2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

ඇඟළුම් ක්ෂේත‍්‍රයේ නොමැකෙන නමක් තැබූ මාර්ටින් ට‍්‍රස්ට්

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 1320

විජය කුමාරයා තම්මැන්නාවට ගොඩබසින විට කුවේනිය කපු කටිමින් සිටින ලද බව ඉතිහාසය සනාථ කරයි. කපු වගාව සහ අත්යන්ත‍්‍ර රෙදිපිළි සෑහෙන කාලයක් ශ‍්‍රී ලංකාවේ පැවැත්මට උපකාරී වී තිබේ. ආහාර තරමටම වස්ත‍්‍ර ද වැදගත්ය. මූලික වශයෙන් ඇඳුමක් සඳහා පැවැති අවශ්‍යතා අද වන විට වෙනස් පැත්තකට ගමන් කර තිබේ. එය විලාසිතාවකි. විවිධ සෘතුවලට අඳින පළඳින ඇඳුම් ආයිත්තම් සකස් කිරීම හා අලෙවිය දැවැන්ත කර්මාන්තයක් වී ඇත. උණුසුම් කාලගුණය පවතින වකවානුවේ දී එයට ගැලපෙන ඇඳුම්වලට ඉල්ලුමක් පවතින රටවල ස්වභාවය එයින් මාස කිහිපයකට පසු වෙනස් වෙයි. ශීත කාලගුණය වෙනුවෙන් ඇඳුම් උවමනා කරන තත්ත්වයට පත්වෙයි. විශාල ජනගහනය, එකිනෙකට වෙනස් කැමැත්ත අනුව කරන ඇඟළුම් නිෂ්පාදනය දස ලක්ෂ ගණනින් රුකියා අවස්ථා බිහිකරන ව්‍යවසායකි. රෙදිපිළි හා ඇඟළුම් කර්මාන්තය ලෝකයේ අමරණීය පුද්ගලයෝ බිහිකර ඇත. ශ‍්‍රී ලංකාවට ද බෙහෙවින් සම්බන්ධ, මෙරට ඇඟළුම් ව්‍යාපාරයෙහි පෙරුළියක් ඇති කළ කීර්තිමත් චරිතයක් නොබෝදා සිය දිවි ගමන අවසන් කළේය. මාර්ටින් ට‍්‍රස්ට් කියූ පමණින් හෙතෙම ලෝකයේ අස්සක් මුල්ලක් නෑර හඳුනන පුද්ගලයෙක් විය.

ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයේ ඉතිහාසය හදාරන  ඕනෑම අයකුට මාර්ටින් ට‍්‍රස්ට් අමරණීය චරිතයකි. හෙතෙම විවෘත ආර්ථික ක‍්‍රමය සමඟ ඇරඹෙන වෙළඳපොළ ක‍්‍රමය තුළ ආනයන හා අපනයන අංශවලට අලුත් දොරටුවක් විවෘත කළේය. තේ, රබර් හා පොල් යන සම්ප‍්‍රදායික අපනයනවලට සීමා වී තිබුණ වෙළෙඳාම ඇඟළුම් නිෂ්පාදන කෙරෙහි නැඹුරුවීම විශේෂිත තත්ත්වයක් බව පිළිගත යුතුය. 

මාර්ටින් ට‍්‍රස්ට් මහතා ඉකුත් බ‍්‍රහස්පතින්දා එනම් සැප්. 12 වැනිදා ෆ්ලොරිඩා හි පිහිටි සිය නිවසේදී අවසන් හුස්ම හෙලීය. එයින් දින හයකට පසු අවසන් කටයුතු කරන ලද අතර බිරිඳ ඇතුළු දූ දරුවන් ශෝක වන පිරිස වෙත විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබුණි. එයට අනුව ඔහුගේ අභිලාශය පරිදි මල් හෝ ශෝක දැන්වීම් වෙනුවෙන් වැය කරන මුදල පිළිකා පර්යේෂණ පවුලේ අරමුදලකට යොමු කරන සේ ඉල්ලා තිබුණි. 

