“බූරුවා ගැහුවත් එකයි ගහනවා බලා හිටියත් එකයි.” පවතින කියමනකි. සූදු පොළක සිටියත් සූදු කෙළියත් පැත්තකට වී බලාසිටියත් පොලිසිය පැන්න විට කොටු වූයේනම් නිදහසක් නැත. කවුරු නමුත් අත්අඩංගුවට පත් අය නිවැරදිකරු වනවිට කාලය බොහෝ ගෙවී ගොස්ය. මේ බැව් තේරුම් ගැනීමට හේතු වන ප්‍රවෘත්ති කිහිපයක් පසුගිය දිනවලදී අසන්නට ලැබිණ. මේ අතර දැරණියගල ඩිපෝවේ හිටපු ඩිපෝ පරීක්ෂකවරයකු හා දැනට සිටින වැඩ පරීක්ෂකවරයකු හා ලංගම නිලධාරින් පිරිසක් සමඟ බස් වර්ජන මැද බූරු ගසමින් සිටියදී කොටුවීම ප්‍රමුඛය.
රජයේ වෛද්‍යවරුන් හා බැංකු නිලධාරින්, ඉංජිනේරුවන් මෙන්ම නීතිඥවරුන් ඇතුළු රජයේ ප්‍රධාන පෙළේ නිලධාරීන් පිරිසක් සංවිධානාත්මක ලෙස බූරුවා ගැසීමේ නිරතව සිටියදී පොලිසියට කොටු වූ පුවතක් පසුගියදා වාර්තා වූයේ ගම්පොළ ප්‍රදේශයෙනි. මෙම සිදුවීම් අනුව රජයේ ඉහළ නිලතලවල නිලධාරින් බූරු ගැසීමට පෙළඹීම හා එහි නිරතවීමේ ප්‍රවණතාවයක් තිබෙන බවද වාර්තා වේ.
දැරණියගල පොලිසියට ලද තොරතුරක් අනුව ක්‍රියාත්මක වූ නිලධාරින් පිරිසක් ඉකුත් 17 වැනිදා සිදුකළ හදිසි වැටලීමකදී දැණියගල ලංගම ඩිපෝ සේවක පිරිසක් බස් වර්ජනය අතරතුර අසල්වැසි නිවසක බූරු ගසමින් සිටියදී අත්අඩංගුවට ගනුලැබූහ. එහිදී කොටුවූ පිරිස 14 දෙනකු වන බවත් ඒ අය අතර හිටපු ඩිපෝ පරීක්ෂකවරයාද වන බවත් පොලීසිය සඳහන් කරයි.
“දැරණියගල ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝව බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් එකතුවෙලා බූරු ගහනවා කියන තොරතුරක් ලැබුණා. ඒ සම්බන්ධයෙන් අපි ඩිපෝ අධිකාරිවරයා දැනුම්වත් කළා. ඔහු කීවේ එවැනි දෙයක් සිදුවන බවත් ඒ සම්බන්ධව දැනුම්වත් කළද පලක් නැති බවයි. ඒ අනුව ඩිපෝ අධිකාරිවරයත් කීවේ පොලිසියට හැකිනම් වැටලීමක් කරලා අවශ්‍ය පියවර ගන්න කියලයි. එහෙම ටික දවසක් ගියාම නැවත අපට තොරතුරක් ලැබුණා ලංගම නිලධාරින් පිරිසක් බූරු ගසන බවට. ඒ අනුවයි පොලිස් කණ්ඩායමක් වැටලීම සඳහා යොමු කළේ.” යැයි දැරණියගල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත අලහකෝන් මහතා පැවසීය.
පහුගිය අයවැය ලේඛනය මගින් රාජ්‍ය සේවකයන්ට රුපියල් 2500ක් ලබාදෙන බව දක්වා ඇතත් එය ලංගම සේවකයන්ට ලබානොදීම හා තවත් කරුණු කිහිපයක් මුල්කරගෙන දැරණියගල හා වෙනත් ඩිපෝ කිහිපයක සේවක පිරිස් වැඩවර්ජනයක නිරතව සිට ඇත. එසේ තිබියදී පසුගිය 17 වැනිදා දැරණියගල පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු තොරතුරකින් දන්වා තිබුණේ ඩිපෝවේ සේවක පිරිසක් මුදලට සූදු කෙළින බවය. ඩිපෝ අධිකාරිවරයා මගින් කරැණු දන්වා අවවාද කර තිබියදී අදාළ කටයුත්තේ නිරත වන පිරිස අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට සිතූ ස්ථානාධිපතිවරයා පොලිස් කණ්ඩායමක් වැටලීම සඳහා යොමුකොට තිබුණි. ඩිපෝ අධිකාරීවරයා දැනුම්වත් කිරීමෙන් පසුව ඔත්තුව අනුව ක්‍රියාත්මක වූ නිලධාරිහු සැක සහිත පිරිස අත්අඩංගුවට ගනු ලැබ තිබුණේ දැරණියගල ඩිපෝවට මීටර් සීයකට පමණ ඈතින් පිහිටි නිවසක රැඳී සිටියදීය.
