2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

නව ජනපති දිවුරුම් දෙනදා නිල මෙහෙවර

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 785

ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵල ඔබ සැම බලාපොරොත්තුවෙන් සිටිති. ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා කවුරුන්ද? එය තවමත් නිශ්චිත නැත. ඒ කෙසේ වුවත් නියත වශයෙන්ම එළඹෙන දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා දිවුරුම් දෙනු ඇත. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී අවසානයේ සිදුවන නිල කාර්ය පටිපාටිය පිළිබඳ ඔබට නිශ්චිත අවබෝධයක් ලබාදීමට දේශයේ අප තීරණය කළෙමු. මේ කටයුත්තට අදාළ අත්දැකීම් බහුල නිලධාරියකු වන හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතා සමඟ අප සංවාදයට එළඹියේ ඒ අනුවය. මේ සටහන එම සංවාදය ඇසුරිණි.

සාමාන්‍යයෙන් අවසන් නිලඡන්ද ප්‍රතිඵල නිකුත්වීමට පෙර ජයග්‍රහණය කළ අපේක්ෂකයාගේ ජයග්‍රහණය පිළිබඳ අවබෝධයක් ඇතිවේ. ඒ නිසාම නිල ප්‍රතිඵල නිකුත් වීමට පූර්වයේම අභ්‍යන්තරයේ නිල නොවන මට්ටමෙන් යම් යම් කටයුතු සිදුවෙයි. ඇතැම්විට ජයග්‍රාහී පාර්ශ්වය ජනාධිපති ලේකම් කාර්යාලය අමතා අභිනව ජනාධිපතිවරයා දිවුරුම් දෙන නැකත දිනය පිළිබඳ දැනුම්වත් කිරීම සිදුකරයි. මේ අවස්ථාව වනවිට නිලයේ සිටින ජනාධිපති ලේකම්වරයාට පැවරෙන අවසන් කාර්යය මෙයයි. අලුතින් පත්වෙන ජනාධිපතිවරයා දිවුරුම් දීමේ උත්සවයේ වගකීම දරන්නේ ඔහුය. ඒ අනුව මැතිවරණ කොමසාරිස්වරයා අවසන් ප්‍රතිඵලය නිකුත්කරන විට ඉදිරි වැඩකටයුතු සම්බන්ධ සාකච්ඡා එකඟතා ඇතිකර ගැනීමට ජනාධිපති ලේකම් කාර්යාලය සමත්ව සිටිය යුතුය.

නිල ප්‍රතිඵලය සමඟ ඉදිරි කටයුතු නිශ්චිත වෙයි. ඒ අනුව ජනාධිපති ලේකම් අදාළ කටයුතු සම්පාදනය වෙනුවෙන් සූදනම්වෙයි. දිවුරුම් දීමට අවශ්‍ය ලියකියවිලි සකස් කිරීම ආදිය මෙහිදී සිදුවේ. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දිවුරුම් ප්‍රකාශ අනෙක් ලියකියවිලි සකස් කිරීම සිදුෙකරේ. සාමාන්‍යයෙන් දිවුරුම්දීම සිදුවන්නේ අග්‍රවිනිශ්චයකාරවරයා ඉදිරියේය. ඒ අවස්ථාවට ඒ මොහොතේ සිටින ජනාධිපති ලේකම්වරයා සහභාගීවෙයි. මන්ද එම කටයුත්ත මෙහෙය විය යුත්තේ ජනාධිපති ලේකම්වරයා විසිනි.

දිවුරුම් දීම සම්බන්ධ නීතියට අනුව උපරිමාධිකරණයේ විනිශ්චයකාරවරයකු යටතේ දිවුරුම් දීම සිදුවිය යුතු බව දක්වා තිබේ. පසුගිය ජනාධිපති දිවුරුම් දීමේදී ජයග්‍රාහී පාර්ශ්වය එවක අගවිනිසුරු මොහාන් පීරිස් මහතා යටතේ දිවුරුම් දීමට අකමැති විය. ඒ අනුව උපරිමාධිකරණයේ ජේෂ්ඨතම විනිසුරු වූ ශ්‍රී පවන් මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදුවූයේ ඒ නිසාවෙනි. එහෙත් සාමාන්‍යයෙන් මෙම කටයුත්ත සිදුවන්නේ අග්‍රවිනිශ්චයකාරතුමා ඉදිරිපිටය.