ඉතිහාසය පෙන්වා දෙන පරිදි ශ‍්‍රී ලංකාව 1950 ගණන්වල සිට කර්මාන්තයක් වශයෙන් ඇඟළුම් නිෂ්පාදනය කරගෙන ගොස් තිබේ. එය මෙරට පැරණි ආරම්භක කණ්ඩායම් කිහිපයක් අත තිබුණ ව්‍යාපාරයකි. ඒවා දේශීය අවශ්‍යතා සම්පූර්ණ කරන ලද බව සඳහන්ය. නිමි රෙදි ආනයනයට අවස්ථා සීමිත සහ අමුද්‍රව්‍ය පවා ගෙන්වා ගැනීම පහසු නැති මෙම කාලයේ අත්යන්ත‍්‍ර පෙහෙකම් ග‍්‍රාමීය කර්මාන්තයක් වශයෙන් තිබුණි. 1950 සිට 1970 දක්වා කාල වකවානුව තුළ ඉන්දීය ජාතික මහරාජාවරයකුට අයිති වැල්ලවත්ත කෙටීමේ හා විවීමේ කම්හල සඳහන් කළ යුතු තැනකි. එකල පැවැති වැඩ වර්ජන හේතුවෙන් කම්හල පවත්වාගෙන යා නොහැකි වූ අතර එය විකුණා දැමීමට මහාරාජාවරු පියවර ගත්හ. නව අයිතිකරුවන් බවට පත්වූයේ මෙරට පළමු ශ්‍රී ලාංකික මහ බැංකු අධිපතිවරයාව සිට පසුව පෞද්ගලික ව්‍යාපාර අංශයට ප‍්‍රවේශ වූ එන්.යූ. ජයවර්ධන මහතාය. එවකට වැල්ලවත්ත විවීමේ හා කෙටීමේ රෙදි කර්මාන්ත ශාලාවට ප‍්‍රදේශයේ විසූ දක්ෂ ක‍්‍රීඩකයන්ට පවා අවස්ථාව දුන් තුන් දහස් පන්සියයක් පමණ සේවය කළ තැනකි. පාපන්දු ක‍්‍රීඩකයන්ට තිබුණ අවස්ථා පසුව ජයවර්ධන පාලන කාලය තුළ ක‍්‍රිකට් ක්‍රිඩාවටද ලබා දී ඇති අතර මෙරට පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර පවා වැල්ලවත්ත කම්හල කණ්ඩායම නියෝජනය කර තිබේ. 

1972 දී වෙළෙඳ සීමා පනවන රජයේ ප‍්‍රතිපත්ති අනුගමනය කරන තෙක් මෙරට නිපදවන ඇඟළුම් සුළු වශයෙන් බ්‍රිතාන්‍ය හා සෝවියට් සමූහාණ්ඩුවට අපනයනය කර ඇති බව පැරණි වාර්තා දක්වයි. ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් දක්වා විනිමය උපයන ලද බවද තොරතුරු දක්වයි. එවැනි වකවානුවක එය සෑහෙන විදේශ ආදායමකි.  

