2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

ලේවලින් චිත්‍ර අඳින සමීර

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 286

ඔහු තම ලේවලින් චිත්‍ර ඇන්දේය. සමීර ශාක්‍ය රත්නායක, මොනරාගල දුෂ්කර පළාතක උපත ලද ඒ ගම්පියසේ හැදී වැඩුණු චිත්‍ර ශිල්පියෙකි. සම්ප්‍රදායික චිත්‍ර කලාවට ඔබ්බෙන් අලුත් දෙයක් සොයා යන ගමනේදී ඔහුට තම ආදරවන්තියගේ සමුගැනීමෙන් ඇතිවුණු වේදනාවෙන් ඇඳි චිත්‍රය වෙනත් ඉසව්වකට ගෙන ගියේය.

මුතුකණ්ඩිය 3 පියවර කනිටු විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ සමීර මොනරාගල සිරිපියරතන විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවේය. කුඩා කල සිටම සමීර චිත්‍ර කලාවට ඇළුම් කළේය. පුංචි කාලෙදී ඔහු අගුරු කැබැලිවලින් ඇති පදමට ගෙයි බිත්තියේ බලි කුරුටු ඇන්දේය. ටිකින් ටික ලොකු වෙද්දි ඔහු අතට අසුවෙන සියල්ලෙහිම රූප ඇන්දේය. මේ නිසාම බිත්තියේ අඳින බලි රූප දැක ඉඳහිට සමීරගේ දෙමව්පියන් පුංචි තරවටුවක් කළද සමීරගේ චිත්‍ර හැකියාව තවතවත් වැඩිවූවා මිස අඩුවක් නොවිණි.

ඇතැම් චිත්‍ර කුඩා කාලයේදීත් ඔහු ඇන්දේ තවත් කෙනකුට නොපෙනෙන්නටය. ආර්ථික අපහසුතා තිබුණු පවුලක ජීවත් වූ සමීර අතේ ඇඟිලි තුඩුවල පැස්ටල් පාට ගෑවෙන තුරු කෑලි කැඩුණු පැස්ටල්වලින් පවා ඇති පදමට චිත්‍ර ඇන්දේය. ඇතැම් චිත්‍ර සමීර ගෙවත්තේ තිබූ ගස් යට වාඩි වී ඇන්දේය. තවත් චිත්‍ර ගෙයි මුල්ලකට වී හොර රහසේ ඇන්දේය. තම දරුවා පාසැල් අධ්‍යාපනයට බාධා කරගනිමින් චිත්‍ර කලාවේ යොමු කරනවා වෙනුවට පාසල් පොතට සමීරගේ හිත යොමන්නට ඒ දෙමව්පියන් උත්සුක විය. නමුත් එහි කිසිදු ප්‍රතිඵලයක් නොලැබුණි. චිත්‍ර ගුරුවරයෙක් නොලත් සමීර චිත්‍ර කලාවටම තවතවත් ළං වූවේය. උපතින් ලද හැකියාවටම සමීර ටිකින් ටික වැඩිදියුණු කරගත්තේය. අතට අහුවෙන අඟුරු කැබැල්ලෙන් සමීර ඇතිතරම් ප්‍රයෝජන ගත්තේය. ඒ වගේම පැස්ටල්, දිය සායම්වලින් ද සමීර චිත්‍ර ඇන්දේය.

