2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

නෙළුම් කුලුනේ නටුව දිගේ උඩටම ගිය ගමන

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 387

අහස උසට නැගි දකුණු ආසියාවේ උසම කුලුන වන (නෙළුම් කුලුන) පසුගියදා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත විය. 2012 වසරේදී මුල්ගල තබමින් ආරම්භ කරන ලද මෙහි වැඩ කටයුතු 2016 වසර තුළ අවසන් කිරීමට අපේක්ෂා කළ ද එය නොයෙකුත් හේතු මත 2019 වසරේ සැප්තැම්බර් මස දක්වා කල්ගත විය. ලෝකයේ උසින් දහනව වැනි ස්ථානයට ද හිමිකම් කියන්නේ නෙළුම් කුලුනයි. එයට ආසියාවේ කුලුනු අතරින් හිමිවන්නේ එකොළොස් වැනි ස්ථානයයි.

මෙම කුලුනේ සම්පූර්ණ වපසරිය වර්ග මීටර් 30,600 කි. උස මීටර් 350ක් පමණ වේ. කුලුන ඉදිකිරීම් කටයුතු සඳහා වැය කළ මුළු මුදල අමෙරිකන් ඩොලර් මිලියන 104.3 කි. කොළඹ නගරයේ අහස උසට ඉදිවුණු මෙම නෙළුම් කුලුන ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් එක් කළ, සංචාරකයන්ගේ ආකර්ශනයට හා උනන්දුවට ලක්වූ අපූරු නිර්මාණයකි. අද මෙය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත නොකළ ද නුදුරේදීම මහජන ප්‍රදර්ශනයට විවෘත කළ පසු විදේශිකයන්ගේ ඇස ගැටීමට පෙරමග බලා සිටින දසුනක් වනවාට කිසිදු සැකයක් නැත.

නෙළුම් කුලුනට ආසන්නවම ඇති බේරේ වැවෙහි එහා මෙහා යන නව මගී බෝට්ටු මගින් ලැබෙන ගමනාගමන පහසුකම ද සමඟින් එහි සිට නෙළුම් කුලුනේ ඡායාරූප ගැනීමටත් නෙළුම් කුලුනේ සිට ඈතින් පෙනෙන බේරේ වැවේ ගමන් කරන මගී බෝට්ටුවල අපූරු දර්ශන නැරඹීමටත් නුදුරේදීම ඉඩකඩ ලැබෙනු ඇත. නමුත් මේ වනතුරු එම අත්දැකීම විඳින්නට මහජනතාවට අවස්ථාව සැලසී නොමැත.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, නිර්මලත්වය, සශ්‍රීකත්වය මෙන්ම දියුණුව ද පෙන්නුම් කරන නෙළුම් මලක ආකෘතිය රැගත් මෙය අපේකමට බොහෝ සමීප දසුනකි.

ඉදිරි කාලය තුළ කොළඹ නගරයේ පිහිටා ඇති නෙළුම් කුලුන තුළට ඇතුළු වීමට පෙර ජනතාවට ඒ සඳහා බොහෝ විට අවසර පත්‍රයක් මිලදී ගත යුතු වනු ඇත. ප්‍රවේශ පත්‍රය සලකුණු කිරීමෙන් පසුව ප්‍රධාන දොරටුවෙන් නෙළුම් කුලුනේ පහළ මාලයට ඇතුළු වීමට හැකියාව ලැබේ. මේ අයුරින් පහළ මාලයට ඇතුළු වීමට දොරටු හතරක් ඉදිකර ඇත. කුලුනේ වැඩ බොහෝ දුරට අවසන් කර මේ වන විට විවෘත කර තිබුණද තවමත් එය පරිපාලනය කිරීමට කණ්ඩායමක් පත් කර නොමැත.
“නෙළුම් කුලුනේ සියලුම වැඩ කටයුතු දැන් අවසානයි. නමුත් මෙය පරිපාලනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව තවමත් තීරණය කරලා නැහැ. පරිපාලන කණ්ඩායමක් නොමැතිව මෙය මහජනතාවට විවෘත කරන්න අමාරුයි.” ව්‍යාපෘති ඉංජිනේරු අනුර කුමාරපේලි මහතා දේශයට අදහස් දැක්වීය.

