2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

පොලිතින් නැතත් මැතිවරණ කාර්යාල ලක්ෂ 4 ½ ක්!

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 283

විධායක පුටුව හොබවන රටේ පාලනය බාර ගැනීමට සුදුස්සකු තෝරන ජනාධිපතිවරණය ළං වෙමින් තිබේ. ඇප තැන්පත් කළ අපේක්ෂකයන් 41 දෙනකු අතරින් අපේක්ෂකයෝ 35 දෙනකු නාම යෝජනා බාර දී අවසන්ය. දැන් විටින් විට වාර්තා වන්නේ ජනාධිපතිවරණයේ තරගය රුගත් උණුසුම් ප්‍රවෘත්ති හා සිදුවීම්ය. රට පුරා මැතිවරණ උණුසුම ව්‍යාප්තව පැවතිය ද පෙර පැවති මැතිවරණ හා සැසඳීමේදී මෙවර මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය වෙනසකට ලක්ව තිබේ. මැතිවරණවල අතීත මතක හා සැසඳීමේදී මෙවර ප්‍රචාරණ ක්‍රියාවලිය සඳහා පොලිතින් භාවිතය පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය අවම මට්ටමක පවතී.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් සමඟ සියල්ලටම මත්තෙන් ඡන්ද ප්‍රචාරණය පිළිබඳව නීති ඊට අදාළ සීමාවන් හඳුන්වා දීමට මැතිවරණ කොමිසම ක්‍රියා කළේය. ඒ සමඟම පොදු ජන එක්සත් පෙරමුණ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට තිබුණේ සිය මැතිවරණ ව්‍යාපාරය පොලිතින් භාවිතයෙන් තොරව සිදුකරන බවය. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන එක්සත් පෙරමුණ එක්ව ඇති කරගන්නා ලද ගිවිසුම තුළත් මෙම ප්‍රචාරණ ක්‍රියාවලියට පොලිතින් භාවිතා නොකිරීමට වගබලා ගත යුතු බවට දක්වා තිබේ.

මේ වනවිට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ සියලු පක්ෂ තම ජන රැලි හා සමුලු සක්‍රීයව පවත්වාගෙන යයි. නමුත් අතීත මැතිවරණ ව්‍යාපාරවලදී මෙන් ක්‍රීඩාංගණ, මංමාවත් හන්දි ආශ්‍රිතව පක්ෂවල පාටට අදාළ ඉටිරෙදි පටි හෝ පොලිතින් භාවිතා වන බවක් පෙනෙන්නට නැත. කෙසේ වෙතත් ප්‍රධාන නගර හා මාර්ග ආශ්‍රිතව විශාල ප්‍රමාණයේ බැනර් හා කටවුට් ප්‍රදර්ශනය වීම දකින්නට ලැබේ. එයත් සෙසු මැතිවරණවලට සාපේක්ෂව අඩු මට්ටමක පවතින බව නිරීක්ෂණය වී ඇත.

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ ප්‍රතිපාදන අනුව සහ ජාතික පාරිසරික පනත 2017 – 09 – 01 දින 2034/ 34 දරන ගැසට් නිවේදනයේ ප්‍රතිපාදන ප්‍රකාරව ජනාධිපතිවරණයේදී පොලිතින් සැරසිලි හෝ ප්‍රචාරණ ක්‍රම තහනම්ය. ඊට එරෙහිව ක්‍රියා කරන පාර්ශ්වවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙකී පොලිතින් තහනම සමඟ අඩු වියදම් ප්‍රචාරණ මාධ්‍යයක් වූ පොලිතින් මිශ්‍ර බැනර් කටවුට් ප්‍රදර්ශනය අඩු වුවද ඊට වෙනත් විකල්ප ක්‍රම භාවිතයට ගන්නා බව දැකිය හැකිය. ඒ අතර අධික වියදමක් සහිත මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය භාවිතයෙන් සිදු කරන ප්‍රචාරණය මුල් තැනක් ගෙන තිබේ. ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයන් පිළිබඳ ප්‍රවර්ධනය කරන දැන්වීම් නිරතුරුවම පළකිරීම මේ දිනවල සුලබය. එම දැන්වීම් ප්‍රචාරණ ක්‍රියාවලිය නව මගකට යොමු කරමින් අන්තර්ජාල වෙබ් අඩවි ඔස්සේ සිදු කිරීමට සියලුම පක්ෂ හා අපේක්ෂකයෝ උත්සාහ කරති. මෙය නව තාක්ෂණය භාවිත කරන හා අලුත් පරම්පරාව ඉලක්ක කොටගෙන සිදු කරන එකකි. එමඟින් සාර්ථක ප්‍රතිඵල අත්කරන තත්ත්වයක් පෙන්නුම් කරන අතර විශාල පිරිවැයක් යෙදවීමට අවශ්‍ය නොවන කරුණකි. ඇතැම් ප්‍රචාරණයන් මුද්‍රිත අකුරු හා පින්තූර ආශ්‍රිතව සිදු කෙරෙද්දී තවත් ඒවා වීඩියෝ තාක්ෂණය භාවිතයෙන් හඬ හා ශබ්ද යොදා ඉතාම සජීවී හා තාත්වික ලෙස පෙන්වීමට ක්‍රියා කර ඇත.