පාසැල් අධ්‍යාපනයට සමුදුසුන් සමීරගේ හිතේ හීනයක් තිබුණේය. කලාවට ආදරය කළ සමීරට කලාවේ විවිධ පැති පිළිබඳව ගවේෂණය කිරීමේ පොඩි උණක් හැදුණේය. ඔහු කලා හදවතක් ඇති තරැණයෙකි. ඔහු චිත්‍ර කලාවට, සංගීතයට, වේදිකා නාට්‍යය, සිනමාවට එකසේ ආදරය කළේය. සමීර චිත්‍රපට පිස්සෙකි. ඒ තරමටම චිත්‍රපට බලන්නට ඔහු ආසා කළේය. ඒ නිසාම ඔහු අතින් ඒ චිත්‍රපටවල වීරයන්ගේ රුව ඇඳුණේය. එකල ඔහු වරෙක ගාමිණී ෆොන්සේකා ඇන්දේය. මාලනී ෆොන්සේකා ඇන්දේය. තවත් වරෙක ජෝ අබේවික්‍රම චිත්‍රයට ඇන්දේය. ඒ සෑම චිත්‍රයකටම සමීරගේ යාළුවන්ගෙන් මාරයිනේ කියවුණේය. ඒ සෑම චිත්‍රයක්ම සමීර දිය සායම් මාධ්‍ය යොදාගනිමින් ඇන්දේය.

චිත්‍ර ඇඳීමට මෙන්ම සමීර රඟපෑමට ද ආස කළේය. ඔහු සැබෑ කලාකරැවකු වන්නට ආසා කළේය. නමුත් මොනරාගල වැනි ඈත දුෂ්කර පළාතක සිට ඒ හීනයට යන ගමන ඈත බව සමීර දැනගත්තේය. ඒ නිසාම සමීර ගමට සමු දී කොළඹට එන්නට සිතාගත්තේය. නමුත් කොළඹ සමීරට නෑදෑයෙක්වත්, මිතුරෙක්වත් අඩුම තරමේ දන්න කියන කෙනෙක්වත් නොසිටියහ. ඒ වනතුරු සමීර මොනරාගල සිට කොළඹට පැමිණ තිබුණේ එකම එක වතාවක් පමණි. එයද ඉතා කුඩාම අවදියේය. ‍මේ නිසාම වයස අවුරුදු දහසයක් පමණ වන අවදියේදී ගෙදරින් කොළඹට එන ගමනේදී සමීරගේ දෙමව්පියන්ට එයට අකමැති විය. නමුත් හීනයට එන ගමන නතර කරලන්නට සමීර අකමැති විය. ආර්ථික අපහසුතා බොහෝ තිබුණු පවුලක ජීවිතේ ගෙන ගිය සමීරට මේ ගමන එන්නටවත් අත මිට මොලවන්නට දෙමව්පියන්ට මුදලක් නොතිබුණි. මේ නිසාම සති කිහිපයක් තිස්සේ ගමේ වෙළෙඳසල් කිහිපයකට ඇඳි චිත්‍රවලින් යම් මුදලක් එකතු කරගන්නට සමීරට පුළුවන් විය. නමුත් චිත්‍රවල වටිනාකම පිළිබඳ ඒ වනවිට හොඳ අවබෝධයක් සමීරට එවකට නොතිබුණි.

සමීර ගමෙන් කොළඹට පැමිණ මාරම කට්ටක් කෑවේය. මොනරාගල සිට කොළඹ කොටුව අසලින් නතර වුණු බස් රථයෙන් බැස සමීර වටපිට බැලුවේය. වාහන එහා මෙහා ගියහ. මිනිසුන් එහා මෙහා ගියහ. මේ සියල්ලම අතර සමීර තනිවූයේය. ඇස්වල කඳුළු පිරුණේය. නමුත් ඔහු හිත ශක්තිමත් කරගත්තේය. ඔහු පිටකොටුවේ පැය කිහිපයක් ඇවිද්දේය. කුසගින්න අධිකව දැනුණ ද පසුම්බියේ තිබුණ රුපියල් හත්සිය පනහක මුදල වියදම් කරන්නට සමීර අකමැති විය. හිතූ හිතූ මොහොතක අත දිගහැර වියදම් කරන්නට පසුම්බියේ මුදලක් නොතිබුණි. අත දිගහැර දෙන්නට තරම් සමීර ළඟ බැංකු කාඩ්පතක් නොතිබුණි. හදිස්සියකට ඉල්ලාගන්නට සමීරට කොළඹ දන්න කියන කෙනෙක්ද නොසිටිය. ඒ නිසාම පසුම්බියේ තිබුණු පුංචි මුදලින් ජීවිතය කෙසේ හෝ ගැටගසාගන්නට සමීර අදිටන් කරගත්තේය.