මෙම කාර්යය ලෙහෙසිපහසු කටයුත්තක් නොවේ. සුළු පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් මගින් මෙය පාලනය කළ නොහැක. ඉදිරියේදී ජනතාවට විවෘත කිරීමෙන් පසුව මෙය නැරඹීමට පැමිණෙන පිරිස ඉතා අධික වනු ඇත. මේ නිසාම ප්‍රවේශ පත්‍ර ලබාදීම, නැරඹුම් කොටසට ගොස් මහජනතාවට කොපමණ වේලාවක් එම ස්ථානයේ රැඳී සිටීමට කාලය දෙන්නේ ද ආදී වූ බොහෝ කරුණු පිළිබඳ නිශ්චිතව තීරණ ලබාගත යුතුය. මෙවැනි තීරණයක් නොගෙන මෙය මහජනතාවට නැරඹීමට ඉඩදිය නොහැකි වනු ඇත. මේ නිසාම වැඩ කටයුතු අවසන් වූ නෙළුම් කුලුන මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමට නම් මෙම ක්‍රමවේදය ඉතා ඉක්මනින් සැලසුම් කළ යුතු වෙයි.

නෙළුම් කුලුනේ පහළ මහල කොටස් කිහිපයකට බෙදේ. එහි පතුල් මහල වෙන්ව ඇත්තේ මුළුතැන්ගෙය සඳහාය. ඉහළ පොහොට්ටුවේ හතරවැනි සහ පස්වැනි මහල්වල පිහිටා ඇති ආපනශාලාවටත් භෝජන ශාලාවටත් ආහාර පිසීමට බලාපොරොත්තු වන්නේ සියලු පහසුකම්වලින් යුක්ත වූ මෙම ප්‍රධාන මුළුතැන්ගෙය මගිනි.

ප්‍රධාන මුළුතැන්ගෙට අමතරව පතුල් මහලේ එක් කොටසක ඉහළ පහළ යා හැකි විදුලි සෝපාන කොටස ඉදිකර ඇත. අපූරු සිත්තම්වලින් හැඩවුණු චිත්‍ර පෙළක් මෙම සෝපාන අසලදී අපගේ ඇස ගැටුණි. අමුත්තන් සඳහා විදුලි සෝපාන තුනක්ද, සේවා කටයුතු සඳහා විදුලි සෝපාන දෙකක් ද වෙන්කර ඇත. අමුත්තන් සඳහා වෙන්වූ විදුලි සෝපානය තත්පරයට මීටර් හතක වේගයකින් ද, සේවා කටයුතු සඳහා යෙදවිය හැකි විදුලි සෝපාන තත්පරයකට මීටර් පහක වේගයකින් ද ඉහළට පහළට ගමන් කරයි. සේවා කටයුතු සඳහා වෙන්වුණු එක් සෝපානයකින් මුළුතැන්ගෙයි සිට ආහාරපාන ඉහළට ගෙන යන අතර සේවා කටයුතු සඳහා වෙන්වුණු අනෙක් විදුලි සෝපානයෙන් ආපනශාලාවලින් ඉවත් කරන ආහාර සහ කසළ නැවතත් පහළට ගෙන ඒමේ කටයුත්ත සිදු කරයි.

පහළ සිට මීටර් 245ක වූ නැරඹුම් මැදිරිය දක්වා වන මෙම ගමන සාමාන්‍යයෙන් විදුලි සෝපානයක් මගින් තත්ත්පර 40ක කාලයක් තුළ අවසන් කළ හැක. මේ අනුව මෙය ලංකාවේ වේගවත්ම විදුලි සෝපාන පද්ධතිය ලෙස හැඳින්විය හැක.
නෙළුම් කුලුනට යන ගමනේදී පතුල් මාලයෙන් පසුව පළමු මහල හා දෙවැනි මහල දැකගත හැක. මෙම කොටස‍් වෙන්කර ඇත්තේ සාප්පු සංකීර්ණයක් පවත්වාගෙන යාම සඳහාය. අද වන විට ඉඩකඩ පුළුල්ව තිබුණ ද නුදුරේදීම එය වෙන් කරන ලද කාමරවලින් යුත් සාප්පු සංකීර්ණයක් බවට පත්වනු ඇත. මෙහි මුණගැහෙන තුන්වැනි මහල “කුලුන පාදමේ පියස්ස” ලෙස හැඳින්විය හැක. එය එළිමහන් සංදර්ශන හෝ එවැනි එළිමහන් උත්සව සඳහා වෙන්කර ඇත.