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පත්ව විවෘත ආර්ථික ක‍්‍රමය හඳුන්වා දීමෙන් පසු අපනයනය වේගවත් කරන වැඩ පිළිවෙළකට සේන්දු විය. ඇමරිකාව සමඟ අත්සන් කරන ලද බහු කෙඳි ගිවිසුම එහි ලා සන්ධිස්ථානයකි. එම ගිවිසුම අනුව ඇමරිකාවට අවශ්‍ය ඇඟළුම්වලින් කොටසක් එම ගිවිසුමට ඇතුළත් වූ රටවල් වලින් බදු රහිතව ආනයනය කරන්නට අවකාශ සැලසිණ. එම අවස්ථාව ඇමරිකානු ආයෝජකයන්ට ප‍්‍රයෝජනවත් වූ අතර දුරදර්ශී සංකල්පවලින් යුත් මාර්ටින් ට‍්‍රස්ට් වැනි ඇඟළුම් ව්‍යවසායකයෝ ගිවිසුම් සහිත රටවල් සමග උපායශීලී සම්බන්ධතා ඇරුඹූහ. එය ශ‍්‍රී ලංකාවට මිල කළ නොහැකි අවකාශයක් වූ බව සඳහන් කළ යුතුය. එම සම්බන්ධතා වේගවත් වූයේ නගරයෙන් බැහැර ප‍්‍රදේශවල කර්මාන්ත දෙසීයක් ආරම්භ කරන වැඩපිළිවෙළයි. ආයෝජන මණ්ඩල සහන සහිතව දුර ප‍්‍රදේශවල කර්මාන්තශාලා ඇරඹුණු අතර ඒවායේ නිෂ්පාදන මිලදී ගැනීමට බටහිර සමාගම් කෝටා ක‍්‍රමය වරප‍්‍රසාදයක් වශයෙන් ප‍්‍රයෝජනයට ගත්හ. මෙහිදී මාර්ටින් ට‍්‍රස්ට් ගේ ප‍්‍රවේශය ඉතා වැදගත් වන අතර හෙතෙම තමන්ගේ ධනය ආයෝජනය කරමින් අලුත් ව්‍යවසාය පරපුරක් ඇතිකරන පසුබිමක් ඇති කළේය. හෙතෙම කර්මාන්තයට අවශ්‍ය තාක්ෂණය, ධනය හා අවස්ථාව ලබාදුන් අතර ඔහුට අයත් ව්‍යාපාර ජාලාවල ශ‍්‍රී ලංකාවේ ඇඟළුම්වලට හොඳ ඉල්ලුමක් හිමි විය. 

මෙරට ව්‍යවසායකයෝ ඉක්මණින් වෙළඳපොළ අවබෝධ කරගත් අතර එහි නියැලි ශ‍්‍රම බළකායද ඉතා කැපවීමෙන් සේවය කරමින් රටට විනිමය උල්පතක් පාදා දුන්හ. තේ අපනයනයෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් පමණ උපයන විට ඇඟළුම් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් උපයා ගන්නට පසුගිය වසරේ සමත්ව තිබේ. මෙම ආදායමෙන් සෑහෙන කොටසක් රෙදි පිළි හා යන්ත‍්‍ර ආනයනයට වැයකරන ලද නමුත් ශ‍්‍රමයට ලැබෙන මුදල කෙළින්ම රටට ලැබුණ ශුද්ධ ආදායමක් බව සඳහන් කරන්නට අවශ්‍යය. මාර්ටින් ට‍්‍රස්ට් ගේ මැදිහත්වීමෙන් ලැබුණ අවස්ථාවව ඉතා තරගකාරී හා මෝස්තර නිර්මාණය අතින් උසස්ම තත්ත්වයට ගෙන එන්නට මෙරට ඇඟළුම් කම්හල් ප‍්‍රධානීහු සමත් වූහ. ඉතා අයහපත් කාල පරිච්ඡේද වල දී පවා නොනවත්වා ඇනවුම් සපයන්නට සමත්වීම ශ‍්‍රී ලංකාව කෙරෙහි ගැනුම්කරැවන් ආකර්ෂණය කළ හේතුවක් විය. අඩුම පිරිවැයකින් ඉල්ලුමට සපයන යුගයේ සිට අද වනවිට ඉහළම ගැනුම්කරැවන් සඳහා ඉතා අනර්ඝ මෝස්තරවලින් යුතු ඇඟළුම් සැපයීම දක්වා කර්මාන්තය දියුණු වී තිබේ. එයට මුල් වූයේ ට‍්‍රස්ට් වැනි ධනවත් ව්‍යාපාරිකයන්ගේ පිටිවහල බව නොකිවමනාය. 