දිවුරුම් දෙන ස්ථානයද මෙහිදී වැදගත් වේ. ජේ.ආර්. ජයවර්ධන මහතා දිවුරුම් දුන්නේ ගාලුමුවදොර පිටියේදීය. අනෙක් ජනාධිපතිවරු ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන් අතර අවසාන වශයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පමණක් නිදහස් චතුරශ්‍රයේදී දිවුරුම් දුන්නේය. දිවුරුම් දීමේ උත්සවය සංවිධානය කිරීමේ යම් පිළිවෙළක් තිබේ. ඒ අනුව උත්සවයට සම්බන්ධ අභිනවයෙන් දිවුරුම් දෙන ජනාධිපතිවරයා හෝ සම්බන්ධීකරණ කරන අයෙක් ජනාධිපති ලේකම්වරයා සමඟ කතාබස් කරයි. එහිදී උත්සවයට ආරාධනා කළයුතු අයට දැන්වීම සිදුවේ. එහෙත් ඇතැම් විට අනාරාධිතවද ඇතැම් අය මෙම උත්සවයට සහභාගී වෙයි.

මෙම උත්සවයේදී ජනාධිපති ලේකම්වරයා විසින් මැතිවරණ කොමසාරිස් හෝ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් නිකුත් කරන ලද නිල නිවේදනය කියවිය යුතුය. දෙදහස් පහළොව දිවුරුම් දීමේදී මෙම නිල නිවේදනය කියවීම සිදුවූයේ නැත. එහෙත් මෙම කටයුත්ත ගරු ගාම්භීරව කළයුත්තකි. මෙය දේශපාලන කටයුත්තක් නොවේ. රජයේ ප්‍රධානතම නිල උත්සවයයි. ජනාධිපතිවරයා දිවුරුම් දී ස්ථාපිත වීම රටේ සිදුවන වැදගත්ම දෙයකි. එම නිසා නිල නිවේදනය භාෂා තුනෙන්ම කියවීම වැදගත් වේ. මෙම නිවේදය කියවීමෙන් පසු අභිනව ජනාධිපතිවරයාට දිවුරුම් දීමට ආරාධනා කළ හැකිය. එහිදී සභාවේ සිට හෝ වෙනත් ස්ථානයක සිට ජයග්‍රාහී ජනපතිවරයා දිවුරුම් ලබාදෙන මේසයට පැමිණෙයි. එතැන්හිදී ජනාධිපතිවරයා අගවිනිසුරුවරයා ඉදිරියේ අදාළ ප්‍රතිඥාව කියවා අත්සන් තබා ජනාධිපති ලේකම්වරයා වෙත භාරදීම සිදුකරයි. ඉන් අනතුරුව සම්ප්‍රදාය අනුව ජනාධිපතිවරයා ජනතාව අමතා කතාකරනු ලබයි. ඇතැම් අවස්ථාවල ජනාධිපති කාර්යාලයෙන් පිටත අභිනව ජනාධිපතිවරයා වෙනුවෙන් ආරක්ෂා හමුදා විසින් ආචාර වෙඩිමුර විසි එකක් සූදානම් කරයි. මෙම දිවුරුම් දීමත් සමඟ සන්නද්ධ සේවාවන්හී සේනාධිනායකයා ජනාධිපතිවරයා වන බැවින් ඇතැම් අවස්ථාවල ජනාධිපතිවරයා වෙනුවෙන් ආචාර පෙළපාළියක් පැවැත්වීමට ත්‍රිවිධ හමුදාව කටයුතු කරති.

ජනාධිපති දිවුරුම්දීමෙන් අනතුරුව ප්‍රථමයෙන් කළයුතුය පත්වීම නම් නව ජනාධිපති ලේකම්වරයා පත් කිරීමයි. එය ජනාධිපතිවරයා සිය නව කාර්යාලයට යාමෙන් අනතුරු සිදුකිරීම යෝග්‍යවේ. ජනාධිපතිවරයකු ධුරය හැරයාමත් සමඟ සියලු කාර්යමණ්ඩල අහෝසිවීම නිතැතින්ම සිදුවේ. ඒ අනුව ජනාධිපති ලේකම්වරයා පත්කිරීමෙන් අනතුරුව ජනාධිපති කාර්ය මණ්ඩල පත්කිරීම සිදුකළ යුතුවේ. එම කටයුත්තේ බලධාරියා වන්නේ ජනාධිපති ලේකම්වරයාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතළිස් එකයි එක වගන්තිය අනුව කාර්ය මණ්ඩල පත්කිරීමේ බලය පැවරෙන්නේ ලේකම්වරයාටයි.