මොනරාගල සිට කොළඹට ආ ගමනේදී සමීරගේ හිතේ බලාපොරොත්තු කිහිපයක්ම එකිනෙක ගොඩනැගී තිබුණි. වයස අවුරුදු දහසය වුණු ඉලන්දාරී වයසේ පසුවන සමීර ගෙදරට බරක් වන්නට අකමැති විය. ඒ වගේම කලාකරුවෙක් විදිහට මිනිසුන් අතරට යන්නට ඔහුට ඕනෑ විය. තරුණයෙක් විදිහට ජීවිතය දිනාගන්නට ඔහුට අවශ්‍ය විය. ග්‍රාමීය මිනිසුන් එක්ක ජීවිතය ගෙනියද්දි චිත්‍රවල වටිනාකම ගැන ඔහු දැනසිටියේ නැත.

මොනරාගලින් කොළඹට ආ සමීර කොළඹ නගරයේ එහාට මෙහාට ඇති තරම් ඇවිද්දේය. කුසගින්න දැඩිව දැනෙද්දි ඔහු පිටකොටුවේ සෙනඟ ගැවසුණු හෝටලයකට ගොස් අඩු මුදලකින් කෑම එකක් කෑවේය. ඔය අතරේ හෝටලේ  වැඩ කරන සමීරගේ වයසේ පසුවන වේටර් රුකියාව කරන තරැණයෙක්ව සමීරගේ ඇස ගැටුණි. රැකියාවක් හිතේ තිබුණු ගැටලුවට සමීරට පිළිතුරක් ලැබුණි. එතැන් සිට සමීර වේටර්වරයකු වෙන්නට හිතාගත්තේය. කොළඹ නුගේගොඩ නාමය සමීර අසා තිබුණේය. මේ නිසාම එකසිය තිස් අට බස් රථයකට ගොඩවුණු සමීර නුගේගොඩ නගරයට සේන්දු විය. කොළඹ නගරයේ මෙන්ම නුගේගොඩ ද අධික ජනගහනයෙන් පිරැණු නගරයක් විය. නුගේගොඩ බෝගහ යට විනාඩි කිහිපයක් සිටගෙන සමීර කල්පනා කළේය. ඔහු අඩි කිහිපයක් කොළඹ දෙසට ඔහේ ඇවිදගෙන ආවේය. ඉතා ප්‍රසිද්ධ අවන්හලක් ඔහුගේ නෙත ගැටුණි. දෙවරක් නොහිතා ඔහු අවන්හලට ගොඩවැදී කළමනාකරැව මුණගැසුණේය. වාසනාවට මොනරාගල සිට කොළඹට එන ගමනේදී ඔහු සියලුම සහතික පත්‍ර හා ග්‍රාමසේවක සහතික කළ ලිපියක් සහිත ෆයිල් කවරයක් ද බෑගයේ ඉතා පරිස්සමට රුගෙන ආවේය. එයින් සමීරට අවන්හලේ වේටර් රුකියාව ලැබුණි. ඉන්න හිටින්නට තැනක් ලැබුණි.

එතැන් සිට සියඹලාණ්ඩුවේ සමීර කොළඹ බෝඩිංකාරයකු විය. නිතර නිතර නුගේගොඩ අවන්හලට සමීර ප්‍රිය කරන නළු නිළියන් ආවා ගියහ. ඒ නිසාම ඒ සැමටම සමීර හොඳ හැටි සැලකුවේය. ඔය අතරේ සමීර තම චිත්‍ර කලාව ද ප්‍රගුණ කරගත්තේය. ඉඩ ලැබෙන මොහොතක ඔහු දිය සායම්වලින් චිත්‍ර ඇන්දේය. වේටර් රැකියාවෙන් කොළඹ නගරයේ ජීවත් වන්නට ප්‍රමාණවත් වැටුපක් නොලැබීමත්, තම හීන කරා යාමට එතරම් මේ රුකියාවෙන් තල්ලුවක් නොලැබීම නිසාත් සමීර වේටර් රැකියාවෙන් සමුගෙන රුකියාවල් කිහිපයක්ම කළේය. රුකියාවල් නිසාම ඔහු අපමණ මහන්සි ගත්තේය. ඒ සියලු මහන්සි අතරේ ද සමීරගේ හිත දිව යන්නේ ඔහු ඇතුළේ සැඟවී සිටිනා කලාකරුවාව ඉස්මතු කරගැනීමටය.