දශක හතරක් ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් ව්‍යාපාරයට දක්වන ලද දායකත්වය උදෙසා මාර්ටින් ට‍්‍රස්ට් මෙරට කර්මාන්තකරුවන්ගේ ඇගයුමට ලක්විය. එය සිදුවූයේ 2014 වසරේදීය. හෙතෙම බිරිඳ හා දරැවන් සමග මෙරටට පැමිණ එහි ආස්වාදය විඳ ගත්තේය. බ‍්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය පළකරන ලද (Built on Trust) කෘතිය එහිදී ඔහුගේ නමට පිරිනමන ලද අතර එය වැදගත් හැඟුම්බර අවස්ථාවක් විය. මාර්ටින් ට‍්‍රස්ට් අති විශාල ධනස්කන්ධයක් හිමි ව්‍යවසායකයකු වශයෙන් මෙරට ඇඟළුම් ලෝකයේ ඉහළ තැනෙක තැබීය. 1986 දී හෙතෙම පළමුවෙන් මෙරට ආයතනයක් සමග හවුල් ව්‍යාපාරයකට එකතුවෙන්නේ ඔමාර් පවුලේ ව්‍යාපාරයක් සමගය. එවකට එය එල්.එම්. ඇපරල් විය. පසුව බ‍්‍රැන්ඩික්ස් යනුවෙන් ස්ථාපිත කළේ එම සමාගමයි. අනතුරුව මෙරට නිෂ්පාදන අංශය, එහි ශ‍්‍රම සහභාගීත්වයේ තිබුණ දක්ෂතා සහ පිරිමැසුම් වියදම සලකා තවත් ආයතන දොළහකට වැඩි ප‍්‍රමාණයක් සමග ව්‍යාපාර සබඳතා ගොඩනගා ගන්නට සමත්විය. මර්කන්ටයිල් මර්චන්ට් බැංකුව පිහිටුවන ලද අවස්ථාවේ දී ආරම්භක කොටස් හිමියකු වූ හෙතෙම පසුව එම දේශිය ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල උපදේශකවරයා වශයෙන් ද කටයුතු කළේය. මිලින්ද මොරගොඩ මහතා සිය පවුලේ මර්කන්ටයිල් ව්‍යාපාර මර්කන්ටයිල් මර්චන්ට් බැංකුව වශයෙන් ආයෝජන ව්‍යාපාරයක් වශයෙන් පරිවර්තනය කළ අතර ලෝකයේ ප‍්‍රකට සමාගම් සමග සම්බන්ධවෙමින් ඒවායේ නිල සන්නාමය සහ විදේශීය ආයෝජන රටට ගෙන එන්නට කටයුතු කරන ලද බව සඳහන්ය.

එක් අවස්ථාවක මෙරට ඒකාබද්ධ ව්‍යාපාර ආයතන තිහකට වඩා ට‍්‍රස්ට් පවුලේ ව්‍යාපාර සමග එකතු වී කරගෙන ගොස් තිබේ. ඒවායේ සේවය කරන ලද මෙරට ශ‍්‍රමිකයන් ප‍්‍රමාණය විසි දහස ඉක්මවන ලද අතර ඇමරිකානු පුරවැසියෙකු මෙරටට පැමිණ කරන ලද සේවය ප‍්‍රශංසනීය බව ව්‍යාපාරික අංශ දක්වයි. විශේෂයෙන් මෙරට ඇඟළුම් අපනයන අංශ පිබිදෙන වකවානුවේදී චීනය මහා පරිමාණයෙන් නිමි ඇඳුම් අපනයනය කරමින් සිටි අතර මාර්ටින් ට‍්‍රස්ට් වැනි ආයෝජකයකු හා මග පෙන්වන්නකු නොවුණි නම් චීන අපනයන සමග තරග කරන්නට මෙරට නිෂ්පාදනවලට කිසිම අවස්ථාවක් නොලැබෙන බව ඔවුහු පෙන්වා දෙති. 