ජනාධිපති කාර්යමණ්ඩලය සැකසීමේදී කොටස් දෙකක් වෙයි. රජයේ නිලධාරීන් වශයෙන් පැමිණ සිටින අතිරේක ලේකම්වරු සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරු ඉන් එක් කොටසකි. එම පිරිසගේ තනතුරු අක්‍රීය වන්නේ තාවකාලිකවය. නැවතත් එවා ඉක්මනින් බලාත්මක විය යුතුය. මන්ද මූල්‍ය බලතල ආදීය පවතින්නේ ඔවුන් සතුවයි. දෙවැනි කණ්ඩායමට අයත් වන්නේ ජනාධිපති පෞද්ගලික කාර්ය මණ්ඩලයයි. ජනාධිපතිවරයකුට ඕනෑතරම් පෞද්ගලික කාර්ය මණ්ඩලය පත්කර ගැනීමේ හැකියාව පවතී. පෞද්ගලික ලේකම්වරු, මාධ්‍ය අධ්‍යක්ෂවරු, මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරීන් ආදී පිරිස් පත්වන්නේ මේ අනුවය. මෙම සියලු කාර්ය මණ්ඩල පත්වීම් සිදුවී අවසන් වීමට සතියක පමණ සාධාරණ කාලයක් ගතවේ.

ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ආ විගසම ධූරයේ සිටින ජනාධිපතිවරයාගේ බලතල අහෝසි වී යයි නිල ප්‍රතිඵලය ප්‍රකාශ වීමෙන්  සමඟම නව ජනාධිපතිවරයා පත්වී හමාරය. ඔහුට ඇත්තේ දිවුරුම් ලබාදීම පමණි. එසේම ප්‍රතිඵල ආ විගසම ධූරයේ දිවුරැම් දීමට නව ජනාධිපතිවරයාට හැකියාවක් ඇත. ජනපති විශ්‍රාමයාම සම්බන්ධ විශේෂ විධිවිධානයක් නොමැති බව මේ හරහා අවබෝධ වෙයි. කෙසේ වෙතත් මෙවර ජනපති පත්වීම සමඟ පවතින ආණ්ඩුවට සිදුවන දේ පිළිබඳවද අප මීළඟට සලකා බැලිය යුතු වේ.

මෙහිදී දහ නවවන සංශෝධනයට පෙර තත්ත්වයත් පසු තත්ත්වයත් අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වේ. මෙම සංශෝධන පෙර පැවති තත්ත්වය වූයේ අග්‍රාමාත්‍යවරයා වෙනස් වුවහොත් කැබිනට් මණ්ඩලය විසිරී යාමයි. බොහෝ වෙලාවට සිදුවූයේ එයයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක අගමැති වී ජනපති වූ විට එදා කැබිනට් මණ්ඩලය විසිර ගියේය. එසේම මහින්ද රාජපක්ෂද අගමැති වී ජනපති වූ නිසාවෙන් කැබිනට් මණ්ඩලය විසිර ගියේය. මෙම අවස්ථාවලදී සිටියේ පූර්ණ විධායක බලතල සහිත ජනාධිපතිවරයෙකි. එහි දී කැබිනට් මණ්ඩලය මෙන්ම අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමේ බලතල ජනාධිපතිවරයාට තිබුණි.

එහෙත් අලුතින් පත්වන ජනාධිපතිවරණය කැබිනට් මණ්ඩලයට ඉවත්වන්නට යැයි කිව නොහැකිය. අග්‍රාමාත්‍යවරයා ඉවත් නොවේ නම් කැබිනට් මණ්ඩලයද එසේම පවතී. තමන් වෙත මහජන බලයක් නොමැති බව කියා අගමැතිවරයා ඉවත් වුවහොත් මිස ඔහු ඉවත් කිරීමට ජනපතිට නොහැක. මෙහි දහ නව සංශෝධනය හරහා තවත් අර්බුදයක් නිර්මාණය වීමට ඉඩ තිබේ.

 සංවාද සටහන - චමිඳු නිසල්

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05