මෙරට පාතාලයත්, කුඩු ජාවාරමත්, දේශපාලනයත් එක අත්තේ දෙහි ගෙඩි හා සමානය. මේ තුන වෙන්කරන්න, වෙන්ව තබන්නට කොතෙකුත් උත්සහ දැරැවත් ඇදී එන්නේ කාන්දමක් සේය. ඒ නිසා පාතාලය මර්දනය කළාට පාතාලයත්, කුඩු ජාවාරම විනාශ කළාට කුඩුත් නතර වන්නේ නැත. ඒ දේශපාලනය නිසාය. ඒ නිසා හැමදාම මේ තුන්කට්ටුවේ නිල ලත් සහ නිල නොලත් අපරාධ බලා සිටීමට සාමාන්‍ය ජනතාවට සිදුවනු ඇත. එපමණක් නොව බැටකන්නටද සිදුවනු ඇත.
ජනපතිවරණයට පාතාලය සූදානම්
පාතාලය මර්දනය කරන්න ඕනේ, නැති කරන්න ඕනේ කියන දේශපාලඥයන් බොහෝ දෙනකු පාතාලයට කිරි පෙවූ අය බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ අය තමන්ගේ උන් වසාගෙන අනිත් උන් මර්දනය කළා මිස සැබෑ පාතාල මර්දනයක් සිදුවූයේ නැත. ඒ වෙන කිසිවක් නිසා නොව පාතාලය තමන්ගේ දේශපාලනයට අවශ්‍ය නිසාය.
කෙසේ වෙතත් මැතිවරණයක් යනු පාතාලයන්ට සැණකෙළියකි. ලොක්කන්ගේ හිත දිනාගන්නත්, ප්‍රතිවිරුද්ධ කල්ලිවලට විරුද්ධව අවි ඔසවන්නත් හොඳම අවස්ථාව මැතිවරණ සමය බව ඔවුන් දන්නා දෙයකි. මේ නිසා මෙවර ජනාධිපතිවරණය සඳහා බොහෝ රට හැරගිය පාතාලයනුත්, හිරගෙදර කූරු ගණින පාතාලයනුත් ලහි ලහියේ සූදානම් වෙති.
ඒ අනුව උඩින්ම සිටින්නේ කොළඹ පාතාලයේ පිරිසය. භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ වැරදිකරුවකු වූ දෙමටගොඩ චමින්දත්, ඔහුගේ ගෝලයනුත් ඇතුළේ සිට මැතිවරණ ව්‍යාපාරයට එක්වීම සඳහා සූදානම්ව සිටිති. චමින්දලාට මැතිවරණ නුහුරු නුපුරුදු ඒවා නොවීය. දැනට මරණ දණ්ඩනයට නියම වී සිටින ආර්. දුමින්ද සිල්වාගේ මැතිවරණ ව්‍යාපාරවල උඩින්ම හිටියේ චමින්දලාය. මේ නිසාම අද චමින්දලා නිසා දුමින්දත් දුමින්ද නිසා චමින්දත් ජීවිතයේ වන්දි ගෙවති. ඒ නිසා ඒ ගැන අමුතුවෙන් කිවයුතු නැත.
කෙසේ වෙතත් මේ වනවිට චමින්දගේ පිරිස ලහිලහියේ සූදානම් වන්නේ එළඹෙන ජනාධිපතිවරණයේදී හොඳම අපේක්ෂකයාට සහාය දීම සඳහාය. නැතහොත් කොළඹ ඔක්කොම ඡන්ද එම අපේක්ෂකයාට රැගෙන දීම සඳහාය. එසේ කිරීම හරහා ඔවුහු හීන දෙකක් දකිති. එනම් එක් පැත්තකින් ජනපති සමාව ගැනීමටය. අනෙක් පැත්තෙන් නිදහසේ තම ජාවාරම් කරගෙන යාමටය. ඒ නිසා චමින්දලා මුළු ගතේ සහ සිතේ ශක්තියම යොදවා මැතිවරණයට සූදානම් වෙති.