නිව්යෝක්හි නැගෙනහිර ප‍්‍රදේශයේ සාමාන්‍ය පවුලක උපත ලැබූ මාර්ටින් ට‍්‍රස්ට් මූලික අධ්‍යාපනයෙන් පසු කූපර් යුනියන් කොලීජියට ඇතුළත්ව උපාධිය සම්පූර්ණ කරන ලද අතර නොමිලේ ලැබුණ එම අධ්‍යාපනය ඔහුගේ ජීවිතය පරිවර්තනය කරන ලද පදනම වශයෙන් සැලකෙයි. එයින් පසු තවදුරටත් ඉගෙන ගැනීමට අවශ්‍ය මුදල් උපයා ගෙන ඇත්තේ අතිරේක පන්ති පැවැත්වීමෙන් ලැබුණ ආදායමෙන් බව ඔහුගේ ජීවන පසුබිම් වාර්තා දක්වයි. තාක්ෂණික ඉංජිනේරු උපාධිධරයකු වූ අතර පසුව කර්මාන්ත කළමනාකරණය සම්බන්ධයෙන් පශ්චාත් උපාධිය මැසසචුසෙට් විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. පසුව එහිම බාහිර කමිටු සාමාජිකයෙක් විය. ඇමරිකාවේ ප‍්‍රධාන පෙළේ කර්මාන්ත හා නිෂ්පාදන සමාගම් ගණනාවක ඉහළ පෙළේ තනතුරැ හෙබවූ ට‍්‍රස්ට් නිෂ්පාදන, සංවර්ධන, යටිතල පහසුකම් සහ කෝටා ක‍්‍රමයෙන් මාර්ටින් ට‍්‍රස්ට් අත්වන ආර්ථික බලපෑම යනාදී අංශ වල ලෝකය පුරා දේශන පවත්වා තිබේ.

තමන්ගේ ව්‍යාපාරයක් වශයෙන් මාස්ට් ඉන්ඩ‍්‍රස්ට්‍රීස් 1970 වසරේ දී ආරම්භ කළේය. අන්තර් ජාතික ඇඟළුම් ව්‍යාපාරයක් වූ එහි ප‍්‍රධාන විධායක නිලධාරී වශයෙන් කටයුතු කරමින් වාර්ෂික අලෙවිය ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක සීමාව ඉක්මවන තෙක් නංවන ලද අතර රටවල් 14 ක කාර්යාල පවත්වාගන ගියේය. වසර අටකට පසු හෙතෙම ඇමරිකාවේ ප‍්‍රකට කාන්තා හා පිරිමි ඇඳුම් අලෙවි ජාලයක් මිලදී ගත්තේය. ලිමිටඩ් බ‍්‍රෑන්ඩ් යනුවෙන් ප‍්‍රකට එහි වාර්ෂික අලෙවිය ද වාර්තා පිහිටුවන ලද එකකි. 2003 වසර තෙක් එහි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයකු වූ හෙතෙම ඇඟළුම් අංශයෙහි දක්වන ලද දක්ෂතා තේරුම් ගත් ඇමරිකාව එරට වාණිජ දෙපාර්තමේන්තුවේ ඇඟළුම් අංශයේ උපදේශකවරයකු සේ පත්කර ගත්තේය. එම වකවානුව තුළ ට‍්‍රස්ට් පවුලේ කර්මාන්ත ව්‍යාපාරය ආරම්භ කිරීමෙන් හෙතෙම සිය ව්‍යවසායකත්ව වපරිසය පුළුල් කරගන්නට සමත්විය. 

මුල් කාලයේ දී ප‍්‍රකට මෘදුකාංග සංවර්ධන ආයතනයක් වූ වර්තුසා ජාත්‍යන්තර සමාගමේ අධ්‍යක්ෂකවරයකු ද වූ මාර්ටින් ට‍්‍රස්ට් එවකට එහි ශාඛා තිබුණ ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, බ්‍රිතාන්‍ය හා ඇමරිකාව තුළ කටයුතු මෙහෙයවන ලද බව දැක්විය යුතුය. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු වෙමින් පැවැති වකවානුවේදී දිවංගත ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා අරඹන ලද ඇඟළුම් කර්මාන්ත වැඩසටහන සමග මාර්ටින් ට‍්‍රස්ට් එකතු වී සිටියේය. 

අපනයන කර්මාන්තයක් වශයෙන් ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් වේගවත් පරිවර්තනයක් කරනු සඳහා දක්වන ලද දායකත්වය අගය කරමින් 1994 වසරේදී ශ‍්‍රී ලංකා රංජන සම්මානයෙන් ද පිදුම් ලැබීය.

I ගාමිණී සරත් ගොඩකන්ද