දැරණියගල ඩිපෝවේ හිටපු ඩිපෝ පරික්ෂකවරයා සමඟ රියැදුරන් හා කොන්දොස්තරවරුන් ඇතුළු 14 දෙනෙකු එම නිවසේ මුදලට බූරු ගසමින් සිට ඇති අතර සූදුව වෙනුවෙන් යෙදවූ රුපියල් 2500කට අධික මුදලක් පොලිසිය සොයාගෙන තිබුණි. අත්අඩංගුවට පත් සැකකරුවන් ඇප මත මුදාහැර තිබෙන නමුත් ලබන 23 වැනිදා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය පිළිබඳව දැරණියගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත අලහකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් සැරයන්වරුන් වන 58379 - සෝමරත්න, 29991 - කුලසිංහ සහ පොලිස් කොස්තාපල්වරුන් වන 20460 - බණ්ඩාර, 30487 - සුනිල්, 75110 - සිල්වා, 93443 - කෝනාර පොලිස් රියදුරු 16208 - දසනායක සමඟ පොලිස් ආරක්ෂක සහායක 2796 - චමින්ද යන නිලධාරිහු වැඩිදුර විමර්ශන සිදුකරති.
රාජ්‍ය නිලධාරීන් බූරු ගැසීමට එරෙහිව පොලිසිය සිදුකළ වැටලීම් පිළිබඳ තොරතුරු එසේ වෙද්දී මේ කතාව හලාවත ප්‍රදේශයෙන් වාර්තා වන්නේ බූරු පොළක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් සිදුකළ දූෂිත ක්‍රියාවන් සම්බන්ධයෙනි. වෙන්නප්පුව පොලිස් වසමේ හෝටලයක මුදලට සූදු කෙළින බවට තොරතුරක් ලැබී තිබුණේ හලාවත මූලස්ථාන පොලිසියට අනුයුක්ත කොට්ඨාස දූෂණ මර්දන අංශය වෙතය. එම ඒකකයේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කරමින් සිට තිබුණේ උපපොලිස් පරීක්ෂකවරයෙකි.
තොරතුරු ලද සැණින් වැටලීමකට ගිය උප පොලිස් පරීක්ෂකවරයා සමඟ පොලිස් සැරයන්වරයකු සමඟ පොලිස් කොස්තාපල්වරු 5 දෙනෙක් හා පොලිස් කොස්තාපල් රියදුරෙක් ද සිටියහ. මෙම 8 දෙනකුගෙන් සමන්විත කණ්ඩායම පසුගිය 6 වැනිදා අදාළ හෝටලයේ වැටලීම සඳහා පිටත්ව ගොස් තිබුණි. එහිදී සූදු පොළ වටලන අවස්ථාවේ සැකකරුවන් 20කට වැඩි දෙනකු එතැන සිට ඇතැයි කියති. එහෙත් එම පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබුණේ සැකකරැවන් 9 දෙනකු පමණි. සෙසු සැකකරුවන් දහදෙනකුට වැඩි පිරිසක් මුදාහැර ඔවුන් සන්තකයේ තිබූ හා සූදුව සඳහා දමා තිබූ මුදල් තොගයක් අයථා ලෙස ලබාගෙන ඇතැයිද වාර්තා විය.
මෙම චෝදනාව සම්බන්ධයෙන් නාත්තණ්ඩිය සහකාර පොලිස් අධිකාරිවරයා වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව ක්‍රියාත්මක වී එම වැටලීම සඳහා සහභාගී වූ බව කියන උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් 8 දෙනාගේ සේවය තහනම් කිරීමට පියවර ගෙන තිබිණ. වැඩිදුරටත් වාර්තා වූයේ අත්අඩංගුවට පත් මුදලින් රුපියල් 46,000ක පමණ මුදලක් පොලිස් භාරයට ගෙන තවත් රුපියල් කෝටිකට අධික මුදලක් වැඩ තහනමකට ලක්වූ නිලධාරින් විසින් ලබාගෙන දූෂිත ක්‍රියාවක නිරතව ඇති බවට චෝදනා එල්ලවී තිබෙන බවය.
රජයේ උසස් නිලතල දරන නිලධාරීන්ගෙන් සමහරු සූදු කෙළති. එය වැටලීමට යන පොලිස් නිලධාරීන්ගෙන් සුළුතරයක් එකී මුදල් සොරා කති. පිළිගත් රජයේ ඉහළ නිලධාරීන් හා නීතිය රකින ක්‍රියාත්මක කරන නිලධාරිනුත් ඊට උඩගෙඩි දෙමින් ගසාකෑමේ නිරතවේ නම් එය බරපතළ ගැටලුවකි.
සමන්ත ප්‍රදීප් විල්තෙර