නෙළුම් මලේ නටුව දිගේ සෝපානයෙන් ඉහළට යන අපට නෙළුම් පොහොට්ටුව හැඩැති නෙළුම් මලට පිවිසීමේ අවස්ථාව ලැබේ. මෙය වර්ග මීටර් 7616කින් යුතු මහල් අටකින් සමන්විත වූ කොටසකි. රාත්‍රී කාලයේ ඉතා අලංකාර ලෙස ඈතට දිස්වෙන විදුලි ආලෝක එළියක් අපට දිස්වන්නේ මෙම නෙළුම් මල් පොහොට්ටුව තුළිනි. වර්ණ හයකින් යුත් එම විදුලි බුබුළු රාත්‍රී කාලයේ දී විවිධ රටා මවයි. එහි පළමු මහල රෑපවාහිනී ට්‍රාන්ස්මීටර් සහ පාලක මැදිරියටත්, දෙවැනි මහල ගුවන්විදුලි ට්‍රාන්ස්මීටර් හා පාලිත මැදිරියටත්, තුන්වැනි සහ සිව්වැනි මහල් දෙක උත්සව ශාලා දෙකක් වෙනුවෙන් ද වෙන්කර ඇත. මෙම එක් උත්සව ශාලාවකින් සුඛෝපභෝගී පහසුකම් යටතේ එකවර පුද්ගලයන් 350කට පමණ ආසන පහසුකම් සපයනු ලබන අතර ඒ අනුව උත්සව ශාලා දෙකෙහි අමුත්තන් 700කට පමණ ආසන පහසුකම් සැලසෙයි. මෙහි පස්වැනි මහල වෙන්ව ඇත්තේ තවත් අපූරැ අත්දැකීමක් ලබාදීම සඳහාය. ලංකාවේ මෙතෙක් ඉදිව ඇති එකම කැරකෙන අවන්හල පිහිටා ඇත්තේ ද මෙම නෙළුම් කුලුන තුළය. එක් වටයක් කැරකීමට ඊට පැය එකහමාරක කාලයක් ගතවේ.

නෙළුම් පොහොට්ටුවේ හයවැනි මහල වෙන්වන්නේ කාමර හයකින් යුත් කොටසකටය. මෙය විශාල කාමර දෙකකින් සහ සාමාන්‍ය නිදන කාමර හතරකින් සමන්විතය. විශාල කාමර දෙක සියලු පහසුකම්වලින් යුත් කුඩා නිවෙසක් මෙනි. මෙහි නිදන කාමරයක්, ආලින්දය, විසිත්ත කාමරය, නාන කාමරය සහ කුඩා මුළුතැන්ගෙයකින් ද සමන්විතය. මෙය බොහෝ විට වෙන්වන්නේ ලංකාවට පැමි‍ණෙන රාජ්‍ය නායකයන් හා රාජ්‍ය අමුත්තන් වෙනුවෙනි.

හත්වැනි මහල ලෙසින් නෙළුම් කුලුනේ නැරඹුම් මැදිරිය අපට හමුවේ. ලෝකයේ පිහිටි කුලුනු අතරින් විවෘත නැරඹුම් මැදිරියක් සහිත එකම කුලුන වන්නේ ද මෙම නෙළුම් කුලුනයි. එහි සිට එකවර 200 දෙනකුට පමණ නැරඹීමට හැකියාව පවතී. කොළඹ නගරය වටා වූ අපූර්වත්වය මෙම නෙළුම් කුලුනේ නැරඹුම් මැදිරියේ සිට අපට දැකබලාගත හැකිය. එතැන් සිට ඉහළට දිව යන්නේ සන්නිවේදන කුලුනු පද්ධතියයි.

පසුගියදා ජනපති අතින් නෙළුම් කුලුන විවෘත කරනු ලැබුවද, තවමත් එය ජනතාවට දැකබලා ගැනීමට අවස්ථාව උදාවී නොමැත. නමුත් සමාජ මාධ්‍ය සහ ඇතැම් මාධ්‍ය තුළින් මෙම නෙළුම් කුලුන “ජනතාවට නැරඹිය හැක” යනුවෙන් පණිවිඩය යැවීමත් සමඟ දිවයිනේ නන් දෙසින් නෙළුම් කුලුන නැරඹීට බොහෝ දෙනා කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි නෙළුම් කුලුන අසලට පැමිණ සිටියහ.

අහස උසට නැගි නෙළුම් කුලුන අද වන විට අපූරැවට දිස් වුවද මුල්ගල තැබූ දිනයේ පටන් වසර කිහිපයක් මුළුල්ලේම ඉංජිනේරුවෝ, කම්කරුවෝ බොහොමයක් තම දහඩිය, ශ්‍රමය, මහන්සිය මේ සඳහා කැප කළහ. අද මේ පෙනෙන්නේ ඔවුන්ගේ එම මහන්සියේ අවසන් ප්‍රතිඵලයයි.

 දිශානි ජයමාලි කරුණාරත්න
    සේයාරූ - සුමුදු හේවාපතිරණ