කෙසේ වෙතත් චමින්දලාට විරුද්ධ කල්ලියද මේ වනවිට මැතිවරණය සඳහා සිය කටයුතු ආරම්භ කර ඇත. ඒ චමින්දගේ පරම හතුරා වන බ්ලූමැන්ඩල් සංඛය. පොලීසියට හොරා සැඟව රට පැන සිටි සංඛ පසුගියදා හදිසියේම ලංකාවට ආවේය. සංඛ ගියවරද එසේමය. 2015 අගෝස්තු පැවති මහ මැතිවරණයට සංඛත්, ආමි සම්පතුත් ඩුබායි සිට හදිසියේ ලංකාවට පැමිණියහ. ඇවිත් ආණ්ඩුවේ සිටින ප්‍රබල දේශපාලඥයකුගේ නිවසේ විශාල සාදයක් පැවැත් වූ බවද ඒ සඳහා පාතාලයෙන්ම පසුකලෙක මැරැම් කෑ ඩී. මංජුද සහභාගි වී සිටි බවද කියති.
එසේ පැමිණි සංඛලාට අවසානයේ චමින්ද වෙඩි තැබුවේ අමාත්‍ය රවී කරුණානායක මහතාගේ රුලියකදීය. එහෙත් සංඛලා එදා බේරුණත් බ්ලූමැන්ඩල් පදිංචි කාන්තාවක් සහ තරුණයෙක් මිය ගියහ. එවන් සංඛලා නැවත මැතිවරණය කට තබා පැමිණියේ අත පිහිදාගන්නට නොවිය යුතුය. කලින්ම රිමාන්ඩ් වී මැතිවරණ කාලයේ එළියට ආ පසු ඕනෑම කෙළියක් සිදුකළ හැකි බව ඔවුහු දැන සිටිති.
මේ අතර දකුණේ පාතාලයේ අයද පිටරට සිට වැඩේට සූදානම් වන බව දැනගන්නට ඇත. කොස්ගොඩ සුජී, රත්ගම විදුර සිය ගෝලයන් ලවා එක එක තැනට හේත්තු වන්නට පටන්ගෙන ඇත. මේ අතර සුජීට හරහට සිටින බන්ධනාගාරයේ සිටින කොස්ගොඩ තාරකද සිය ගෝලයන් හරහා තම තැන රුක ගැනීමට දේශපාලනයට හේත්තු වෙමින් සිටියි. කෙසේ වෙතත් පාතාලයෙන් ලැබෙන තොරතුරැ අනුව මෙවර මැතිවරණයේදී දකුණේ පාතාලය උණුසුම් වෙනු ඇතැයි දැනගන්නට ඇත. ඒ කොස්ගොඩ සුජීගේ පිරිස, කොස්ගොඩ තාරකගේ පිරිස පසුපස පන්නන නිසා බොහෝ විට දෙපිරිස අතර ලේ හලාගැනීම් සිදුවීමට ඉඩ තිබීමය. එහි ආරම්භය ලෙස ගාල්ලේ බන්ධනාගාර නියාමක ඝාතනය පාතාලය පවා දෙදරා ගිය සිදුවීමක් විය.
මධූෂ්ට අකීකරු අංගොඩ ලොක්කා
මාකඳුරේ මධූෂ් තවමත් සිටින්නේ රහස් පොලීස් බාරයේය. මධූෂ්ගෙන් කාපු බීපු දේශපාලකයන්ගේ ලැයිස්තු ගණනින් එළියට එමින් ඇත. එහෙත් අපේ රටේ නීතිය කොතරම් හොඳ වුණත් පාලකයන් සමීපයට එනවිට නීතිය තරමක් මන්දගාමී වෙයි. මේ නිසා මධූෂ්ගේ දේශපාලන නම් ලැයිස්තුවත් තවත් එක් ලැයිස්තුවක් මිස ඒවා ජීවිතේට එළියට එන්නේ හෝ ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වන්නේ නැත. ඒ නිසා ඒ ගැන කතා කිරීමේ ප්‍රතිඵලයක් නැත.
කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ මධූෂ්ටත් කීකරු නැති තැනට වැඩකටයුතු වෙමින් සිටින නිසාය. එනම් මධූෂ්ගේ හොඳම මිත්‍රයා, ගෝලයා වූ අංගොඩ ලොක්කාය. මධූෂ් පොලීසියට කොටු වුණත් ලොක්කා ඉන්නේ තවමත් රටින් පිට පැන සැඟවිලාය. එහෙත් ලොක්කා මධූෂ්ගේ ව්‍යාපාරවලටත් මධූෂ්ගේ කණ්ඩායමටත් නායකත්වය දෙන්නට පටන් ගෙන ඇත. ඒ අනුව මධූෂ්ගේ කුඩු ව්‍යාපාරය අංගොඩ ලොක්කා විසින් මෙහෙයවන අතර මධූෂ් තරම් විශාල වශයෙන් ජාවාරම කරන්නේ නැත. එයට හේතුව මධූෂ් ගැන තිබෙන විශ්වාසය ලොක්කා ගැන කුඩු ප්‍රබලයන්ට නැති නිසාය. මේ නිසා ලොක්කා මධූෂ්ගේ පිරිස යොදාගෙන කප්පම් ගනිමින් පාලනය කරන්නට කටයුතු කරමින් සිටියි. එපමණක් නොව මධූෂ්ටත් ඔහුටත් විරැද්ධ කල්ලිවලට මරණ වරෙන්තු යවන්නට පටන් ගෙන ඇත. ඒ මැතිවරණ සමයේදී හැමදෙනාටම අවියෙන් පිළිතුරු ලබාදීමටය. ඒ නිසා යම් ආකාරයකින් මැතිවරණයට පෙර මධූෂ් බන්ධනාගාර ගතවුවහොත් පාතාලයේ අළු යට ගිනි ඇවිලෙනු ඇත. ඒ මධූෂ් යනු හැඟීමක් නැති මිනිසකු නිසාය.
කුඩුවලට මොකද වුණේ?
මේ වනවිට බොහෝදෙනාට ප්‍රශ්නයක් වී ඇත්තේ කුඩුවලට කුමක්වීද යන්න ගැනය. රටේ කුඩු නැද්ද? කුඩු අඩුවෙලාද යන්න හැමෝටම ප්‍රශ්නයකි. ඇත්තටම කුඩු නැද්ද?
ඇත්තටම කුඩු නැතිවෙලා නැත. එහෙත් යම් හිඟයක් පවතී. ඒ කුඩු ජාවාරමේ ප්‍රබලයන් හිරවීමත් ඔවුන් කුඩු රුගෙන ආ මාර්ග හිරවීමත් හේතුවෙනි. අනෙක් කරැණ වන්නේ මේ දිනවල මුහුදේ රළු බව නිසාය. ඒ නිසා කුඩු මෙරටට පැමිණීමේ වේගය අඩුවී ඇත. ඒ නිසාම දැන් කුඩ්ඩන්ට අනුව එක කෑල්ලක් රුපියල් 1500කි. කුඩු ග්‍රෑම් එකක් රුපියල් 15000කි. ඒ තරම් කුඩු ගණන් ගිය පළවෙනි වතාව මේ බව කියති.