සමීර ගමේ යහළුවන්ට මම කවදාහරි නළුවෙක් වෙනවා. මම චිත්‍ර ශිල්පියෙක් වෙනවා යැයි කී හැම මොහොතකද ඒවා ලොකු හීන විතරයි බං.. ඕවා කරන්න අපිට බැහැ* යැයි පැවසුවේය. සමීරගේ තිබුණ නැතිබැරිකම යහළුවන්ගේ කතා තුළින් ඔහු තේරුම් ගත්තේය.

ඔහුට එකල පුවත්පතක චිත්‍රයක් යවා ගැනීමට ලොකු හීනයක් විය. ගමේ සිට ඔහු චිත්‍ර කිහිපයක්ම ඇඳ ලියාපදිංචි තැපෑලයෙන් පත්තර කන්තෝරුවලට චිත්‍ර තැපැල් කළේය. තැපැල් කිරීමට අවශ්‍ය මුද්දර ගන්නට සමහර දිනවල සමීරට මුදල් නොතිබුණි. කෙසේ හෝ මුදල් සොයා තැපැල් කළ කිසිදු චිත්‍රයක් පත්තරයක පළවුණේ නැත. ඒ නිසාම සමීරගේම අය, සමීරගේ යහළුවන් කවදාවත් ඔයාට කරන්න බැහැ* කියනා අභියෝගය ගෙන ආවේය. ඒ අභියෝගය හමුවේ සමීර තව තවත් ශක්තිමත් විය. කවුරැන් හෝ තමන් රිද්දවීමෙන්, කවුරැන් හෝ තමන් පහළට අඳින්නට උත්සාහ ගැනීමෙන් සමීර නැගිටින්නට වෙර දැරුවේය

කොළඹදී ඔහු බොහෝ ප්‍රශ්නවලට මුහුණ දුන්නේය. නොදන්නා සමාජයක, නොදන්නා මිනිසුන් අතරේ ඔහු අතරමං විය. ඔහු ජීවිතය ඉගෙනගන්නට ආසා කළේය. ඒ නිසාම ඔහු කොළඹ රස්තියාදු ජීවිතයක් ගතකළේය. ඒ හරහා ඔහු ජීවිතයට ඉගෙනගත්තේය. ඔහු විජය කුමාරණතුංගගේ, ගාමිණී ෆොන්සේකාගේ දියසායම් චිත්‍ර දෙකක් නැවතත් ඇඳ තමන්ගේ කෙටි විස්තරයක් ද සඳහන් කර සිනමා පුවත්පතකට ලියුමක් තැපැල් කළේය. එයින් සමීරගේ හීනවලට තටු ලැබුණේය. කුඩා මුද්දරයක ප්‍රමාණයකින් ඔහුගේ චිත්‍ර දෙක පුවත්පතේ පළවුණි. එයද සමීරට මහමෙරක් තරම්ය. නමත් සමඟ පළවී තිබුණු ඒ පුවත්පත් තුන හතරක්ම සමීර මිලදී ගත්තේය. දිනක් පුවත්පතින් සමීරට දුරකථන ඇමතුමක් ලැබුණේය. පුවත්පත් සම්මුඛ පරීක්ෂණයක් සඳහා කාර්යාලයට පැමිණීමට හැකිදැයි සමීරගෙන් ඔවුන් ඇසුවේය. සමීරට නිම්හිම් නැතිවිය. ඔය කාලෙදී සමීරට මුදල් ප්‍රශ්න ද තිබුණේය.

