෙළිකොප්ටර් එක ලෑන්ඩ් කරන්නේ හමුදා මූලාස්ථානය තිබුණු තැන. අද ෂැන්ග්‍රිලා එක තියෙන්නේ. මේ යන අතරේ එතුමා දැක්කා අඩි විස්සයි තිහේ වගේ මැතිණිගේ ලස්සන පෝස්ටරයක්. සිරිමාවෝ මැතිනිය සුදු සාරියක් ඇඳලා පරෙවියෙක් අතහරිනවා. මේක දැක්ක ප්‍රේමදාස මහත්තයා එකපාරට ගැස්සුණා. හමුදා ක්‍රීඩාංගණය ළඟ වාහනේ නවත්තලා එතුමාගේ ප්‍රවෘත්ති ලේකම් වෙලා හිටිය එවන්ස් කුරේ මහත්තයාට වහාම එතෙන්ට එන්න කියලා පණිවිඩයක් යැව්වා. ඊටපස්සේ පැය භාගයක් විතර අපි එතැන හිටියා. එවන්ස් කුරේ ආවා. ප්‍රේමදාස මහත්තයා ඇහැව්වා දැක්කාද පාරේ තිබ්බ පෝස්ටර් එක කියලා. ඔව් සර්... දැක්කා කියලා ලේකම්වරයා කිව්වා. එතකොට ප්‍රේමදාස මහත්තයා කිව්වා හෙට උදේ වෙනකොට ඒ පෝස්ටරය මගේ පෝස්ටරයකින් වැහෙන්න ඕනෑ කියලා. මට කතාකරලා කිව්වා සුදත් හොඳ පින්තූරක් දෙන්න කියලා. මං ටක්ගාල ඒක සූදානම් කළා. පහුවදා උදේ අපි හමුදා මූලස්ථානය එනකොට අර පෝස්ටර් එක වැහිලා ප්‍රේමදාස මහත්තයාගේ පෝස්ටර් එක එතැන තිබ්බා.”
මෙරට මැතිවරණ ඉතිහාසයේ තියුණුතම මෙන්ම බිහිසුණුම මැතිවරණයක් වූ මෙම දෙවැනි ජනාධිපතිවරණයේදී මරණ බිය නොදැනුණු කිසිවෙක් නොසිටි තරම්ය. විටෙක අප තරුණ ආලෝක සිත්තරාවද මරුවා ලුහුබැඳ ආවේය. එහෙත් ඔහු වාසනාවන්තයකු විය. දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ පෝස්ටරයක් සුදත්ගේ නිවසේ තාප්පයේ ඇලවිණි. තනතුරෙන් ඉවත් නොවුණහොත් දඬුවම මරණය බව එහි ලියැවී තිබිණි.