ලංකාවේ අලුත් කුඩු වෙළෙන්දෝ
මේ වනවිට වෙලේ සුදාලා, මධූෂ්ලා යම් ආකාරයක හිරවීමක් නිසා කුඩු ව්‍යාපාරයට අත ගැසීමට නොහැකි වී සිටිති. ඒ සඳහා අලුතින්ම ව්‍යාපාරයට අත ගසා ඇති නම් ලැයිස්තුව මෙසේය. ඔවුන් අලුතින් ලෙස සඳහන් කරන්නේ මොවුන් මීට පෙර කුඩු ව්‍යාපාර කර ඇතත් මෙවර ඔවුන් මහා පරිමාණයෙන් අත ගසා තිබීම හේතුවෙන් බව සඳහන්ය.
මොහොමඩ් සිද්ධික්, දෙමටගොඩ රුවන්, බොරැල්ලේ කුඩු තිලාන්, කොස්ගොඩ තාරක, ගාල්ලේ සුනිල් ශාන්ත, වාරියපොළ සුරංග, මීගමුවේ ලොම්බ නිමල්, වැලිගම චින්තක, ගාල්ලේ පොඩි ලැසී, තංගල්ලේ රණා, මාතර රසික, මේ පිරිස ලංකාවේ බන්ධනාගාරයේ සහ ඊට පිටින් සිට කුඩු ජාවාරම මෙහෙයවන පිරිස බව දැනගන්නට ඇත. ගාල්ලේ සුනිල් ශාන්ත ගාල්ල සහ කළුතර අවට කුඩු ව්‍යාපාරයේ යෙදෙයි. වාරියපොළ සුරංග ඩුබායි සම්බන්ධකම් හරහා නැගෙනහිරට සහ නුවරට කුඩු බෙදයි. මොවුන් ලංකාව තුළ මහා පරිමාණයෙන් කුඩු ව්‍යාපාරයේ යෙදෙන පිරිස බව පාතාලයේ අලුත්ම වාර්තා අනුව කියැවේ. කෙසේ වෙතත් මේ සියල්ල එපිටින් සිට මෙහෙයවන ප්‍රධානීන් කිහිපදෙනෙකුද සිටින බව අපගේ මේ විශේෂ හෙළිදරව්වට දැනගන්නට ලැබුණි.
ඒ අනුව මධූෂ් සහ කංජිපානි ඉම්රාන් පොලීසියට අල්ලා දුන් ඩුබායි මොරිල් හෙවත් අන්නාසි මොරිල් පාකිස්ථානය සමඟ සෘජුව කටයුතු කරන අයකු බව සඳහන්ය. එසේම මැලේසියාවේ සිටින ප්‍රකට ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටින මුජහිඩීන් මේ සියල්ලේ අනෙක් මහ මොළකරැය. ඩුබායි සිටින ශිරාන් බාසික් අලුතින් කරළියට ආ මහා පරිමාණ කුඩු ව්‍යාපාරිකයෙකි. එපමණක් නොව දකුණේ පාතාලේ නම ගිය ඉතාලියේ ජීවත්වන රත්ගම විදුර සහ කොස්ගොඩ සුජී අනෙක් දෙදෙනාය. මේ සියල්ල වෙලේ සුදා සහ මධූෂ් නීතියේ හිරවීම නිසා මහා පරිමාණයෙන් කුඩු ව්‍යාපාරයේ යෙදීමට ආ පිරිස වෙති.
කෙසේ වෙතත් මොවුන් දැනටමත් පාකිස්ථානයේ ජාවාරම්කරුවන් සමඟ ගනුදෙනු කතා කරගෙන ඇති බවත් අදාළ කුඩු නැව් ජනාධිපතිවරණය සමයේදී මෙරටට ගොඩ බෑම සඳහා පිඹුරුපත් සකසා ඇති බවත් වාර්තා වෙයි. මේ සියලුදෙනා බලා සිටින්නේ මැතිවරණ ව්‍යාපාරය එනතෙක් බව දැනගන්නට ඇත. කෙසේ වෙතත් මේ අතරින් මොරිල් සහ රත්ගම විදුර, කොස්ගොඩ සුජී මුහුදු මාර්ගය හරහා කුඩු තොගයක් ගෙන ඒමට සූදානම් වන බවද වාර්තා වී ඇත. ඊට අමතරව ඔවුන් දෙවැනි මෙහෙයුම ලෙස සූදානම් කර ඇත්තේ කන්ටේනර් පෙට්ටි හරහා නැවත කුඩු මෙරටට ගෙන ඒමටය.