පිළිවෙළකට පුවත්පත් කාර්යාලයට ඇඳගෙන යන්න ඇඳුම් පවා ඔහුට නොතිබුණේය. නමුත් ඒ වනවිට කොළඹදී හඳුනාගත් යහළුවන් සමීරට උදවු කළේය. සමීර ටිකින් ටික තම කලාව ප්‍රගුණ කරගත් චිත්‍ර ශිල්පියෙකි. මෑතකදී ඔහු අපූරැ නිර්මාණ කලාවකට අතගැසුවේය. ඒ ලේවලින් චිත්‍ර ඇඳීමය. ඔය කාලෙදී ඔහු පෙම්වතකු විය. ඔහු ගැහැනු ළමයකුට ආදරය කළේය. නමුත් එක්තරා සිදුවීමකදී ඔවුන් අතර මතගැටුමක් ඇතිවිය. ආදරය දෙදරා ගියේය. මෙයින් සමීර ගොඩක් දුක්වූවේය. වේදනා වින්දේය. දිනක් ඒ වේදනාව අඩු කරගන්න සමීර තම රැධිරයෙන් ඇගේ රූපය ඇන්දේය. විරහව දරාගන්නට බැරිව ඇතැම් මිනිසුන් ජීවිතය විනාශ කරගන්නට නාස්තියට පෙළඹෙන යුගයක සමීර තම ලෙයින් ඇගේ රෑපය ඇන්දේය. ඇතැමුන් තම ආදරය ප්‍රකාශ කරගන්නට ලෙයින් ලියුම් ලියති. මේ ඔස්සේ ඔහු ලෙයින් චිත්‍ර අඳින්නට උත්සාහ ගත්තේය. ඒ සියල්ල සමීර කළේ කිසිවකුටත් හොර රහසේය. ඔහු තම බෝඩිං කාමරයේ චිත්‍රය ඇන්දේය. එතැනින් නොනැවතුණු ඔහු තවත් චිත්‍ර කිහිපයක් රැධිරයෙන් ඇන්දේය. ඒ අතර විජය කුමාරණතුංග, එච්. ආර්. ජෝතිපාල, ලසිත් මාලිංගගේ චිත්‍රවලට කාගෙත් පැසසුමක් හිමිවිය. ඇතැමුන් සමීර මෙලෙස ලෙයින් චිත්‍ර අඳින්නට පෙර යම් මත්ද්‍රව්‍යයක් හෝ එවැනි යම්කිසි පානයක් ගන්නවා ඇතැයි කියති. නමුත් සමීර මස්, මාළුවලින් තොර මත්පැන් නොබොන තරැණයෙකි. ඔහු මේ සියල්ලම සිදුකරන්නේ කලාවට තියෙන ආසාව නිසාමය. ඔහුට රඟපාන්නට ඇත්තේ ද ලොකු ආසාවකි. සමාජයේ ජීවත්වන විවිධාකාර මිනිසුන් සමීර විවිධ මාධ්‍යයන් තුළින් චිත්‍රයට නගයි.

සමීර මේ දිනවල අලුත් චිත්‍රයකට සූදානම් වේ. එය ද වෙනස්ම නිර්මාණයකි. අනුන්ගේ රැව චිත්‍රවලට නගන්නනට තමන්ගේ රැධිරය දන්දෙන සමීරගේ ඊළඟ වෑයම කුමක් වෙයිද? තවත් කෙනකුගේ ජීවිතයක් බේරාගන්නට බොහෝ දෙනා ලේ දන්දෙති. තවත් සමහරුන් මුදලට ලේ දන්දෙති. සමීර තවත් කෙනකුගේ ඇස පිනවන්නට තම හීනය කරා යන්නට තම ලේ දන්දෙයි. සිතුවිලි වෙනස්ය. ඒ වෙනස නම් අමුතුය.

  දිශානි ජයමාලි කරුණාරත්න

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05