“අපේ තාත්තා මේකට බයවෙලා මට කිව්වා ගෙදර නම් එන්න එපා කියලා. ඊටපස්සේ මං ගෙදර එන එක නැවැත්තුවා. තාත්තාගේ ඡායාරූප ශාලාවක් තිබ්බා පිටකොටුවේ මිහිඳු මාවතේ. මම රෑට නිදාගත්තේ ඒ ඡායාරූප ශාලාවේ ඩාක්රූම් එකේ. තාත්තාට මං ගැන බයක් තිබ්බා. තාත්තාත් ආවා. පස්සේ අපි දෙන්නම ඩාක්රූම් එකේ නිදා ගත්තා. ඒත් මාව මරන්න අවස්ථා කිහිපයක් කට්ටිය ආවා. මම වාසනාවකට බේරුණා. එක දවසක් කිරුලපන රැලියකට ගිහින් ප්‍රේමදාස මහත්තා එක්ක ආයේ ඊට පස්සෙන්දා ගෝල්ෆේස් එකේ තිබ්බ රැලියේ සංවිධාන කටයුතු බලන්න ගියා. ඒ නිසා එදා මම පරක්කු වුණා. එතකොට මම හිටියේ ආමර් වීදියේ තට්ටු නිවාසයක. කොහොම හරි තුන්දෙනෙක් ඇවිල්ලා පල්ලෙහා පඩිපෙළ ළඟ ඉඳලා තියෙනවා. ඒක දැනගත්තේ අපේ ගේ ඉස්සරහා හිටිය සුචරිතේ උගන්වපු ගුරුවරියකගෙන්. මම ගෙදර ආපු ගමන් එයා දොර ඇරලා කිව්වා මල්ලි ඔයා මෙහේ ඉන්න එපා. ඔයා බේරුණේ අනූනවයෙන් පල්ලෙහා තුන් දෙනෙක් හිටියා එයාලා උඩටත් නගින්න හැදුවා. පරිස්සම් වෙන්න කියලා. එතකොට මගේ වයිෆ්ට පළවෙනි දරැවා හම්බවෙන්න ඉන්නවා. මං ඊට පහුවෙනිදාම ගිහින් එයාව එයාගේ අක්කාගේ ගෙදර නවත්තලා මම ගියා ඡායාරෑප ශාලාවේ ඩාක්රෑම් එකට නිදාගන්න.”
ජීවිත තර්ජන පිළිබඳ සුදත් කාටවත් කියන්නට ගියේ නැත. අවස්ථා ගණනාවක දී ඔහු ජීවිත බේරාගැනීමට වාසනාවන්ත විය. මරණ තර්ජන තිබූ බොහෝදෙනා ගලදාරි හෝටලයේ පොලිස් ආරක්ෂාව යටතේ රැඳී සිටියේය. එහෙත් සුදත්ගේ ආරක්ෂිත නිවහන සිය පියාගේ ජායාරූප ශාලාව විය. එන්න එන්නට තියුණු වූ ජනපති සටන ජය ගැනීමට අවසානයේ රණසිංහ ප්‍රේමදාස මහතා සමත් වූහ. සුදත් සිල්වා ජනාධිපති නිල ඡායාරූප ශිල්පියා ලෙස පත්වීම් ලැබීය. රට තුළ නොයෙක් දෑ සිදුවිය. සුදත් තමා වෙත පැවරුණු කටයුත්ත දේවකාරියක් ලෙස සලකා ඉටුකළේය. ඔහු ජනාධිපති ප්‍රේමදාසහට විශ්වාසවන්තයෙක් විය. එදා ප්‍රේමදාසයන් ඔහු කෙරෙහි තැබූ විශ්වාස නිසාම මේ ආලෝක සිත්තරා ආලෝකකරණය නොකරන ඉසව් මේ කතාවේ වෙතැයි අපට සිතේ. ඔහුගේ ස්වරයේ රිද්මය වෙනස් වෙයි. මේ එක්දාස් නවසිය අනූ තුන වසරේ මැයි පළමු වැනිදායි.