ආරක්ෂක අංශයේ ප්‍රධානීන් ඇල්ලීමේ මෙහෙයුමක්
මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් ලැයිස්තුවේ ඉන්නා බොහෝ දෙනෙක් මේ වනවිට ආරක්ෂක අංශයේ සිටින ප්‍රධානීන් කිහිපදෙනකු මුදල්වලට බා ගැනීමේ මෙහෙයුමක් දියත් කරමින් සිටිතියි වාර්තා වී ඇත. එනම් ඔවුන්ට හිතවත් අය හරහා ඔවුන්ට සමීප වී ඔවුන් සමඟ ගනුදෙනු කිරීමට මේ පිරිස විවිධ උත්සාහ ගනිමින් සිටින බවට වාර්තා වේ. ඒ සඳහා පාකිස්ථානයේ සිටින මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් මුදල් වියදම් කිරීමට සූදානම් වන බවත් දැන ගන්නට ඇත.
කෙසේ වෙතත් අප සඳහන් කරන්නේ ආරක්ෂක නිලධාරීන් දැනට වඩා අවධානයෙන් සිටිය යුතු එසේ නොවුවහොත් ජාවාරම්කරැවන් කුමක් හෝ දෙයක් පටලනු ඇත. ඒ තම ව්‍යාපාරය රුක ගැනීමේ අදහස නිසාය
මහා පරිමාණ ජාවාරම්කරුවන් බූස්සට
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දඬුවම් ලැබීමෙන් පසුව ඔවුන් බූස්ස බන්ධනාගාරයට දැමීමට තීරණය කර ඇත. කලක් එල්.ටී.ටී.ඊ.ය සාමාජිකයන් රඳවා තැබූ එම ස්ථානයේ හිර කූඩු 46ක් තිබෙන අතර එම කුටිවල සැකකරැවන් වෙන වෙනම තැබීමට තීරණය කර ඇත. ඒ අනුව දැනටමත් වෙලේ සුදා, කංජිපාණි ඉම්රාන්, සුසෙයි යන තිදෙනා එහි රඳවා සිටිති. ව්‍යායාමවලට පමණක් එම අය එළියට ගන්නා අතර මුළු දවසම එම කූඩුව තුළ ගත කිරීමට සිදුවනු ඇත. එසේම ඒ සෑම කූඩුවක සීසීටීවී කැමර සවි කිරීමටද තීරණය කර තිබේ.
කෙසේ වෙතත් තම ව්‍යාපාර කර ගැනීමට නොහැකිව අන්ත අසරණ වී සිටින කංජිපානි පසුගියදා තම සහෝදරයා සහ පියා හරහා කෑම ගෙන්වන භාජනයට ව්‍යාජ අඩියක් ගසා දුරකථන දෙකක් ගෙන්වාගෙන අසුවුණේය. ඒ අනුව දැන් මේ පිරිස සිටින්නේ අන්ත අසරණව බව පෙනේ. එහෙත් ඔවුන් තිදෙනා හිරවුණු නිසා මෙරට කුඩු ව්‍යාපාරය නවතින්නේ නැත. තව දස දහස් ගණන් මේ ව්‍යාපාරයට අත් පොත් තබනු ඇත. එය නතර කිරීම කෙසේ කළයුතුද යන්න පාලකයන් තේරැම් ගත යුතුය. මෙය ලෙහෙසි පහසු වැඩක් නොවන බව මේ සියල්ලෙන් පෙනෙන දෙයකි.
ගයාන් ගාල්ලගේ