රූපවාහිනිය, ගුවන්විදුලිය හෝ පුවත්පත් ආශ්‍රිත දැන්වීම් ප්‍රචාරණය මිල අධිකය. එවැනි පිරිවැයක් දැරීම අපහසු නමුත් ප්‍රධාන පෙළේ අපේක්ෂකයෝ දිනපතා එය සිදු කරති. ප්‍රධාන පෙළේ පක්ෂවල අපේක්ෂකයන් ප්‍රවර්ධනය සඳහා ප්‍රාදේශීය දේශපාලනඥයන් සහ හිතවාදීහු කටයුතු කරති. ඒ සඳහා පෝස්ටර්, බැනර්, කටවුට් භාවිතය විශාල වශයෙන් දැකිය හැකිය. එහිදී කැපී පෙනෙන්නේ සිය අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීම හා සමානව දැන්වීම තුළින් තමාගේ රූපය ප්‍රදර්ශනය කිරීම හා ජනාධිපති ධූර අපේක්ෂකයා තම සමීපතම හිතවතකු ලෙස හුවා දැක්වීමට උත්සාහ ගැනීමය. ඒ හැර ඇතැම් පුවරු තුළ හිටපු නායකයාගේ රැව ප්‍රදර්ශනය කරමින් යම් ආකර්ශනයක් දිනා ගැනීමට ගන්නා උත්සාහයන් දැකිය හැකිය. මැතිවරණ ප්‍රචාරණය පිළිබඳව නීති පනවා ඇතත් කොළඹින් පිට පළාත්වල දැන්වීම්, පෝස්ටර්, කටවුට්, බැනර් බහුලය.

ජනාධිපතිවරණයට අදාළ නීති විරෝධීව ප්‍රදර්ශනය කෙරෙන ප්‍රචාරණ ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා පොලීසිය පියවර ගෙන ඇත. ඒ සඳහා පොලිස්ථාන මට්ටමින් කම්කරුවන් 1045 දෙනකු බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. ඒ අනුව එවැනි ප්‍රචාරණ ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා රුපියල් මිලියන 45.8ක මුදලක් වෙන් කර ඇතැයි ද මූලස්ථාන පොලීසියකට කම්කරුවන් 3ක් හා සෙසු පොලිස්ථානයකට කම්කරුවන් 2ක් වශයෙන් බඳවා ගැනීමට නියමිත බවද වාර්තා වේ. මේ අතර නීති විරෝධී අයුරෙන් පෝස්ටර්, බැනර් හා සැරසිලි සිදුකරන පිරිස් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගන්නා බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලියේදී එක් අපේක්ෂකයකුට දිවයින පුරා කාර්යාල 12,806ක් පිහිටුවීමට අවසර ඇතැයි මැතිවරණ කොමිසම දන්වයි. ඒ අනුව ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 35 දෙනාට දිවයින පුරා කාර්යාල 448,250ක් ස්ථාපිත කළ හැකිය.

සමන්ත ප්‍රදීප් විල්තෙර