“මැයි පළමුවෙනිදා එතුමා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ මිනිස් බෝම්බයාට ගොදුරු වුණා. ඒ අවස්ථාවේදීත් මං තමයි ජායාරූප ගත්තේ. අදටත් මා සතුව තියෙනවා ඒ ඡායාරූප. බෝම්බ ගෙනාපු බාබුගේ හිස, එතුමාගේ දේහයේ ඡායාරූප මම ගාව තියෙනවා. ඒවා මම කොහෙවත් ප්‍රසිද්ධ කරලා නෑ. මම ඉතාම කිට්ටුවෙන් හිටියේ මගේ උරහිසට මස් කෑල්ලක් වැදුණා. මගේ දකුණු කලවා දෙදරලා ගියා. ටිකක් වෙලාවක් යනකොට මං ආයේ පින්තූර ගත්තා. ඒ පින්තූර තමයි සී.අයි.ඩී. එක ඒගොල්ලන්ගේ පරීක්ෂණවලට යොදා ගත්තේ. මාවත් අවස්ථා කිහිපයකදීම හතරවෙනි තට්ටුවට කැඳෙව්වා ප්‍රශ්න කරන්න. මේ සිදුවීමෙන් පස්සේ මං කෙලින්ම ගියේ ජනාධිපති කාර්යාලයට. එතෙන්ට යනකොට පොලිස්පති, හමුදාපතිවරු, හේමා ප්‍රේමදාස මැතිනිය වගේ කට්ටිය ඔක්කොම ඇවිල්ලා හිටියා. ජනාධිපති ලේකම් කේ.එච්.ජේ. විජේදාස මහත්තයා ලහිලහියේ නිවේදනයක් සකස් කරමින් සිටියා. එතකොට එතැන හිටිය කවුරුත් දන්නෙ නෑ ජනාධිපතිතුමා මියගිහින් කියලා. ලේකම්තුමා නිවේදනයක් හදලා මාධ්‍යයට නිකුත් කළා ජනාධිපතිතුමා මියගිහින් කියලා. ඊටපස්සේ මං පල්ලෙහාට ගිහින් මං ගත්ත පින්තූර ඩාක්රූම් එකේ ඩිවලොප් කර කර ඉන්නකොට විජේදාස මහත්තයා මට උඩට එන්න එන්න කිව්වා. මං උඩට යනකොට තිලක් මාරපන මහත්තයි, ලේකම්තුමයි අගමැති විජේතුංග මහත්තයයි, අගවිනිසුරුතුමයි කාර්යාලයේ හිටියා. ඊට පස්සේ වැඩබලන ජනාධිපතිවරයා හැටියට විජේතුංග මහත්තයා දිවුරුම් දුන්නා. මං ඒ අවස්ථාවේ ඡායාරූප ගත්තා. පස්සේ පත්තරවලට යැව්වා.”
ඒ දිනයේ අඳුරු මතක සුදත් සාරාංශය ගතකොට අපට කියයි. එහෙත් ඒ කතාවේ ගැඹුරට යන්නට ඔහු විමසන්නට අපට සිතේ. එහෙත් මේ සුදත්ගේ කතාවේ ආරම්භය පමණි. තවත් ජනපතිවරු සිව්දෙනෙක් ජනාධිපතිවරණ පහක් පිළිබඳ අත්දැකීම් අප ඔහුගෙන් අසා දැනගත යුතුය. මෙරට තුන්වැනි විධායක ජනාධිපතිවරයා වූ ඩී.බී. විජේතුංග මහතාගේ නිල ජායාරූප ශිල්පියා බවට පත්වන්නේද අප කථානායකයායි. වසර එකහමාරක් පමණ විධායක ජනාධිපති ධූරය හෙබවූ විජේතුංග ජනාධිපති පිළිබඳ සැකෙවින් හෝ යමක් මේ සටහනට ඇතුළත් විය යුතුය. සුදත් අපට ඊට අවැසි කළමනා පිළියෙල කරදෙයි.
“පිරිසක් ඇවිල්ලා කිව්වා ඊළඟ ජනාධිපතිවරණයට එතුමාට තරග කරන්න කියලා. තවත් පිරිසක් එතුමාට ඇවිල්ලා කිව්වා ඉස්සෙල්ලාම ජනාධිපතිවරණයට තරග කරන්න එපා. ඉස්සෙල්ලාම මහමැතිවරණය තියලා ජනාධිපතිවරණය තියන්න මහමැතිවරණ දින්නොත් ජනාධිපතිවරණයට තරග කරන්න කියලා. එතුමා ඒ විකල්ප තෝරගෙන තමා මාස කිහිපයකට කලින් එක්සත් ජාතික පක්ෂ බලය තිබ්බ පාර්ලිමේන්තු විසුරුවා හැරලා මහ මැතිවරණයකට ගියේ.”
ලබන සතියට....
චමිදු නිසල් ද සිල්වා